උපුටාගැනීම්විශේෂාංග

ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද?

ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට විවර වු කාලවකවානුවකි. කළු ජූලිය නම් වූ ඒ උපමා විරහිත ඛේදවාචකයට මෙම ජූලි අවසානයට වසර 34ක් සපිරෙයි.

 

83 කළු ජූලිය පිළිබඳ මගේ අත්දැකීමක් මෙබඳුය. වේලාව දහවල් දොළහට ආසන්නය. කොළඹ සිට පිළියන්දල දක්වා ගමන් කරමින් තිබුණු 120 බස් රථයට වැල්ලවත්ත රෙදි මෝල ඉදිරිපිටින් පාසල් දරුවකුත් සමඟ නැඟුණු දෙමළ ජාතික කාන්තාවක් දැඩි තැති ගැන්මකින් යුතුව උන්නාය. බස් රිය කෙමෙන් කිරුළපන දෙසට ධාවනය වෙමින් තිබිණි. කිරුළපන නුග ගස අසලදී බස් රථයේ ගමනට බාධා කළ පිරිසක් බස් රියේ කවුළුවලින් කඩු හා මුවහත් පිහියා ඇතුළට දමා ඒවා ජනේල රාමුවල ශබ්ද නැගෙන සේ වද්දමින් දෙමලු ඉන්නවා නම් දාපියව් එළියට කියා ගෝරණාඩු කළහ. බස් රියේ සිටගෙන සිටි පාසල් සිසුන් පිරිසක් මැද පහත් වූ ගැහැනිය දරුවාත් තුරුළු කරගෙන අනේ අපිව බේරගන්න කියා වෙව්ලමින් කන්නලව් කළාය.

බස් එකේ දෙමළ කවුරුවත් නැහැ… තැති ගත් ශිෂ්‍යයෙක් කීවේය. බසය ඉදිරියට ඇදිණි. නුගේගොඩට යනතුරුම බස් රියේ බිම පහත් වී සිටි කාන්තාව දරුවා සමඟ නුගේගොඩින් බැස සෙනඟ අතරේ නොපෙනී ගියාය.

මම, මෙම පාසල් සිසුන් අතර සිටි තැතිගත් ශිෂ්‍යයා වීමි. තැතිගෙන හෝ එසේ කියන්නට හැකිවීම ගැන අද සතුටුවෙමි. ඒ අහිංසක ජීවිත දෙකක් බේරා ගන්නට හැකිවීම නිසාය.

කළු ජූලියේ නිමිත්ත

ඉහත දැක්වූයේ කළු ජූලියේ ආරම්භක දවස ගැන එක් අත්දැකීමකි. 83 ජුනි හා ජූලි වන විට රජයේ හමුදා එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමේ කටයුතු කඩිනම් කර තිබිණි. ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස එක්තරා අවස්ථාවකදී එල්ටීටීඊ සංවිධානය හමුදා සාමාජිකයන් 13 දෙනෙකු එකම තැන ජීවිතක්ෂයට පත් කර දැමීය. සෙබළ මළ සිරුරු කොළඹට රැගෙන ඒමත් සමඟ දෙමළ විරෝධී කෝළාහල ඇවිලී ගියේය. හමුදා සාමාජිකයන් 13 දෙනාගේ  ඝාතනය දකුණේ දෙමළ සංහාරයට නිමිත්තක් වූයේය. ජයවර්ධන ආණ්ඩුව එම සංහාරක ක්‍රියාවලියට සක්‍රියවම සහාය දුන්නේය. ජූලි 23 දා සිට සතියක් පමණ ගත වන තුරු දිවයිනේ සෑම ප්‍රදේශයකම දෙමළ ජනයාට එරෙහි මරණීය ප්‍රහාර දියත් කෙරිණි. වැල්ලවත්ත ප්‍රදේශයේ මිනිස් ඝාතන පොකුරක් සිදු විය. සිංහල ජාතිවාදයෙන් ඔද වැඩුණු මැරයෝ දෙමාපියන් කපා කොට ගින්නට දමා තරුණ දියණියන් දූෂණය කර මරා දැමූහ. දේපළ මංකොල්ල කෑහ. කන් ඉරා, බෙලි කපා ස්ත්‍රීන්ගේ ආභරණ පැහැර ගත්හ. ජාතිආලය වස්තු තෘෂ්ණාවක් බවට ද පත් විය. පාදඩයන්ගේ කායික ආශාවන් සන්තර්පණය කර ගන්නා කාලවකවානුවක් බවට ද ජූලි අවසන් සතිය පත් විය. ජයවර්ධන ආණ්ඩුව පොලීසියට නිවාඩු දී මැරයන්ට දෙමළ ජන ඝාතනයට සහ මංකොල්ලකෑමට ඉඩ දී ක්‍රියා කරනු පෙනුණි. එජාපය හරයාත්මකව ජාතිවාදයට නැඹුරු පක්ෂයක් නොවූවත් කළු ජූලිය එජාපයට සදාකාලික කළු පැල්ලමක් එක්කර දුන්නේය. 77 – 2017 කාල වකවානුව සමරණ මොහොතේදීත් ඔවුන්ට එම අතීත වගකීමෙන් මිදෙන්නට නොහැකිය. මේ වරද රිය සකක් ලෙස එජාපය පසුපස පැමිණෙන අයුරු දැකිය හැකිය.

කොළඹ භූමිකාව

85 – 89 දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ ජේ.එන්. ඩික්සිත් මහතා 87 ඉන්දු – ලංකා ගිවිසුම සහ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයේ පසුබිම හා ඔහුගේ අත්දැකීම් අදාළ කෘතියක් ලිව්වේය. එම කෘතිය ‘කොළඹ භූමිකාව’ නම් වේ. 83 ජූලිය ගැන හෙතෙම එහි මෙසේ ලියයි.

“ජනාධිපති ජයවර්ධන දේශපාලන වශයෙන් පැහැදිලි කළ නොහැකි අක්‍රිය තත්ත්වයක සිර වී සිටියේය. තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීම වෙනුවට කෝළාහළ ඇති වී දින හයක් පමණ යන තුරු ජනපති ජාතිය ඇමතුවේ නැත. දින කිහිපයකට පසු ඔහු ජාතිය ඇමතූ අවස්ථාවේදී ද ඔහුගේ පණිවුඩය වගකීම් විරහිත විය.

(කොළඹ භූමිකාව – ජේ.එන්. ඩික්සිත්)

ද්‍රවිඩයන්ට එරෙහි මේ ක්‍රියාමාර්ගවල ප්‍රධාන උපදේශකයන් ලෙස ලලිත් සහ ප්‍රේමදාස ක්‍රියා කළ බව සඳහන් කරන ඩික්සිත් මහතා ලලිත් ඇතුළත්මුදලි ඔක්ස්ෆර්ඞ් උපාධි ධාරියකු වූවත් ඔහු දිනාගෙන තිබුණු කීර්තිය දෙමළ විරෝධය හරහා තවදුරටත් වර්ධනය කර ගත හැකි යැයි සිතූ අයකු බව ද සිය කෘතියෙහි දක්වයි. එමෙන්ම ලලිත් වැනි සිත් ගන්නා සුළු දේශපාලනඥයකු තුළ මේසා දරුණු ජාතිවාදයක් තිබීම ගැන ද හෙතෙම සිය විශ්මය පළ කරයි. අගමැති ප්‍රේමදාස ගැන සඳහන් කරන ඩික්සිත් ඔහු දෙමළ – විරෝධී මූලයක් සහිත නායකයකුව සිටි බවත් දෙමළ අයිතීන් පිළිගැනීම රට බෙදීමකැයි කල්පනා කළ අයකු බවත් සඳහන් කරයි.

වඩුක්කොඩෙයි සම්මේලනය

ඒ. අමිර්තලිංගම්ගේ සහ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් වඩුක්කොඩෙයි සම්මේලනය පැවැතියේ 1974දීය. ඒ කළු ජූලියට වසර 10කට පමණ පෙරය. සිංහල මහජාතිය දෙමළ – ජන අයිතීන් පාගා දමන බවත් ඊට ප්‍රතිපක්ෂව දේශපාලන නිදහස සහ අයිතීන් ගැන අරගල කළ යුතු බවත් වඩුක්කොඩෙයි සම්මේලනයේ දී තීරණය කර තිබුණි. ඇත්තටම දෙමළ – විරෝධය සන්නද්ධ අරගලයක ස්වරූපයෙන් පැන නගින්නේ ඉන් අනතුරුවය. එම දීර්ඝ යුද්ධය 2009 මැයි 18 දා අවසන් වූයේ ජීවිත සහ දේපළ පමණක් නොව රටේ අනාගතයද යළි මතුපිටට ගැනීමට අපහසු වන ලෙස ආපස්සට තල්ලු කරමිනි. උතුරේ නැගීටීමට හේතු වූයේ දෙමළ ජනයාගේ සිවිල් දේශපාලන හා භූමියේ අයිතිය, අනන්‍යතා ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මෙන්ම ජන ජීවිතයේ මූලික අවස්ථා ගැන තීණ්දු ගැනීමේ බලය උතුරට අවශ්‍යය යන මතය කේන්ද්‍ර කරගෙනය. යුද්ධය අවසන් වී වසර 8ක් ගත වී ඇතත් උතුරේ තරුණ ජනයා සටනට පෙළඹ වූ ප්‍රශ්න සමනය වී තිබේද?

අලුත් ඇසක්

යුද කටයුතු සඳහා භාවිත කළ මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 189ක් ජූලි 19 වනදා යළි ඒවායේ නියම හිමිකරුවන්ට බාරදෙන බව නැවත පදිංචි කිරීමේ කටයුතු බාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ජුලි 18 දා ජනමාධ්‍යට කියා තිබුණි. මීට පෙර අවස්ථාවකද කේපාපිලව්හි අක්කර 279ක් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය ක්‍රියා කළ බව ඇමැතිවරයා කියා තිබිණි. වත්මන් ජනපතිවරයාත් හැමවිටම කියන දෙයක් වන්නේ යුද කටයුතු සඳහා උතුරේ ජනයාගෙන් රජයේ හමුදාව ලබා ගත් ඉඩම් දැන් යළි ඔවුන්ට ලබා දිය යුතුය යන්නය. එහෙත් ඒ අදහස මුළුමනින් ක්‍රියාත්මක වී නැති බව පෙනෙන්නේ උතුරේ වයෝවෘද්ධ ජනයා තම ඉඩකඩම් හා නිවාස තිබුණු ස්ථානවල තවදුරටත් හමුදාව රැඳී සිටින බව කියමින් කරන උද්ඝෝෂණ හේතුවෙනි. එමෙන්ම උතුරේ අතුරුදන් වූවන්ගේ දෙමාපියෝ දින ගාණක් සත්‍යග්‍රහ කරති. ජන ජීවිතය යළි නගා සිටුවීමට යටිතල පහසුකම් අවශ්‍යය. ධීවර ප්‍රජාවට මුහුදට හත්ගව්වක් දුරින් පදිංචි වෙන්නට උපදෙස් දුන්නාට වැඩක් නැත. ස්වයං රැකියා කළ අයට අමුද්‍රව්‍ය පහසුකම් සපයා ගත හැකි තැන්වල පැවැත්ම ස්ථාපිත කර දිය යුතුය. මේවා ඇත්තටම ආණ්ඩුවක් කළ යුතු සරල දේවල්ය. රාජපක්ෂ ආණ්ඩුව එම වගකීම ඉතා නින්දිත ආකාරයෙන් පැහැර හරිමින්  සිටිය බවත් සැබෑය. දේශපාලන අයිතීන් ගැන අද තරම්වත් කතා කරන්නට ඉඩක් නොදුන් බවත් සැබෑය. මේ සියලු ප්‍රශ්න මැද වත්මන් රජයට තිබෙන වගකීම වන්නේ දෙමළ ජනයාගේ අතපසු වු ජීවිතය, කඩාවැටුණු ජීවිතය, වෙනතක ගිය ජීවිතය නිසි මාවතට ගැනීමට කැපවී ක්‍රියා කිරීමය.

වත්මන් ආණ්ඩුව මේ සමහර දේවල්වලට අත ගසා ඇතත් උතුරේ ජනයාගේ විශ්වාසය දිනා ගන්නා සංයුක්ත වැඩපිළිවෙළක් ඇති බවත් නොපෙනේ. උතුර කොන්දේසි විරහිතව දකුණේ මර්දනකාරී දේශපාලනය වෙනස් කර ගැනීමට සහාය දුන් බව සැබෑය. එසේ නම් මෙතැන් සිට උතුරේ ගොඩනැගීමට කොන්දේසි විරහිතව වැඩ කරන ප්‍රතිපත්තියක් දකුණටත්  තිබිය යුතුය. වදන්වලින් පමණක් උතුරේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් දකුණේ ජනමනසට වැටහිය යුතුය.

උතුරේ සිහිනය සහ දකුණේ සිහිනය

උතුරට ඊළාම් සිහිනයක් තිබිණි. සිංහල සමාජයේ බෝධි පූජා මැද පෙරට ගිය හමුදාවෝ ඒ සිහිනයට වෙඩි තැබූහ. වෙඩි තැබුවාට සිහින මිය යන්නේ නැත. සිහිනයේ වෙඩි වැදුණු තැන යළි හා වෙන්නට පුළුවන. මන්ද මේ සියල්ල ඇත්තේ මිනිස් දේශපාලන සිතුවිලි තුළය. එහෙත් ඊළාම් යනු යථාර්ථවාදී අදහසක් නොවේ. රට බෙදී වෙන් වී ලබා ගත හැකි ජයග්‍රහණයක් තිබිය නොහැකිය. උතුර සිතන පරිදි දකුණට සිහිනයක් නැද්ද! දකුණටත් තිබේ. ජනවාරි 08 වෙනස කළේ ඒ සිහිනය තදින් සිත්හි දරාගත් පිරිසකි. ඊට අවංකව මැදිහත් වූවත් තවදුරටත් ජන. 08 ප්‍රතිපත්ති සහ පොරොන්දු වෙනුවෙන් හඬ නගන්නේ එනිසාය. උතුරත් ඒ වුවමනාවට කොන්දේසි විරහිතව උදව් කළේය. එසේ නම් දැන් සිහිනය දිනා ගන්නට පොර බදන දෙපිරිසටම වගකීමක් තිබේ. එය නම් සිහිනය යථාර්ථයක් කර ගැනීමය. උතුරේ මැදහත් දේශපාලන දිවියක් සහ නිදහසක් සොයන හිතවතුණි. ඔබ ඔබේ අන්තවාදී සිහිනය පිටු දකින්න. දකුණේ මැදහත් දේශපාලන දිවියක් හා නිදහසක් පනත අප වර්ගවාදී ආගම්වාදී සිංහලෝත්තම මුග්ධ සිහිනය පිටු දකින්නෙමු. කළු ජූලිය නම් වූ ඛේදවාචකය සදහටම පරදවන, වසර තිහක යුද්ධය හැබෑවටම පරදවන ගාමක බලය ඇත්තේ එතැනය. ප්‍රගතිශීලී ජනයා පතන සුපසන් ලංකාව ඇත්තේ එතැනය. අප’තර වේදනාවට තිත තබන ඔසුව ඇත්තේ එම වැඩපිළිවෙළ තුළය.

විමලනාත් වීරරත්න

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *