පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතමින් මංගල සමරවීරව පතුරු ගැසුවේය. ඒ, ඊට පෙර දින මංගල විසින් පාර්ලිමේන්තුව හමුවේ, ගෝඨාභය සිය පෞද්ගලික උවමනා වෙනුවෙන් මෙරට මහජන ධනය වැය කිරීම සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීමක් නිසාය.
එහෙත් එතෙක් කල් හැංගිමුත්තම් සෙල්ලමක සිටි ගෝඨාභයට මංගලගේ ප්‍රකාශය සමඟ ඊට එරෙහිව මෙතරම් තදින් කතා කරන්නට තරම් පණක් ආවේ තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා වැරැදි නිසා නොවන බව පසුගිය මාස කිහිපයේ දී මෙරට දේශපාලන හැසිරීම ගැන අවධියෙන් සිටියා නම් පැහැදිලි වනු ඇත. ගෝඨාභය දැන් ඉන්නේ තමන් ගැන ලොකු විශ්වාසයකිනි. මංගලට නුදුරේම තමන්ගේ දෙපතුල ළඟ වැටෙන්න වෙනවා යැයි හැඟෙන සේ ප්‍රකාශයක් කිරීමට තරම් ඔහුට ඔහුගේ අනාගතය ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගී ඇත. මේ විශ්වාසය ඇති වීමට නියමිත බව අපි විසින් මීට මාස ගණනාවකට පෙර සිටම මෙම තීරුවේම කිහිප වතාවක්ම පෙන්වා දෙන ලද්දෙමු. රාජපක්ෂවරුන්ට එරෙහිව තිබෙන චෝදනා විභාග වීම අතහැර දමා හෝ ප්‍රමාද කරමින් හෝ තිබෙන බව දැන් උවමනාවටත් වඩා පැහැදිලිය.
එමෙන්ම නෛතික ක්‍රියාමාර්ගවල දී ඉතා දුර්වල ලෙස නඩු ගොනු කිරීම සිදුව තිබේ. හොඳම උදාහරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇවන්ට්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් පවරනු ලැබූ නඩුවය. මෙය ගෝඨාභයව සුද්ද කිරීම සඳහා ගනු ලැබූ පියවරක් බවට මේ වන විට විවිධ පාර්ශ්වවලින් පෙන්වා දී ඇත. මිග් යානා ගනුදෙනුව සම්බන්ධ විමර්ශන, ඊට අදාළ ලිපි ලේඛන නැතැයි කියමින් ප්‍රමාද වෙමින් ඇත. ඩී.ඒ. රාජපක්ෂ සොහොන සම්බන්ධ විමර්ශන ගැන දැන් වගක් නැත. නමුත් මෙම චෝදනා නිසා කට උත්තර නොමැතිව සිටි ගෝඨාභය හදිස්සියේ කට අරින්න ගත්තේ තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වීමේ හැකියාව අහෝසි වෙමින් පවතින බව ඔහුට සහතික නිසා විය හැකිය. ඊට හේතුවක් පැහැදිලිය. ඒ2020 ජනාධිපතිවරණය යි.
මෛත්‍රීපාල සිරිසේන දුන් පොරොන්දු ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි නොකෙරෙන්නේ නම් හා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ නම් ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා වීමේ විභාගයේ ඉහළින්ම සිටින්නේ ගෝඨාභය බව මේ වන විට පෙනෙන්නට තිබෙන ඇත්තය. එය මෛත්‍රීගේ, ශ්‍රීලනිපයේ හෝ රාජපක්ෂ පවුලේ හෝ කැමැත්ත නොකැමැත්ත විය හැකිය. නමුත් වර්තමාන දේශපාලන පෙළ ගැසීම අනුව ගෝඨා සාධකය සියලු පාර්ශ්ව කෙරෙහි බරපතළ හිසරදයක් වීම නුදුරේම සිදු වනු ඇත. රටෙත් පුරවැසියාගෙත් අනාගතය නොසලකා හැර තම තමන්ගේ දේශපාලනික පැවැත්ම වෙනුවෙන් මාරාන්තික දේශපාලන තීන්දු තීරණ ගැනීමට එජාපයටත් ශ්රීලනිපයටත් ජවිපෙ වැනි පක්ෂවලටත් ඒ අනුව සිදු වනු ඇත. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොට්ට මාරු කර මේ ප්රශ්නය විසඳිය නොහැකි වනු ඇත. නියපොත්තෙන් කඩා දැමිය යුතු අවධිය පසු වූවාට පසුව පොරව අතට ගැනීම හැර වෙන විකල්පයක් නොවුණත් එය පහසු නොවනු ඇත. කොහොම නමුත් දැන් කාලය ඉක්ම යමින් ඇත. තමන් පැරදුණා නම් තමන්ට සිදු වන්නේ අඩි හයක් යට වැළලෙන්න යැයි පැවසූ මෛත්‍රීපාල දේශපාලනයේ දී මෛත්‍රී කරන්නට යෑමේ ආදීනව මේ වන විට අත්විඳිමින් සිටිනවාට සැක නැත.
දේශපාලනයේ දී ඇති භයානකම දේ එහි සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති වීමය. මිතුරා සතුරා වෙනස් වීම අතර ඇත්තේ ඉතා කෙටි හිඩැසකි, ඉතා කෙටි කාලයකි. අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණය අවශ්‍ය වේගයෙන් ගනු නොලැබීම ගෝඨාභය වැන්නකු අභියෝගයක් වන තැනට පත් වීමේ හේතුවය.
අද ශ්රීලනිපය කල්පනා කරන්නේ ඉදිරි මැතිවරණවල දී එජාපය පරදවා තනිව බලය පිහිටුවා ගැනීම කෙරෙහිය. එහි දී පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීම ගත යුතුව තිබේ.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කවර මතයක් දැරුව ද පක්ෂය රැක ගැනීමට නම් රාජපක්ෂවරයකු මෛත්‍රීපාල සිරිසේන හා එකඟතාවකට පැමිණිය යුතු බව පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බොහොමයකගේ මතය වී තිබේ. පසුගිය කාලයේ මේ සාකච්ඡාව තිබිණි. ඊට ගෝඨාභයගේ පාර්ශ්වයේ එකඟතාවය ද තිබිණි. ගෝඨාභය රාජපක්ෂට තමන් කෙරෙහි වන විශ්වාසය වැඩීමට මේ එකඟතාවය ද වාරුවක් වී ඇති බව පැහැදිලිය. එහෙත් මෙහි දී ශ්රීලනිපය මුහුණ දෙන උභතෝකෝටිකයක් පවතී. ඒ අප මෙයට පෙර පෙන්වා දුන් පරිදි මෙය අගමැති රනිල් වික්‍රමසිංහගේ ද අපේක්ෂාව වීමය.
“රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව2020 ජනාධිපතිවරණය හෝ තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන නිසා තමාට පහසුවෙන් පරාජය කළ හැකි සතුරකු සිටීම ඔහුගේ වාසියට හේතු වන්නේය.”
ඒ දශක දෙකකට වැඩි ඉතිහාස කතාව තුළ රනිල් වික්‍රමසිංහ සිව් වරක් අගමැති ධුරයට පත් වුව ද ඔහු එක අතකින් අවාසනාවන්ත දේශපාලකයෙකි.
2005 ජනාධිපතිවරණය යනු ඔහුට ලෙහෙසියෙන්ම ජයගත හැකිව තිබූ අවස්ථාවය. සිය ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂව තෝරා ගැනීම ද රනිල්ගේ මෙහෙයුමක් අනුව සිදු වූවකි. එවකට ශ්‍රීලනිපයේ නායිකාවව සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබූ සිව් දෙනකු සිටි අතර ඒ අතර හෝ මහින්ද සිටියේ නැත. චන්ද්‍රිකාට අවශ්‍ය වූයේ මංගල සමරවීර, ලක්ෂ්මන් කදිරගාමර්, මෛත්‍රීපාල සිරිසේන හා අනුර බණ්ඩාරනායක යන සිව් දෙනා අතරින් සිය අපේක්ෂකයා තෝරා ගැනීමට ය.
එහෙත් ඒ සියලු දෙනා පරයා මහින්ද ඉදිරියට ගෙන ආවේ රනිල් විසිනි. මහින්ද විපක්ෂ නායකයා ලෙස පත් කිරීමට අදාළ මාධ්‍ය මෙහෙයුමේ සිට ශ්රීලනිපය තුළ මත ගැටුම් ගොඩනැංවීම ද ඒ වෙනුවෙන් මහින්දට උදව් කිරීම ද සිදු විය. ඒ අනුව චන්ද්‍රිකාට බලවත් අකැමැත්තෙන් වුව මහින්දට අපේක්ෂකත්වය දීමට සිදු විය. මේ රනිල්ගේ බලාපොරොත්තුව විය. එනම් මහින්ද දුර්වල අපේක්ෂකයකු වීම ය. ඔහුට ප්‍රතිපත්තියක් දැක්මක් තිබුණේ නැත. ශ්රීලනිපය තුළවත් ඔහුට බලයක් තිබුණේ නැත. එමෙන්ම ජවිපෙ සුනාමි සහන මණ්ඩලය පිළිබඳ ප්රශ්නය හේතුවෙන් එජනිස ආණ්ඩුවෙන් හා එම සන්ධානයෙන් ද ඉවත්ව ආණ්ඩු විරෝධී ස්ථාවරයක පසුවීම තුළ ජවිපෙ සහාය ද මහින්දට අහිමි වනු ඇති බවට ගණන් බලා තිබිණි. රනිල්ට උතුරු නැගෙනහිර ඇතුළු සෙසු පළාත්වල සුළුතර ජන කොටස්වල සහාය ලැබීම මත එම මැතිවරණය ජය ගැනීමේ හැකියාව තිබිණි.
එහෙත් අවාසනාවකට ජවිපෙ මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් විය. එමෙන්ම උතුරේ ඡන්ද වර්ජනය මෙහෙයවා දෙමළ ජනතාවගේ ඡන්දය රනිල්ට ලැබීම වැළැක්වීමට එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක විය. ඉතා සුළු පරතරයකින් රනිල්ට පරාජය පිළිගැනීමට සිදු විය. රනිල්ගේ දේශපාලන ගණන් හැදීම වැරැදි නැති නමුත් බලවත් තුන් වන පාර්ශ්වයක මැදිහත්වීම කළමනාකරණය කර ගැනීමට ඔහුට නොහැකි විය. එහෙත් තමන් දුර්වලයා යැයි සිතන කෙනා සම්බන්ධයෙන් අවශ්‍ය තක්සේරුව තමන්ට අවාසිදායකතැනක සිට ගණන් හැදීම නොකිරීමේ පාඩම එදා රනිල් ඉගෙන ගත්තාද යන්න ගැන බරපතළ සැකයක්ව පවතී. මන්ද, ඔහු2020ට සූදානම් වන්නේ ද2005 උපක්රමයම අනුගමනය කරමින් බව පෙනෙන්නට ඇති බැවිනි. එදා මහින්ද වෙනුවට අද ආදේශ වී ඇත්තේ ඔහුගේ මලණුවන් වන ගෝඨාභය රාජපක්ෂය.
ගෝඨාභය තමන් සහ වන සටනක දී වඩාත් දුර්වල අපේක්ෂකයා වනු ඇති බව ඔහු කල්පනා කරනවා ඇතිය. මන්ද, පළමුවෙන්ම ගෝඨාභය යනු දේශපාලකයකු නොවීමය.2010 දී සිය ප්‍රතිවාදියා සරත් ෆොන්සේකා වීම නිසා එවැනි ලොකු වාසියක් මහින්ද රාජපක්ෂ ලැබුවේය. ඒ හා සමානව ගෝඨාභය රාජපක්ෂ ද මිලිටරිමය පුද්ගලයකු වීම හා ඔහුගේ ඉතිහාසය සමඟ ගොඩනැගී ඇති බිහිසුණු චිත්‍රය ද රනිල්ට වාසියකි. දෙමළ මුස්ලිම් ජනයාගේ කැමැත්ත ගෝඨාභයට නැත. ඔහු සිංහල බෞද්ධ ජාතිවාදය සරණ යන්නෙකි. එමෙන්ම ඔහුට එරෙහිව ඇති චෝදනා ඉතා බරපතළය. මේ මොහොතේ දී ඒ යම් යටපත් වීමක් තිබුණ ද නිශ්චිත මැතිවරණයක දී ඒ වඩා තීරණාත්මක විය හැකිය.
එමෙන්ම ජවිපෙ සහාය කිසිසේත්ම ඔහුට නොලැබෙනු ඇති යැයි කල්පනා කළ හැකිය. (එහෙත් රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම දේශප්‍රේමී කටයුත්තක් යැයි කියා ගෝඨාභය සමඟ හෝ එක්වීමේ අවිනිශ්චිතතාවය තිබිය හැකිය) ඒ අනුව මේ වන විට ඇති තත්ත්ව මත ශ්රීලනිපය, රාජපක්ෂවරුන් විසින් දෙකඩ කරනු ලැබුවහොත් එය රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වඩාත් පහසු කරවනු ඇත. එනමුත් එලෙස දෙකඩ වීමක් සිදු නොවී ශ්‍රීලනිපයේ අපේක්ෂකයා ගෝඨාභය වූවත් රනිල්ට වාසිදායක වීමේ ලක්ෂණ තිබෙන බව පැහැදිලිය. එහෙත් ඒ සුළු දෙයකින් බරපතළ වෙනසක් විය හැකි බව2005 දී අත්දැකීමක් තිබේ.
එසේම රාජපක්ෂවරු යළි සටනට එන්නේ බලය අන් අයකුට පැවරීම අරමුණු කරගෙන නොවේ. තමන්ගේ දුර්වලතා මැඩපවත්වාගෙන වඩා ශක්තිමත්ව2020ට මුහුණ දීම ඔවුන් වෙතින් සිදු වීම විය හැකිය. එහෙත් මෙතෙක් පෙන්නුම් කරමින් සිටින්නේ පරාජයට පත් වූ පැරණි උපක්‍රම කෙරෙහිම විශ්වාසය තබා ක්‍රියා කරන බව ය. යුද්ධය ජයගත් සිංහල බෞද්ධ ජනතාවගේ අසහාය වීරයා ලෙස ගෝඨාභය කරළියට එනු ඇත. ඔහුට ඇති බලගතුම අවිය එය යි. එමෙන්ම උතුරේ ජනතාවගේ ඡන්දය වැළක්වීම ද විය හැකිය. චීනය වැනි බලගතු රාජ්‍යයක සහාය ද ඔහුට හිමි විය හැකිය.
කෙසේ නමුත් මේ දේශපාලන වියවුල්සහගත බවට අද ශ්රීලනිපය මුහුණ පා සිටී. රාජපක්ෂවරුන්ගේ අභිප්‍රාය වන්නේ පක්ෂය දෙකඩ කර ඉදිරි මැතිවරණවලින් එය පරාජයට පත් කර මෛත්‍රීපාලව ඉතිහාසයේ කසළ ගොඩට ඇදදමා යළි පක්ෂයේ බලය අල්ලා ගැනීම හෝ මෛත්‍රීපාලව බියට පත් කර තමන්ගේ අණසකට පක්ෂය නතු කරගෙන ඉදිරි මැතිවරණයේ දී යළි රාජපක්ෂ පවුලේ බලය සහතික කර ගැනීමය. මෙය ආණ්ඩු විරෝධය හෝ පක්ෂය දිනවීම හෝ නොව තමන්ගේ සතුරා වූ මෛත්‍රීපාලගෙන් පළිගැනීමට ගන්නා උත්සාහයක් බව පැහැදිලි ය. මෙය ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැකිය. එහෙත් මේ තත්ත්ව මත රාජපක්ෂ පවුලේ සහයෝගය කෙසේ හෝ ශ්රීලනිපය වෙත ලබාගත යුතු බවට ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන්ගෙන් එල්ලවන බලපෑම ජනාධිපතිවරයාට නොතකා හැරිය නොහැකිව තිබේ. පසුගිය කාලය තුළ දී මහින්ද රාජපක්ෂ, මෙන්ම බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, යන අය සමඟ මෛත්‍රී පාර්ශ්වය සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබුවේ මේ සමථයකට පත් කර ගැනීමට ය. නමුත් මේ දක්වා වූ සියලු සාකච්ඡා අසාර්ථක විය. ඒ අනුව රාජපක්ෂවරු සමඟ සියලු ගනුදෙනු අතහැර පෙරළා පහර දීමට තීන්දුවක් ගත් නමුදු ඊට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් දේශපාලනික බාධා එල්ල වෙමින් පවතී. ඒ ජය ගැනීමට ශ්රීලනිපය සමත් නොවුණහොත් මේ වියවුල තවත් බරපතළ වනුයේ ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හමුවේ ය. එහි දී පළමු වටයේදීම උතුරුමැද පළාත් මැතිවරණය පැවැත්වෙනු ඇත. ශ්‍රීලනිපයේ නායක මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයත් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක නියෝජනය කරන අනුරාධපුරයත්, උතුරුමැද පළාතට අයත් වේ. ඒ කවර ක්‍රමයකින් හෝ ජය ගැනීම මෛත්‍රීපාල පාර්ශ්වයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම කරුණ වනු ඇත.
කොහොම නමුත් දෙපාර්ශ්වය අතර වන මේ සීතල දේශපාලන යුද්ධය විසින් ජනවාරි08 වන දා අපේක්ෂා කෙමෙන් යටපත් වෙමින් තිබීම රට මුහුණ පා සිටින කනගාටුදායක තත්ත්වය ය. ඊටත් වඩා ඛේදවාචකය නම් රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා එක් වූ සිවිල් සමාජ බලවේගයන් ද මේ පාර්ශ්ව දෙක හා බෙදී වෙන්ව මේ දේශපාලන අර්බුද තීව්ර කිරීම සඳහා කටයුතු කිරීමය.
දේශපාලන පක්ෂවලට බලය සඳහා වන අරගලය අත් හැරිය නොහැකිය. පක්ෂ බිහි වන්නේම ඒ වෙනුවෙනි. එහෙත් ජනවාරි08 වන දින මෙරට ජනතාව විසින් ජයග්‍රහණය කරවූ අපේක්ෂා යථාර්ථයක් කිරීමේ වගකීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අත් හැරිය නොහැකිය. අප යළිත් අවධාරණය කරන්නේ මේ ගෙවෙන වසර කිහිපය සාම්ප්‍රදායික දේශපාලන භාවිතා අනුව තීන්දු තීරණ ගත යුතු මොහොතක් කර නොගෙන ඉතිහාසය පුරා පිළිලයක්ව පවතින බලය සම්බන්ධයෙන් පවතින ගෝත්රවාදී චින්තනය පරාජය කළ යුතු බවය.
– සුජය
උපුටාගත්තේ සත්හඬෙන්