උපුටාගැනීම්විශේෂාංග

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි?

සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි අද නොවේ හෙට’ වැනි තත්ත්වයට පත්ව තිබුණත් දැන් ලැබෙන ආරංචිවලට අනුව ගෙවී යමින් තිබෙන සතියේ එය බොහෝ දුරට සිදු වන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශ වෙයි. මේ මොහොතේ එය සිදු නොවුණහොත් කැබිනට් සංශෝධනයක් මේ වසර අවසන් වන තුරු සිදු වන්නට විදියක් නැත. කැබිනට් සංශෝධනය යන්න ඒ සා ප්‍රශ්නයක්ද?. සොයා බැලිය යුත්තේ එය මේ සා සංකීර්ණ, බාධා එල්ල වන ගිරිදුර්ගයක තිබෙන ප්‍රශ්නයක් බවට පත් වූයේ කෙසේද යන්නය.

කාටද ඕනෙ?

කැබිනට් සංශෝධනය ජනපති අගමැති යන දෙපළටම අවශ්‍යය. මෙය එක්තරා ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවේ දී පිතිකරුවන් දවාගත නොහී දීර්ඝ සබඳතා තිබෙන අවස්ථාවක පිටියේ පන්දු රකින්නන් මාරු කිරීම හා සමාන ක්‍රියාවකි. ජනපති හා අගමැති පන්දු යවන්නෝ වෙති. ඇමැතිවරු රටේ පොදු වගකීම් සමුදාය ඉෂ්ට නොකර තම තමන් වෙනුවෙන් පමණක් ලකුණු රැස් කරමින් සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම ක්‍රීඩකයන් දවා ගත යුතුය. ඊළඟ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරන ක්‍රීඩකයන් ආදේශ කළ යුතුය. තවත් නිදසුනක් විදියට රවී කරුණානායක නමැති ක්‍රීඩකයා අත හරින්නට අමාරු උඩ පන්දු අතහැර දමා ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂා බිඳිනවා නම් ඒ ක්‍රීඩකයා මාරු කිරීමට ජනපතිටත් අගමැතිටත් අයිතියක් තිබේ. ඒ සඳහා වෙනත් ස්ථානයක හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයකු යෙදවිය හැකිය.

සැබැවින්ම කැබිනට් සංශෝධනයකින් ජනයා බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනපති හා අගමැති බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනපතිගේ හා අගමැතිගේ බලාපොරොත්තුවත්, ජනයාගේ බලාපොරොත්තුවත් එකක් මිස දෙකක් නොවිය යුතුය. ඕනෑම නායකයකු කරන කැබිනට් සංශෝධනයක් බඳු වෙනස් කමක් තුළ තවත් අපේක්ෂාවක් ඇත. ඒ යථාර්ථය අප විඳගත යුතුය. එය නම් තමාට වඩා පහසුවෙන් පාලනය කරගත හැකි තත්ත්වයක් සකස් කර ගැනීමය. ජනපති හා අගමැති අපේක්ෂා කරන කැබිනට් සංශෝධනයෙහි ද එවැනි අරමුණක් තිබිය හැකිය. එසේ තිබුණාට කම් නැත. ඒ සමඟම ඔවුන් දෙදෙනාගේ ව්‍යායාමය ජනයාගේ අපේක්ෂාවට ද සමාන්තර වීම වැදගත්ය.

නිසැක විලෝපනය

එජාපය හා ශ්‍රීලනිපය අතර ඇති වූ සහයෝගීතා ආණ්ඩුව තුළ පක්ෂ දෙකේ සමහරුන්ට එකට වැඩ කිරීමේ ගැටලුවක් තිබේ. එවැන්නක් ඇති වීම ද ස්වාභාවිකය. එය ක්‍රමිකව මෙන්ම සුහදතාව පෙරදැරිව ජයගත යුතු ප්‍රශ්නයකි. වැඩ කිරීමේ දී එකතු වන ප්‍රශ්න ඉදිරියේ දී ‘තොපිත් එක්ක දීගෙ තවත් එපා’ කියා වෙන්ව යාම මෙවැනි තත්ත්වයක දී බුද්ධිමත් ක්‍රියාවක් වන්නේ නැත. සහයෝගිතා ආණ්ඩුව යනු ආදරය කිරීම වැනි වැඩකි. ආදරය යනු පරිත්‍යාගය වන බැවින් පක්ෂ දෙකේ එකිනෙකා පරිත්‍යාගශීලී වන්නේ නම් නිතැතින්ම සුහදත්වය හා එකිනෙකා කෙරෙහි වන ගෞරවය වර්ධනය වනු ඇත. එමෙන්ම දේශපාලනිකව මෙන්ම ආදේශපාලනිකව ද පැනනැඟිය හැකි විලෝපනය මේ ක්‍රියාවලිය ඔස්සේ ජය ගත හැකිය.

සංශෝධනයක් අවශ්‍ය ඇයි?

ආණ්ඩුවක් සිය කැබිනට්ටුව අවශ්‍යතා සලකා බලා සංශෝධනය කළ යුතුය. සංශෝධනය යනු වැඩ නොකරන ඇමැතිවරයෙක් වෙනුවට වැඩ කරන කෙනෙකු දමා වැඩ නොකරන තැනැත්තා වැඩ කළ තැනැත්තා සිටි තනතුරට දැමීම නොවේ. වැඩ නොකරන තැනැත්තා සම්බන්ධයෙන් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ඔහු පසුපෙළ මන්ත්‍රීවරයකු දක්වා ආපසු හරවා යැවීමය. එසේ කළ යුත්තේ ඔහු විනාශ කිරීමේ අරමුණින් නොව ප්‍රතිශෝධනයට ලක් වීම සඳහා කාලයක් දීමටය. එවැනි කාලයක් ඕනෑම කෙනෙකුට අවශ්‍ය විය හැකිය. තනතුරු මාරුව එක් අතකින් අදාළ පුද්ගලයාගේ සාමාජීය ගෞරවයට හානි කරන්නක් බව ද සැබෑවකි. එසේ නම් තම විෂය පථය තුළ මහජන සේවාව නියම අර්ථයෙන් සිදු කර අගෞරවයෙන් ගැලවීම ඇත්තේ ද ඔහු අතය. සමහර විට කැබිනට් සංශෝධනයේ දී පසුපෙළ මන්ත්‍රීවරයකුට ඇමැති ධුරයක් ලබා දුනහොත් ඔහු වඩා වැඩි ජව වේගයෙන් වැඩ කරන්නට ද පුළුවන. පසුපෙළටම නොයා ඉන් මෙහායින් නිදසුනක් කිවහොත් එජාපයේ ඉරාන් වික්‍රමරත්න වැනි අයකුට මුදල් වැනි වැදගත් අමාත්‍යාංශයක වගකීම භාරදි පරීක්ෂා කර බැලිය හැකිය. හර්ෂ ද සිල්වාටත් මුදල් සම්බන්ධ විෂයක් කිසිම ප්‍රශ්නයකින් තොරව භාරදිය හැකිය. දැනට විදේශ අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ප්‍රමාණවත් අන්දමින් කටයුතු කරන බව පෙනෙන නිසා ඔහුගේ අමාත්‍යාංශය වෙනස් කිරීමේ තේරුමක් තිබිය නොහැකිය. කැබිනට් සංශෝධනයකින් අපේක්ෂා කරන්නේ වඩා කාර්යක්ෂම මහජන සේවාවකට පදනම දමා ගැනීමය. මුදල් අමාත්‍ය ධුරයට එම විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු පමණක් නොව ඊට අවශ්‍ය අවංකභාවයෙන් ද යුතු වූවකු වුවමනාය. එපමණකින් ද නොනැවතී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අදහසක් ඔහුට තිබිය යුතුය. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ආර්ථික වැඩසටහනකට රට බද්ධ කළ හැකි කෘතහස්ත පුද්ගලයකු මුදල් අමාත්‍ය ධුරයට පත් වීම මේ මොහොතේ වැදගත්ය. මන්ද, සෑම නායකයකුටම මුදල් විෂය පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබෙන්නට විදියක් නැත. ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්ට විශේෂඥයන් අවශ්‍ය ඒ නිසාය. තිබෙන සම්පත් විකුණා, ඉඩම් විකුණා හා බදු දෙන ප්‍රතිපත්තියකින් මුදල් හම්බ කර ගැනීම ස්ථිර ආර්ථික ක්‍රියාමාර්ගයක් හෝ වැඩපිළිවෙළක් වන්නේ නැත. එමෙන්ම කරන හැම වැඩකදීම ක්‍රියාව සැකයට බඳුන් වන පුද්ගලයකු ඒ සඳහා උචිත වන්නේ ද නැත. තවත් උදාහරණයක් ලෙස සංස්කෘතික අමාත්‍ය ධුරය ගතහොත් සංස්කෘතිය, කලාව, සාහිත්‍යය හා නූතන සංස්කෘතික ශානර ගැන කිසිදු අදහසක් නැති පුද්ගලයකු සංස්කෘතික ඇමැති ධුරය හෙබවීම සුදුසු යැයි කිව නොහැකිය. චිත්‍රපටයක පිට එළියේ දමාගෙන සිටින නිළියකගේ කටවුටය වහාම ගලවන්නට කීමෙන් සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයාට රටේ සංස්කෘතිය රැකිය නොහැකිය. සංස්කෘතිය යනු නිළියකගේ පිටට වඩා ලොකු එකකි. නිළියකගේ එකත් ලොකු විය හැකිය. එහෙත් සංස්කෘතිය තරම් ලොකු නැත. සංස්කෘතිය යනු අපි ඇතුළත් ශිෂ්ටාචාරයම වෙයි. අපේ ආකල්ප හා පැවැත්ම වෙයි. ඉදින් විසඳගත යුත්තේ පිටේ ප්‍රශ්නය නොවේ අපේ ප්‍රශ්නයයි. ඇමැතිවරු තැන නොතැන නොබලා වාචාල කතා කියන බව ජනපතිට කියන්නේ නම් එවැනි ඇමැතිවරුන්ගේ තනතුරු මාරු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔවුන් වෘත්තීය දේශපාලනඥයන් බවට පත්කිරීමට හා වෘත්තීය ආචාරධර්මවලින් බැඳී සිටින පිරිසක් බවට පත් කරන වැඩසටහනක් අරඹන්නට පළමුව ජනපතිට සිදු වෙයි.

ජනමාධ්‍යයේ ඇදය

මේ වන විට ලංකාවේ ජනමාධ්‍ය ඉවක් බවක් නැතුව ව්‍යාපාරික හා දේශපාලන අරමුණුවලින් පමණක් සජ්ජිතව දේවල් පළ කරන ස්ථාවරයකට වැටී තිබේ. නිදසුනක් ලෙස සරත් ෆොන්සේකා වැඩවර්ජන මඬින බළකායක ප්‍රධානියා කළ යුතු බවට ජනපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියා කතාව ජනමාධ්‍ය අනවශ්‍ය ලෙස සිය පළ කිරීම්වල මුදුනට ගත්තේය. ජනපති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඒ වාගේ අදහසක් පළ කරන්නට ඇත. තම කණ්ඩායම සමඟ කරන සීරියස් සාකච්ඡාවල දී හැර නිකම් කියන දේවල් ගොසිප් ලෙස මිස සත්‍ය දේශපාලන අර්ථයකින් ගැනීමේ තේරුමක් නැත. මෙහි දී සිදු වූයේ ගොසිප් ඇත්ත දේශපාලනය බවට හරවා ගැනීමය. රාජිත කැබිනට් රැස්වීමේ දී ජනපති මෙවැනි සඳහනක් කළ බව කීමේ ප්‍රශ්නයක් නැත. එහෙත් ජනමාධ්‍ය බුද්ධිමත්ව මෙවැනි ප්‍රකාශන හා ප්‍රශ්න දෙස බැලිය යුතුව තිබුණි. මැයි 14 ඉරිදා ලංකාදීපයට ජනාධිපතිවරයා කියා තිබුණේ

“වැඩවර්ජන මඬින්න කිසිම බළකායක් හදන්න සරත් ෆොන්සේකාට දෙන්නෙ නැහැ යනුවෙනි.” ජනපති එසේ කියන විට මාසයක පමණ කාලයක් තිස්සේ මේ කතාව ලියූ පත්තර පිටු නිරපරාදේ නාස්ති වී තිබුණි. ඒ ජනමාධ්‍ය නිර්ථකව ක්‍රියා කිරීම පිළිබඳ එක් උදාහරණයක් පමණි. කෙසේ වෙතත් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ මීට වඩා වගකීමෙන් කතා කිරීම රාජිතට ද සිතන්නට තිබුණි. එහෙත් එය සිදු නොවුණි. ජනමාධ්‍ය සේම අද පත්තු වන එහෙත් හෙට වන විට මොකුත් නැති දෙයක් කීම දේශපාලනඥයන්ගේ ද පුරුද්ද වී තිබේ. එසේ බලන විට කැබිනට්ටුවේ සාමාජිකයන් හා ජනමාධ්‍යවේදීන් අතර  සමානත්වයක් ද තිබේ. ඉදින් කැබිනට් සංශෝධනයට පෙර ඇමැතිවරුන් වෘත්තිකභාවයෙන් පිරිපුන් පිරිසක් බවට පරිවර්තනය වීම වැදගත්ය. කොටින්ම ඔවුන් වාචාල බස් නොකියන සංස්කෘතික මිනිසුන් කණ්ඩායමක් බවට පත් විය යුතුය.

අගමැති බිය කිරීම

කැබිනට් සංශෝධනයේ දී මුදල් අමාත්‍ය ධුරය තමාගෙන් ගලවා දැමුවහොත් සියලු රහස් හෙළි කරන බවත් අනතුරුව පසුපෙළට වී කටයුතු කරන බවත් මුදල් ඇමැතිවරයා අගමැතිට පවසා තිබුණු බවට මාධ්‍ය වාර්තා පළ විය. ෆොන්සේකාට තනතුරක් ලබා දුනහොත් විජයදාස රාජපක්ෂ තද පියවරකට යන බව ද ඒ සමඟම මාධ්‍ය වාර්තා කළේය. තවත් සමහර ප්‍රබල ඇමැතිවරු පසුපෙළ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබා දීම ප්‍රමුඛව හිමිවරුන්ට වාහන ලබා දීම ඇතුළු අල්ලස් ක්‍රියාවලියක් ද කැබිනට් සංශෝධනය යට තිබෙන බව පුවත්පත් වාර්තා කරන ලදී. එම කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් අගමැති හෝ ජනපති බය කර අත්‍යවශ්‍ය තීන්දු ගැනීම වළක්වන සංස්කෘතියක් රටේ ගොඩනැඟී තිබෙනවා නම් මේ රට යන්නේ කොහාටද? අනෙක් අතට ඇමැතිවරු අත මේ රටේ දෙවැනි නායකයා බිය කරගත හැකි කරුණු තිබීම අතිශයින් බරපතළ තත්ත්වයකි.“හොඳයි හෙළිකරන්න” කියා අගමැතිට ඊට පසු දිනම කැබිනට් සංශෝධනය කරන්නට තිබුණි. එහෙත් එසේ වූයේ නැත.

සහතිකයක්

ජනපති හා අගමැති රටට ජනතාවට හිතවාදීව කවර තීරණයක් ගත්තත් ජනතාව ඔවුන් දෙදෙනා සමඟ සිටින බවට සහතික විය හැකිය. ජනතාව කවර ආණ්ඩුවක හෝ ඇමැතිවරු සොරකම් කරනවාට විරුද්ධය. කවර හෝ පාර්ශ්වයක් හොරු කියනවාටත් විරුද්ධය. පොඩි රටක තිබෙන සම්පත් ගසා කෑමට ලක් වුවහොත් රට තවත් දුප්පත් වන බව පැහැදිලිය. රට දුප්පත් වනවා යනු ජනතාව දුගී භාවයට පත්වීමය. එබැවින් සොරකම් නතර කළ හැකි අගමැතිට පිටුදකින වැඩසටහනකට ජනපතිට හා අගමැතිට ජනතා සහාය ලැබෙනු ඇත. කැබිනට් සංශෝධනයේ අරමුණ සමහරුන් අතින් සිදු වන අක්‍රමිකතා නැවැත්වීම හා තවත් සමහරුන්ගේ අකර්මණ්‍යතා අවම කිරීම නම් එය පසුපසට ගත යුතු අදහසක් නොවේ. එහෙත් ජනපතිත්  අගමැතිත් කිසිදු සැකසංකාවක් සිත්හි තබාගත යුතු ද නැත. එම අරමුණ පෙරදැරිව පළාත් සභාවල නොව මධ්‍යම රජයේ කැබිනට් ඇමැති ධුරවලට නොබියව ජනපතිටත් අගමැතිටත් අත තැබිය හැකිය.

විමලනාත් වීරරත්න

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *