වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පොට වරද්දා ගත් පළමු අවස්ථාව වූයේ එතෙක් ක්‍රියාත්මකව පැවැති රාජපක්ෂකරණය වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රමවේදය හිටිහැටියේම නවතා දැමීමය. ඔවුන් ජනාධිපතිවරණ ජය සම්බන්ධයෙන් කල්පනා කළේ තමන් සමාජ විප්ලවයක් කළ බවය. එය දේදුනු විප්ලවය නමින් හැඳින්විය. දේදුන්නේ තාවකාලික බව ඒ විප්ලවයට ද ගෙන දුන්නේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව අත්දකිමින් සිටින්නේ සමාජ ක්‍රමයක් පෙරළා දැමීම සම්බන්ධයෙන් වන අත්දැකීමක් නොවුණත් පවුලකට නතු වූ රාජ්‍ය පාලන ක්‍රමවේදයක් ප්‍රජාතාන්ත්‍රිකකරණය කිරීමට යෑමේ දී සිදු වූ අලකලංචි කිහිපයකි. විශේෂයෙන්ම ජාතික ආර්ථිකය හා බැඳුණ ක්‍රියාවලිය නිවැරැදි කර ගැනීමට පැවැති පාලන තන්ත්‍රයේ නොමඟ යෑම් විසින් අවුලෙන් අවුලට පත් කර තිබිණි. ලෝකයට ණය වීම හා කොමිස් ජාවාරමක් බවට පත්ව තිබුණ වුවත් සිදු කෙරෙමින් පැවැති සංවර්ධන ක්‍රියාවලිය ජනවාරි 08 වන දා සිට අත්හිටුවා තිබීම හා ඒ වෙනුවට නව ව්‍යාපෘති හඳුන්වා දීමට ගන්නා උත්සාහය තුළ අලුත් අර්බුද මතු කර තිබේ. මන්ද අලුතෙන් පටන් ගැනීම සඳහා කිසිදු ආර්ථික පදනමක් නොවූ බැවිණි. එසේම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය තවමත් යහපාලන පාලකයන්ට පාලනය කළ නොහැකිය. දූෂණ වංචා අක්‍රමිකතාවන්ට අනුව හැඩගැසුණු නිලධාරී තන්ත්‍රය නව පාලකයන්ගෙන් ද පැවැති ක්‍රමයම අපේක්ෂා කරමින් සිටින අතර ඊට එකඟ වූ ඇතැම් යහපාලන මැති ඇමැතිවරු අද රාජපක්ෂවරු ගිය අඩි පාරේ යමින් සොර කප්පිත්තන් වී සිටිති. ඒ තත්ත්වය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ පාලනය කිරීමේ හැකියාවක් පෙන්වූයේ ද නැත. ජනාධිපතිවරයා සද්භාවයෙන් ලබා දෙන නියෝගය පවා දූෂණය වංචාව වෙනුවෙන් යොදාගත් අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. මීට ආසන්නතම උදාහරණයක් ලෙස වරායේ රඳවාගෙන සිටි සීනි කන්ටේනර් 150 වරායේ රැඳවුම් ගාස්තු අය නොකර මුදාහැරීමට ඇමැතිවරු දෙදෙනකු කළ සටකපටකම පෙන්වා දිය හැක. (මේ සම්බන්ධ තොරතුරු මෙම පුවත්පතෙහි අන් තැනක පළ වී ඇත) ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ ඉදිරියෙහි එන උත්සව කාලයෙහි වන සීනි හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා එම සීනි කන්ටේනර් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසය. ඒ වචනය පාවිච්චි කර සීනි ව්‍යාපාරිකයන්ගෙන් අදාළ රැඳවුම් ගාස්තු අය නොකර අත යට ගනුදෙනුවකින් සන්තෝසයට පත් වගකිවයුතු ඇමැතිවරු දෙදෙනකු මේ මුදාහැරීමට සූදානම් වී ඇත. මෙලෙසම අධිවේග මාර්ග, ගල් අඟුරු ටෙන්ඩර, ඩීසල් බලාගාර ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් නොමඟ යවමින් මහා පරිමාණයෙන් දූෂණ රැසක් මේ වන විට සිදුව තිබේ. මේ ගනුදෙනු රැසක්ම විදේශ ආයෝජකයන් මඟින් සිදු වන අතර එම ආයෝජකයන්ට අනුව මෙරට නීති රීති පවා උල්ලංඝනය කිරීම සිදු වෙමින් පවතී. මේ සරල කාරණාවක් නොවේ. නීතියේ හා විධානයේ ක්‍රියාවලිය හරියාකාරව නොයෙදේ නම් ඉදිරි වසර කිහිපය රට අර්බුදයෙන් අර්බුදයට යනු ඇත.
මේ අවුල අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම තීරුවෙහි සටහන් කර තිබේ. අනෙක් කාරණය නම් රාජ්‍ය පාලන ක්‍රමවේදය රාජපක්ෂකරණයෙන් මුදවා ගැනීමේ වුවමනාව සහිත පිරිස ජනවාරි 08 වන දිනෙන් පසුව අතුරුදන් වීමය. ජනවාරි 08 කණ්ඩායම රාජපක්ෂ පාලනය පෙරළා දැමුව ද ජනවාරි 09 වන දා සිට රාජ්‍ය පාලනය සියතට ගත්තේ වෙනත් කණ්ඩායමකි. ඔවුන්ට ජනවාරි 08 කණ්ඩායමේ අපේක්ෂාවන් තිබුණේ නැත. ජනවාරි 08 වෙනස යනු මෛත්‍රීපාල සිරිසේනගේ ආගමනය හේතුවෙන් සිදු වූවක් නොව වසර ගණනාවක් තිස්සේ දේශපාලන පෙරළියක වුවමනාවක් සහිත කණ්ඩායමක් සිදු කළ දේශපාලන මෙහෙයුමක ප්‍රතිඵලයකි. ඒ වෙනුවෙන් දිවි පිදූවන් හා කැපකිරීම් කළ බොහෝ අය සිටියහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බලය බෙදාහැරීම ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම රාජපක්ෂවරු ගෙන ගිය කෂඩ ඒකාධිපති පාලනය වෙනුවට යහපාලන මූලධර්ම මත රාජ්‍ය පාලනය විය යුතු බවට වන උද්ඝෝෂණය ගෙන ගියේ මෙම පිරිසය. එවකට මෛත්‍රීපාල සිරිසේන සිටියේ රාජපක්ෂ පිලෙහිය. එහෙත් අවසන ඔහු හා තවත් සුළු පිරිසක් එම සටන් පාඨයන් හා එක්වීම ජනවාරි 08 පෙරළියට හේතු විය. එම පෙරළියෙන් පසුව අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රාජ්‍ය පාලනය අතට ගත යුතුව තිබුණේ ඔවුන්ය. එහෙත් සිදු වූයේ අනෙකකි. ජනවාරි 08 බලවේග විසින් ජනාධිපතිවරයාව හුදෙකලා කරනු ලැබූ අතර ඔහු ඔහුට හිතවත් යැයි සිතන කණ්ඩායමක් සමඟ විධායකය මෙහෙයවන්නට විය. රාජපක්ෂ පිලෙහි සිටි දේශපාලකයන් හා නිලධාරීන් රැසක් පැත්ත මාරු කරනු ලැබුවේ විධායකය හා සමීප වී පෙර පාලනයේ දී නොලැබී ගිය සැප සතුට අත්පත් කර ගනු සඳහාය. රාජපක්ෂ යුගයේ දී දූෂිතයන් නොවුණු බොහෝ දෙනකු මේ වසර දෙක තුළ දී දූෂිත බවට ලේබල් ගසා ගත්තේ ඒ අනුවය. එමෙන්ම අගමැතිවරයා ද ඔහුගේ මිතුරන් සමඟ ආණ්ඩුව මෙහෙයවන්නට විය. මේ පසුව එකතු වූ කිසිවකු ජනවාරි 08 අපේක්ෂාවන් සහිත වූ අය නොවේ. එමෙන්ම ජනවාරි 08 සටන් පාඨවලට මුවා වී පැමිණ ජනවාරි 09 කණ්ඩායම් සමඟ එකතු වූවන් ද මේ ගොඩට අයත්ය. ඔවුන් විසින් කළේ රාජපක්ෂ පාලනයේ මජර ක්‍රමවේදයන් තවදුරටත් පෝෂණය කරමින් වසර 20 කින් නොලැබුණ සැප සම්පත් අත්පත් කර ගැනීමය. උදේ ආහාරය ගනු ලැබුවේ දහවල් ආහාරය වරදින්නට ඉඩ ඇති බව සිතමිනි. ඒ නිසා බඬේ තරමට වඩා කෑමට ඔවුන් යුහුසුළු විය. ලක්ෂ කෝටි ගණනින් නොව බිලියන ගණනින් වන දූෂණ වංචා වාර්තා වන්නේ ඒ නිසාය.
ජනවාරි 08 කණ්ඩායම අතුරුදන්ව යෑම තුළ ජනවාරි 09 කණ්ඩායම රිසි සේ රාජ්‍ය පාලනය නමින් කිසිවක් කරමින් පැවතීම, ඉහත පරිච්ඡේදයෙන් පෙන්වා දුන් පරිද්දෙන් නීතියේ හා විධානයේ බලපෑමකින් තොරව රාජ්‍ය පාලනය අයාලේ යෑම සනිටුහන් කර තිබේ. එම තත්ත්වයන් වෙනස් කිරීමේ හැකියාව තවදුරටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සතුව පවතී. අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඔවුන් සතුය. ඊට ජන වරමක් මේ රටේ ජනතාව ලබා දී තිබේ. ජනතාව හමුවේ වූ පොරොන්දු විසින් ඒ ශක්තිය ඔවුන් හමුවේ වෙයි. ඒ කළ හැකි බව අපි තවදුරටත් විශ්වාස කරමු. පසුගිය දා ජනාධිපතිවරයා කුරුණෑගල පැවැති උත්සවයක දී පවසා සිටියේ “මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන්, වෙනත් විවිධ ක්ෂේත්‍රවල අය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන ඝාතන,පහරදීම් වැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් අපිට ඒ අය රකින්න පුළුවන්කමක් නැහැ”යනුවෙනි. ඒ එතෙක් මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් හමුදාවට එල්ල වූ චෝදනාවන් පිළිබඳ ඔහු දරන ස්ථාවරය කුමක්ද යන්න වඩා පැහැදිලිව පැවසූ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඒ අනුව ඔහු තමන් දුන් පොරොන්දු කෙරෙහි වන වගවීම තහවුරු කර තිබේ. එමෙන්ම නව ව්‍යවස්ථාව ගෙන ඒම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පසුගිය සඳුදා දින තීරණය කළ බව ද දැනගැනීමට තිබේ. ඒ ද සුබ පුවතකි. ජනවාරි 08 අපේක්ෂා සඵල කරවන්නකි.
ජනවාරි 08 අරමුණත් රාජ්‍ය පාලන තන්ත්‍රයත් එක්ව ගමන් කිරීම සිදු විය යුතුව තිබේ. අද ක්‍රමය අර්බුදයට යාම විසින් පෙන්නුම් කරන්නේ මේ දෙක දෙකක් වීමය. අනාගතවාදී පිවිසුමකින් යුතුව ජනවාරි 08 අරමුණු ඉදිරියට ගැනීම මේ වන විට අත්‍යවශ්‍යව තිබේ. එමෙන්ම සියලු පාර්ශ්ව එදාවේල සරිකර ගන්නට මෙන් සිදු කෙරෙන එකිනෙකා කෙරෙහි විවේචනය නොව ස්වයං විවේචනාත්මකව 48 සිට සිදු කෙරුණු වැරැදි නිවැරැදි කර ගැනීම යහපත් අනාගතයක් සඳහා අවැසිය. නීතිය හා විධානය නිවැරැදි විය හැක්කේ ඒ අනුවය.
සුජය
උපුටාගත්තේ සත්හඬෙන්