අපරාධ

මිලිටරිකරණය රජකරන යාපනයේ කප්පම්ගැනීම යළි ඇරඹෙයි

යාපනය අර්ධද්වීපය තුළ නැවත කප්පම් ගැනීම හිස ඔසවා ඇති බව යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කර සිටිති. විශේෂයෙන්ම දෙමළ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීම සිදුකර මෙම කප්පම් කල්ලි ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට සහ ඔවුන්ගේ සහය ලබන පැරාමිලිටරි කණ්ඩායම් වලට සම්බන්ධ බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි.

මෙම කප්පම් කල්ලි මුදල් ලබාගැනීමේදී  එය බැංකුවලට දැමීමට අණනොකරණ අතර ඔවුන්ගේ නවතම ක්‍රමය වී ඇත්තේ ඩයලොග් EZcash  හරහා එම කප්පම් මුදල් ඔවුන්ගේ අතට ගැනීමයි. EZcash  හරහා මුදල් යැවීමේදී බැංකු අංකයක් අවශ්‍යනොවන අතර සිදුවන්නේ අදාළ දුරකථන අංකයට මුදල් යැවීමයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති යාපනයේ ව්‍යාපාරිකයන් පවසා ඇත්තේ කප්පම්කරුවන් තම දුරකථන අංකය වෙත කථාකොට මුදල් එම දුරකථන අංකයට EZcash  කරන ලෙස නියෝගකරන බවත් එසේම මුදල් ගෙවීම නොතකා හැරියහොත් ඉදිරියට බලාගමු යනුවෙන් තර්ජනය කරන බවත්ය.

විශේෂයෙන් 2006 වර්ෂයෙන් පසු මෙලෙස කප්පම් ගන්නා කන්ඩායම් නැවත යාපන​​​යේ ක්‍රියාත්මක බව යාපනයේ වැසියන් ප්‍රකාශ කර සිටිති. දහස් ගණනක හමුදාවක් රදාවාසිටි සියලු දේ නිරීක්ෂණය කරන යාපනයේ හමුදාව නොදැන මෙවැනි ක්‍රියා සිදුවිය නොහැකි බවත් යාපනයේ වැසියන් පවසා සිටින්නේ මෙම කප්පම් කණ්ඩායම් යාපනය හමුදා මුලස්ථාන ආඥාපති මහින්ද හතුරුසිංහ යටතේ ක්‍රියාත්මක වන හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් බවයි.

මෙසේ සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කප්පම් කල්ලියක් වෙත කප්පම් ලබාදුන් ප්‍රධාන පෙලේ හෝටලයක හිමිකරුවෙකු පවසා සිටියේ අදාළ දුරකථන අංකය යාපනය පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට ලබාදුන් බවත්, ඔවුන් එම අංකයට දුරකතන ඇමතුමක් ලබාගෙන, දිගු වේලාවක් සුහදව කතා කිරීමෙන් පසු කප්පම් ගෙවීමට අවශ්‍ය නොවන බව දන්වා තමා ආපසු හරවා යැවූ බවයි .

එම සංවාදය අතර කප්පම්කරුවන් සහ ආරක්ෂක අංශ අතර සම්බන්ධයක් තිබෙන බව තමාට හැගීගිය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මේ අනුව යාපනය හමුදා මුලස්ථාන ආඥාපති මහින්ද හතුරුසිංහ හා යපනය පොලිස් නිළධාරීන් ද දැනුවත් වීම තුළ සිදු කරණු ලබන මෙම කප්පම් ගැනීම ඉතා අසීරුවෙන් ජීවිත බේරාගෙන යළි නැගිටින්නට උත්සාහ දරන තමිල් ව්‍යාපාරිකයින් අධෛරමත් කිරීමට තරම් සමත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්ථාවන්නේ.

සටහන: ඩෙස්කා කුඩාවිල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *