2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු අප සිතනවාට වඩා ගැඹුරු ආකාරයට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබේ. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ බලය විනාශ කිරීමේදී ක්ෂමාවිරහිත ආකාරයෙන් ක්‍රියා කළ රාජපක්ෂ සහෝදරවරුන් ඉන්පසු ඉලක්ක කළේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසාය. එහි දී රාජපක්ෂවරු දේශපාලන සංස්කෘතියට ගෙන ආ මූලික ලක්ෂණ දෙකකි.
2. අධෝ ව්‍යුහයේ සැබෑ බල සම්බන්ධතා වෙනස් කළ විට උපරි – ව්‍යුහයේ සැකැස්ම වෙනස් වෙයි.
පක්ෂ වෙනුවට පුද්ගල සමූහ
මුදලට ආකර්ෂණීය වෙනස්කම් කළ හැකිය යන බැසිල්ගේ න්‍යාය විසින් ලංකාවේ මෙතෙක් පැවැති ගතානුගතික ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහය වෙනස් කරන ලදී. රාජපක්ෂ රෙජීමය විසින් බල පිරමීඩයේ මුදුන සඳහා ඡන්ද හරහා තරග කරන ප්‍රධාන පක්ෂ දෙකේ සංයුතිය සහමුලින් වෙනස් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට පක්ෂ දෙකක් වෙනුවට පවතින්නේ පුද්ගලයන් සමූහයකි. ‘අර්ජුන රණතුංග’, ‘සරත් ෆොන්සේකා’, ‘රාජිත සේනාරත්න’, ‘රිෂාඞ් බදියුදීන්’, ‘මනෝගනේෂන්’ යනාදී තනි පුද්ගල චරිතවලට කලින් පැවැති ව්‍යුහය තුළ පැවැත්මක් නැත. පක්ෂ ව්‍යුහ කා දමමින් ඒ තැනට පුද්ගලයන් ආදේශ වන තත්ත්වයක් තුළ පක්ෂ දෙකේ නායකත්ව මණ්ඩලවල ද දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ. නාමික බෝඞ්වලට අනුව පක්ෂ දෙකේ නම් සහිත පක්ෂ සාමාජිකයෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිය ද ඒ අයට කේන්ද්‍රික නායකත්වයක් නැත. තම තමන්ගේ පුද්ගලික අභිලාෂවලට අනුව තම නායකයන්ට ඇති භක්තිය දෝලනය කළ හැකිය. ඇත්ත වශයෙන්ම පක්ෂ දෙකේ නායකත්ව මණ්ඩල දෙක හැර නිශ්චිත දේශපාලන නියෝජිතයන් දැනට ඒවාට නැත. මේ හේතුව රටේ අනාගත දේශපාලන සිනාරියෝව අවිනිශ්චිතය.
පැටියකු නැති බිත්තරය
අපි උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මතවාදී මෙහෙයුමක් ලෙස ‘ජනයුගය’ පුවත්පතේ ආකෘතිය සලකා බලමු. එහි මූලික ඉලක්කය වූයේ 2020 වර්ෂයේ ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයයි. මේ සඳහා අවශ්‍ය දේශපාලන හයිය රවී කරුණානායක මහතා සැපයූ අතර එහි අධෝව්‍යුහය ව්‍යාපාරිකයකු විසින් සපයන ලදී. අදාළ පුවත්පතේ මතවාදී යාන්ත්‍රණය මෙහෙය වීම බාර වූයේ තුෂාර ගුණරත්න මහතාට සහ උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතාටය. ඔවුන් දෙදෙනා පුවත්පතේ මතවාදී ආකෘතිය ලෙස තෝරා ගත්තේ ජනප්‍රිය සංස්කෘතියයි. වෙළෙඳපොළ බලවේග සමඟ සමාන්තර ගමනක් යන ගමන් ජනප්‍රිය සංස්කෘතියේ සෑම අංශයක්ම අනාවරණය වන පුවත්පතක් නිපදවීම ඔවුන්ගේ අරමුණ බවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පැටියකු බිහි නොකරන ෆාම් බිත්තරයක් නිෂ්පාදනය විය. දේශපාලන ජයග්‍රහණ සපථ කළ හැක්කේ දේශපාලන මැදිහත්වීම් වලින් මිස ජනප්‍රිය සංස්කෘතිය දිගේ එළි කිරීමෙන් නොවේ. එක පසෙකින් ටිරාන් අලස්ව පසමිතුරා කරමින් අනෙක් පසින් ජනප්‍රිය සංස්කෘතියේ අශ්ලීල මිථ්‍යාමතික ආප්ප බාමින් තවදුරටත් පුවත්පත් සමාජයේ පැල කළ නොහැකිය. අනෙක් අතට ජාතිකවාදීන් එම පුවත්පතට එරෙහිව ගොඩනඟන ලද බැඳුම්කර පත්තරය යන අන්වර්ථ නාමය සමාජය තුළ තහවුරු වූ දෙයක් බවට පත් විය. පුවත්පත ජාතිවාදයට එරෙහිව ලිබරල් ආකල්ප වර්ධනය කරනවා වෙනුවට එමඟින් ප්‍රතිජීවනය කරන ලද්දේ ග්‍රාමීය ඌන සංවර්ධනයයි.
හදිසියේ සිදු වූ කැබිනට් සංශෝධනය නිසා ‘ජනයුගය’ පුවත්පතේ අධෝව්‍යුහය අස්ථාවර වී ඇති අතර එහි මතවාදී මෙහෙයුම ‘මව්බිම’ පුවත්පතට පහළින් පිහිටා ඇත. මේ අර මා කලින් පවසන ලද දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස ප්‍රතිදීප්ත වූ අවස්ථාවකි. කැබිනට් සංශෝධනය සිදු වූ වහාම රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානියෙක් හිටපු මුදල් ඇමැතිවරයා සමඟ පැය එකහමාරක් පමණ සාකච්ඡා කළා යැයි කියවෙන ඕපාදූපය අපට හඟවන්නේ දැනට කිසිදු පුද්ගලයකුට නිශ්චිත දේශපාලන පක්ෂයක් නැති බවයි. ඒවා හුදු බෝඞ් ලෑලි පමණි.
රෑලේ සහ කාඞ් සෙල්ලම
මතවාදී තලයේදී නිශ්චිත දේශපාලන පක්ෂයක නියෝජිතයන් නොවන පුද්ගලයන්ට අද දවසේ ක්‍රියාකාරී විය හැකි ආකාර දෙකක් ඇත.
1. රුසියානු රෑලේ ක්‍රීඩාව – එකවර කිහිප තැනකට ඔට්ටු ඇල්ලීම. එවිට කවුරු දිනුවත් කිසියම්ම හෝ වාසියක් හිමි වෙයි.
2. කාඞ් සෙල්ලම ක්‍රීඩා කිරීම – මෙය අද දවසේ දුර්ලභ ක්‍රීඩාවකි. මෙහිදී අප ඔට්ටු අල්ලන්නේ තනි පුද්ගලයකු වෙනුවෙනි. උදා – සාගල හෝ අකිල ඔට්ටු අල්ලන්නේ රනිල්ට පමණි. රත්තරන් හෝ නාමල් ඔට්ටු අල්ලන්නේ මහින්දට පමණි.
රුසියානු රෑලේ ක්‍රීඩාව කරන අය අධික නිසා වර්තමාන සිරිසේන – රනිල් යහපාලන ආණ්ඩුවට ක්‍රියා කිරීමට සිදු වී ඇත්තේ පටු කොරිඩෝවකය. ඔවුන්ට ඉදිරියට විසඳීමට ඇති තීරණාත්මක ප්‍රශ්න දෙකක් ඇත.
1. උතුරේ ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදා හැරීම
2. සයිටම් ගැටලුව විසඳීම
GLAXO VS SAITAM
සයිටම් ගැටලුවට අදාළ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලු දෙනා අයත් වන්නේ කාඞ් සෙල්ලමටය. ඔවුන් නිශ්චිත විසඳුමක් සඳහා ඔට්ටු අල්ලා ඇත. ආණ්ඩුවට ඇති එකම විසඳුම වන්නේ අධිකරණ ක්‍රියාවලිය හරහා ප්‍රශ්නය කල් දැමීමය. සයිටම් කාඞ් සෙල්ලමේ පසමිතුරු පාර්ශ්වය සිටින්නේ ජාතිවාදී පාර්ශ්ව සමඟය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙය එළිපිටම විදහා දක්වන්නකි. ඔවුන් ධනේශ්වර විරෝධීන් නොව දේශප්‍රේමීන්ය. කෙටියෙන් කිවහොත් ඔවුන් GLAXO දේශප්‍රේමීන්ය. එනිසා ඔවුන් පශ්චාත් – නූතනවාදීය. එක පැත්තකින් ඔවුන් පන්ති අරගලය සහතික කරන අතර අනෙක් පසින් පන්ති සතුරා ලෙස දෙමළාව සූත්‍රගත කරයි. එනිසා ඔවුන් දෙබිඩිය. එක පැත්තකින් ඔවුන් අධ්‍යාපනයේ නූතනකරණයට විරුද්ධ වන අතර අනෙක් පැත්තෙන් පවතින අධ්‍යාපන ක්‍රමය එනම් සම්ප්‍රදාය රක්ෂණය කරයි. මේ හේතුව නිසා මෙම ප්‍රශ්නයට තාර්කික විසඳුමක් ලබා දිය නොහැකිය. මෙහිදී ආණ්ඩුවට කළ හැක්කේ සයිටම් විරෝධී බලවේගවල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උත්සන්න කිරීම පමණි. ඒ සඳහා ආණ්ඩුවට ගත හැකි අනතුරු අඩුම මාර්ගය වන්නේ ප්‍රශ්නය විසඳීම වෙනුවට කල් මැරීමය. එවිට සයිටම් විරෝධී බලවේග අතර මිතුරු ප්‍රතිවිරෝධතා සතුරු ප්‍රතිවිරෝධතා දක්වා පරිවර්තනය කළ හැකිය. ගැටලුවේ දී ආණ්ඩුව අධිනිශ්චය වීම වළකා මහින්ද රාජපක්ෂ අධිනිශ්චය වීම එවිට සිදු විය හැකිය.
කාන්දම් නායකත්වය
සයිටම් ප්‍රශ්නය මෙන් උතුරේ ජාතික ගැටලුව කල් දැමීමෙන් විසඳිය නොහැකිය. සයිටම් ප්‍රශ්නය මෙන් නොව මෙම ගැටලුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපක්ෂය වන්නේ ගෝලීය බලවතුන් සහ කලාපීය බලවතුන්ය. අවශ්‍ය නම් මෙම ගැටලුව විසඳීම 2020 දක්වා කල් දැමිය හැකිය. මංගල සමරවීරගේ විදේශ ඇමැති ධුරය ඔහුට අහිමි වන්නේ උතුරේ ගැටලුව 2020 දක්වා කල් දැමීමට ආණ්ඩුවට අවශ්‍ය නිසාය. 2020ට පසු මහින්ද රාජපක්ෂගේ දේශප්‍රේමය ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ සාධකයක් නොවේ. බොදු බල සේනා වැනි ඉත්තන් මැනැවින් කළමනාකරණය කිරීමෙන් කාඞ් සෙල්ලමේ සිටින දේශප්‍රේමී ක්‍රීඩකයන් දුර්වල කළ හැකිය.
මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී ඇතිවාට අමතරව රට තුළ දැන් බිහි වී ඇත්තේ සාපේක්ෂ සාම යුගයකි. මේ යුගයේ දී මාධ්‍ය පාලනය හරහා දේශපාලන බලවේග පාලනය කිරීම ද කළ හැක්කකි. රට තුළ දැන් ඇත්තේ නිශ්චිත දේශපාලන නායකත්වයක් නොව පාවෙන නායකත්වයකි. පුද්ගලයන් විවිධ දිශාවලට පාවෙමින් පවතියි. එම පාවීම පාලනය කිරීම සඳහා කඩදාසියට යටින් කාන්දම් නායකත්වයක් අවශ්‍යය. මේ සඳහා වැඩිම ශක්‍යතාවය ඇත්තේ විධායක බලයටය. ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලට හිමි වන්නේ මෙම මංසන්ධියේදීය. ඉතිහාසය විවෘතය. එයට අර්ථයක් දීමට හැකිදැයි අපි බලාපොරොත්තු විරහිතව බලා සිටිමු.
දීප්ති කුමාර ගුණරත්න
උපුටාගත්තේ සත්හඬෙන්