ගඟ තරණය කිරීම ඔරුවක් භාවිතයෙන් කළ හැකිය. නමුත් ඔරුව භාවිතා කරන විදියක් තිබේ; එය පදවාගෙන යන ක්‍රමයක් තිබේ. එය දැන නොගියහොත් ගඟ මැද කැරකි කැරකී සිටින්න සිදු වෙනවා විනා එගොඩටවත් මෙගොඩටවත් යා හැකි වන්නේ නැත. එසේම ඔරුව පෙරළා නොගෙන ගමන් කිරීමත් විශේෂඥ වැඩකි. පෙරලුණ පිට හොඳයි කියන්නේ ඔරු පදින්න නොදන්නාවුන්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ධුර කාලයෙන් වසර දෙකක් ඉක්මවා ඇත. රටේ ජනතාව හමුවේ පොරොන්දු වූයේ, තමන් යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් තමන්ගේ මේ ධුර කාලය තුළ දී පොරොන්දු දේශය වෙත රටවැසියාව රැගෙන යන බවය. ගමන් කරන්නට තිබූ ගමනෙහි අසීරු බව ගැන විවාදයක් නැත. ඒ වෙනුවෙන් ගත් අභීත පියවරවල් ගැන ද ගෞරවයක් තිබේ. එහෙත් මේ වන විට දැනෙන්නට තිබෙන්නෙ එකම තැන කැරකි කැරකී ගඟ මැඳ අතරමං වී සිටින සෙයියාවකි.
යන මඟ හරිද?
පොරොන්දු දේශය වෙත යන්නට කෙටි පාරවල් නොතිබිය හැකිය. දිගු පාරවල් කිහිපයක්ම තිබිය හැකිය. එහෙත් යන්නෙ කවර පාරක ද යන්න ගැන පැහැදිලිභාවයක් තිබිය යුතුය. ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කෙරුණු මෛත්‍රී පාලනයක් සඳහා වන වැඩපිළිවෙළ මාර්ග සිතියමක් බව එදා කල්පනා කළ හැකිව තිබුණ ද දැන් පෙනෙන්නට තිබෙන මඟ සලකුණු අනුව යන්නේ වෙනත් පාරක බව සැක කිරීමට හේතු තිබේ.
රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සඳහා ප්‍රධාන හේතුකාරකයක් වූයේ රාජපක්ෂවරු පවත්වාගෙන ගිය ඒකාධිපති පවුල් පාලනය යි. එය විසින් සිදු කරනු ලැබූ දූෂිත ක්‍රමවේද නිසා රටේ අනාගතය අඳුරෙන් අඳුරට මිසක ආලෝකය දෙසට ගමන් නොකරන බව පැහැදිලි විය. එම දූෂිත පාලන තන්ත්රය දේශපාලන සමාජ සංස්කෘතිය සහ ආර්ථිකය කෙලසා විනාශ කර දැමුණු අතර ඒ කෙරෙන්ම මතුවුණු එකිනෙක කෙරෙහි වන වෛරය විසින් සමස්ත රට තුළ මෙන්ම කුටුම්බය තුළ ද සාමය හා සංහිඳියාවට අවස්ථාව නැති කරන ලදී.
නොනවතින කඹ ඇදිල්ල
රාජපක්ෂ රෙජීමය පෙරළා දමා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ සහිත විප්ලවීය වෙනසක් රට ඉල්ලා සිටියේ ඒ නිසාය. එය ඉටු කිරීමේ වගකීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් බාරගෙන තිබෙන අතර අද ඔවුන් සිදු කළ යුතුව තිබෙන්නේ එය ඉටු කිරීමය. ඒ වෙන් වෙන්ව නොව එක්වය; සම්මුතිය අනුවය. ඒ පක්ෂ දෙකේ සම්මුතියක් පමණක් නොව ජනතාව සමඟ ද වන සම්මුතියක් බව ද මේ නායක දෙපළ අමතක නොකළ යුතුය. යා යුතු ගමන අසීරු බව පැහැදිලිය. එල්ල වන සතුරු පීඩන කෙතරම් බලගතු ද යන්න ගැන ද පැහැදිලිය. ඒ අනුව දාම් ලෑල්ලේ ඉත්තො එහාට මෙහාට ඇදීම් සීරුවෙන් කළ යුතු බවත් පැහැදිලිය. එහෙත් බලය වෙනුවෙන් නායක දෙපළ කඹ අදින්නේ නම් එකිනෙකාගේ කකුලෙන් අදීනම් මේ ගමන යා නොහැකිය.
වින්දිතයෝ තවමත් අසරණය
සම්මුති ආණ්ඩුව ලබා දුන් මූලිකම පොරොන්දුව වූයේ ප්රජාතන්ත්රවාදය තහවුරු වන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය. ඒ හරහා උතුරේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා දීම ද ප්රමුඛ විය. මේ උතුරේ දෙමළ ජනතාවට ලඝු කළ යුතු විසඳුමක් පමණක් නොව රටේ අන් සියලු පළාත්වල ජනතාව අපේක්ෂා කරන විසඳුමක් බව ද අවධාරණය කළ යුතුය. රටේ සෙසු පළාත් නායකයන් තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් නව ආණ්ඩුක්‍රම සම්පාදකයන්ට කළ යෝජනා අනුව මේ රටේම සමස්ත ගැටලුවක්ව පවතින්නක් බව පැහැදිලිය. උතුර දෙමළ ජාතිකයන් බහුතරය වීම සහ කොළඹ සිංහල ආණ්ඩුව අන් ජාතිකත්වයන් නොසලකා කටයුතු කිරීමේ විපාක මත උතුර වෙන්වීමේ අයිතිය ඉල්ලීම පදනම් කරගෙන උතුර විශේෂ වීම සිදුව තිබේ. එමෙන්ම උතුරට තවත් බරපතළ ගැටලුවක් තිබේ. ඒ තිස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ කෙරුණු යුද්ධය නිසා වින්දිතභාවයට පත් වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටු කිරීමට රජය අසමත් වීමය.
රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සඳහා උතුරේ ජනතාවගේ බහුතර සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන්නේ තමන්ව මේ වින්දිතභාවයෙන් මුදවාලීමේ දැඩි අපේක්ෂාව සහිතවය. එහෙත් එම ගැටලු අද වන තෙක් තොරොම්බල් වෙමින් තිබේ. යුද අපරාධ සහ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් නෛතික ක්‍රියාවලිය ආරම්භ වන බවක් විශ්වාස කිරීමට හේතුවක් තවම නැත. වින්දිතයන්ට වන්දි ගෙවීමක් ගැන හිතන්නවත් කරුණු නැත. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙන්ම මෙම කරුණු කාරණා ද එක්ව සිදු කළ යුතු එකට බැඳුණු කාරණාය. එහෙත් කොළඹ දේශපාලන සංවාදය තුළ පෙනෙන්නට තිබෙන්නේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධ ගැටලු සහ වින්දිතයන්ට වන්දි ගෙවීම ආදිය වෙනුවෙන් වන දේශීය යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් පසෙකට දමා නව ව්‍යවස්ථාවක් වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයකින් සෑහීමට පත් වීමට කරුණු කාරණා යෙදෙන බවය.
විධායක බෝලය සමඟ සෙල්ලම
ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන බලය බෙදාහරින නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් 2015 ජනවාරි 08 වන දින ජන වරමක් ලැබුණේ නැතැයි කියමින් ව්‍යාජ කරුණු උපුටා දක්වමින් රටේ ජනතාව නොමඟ යැවීමට හැකි යැයි ඇතැම් පාර්ශ්ව කල්පනා කරන බව පෙනෙන්න තිබේ. 1978 සිට මෙම ව්‍යවස්ථාවට ජනතා විරෝධයක් තිබුණු අතර ඉන් පසුව පැවැත්වුණු සෑම ජනාධිපතිවරණයකම ප්රමුඛ සටන් පාඨයක් වූයේ මෙම පවතින ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බවය. එම සටන් පාඨය අත්නොහැර සිටි ශ්රීලනිපය ජනාධිපතිවරණය ජයගත් අවස්ථා සියල්ලෙහිම ජනතාවට දුන් පොරොන්දුව වූයේ විධායකය අහෝසි කරන බවය. එදා ජනමතය වූයේ එයයි. එම නිසා ශ්‍රීලනිපයට විධායකය අහෝසි කිරීම ගැන විවාදයක් තිබිය නොහැකිය. එජාපය සිය ඉතිහාසයේ ප්‍රථම වරට තමන් ගෙනා ව්‍යවස්ථාව අහෝසි කර විධායකය අහෝසි කර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කෙරෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටියදීත් අද ජනමතය එය නොවේ යැයි කිසිවකුටත් තර්ක කිරීමට නොහැකිය.
රටේ ජනමතය යනු රාජපක්ෂවරුන් ගොඩනඟන ලද ඊනියා සිංහල බෞද්ධ ජනමතය ලෙස තේරුම් ගෙන කටයුතු කරන්නට සාධාරණ හේතු නොමැති නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයත් ඒ එසේ යැයි විශ්වාස කරනු ලබන බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ කෙරෙහි මේ ඊනියා ආකල්පවල බලපෑම එල්ල වී ඇති බවත් පෙනෙන්නට තිබේ. ජනවාරි 08 බලාපොරොත්තු වූ විප්ලවීය ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හෝ අත්හැර දැමීම සිදුවෙමින් පවතින්නේ මේ අනුව විය හැකිය.
එමෙන්ම දේශීය යාන්ත්‍රණය ද ව්‍යවස්ථා සංශෝධනය ද දෙකෙන් එකක් තෝරා ගන්න ලෙස බල කෙරෙන ව්‍යාපෘතිය ද දියත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා මෙරට අනුගමනය කළ යුතු ප්රජාතන්ත්රවාදය සහතික කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමට පාලකයන් විසින් අදිමදි කරමින් සිටීම මත ද ගම්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළින් අපේක්ෂා කරන ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යුහය සිහිනයක් පමණක් විය හැකි බවය.
බලය වෙනුවෙන් බලය
කොහොම නමුත් බලය අත්පත් කර ගැනීම හා බලය රඳවා තබා ගැනීම දේශපාලනයෙහි දී අත්හැරිය නොහැකිය. එහි දී උපාය උපක්‍රම තීරණය වන්නේ බලය පදනම් කරගෙනය. එහි දී රට හෝ ජනතාව යන්න බොහෝ විට ද්විතීක කාරණයක් වීම ද විය හැකිය. මේ නිසා කවර පොරොන්දුවක් රට හමුවේ තැබුව ද ඒවා ඉටු කිරීමේ දී දේශපාලනික හා ප්‍රායෝගික
දුෂ්කරතා තිබිය හැකිය. නමුත් ගැටලුව තිබෙන්නේ කවර තත්ත්ව හමුවේ වුව නිසි ඉලක්කය කරා යන බවට විශ්වාසයක් ඇති කිරීම කෙරෙහිය.
එහෙත් මේ වර්ධන පෙන්නුම් කරමින් තිබෙන්නේ සම්මුති ආණ්ඩුව ගඟ මැද අතරමංව සිටින බවකි. ගඟ එන්න එන්න සැඩ වෙමින් තිබේ. ඔරුව පෙරළා නොගෙන ගමන් කිරීමට නම් නායකයන්ගේ සම්මුතිය, එකඟත්වය තිබිය යුතුය. ඔරුව පෙරළාගෙන, “ආ දැන් මේ පැත්ත හොඳයිනේ” කියන නායකත්වය රටට අවශ්‍ය නැත. “ඒක කරපු නිසයි මේක වුණේ, මේක කරපු නිසයි ඒක නැති වුණේ” ආදී දේශපාලන කෑ කෝ ගැසීමක් 2021 වන විට දී තිබිය යුතු නොවේ.
සුජය
උපුටාගත්තේ සත්හඬෙන්