ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණයෙන් ඇප ලැබිණි. එහෙත් හොරු සුරැකීම සඳහා මහජනයාගෙන් අරමුදල් එකතු කරවූ රටේ අභ්‍යන්තර ආරවුල ගැන කතා නොකර සිටිය නොහැකිය. ලංකාවේ භික්ෂූන් වහන්සේලා අද පිණ්ඩපාතය වඩින්නේ හොරු රැක ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමටය. මඟ දිගට එම භික්ෂූන් වහන්සේලාගේ පාත්තරවලට මුදල් වැටෙන විට සැබෑ බෞද්ධ ප්‍රතිපත්ති සමඟ දවසරින පුරවැසියන් තුළ ඇති වූ ජුගුප්සාව කියා නිම කළ නොහැකිය. ඉන් නොනැවතී භික්ෂූන් වහන්සේලා විසින් පාත්තරවලට එකතු කරනු ලැබූ මුදල් මේස හෝ පැදුරු මත හලනු දකින විට සැබෑ බෞද්ධයකුට දැනෙන කම්පනය සුළුපටු විය නොහැකිය.
සිල් සහ දුසිල්
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු ප්‍රධානියා වූ අනූෂ පැල්පිට සිරගත වූයේ මහජන මුදල් රුපියල් මිලියන 600ක් යොදවා ජනාධිපතිවරණය මුව විටේ ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදා දීමේ කුප්‍රකට ක්‍රියාවලියට උසාවිය මඟින් වරදකරුවන් බවට පත් වීමෙනි. මහජන මුදල් අවභාවිතය මෙන්ම මැතිවරණයක් අතරමැද මැතිවරණයට අදාළ නීතිරීති සහ ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීම ඔවුන්ට එදිරිව නැගුණු හා ඔප්පු කැරුණු පැහැදිලි චෝදනාය. ලලිත් හා අනූෂ පුද්ගලිකව ගතහොත් වංචනික පුද්ගලයන් නොවන බව කිව යුතුය. එහෙත් ඔවුහු හිටපු ජනපතිගේ නියමයෙන් මෙම මූල්‍ය අවභාවිතයෙහි නිරත වූහ. ඒ බව උසාවිය හමුවේ ඔප්පු වී වැරැදිකරුවන්ට අච්චු දීම ආරම්භ කෙරිණි. ටික කළකින් ඇප ලැබීම වෙනම කතාවකි. හිටපු ජනපතිවරයා මෙම වරද ඔප්පු වන තුරුම විමසුවේ සිල් රෙදි බෙදාදීමත් වරදක්ද යන කුප්‍රකට ප්‍රශ්නය යි. ඉහත මූල්‍ය අවභාවිතය සහ ඡන්ද නීති උල්ලංඝනය කිරීම යන චෝදනා මෙහිදී ඔප්පු වී ඇති බැවින් සිල් රෙදි බෙදීම වරදක් බව දැන් හිටපු ජනපති තේරුම් ගෙන ඇතිවාට සැක නැත. එම වරදට තමා ඔවුන් පෙලඹවූ බව ද ඔහු පිළිගත්තේය. ඔවුන් දෙදෙනාට අච්චු විඳීමට අතිරේකව රු. මිලියන 50 බැගින් දඩ ගෙවීමට ද උසාවියෙන් නියෝග කෙරිණි. භික්ෂූන් වහන්සේලා පිඩුසිඟා වඩිමින් මහජනයාගෙන් එකකු කරන්නට පටන් ගත්තේ එම මිලියන සියයයි. එනම් මහජන මුදල් අවභාවිත කළ දෙදෙනකුගේ දඩ මුදල් ගෙවීමට මෙරට භික්ෂූන් වහන්සේලා කැප වූහ. එම මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයට යොදා තිබුණු නම වන්නේ සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල යන්නයි. ඔවුන් සිරකරුවන්ව ඇත්තේ සොරකමක් නිසාය. ඒ අරුතින් බලන විට මහජන මුදල් වංචා කළ දුසිල් හොරුන් සුරැකීමේ අරමුදල ලෙස මෙය නම් කළා නම් වඩා උචිතය.
දේශපාලනය කිරීම
එක් ප්‍රකට හිමි නමක් විශ්වවිද්‍යාලයෙන් ලැබෙන වැටුප පාත්‍රයකට දමන අයුරු වීඩියෝ දර්ශනයක දැක්විණි. එය ලක්ෂයක් වැනි මුදලක් සඳහන් චෙක්පතක් බව දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂ, ලලිත් හා අනූෂ ගැන හිත කරදර කරගන්නේ දේශපාලන අකටයුත්තකට ගොස් ඔවුන් දෙදෙනා නොසිතූ උගුලක සිරවීම නිසාය. එම උගුලෙන් ඔවුන් ගලවා ගැනීමේ චේතනාවෙන් රාජපක්ෂ ක්‍රියාකිරීම ඒ අනුව නිවැරදිය. ඔහු එසේ කරන්නේ දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙසිනි. ලක්ෂය දුන් හිමියන්ට ලලිත් හා අනූෂ ගැන තිබෙන්නේ කවර නම් වගකීමක්ද? දඩ ගෙවීමට අරමුදල් සෙවීම සඳහා පිණ්ඩපාතේ වැඩිය භික්ෂූන් ලලිත් හා අනූෂ ගැන දැරුවේ කවර නම් වගකීමක්ද! තිබෙනවා නම් තිබිය හැක්කේ දේශපාලන වුවමනාවකි. ඒ අනුව භික්ෂූන්ට සහ රාජපක්ෂට එක සමාන තක්කඩි චේතනාවක් ආවේ කෙසේද? මේ තත්ත්වය තුළ වඩා නරක ආදර්ශයක් දෙන්නේ කවර පාර්ශ්වයක්ද යන්නත් විවෘත මනසකින් බලන විට තේරුම් ගත හැකිය. මෙරට බහුතරයක් භික්ෂූන් වහන්සේලා මෙවැනි නින්දාසහගත කාර්යයකට එකඟ නොවුණු බව සහතිකය. එහෙත් බෞද්ධ දර්ශනයට වඩා අන්තවාදී රාජපක්ෂ දර්ශනය වැලඳගත් භික්ෂූන් වහන්සේලා සුළුතරයක් නිමග්න වූ මෙවැනි දුසිල් පිළිවෙත් නිසා මෙරට බුදු සසුනට සිදු වන කැළල විශාලය. ඇතැම් භික්ෂුහු මෙම ක්‍රියාව විවේචනය නොකරති. ධර්මධර හා විනයධර වීම යනු වැරැදි පිළිවෙත් නිවැරැදි කර ගෙන ධර්මය හා විනය පිළිපැදීම මිස ධර්ම විනය උල්ලංඝනය කරනු දැක දැක ව්‍යාජ ලෙස ශික්ෂාව රැකීම නොවේ. අනෙක් අතට ශික්ෂාව රැකීම යනු ධර්මධර හා විනයධර වීමකි.
පස්ස ගැසූ රාජපක්ෂ
සිල් රෙදි බෙදීමට නියෝග දුන්නේ මමයි යනුවෙන් රාජපක්ෂ කීවේ ලලිත්ට සහ අනූෂට අච්චු නියම කිරීමෙන් පසුවය.
එම නඩුව විමසන කාලයේ මහින්ද මෙම හෙළිදරව් කිරීම නොකළේ මන්ද යන්න ගැන හොරු බේරා ගැනීමට පිණ්ඩපාතයේ වඩින සංඝයා වහන්සේලා සිතන්නේ කෙසේද? නැතහොත් සංඝයා වහන්සේලා මේ වඩින්නේ අවධි මනසින් නොව වැඩවසම් මානසිකත්වයකින්ද? මහින්ද වේලාසනින් මෙම හෙළිදරව්ව කළා නම් සමහර විට ලලිත්ට හා අනූෂට දුන් දඬුවම මීට වඩා තරමක් හෝ ලිහිල් වන්නට ද පුළුවන. මහින්දට තිබෙන ජනාධිපති මුක්තියේ බලය නිසා වේලාසන එම පාපොච්චාරණය කළත් ඔහුට ප්‍රශ්නයක් වන්නේ නැත. එහෙත් ඔහු මෙයින් අත් කරගත් අපකීර්තිය නම් කිසිදාක මකනු නොහැකිය. තමාට හිරිහැරයක් නොවන බව හොඳාකාරව දැනගෙනත් මහින්ද එම පාපොච්චාරණය වේලාසන නොකිරීමත් කුප්‍රකට දේශපාලන තීන්දුවකි. නඩුව ඇසෙන අවස්ථාවේදී මහින්ද එසේ කිව්වා නම් තෙවැනි පාර්ශ්වයකට හැඟෙන්නේ ලලිත් හා අනූෂ මුළුමනින් නිදොස්ය, මහින්ද වරදකරුය යන්නය. පසුව කීමෙන් ඔහු ඒ පිළිබඳ සමස්ත අවධානයෙන් ගැලවුණි. සියලු පව් ලලිත් හා අනූෂ පිට පැටවුණි. දැන් මහින්දට එල්ල වෙමින් තිබෙන්නේ තරමක් දියවුණු විරෝධයකි. මෙම කුප්‍රකට දේශපාලනයට සංඝයා වහන්සේලා දැන දැනම නතුවීම කනගාටුවට කරුණකි. උන්වහන්සේලා පාත්තරවලට සර්පයන් එකතු කරන්නේ දේශපාලන සර්ප විෂ බස්සන්නට බව දැන්වත් තේරුම් ගත යුතුය. ආනන්ද හිමියන් සමඟ වඩින අවස්ථාවක බිම වැටී තිබුණු දහසින් බැඳි පියල්ල දකින බුදුහු ආනන්දය සර්පයා දුටුවෙහිද යනුවෙන් විමසුවේ මුදල් සර්පයකු ලෙස හැඟවුම්කරණය කරමිනි. ඊට අද මෙන් කුප්‍රකට දේශපාලන සීලයක් ද ගෑවී තිබුණා නම් බුදුහු කුමක් දෙසා වදාරනු ඇත්ද? පාත්තරවලට සර්පයන් එකතු කළත් මේ එකතු කිරීමේ ආදීනව නම් හුදු සර්පයන් එකතු කිරීමකට වඩා බරපතළ ආදීනව ගෙන දිය හැකි ක්‍රියාවකි. එපමණක් නොවේ. හොරු බේරා ගැනීමට අරමුදලක් එකතු කිරීම සඳහා යන එම පෙළපාලිය යන්නේ බුදුන්ගේ දර්ශනය අනුදත් ශික්ෂා මාර්ග යේ නොවේ. විනය හා ඇවැතුම් පැවතුම් මාර්ගයේ නොවේ. එය තනිකරම බුදුන්ට ගල පෙරළුෑ දෙව්දත්තර ගිය මාවතය. සංඝයා වහන්සේලා බුදුන් පිටු දැක ක්‍රියා කිරීම වනාහී සැබෑ බොදු ප්‍රතිපත්තිවලට ගල් පෙරළීමක්ම විනා අන් යමක් නොවේ.
සංඝ සමාජය කළ යුතු දේ
හොරුන්ගේ දඩ ගෙවීම නොව ජනතාවගේ රුපියල බැගින් එකතු කර විසඳිය යුතු ප්‍රශ්න ඕනෑ තරම් රටේ තිබේ. එසේ ආධාර එකතු කර පිළිකා හා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ මිල දී ගැනීමට සහාය විය හැකිය. වකුගඩු රෝගියකුගේ රුධිර පාරවිලනය සතියකට දෙවතාවක් පෞද්ගලික අංශයෙන් කර ගත යුතු අවස්ථාවල රෝගීන්ට රුපියල් දසදහසක පමණ මුදලක් ඒ සඳහා දරන්නට සිදුවෙයි. නිදහස් සෞඛ්‍යය මුළුමනින් නිදහස් නැති නිසා මුදල් අඟ හිඟ රෝගීහු මේ ප්‍රශ්නයේ දී අන්ත අසරණ වෙති. මහජන මුදල් අවභාවිත කළ වුන් හිරෙන් නිදහස් කර ගන්නවාට වඩා දුප්පත් වකුග ඩු රෝගීන් ගොඩ දැමීම බුදුන් වදාළ ධර්මයට අනුකූල බව සංඝ සමාජයට ගිහියන් වන අප පැහැදිලි කර දිය යුතුද? කටු මැටි පැලක බිම නිදි කරවා සිටි සත් දිනක් වයසැති බිළිඳකුගේ හිස හදිසියේ එහි දිව ආ සුනඛයකු විසින් සපා කෑම නිසා බිළිඳා මිය ගිය පුවතක් ඉකුත් 16 වනදා හබරණ ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ වන විට බිළිඳාගේ මව කුස්සියේ වැඩක නිරත වෙමින් සිට ඇති අතර වැඩිමහල් දරුවාගේ කෑ ගැසීම ඇසී මව එහි දිව එන විට බල්ලා බිළිඳාගේ හිස සපා කා ඇති බව දැක තිබේ. මෙවැනි සිදුවීම් සමඟ පර්චුවල් එකේ කසුන් පලිසේනලා, නුවන් සල්ගාදුලා, ඇලෝසියස්ලා සල්ලිත් එක්ක කරන සෙල්ලං අසන විට අප ජීවත් වන්නේ කෙබඳු රටකදැයි යන්න සිහි බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. හොරු බේරා ගැනීමට පිණ්ඩපාතේ පෙළපාලි නොගොස් කල්පනා කළ යුතුය. සංඝයා වහන්සේලා මෙවැනි නිරර්ථක කටයුතුවලින් මෑත්ව පන්සල් තුළට වී කල්පනා කළ යුතුය.
නුහුරට දිවීම
ලංකාවේ සංඝ සමාජය මෑත අවදියේ වැඩ කළේ යථාවාදී තතාකාරී අයුරින්ද යන ප්‍රශ්නය පැන නැගේ. එක පැත්තකින් උන්වහන්සේලා හොරු, බේරා ගැනීමට අරමුදල් රැස් කරති. අනෙක් අතින් ජාතිවාදය වපුරති. තනිකරම ලෞකික ජීවිතයේ කටයුත්තක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අතපොවා අද එය එපා යැයි කියති. ලෞකික දිවිය සාර්ථක කර ගැනීමට උපදෙස් දීමේ ප්‍රශ්නයක් නැත. බුදුහු එසේ කළහ. රාජ්‍ය පාලනයටත් උපදෙස් දුන්හ. වැරැදි උපදෙස් නුදුන්හ. භික්ෂූන්වහන්සේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාධා කිරීම යනු ජනයාගේ ලෞකික ජීවිතය අඳුරේ හෙළීමට යත්න දැරීමකි. ගෞතම බුදුන් වහන්සේ තනිකරම මේ ප්‍රතිපත්තියට විරුද්ධය. උන්වහන්සේ ලෞකික දිවිය ගෙවීමේ කුදු මිනිස් කැමැත්තට බාධා නොකළහ. ඊට අවශ්‍ය සහාය දෙන අතරම කම් සැපෙහි නිරර්ථක බවත් විමුක්තිය ඇත්තේ දේවල් අත්හැරීම සමඟ කරන බුද්ධි ගවේෂණයක් තුළ බවක් දෙසූහ. අප චතුරාර්ය සත්‍යය නමැති සුනිසි අදහස අභ්‍යාස කළ හැකි රටක් බවට පත් විය යුතුය. කනගාටුව වන්නේ සංඝයා වහන්සේලා ගිහියන්ට කියා දිය යුතු දේ සංඝයා වහන්සේලාට කියා දීමට ගිහියන්ට සිදු වී තිබීමය.
උන්වහන්සේලා පාත්තරවලට සර්පයන් එකතු කරන්නේ දේශපාලන සර්ප විෂ බස්සන්නට බව දැන්වත් තේරුම් ගත යුතුය. ආනන්ද හිමියන් සමඟ වඩින අවස්ථාවක බිම වැටී තිබුණු දහසින් බැඳි පියල්ල දකින බුදුහු ‘ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් විමසුවේ මුදල් සර්පයකු ලෙස හැඟවුම්කරණය කරමිනි. ඊට අද මෙන් කුප්‍රකට දේශපාලන සීලයක් ද ගෑවී තිබුණා නම් බුදුහු කුමක් දෙසා වදාරනු ඇත්ද?
විමලනාත් වීරරත්න
උපුටාගත්තේ සත්හඬෙන්