උපුටාගැනීම්විශේෂාංග

අප්පගෙ පුතාලාගේ දේශපාලනය ගැන නොට්ටිගෙ පුතෙකුගේ කියවීමක්!

අපේ‍්‍රල් කිව්වම පුංචි ළමයින්ට මතක් වෙන්නෙ අවුරුදු. ඒත් සමාජ වෙනසක් අපේක්ෂා කරපු, වාමාංශික දේශපාලනය ගැන උනන්දුවක් දක්වපු, දක්වන හැමෝටම මතක් වෙන්නෙ 1971 අරගලය.

මේ එළැඹිලා තියෙන්නෙ ඒ අරගලයට අවුරුදු 45 පිරෙන වසර. මේ අකුරු වියමනක් බවට පත්වෙලා ඔබේ ඇහැ ගැටෙද්දි අපේ වාමාංශය ඇතුළෙ එහි පොල්මඃකාර උරුමකරුවන්ගෙ කැලැන්ඩර් දේශපාලනය තුළ ඒ වෙනුවෙන් සමරු, සම්මන්ත‍්‍රණ, දේශන පැවැත්වෙමින් තියේවි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයත් තමන්ගේ කැලැන්ඩර් මාධ්‍ය කලාව ඇතුළෙ ඒ පිළිබඳ මොනවා හෝ මතකයන් අවදි කරාවි. ඒත් මගේ මේ උත්සාහය කැලැන්ඩර් දින ගැන නොසිතා සටන් කරපු පරපුරක් ගැන, ඔවුන්ගේ අරගලය කැලැන්ඩර් දින අතර හිර කරපු දේශපාලනය යම් විදිහකට විනිවිදින්න දරන වෑයමක්. ඒ නිසා මං කැමැතියි මේ රචනාව මගේ පෞද්ගලික අත්දැකීමකින්ම ආරම්භ කරන්න.

1971 දී මං අවුරුදු හතක පුංචි කොල්ලෙක්. මගේ තාත්ත ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක්. නම දනෝරිස්. ජවිපෙ ඉතිහාසෙ දන්න අය මේ නම හොඳින් දන්නවා. මිත‍්‍රවරුනි; ඒ දනෝරිස්ගෙ පුතා වෙච්චි මං 1971 අපේ‍්‍රල් දෙවන දා රාත‍්‍රියේ නින්දට වැටුණෙ අවුරුදු හතක පුංචි කොල්ලෙක් විදිහට අවුරුදු හීනෙක වෙළිලා. ඒත් ඒ පාන්දර මං අවදි වුණේ පොලිස්කාරයෙක් අතේ තිබුණ කෑලි පහේ ටෝච් එකක එළියෙන් ගිනිකණ වැටිලා. ඒ පාන්දර තමයි උන් ‘චේගුවේරකාරයෙක්, කියල මගේ තාත්තාව කුදලගෙන ගියේ. ඉතින්; තාත්ත කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා වෙනවලූනෙ. මිත‍්‍රවරුනි! මං අපේ තාත්තගෙම පුතා. ඒ නිසා මගේ දේශපාලන පෙකණිවැල කැපුණෙත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය මතම තමා.

මගේ තාත්තා ජවිපෙ ඇතුළෙ ඉතිහාසගත වෙච්චි හොඳ ජේවීපීකාරයෙක්. එයා මැරෙනතුරුම හිටියෙ ජවිපෙ දේශපාලනය ඇතුළෙ. හැබැයි මිත‍්‍රවරුනි මම? මං අවුරුදු 20 ක් විතර ජවිපෙ දේශපාලනය කළා. ඒ කාලෙන් අවුරුදු 07 ක් ඒ දේශපාලනය වෙනුවෙන් හිරබත් කෑව. ඒත් පසුකාලීනව ජවිපෙ වාමාංශික නෑ, ජවිපෙ සිංහල බෞද්ධ ජාතිකවාදියි කියල ව්‍යවහාරිකව ඉගෙන ගනිද්දි ජවිපෙන් එළියට ආවා. (ජවිපෙට අනුව පක්ෂය කඩන්න හදපු ද්‍රෝහීන් නිසා එළියට දැම්මා) මිත‍්‍රවරුනි; මං අපේ තාත්ත නොකළ දෙයකුත් කළා. ඒ නිසා කාටහරි ඕන්නං කියන්න පුළුවන් මං නොට්ටිගෙ පුතෙක් කියලත්.

ඉතින්; අපේ රටේ ජවිපෙ ඇතුළු ‘වාමාංශික’යන්ගෙ දේශපාලනය ගැන කියවීමකට මේ නොට්ටිගෙ පුතාට අවසරයි!!!

ඒ කතාව හරිම වැදගත්

ඒ නිසා මං ඒ කතාව නැවත කියනව. 1971 අපේ‍්‍රල් 03 වන දා පාන්දර මං ඇහැරුණේ ගිනිකණ වැටිලා. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්. ඒත් දැන් මම හිතනව අපේ කාලෙ වාමාංශිකයන්ගෙ පොදු කතාවත් මේකමයි කියලා. ඔවුන් සියල්ලන් ගිනිකණ වැටී ඇහැරුණු අය. මං එහෙම කියන්නෙ ඇයි? එයාලට මොනම දෙයක්වත් හරියට පැහැදිලිව පේන්නෙ නෑ. ඒ නිසා ඒ අයගෙ දැක්ම අවුල්. එහෙම අයට තමන්ගෙ අරමුණ ගැනත් නිනව්වක් නැතුව යනවා. ඊට පස්සෙ ඒ අය යන්නෙ යා යුතු පාරේ නෙවෙයි වෙනත් බැදිවල.

දැන් මට පුළුවන් දේශපාලනය දිහාට හැරෙන්න. මං අප්පගෙ පුතෙක් විදිහට ජවිපෙට සම්බන්ධ වුණේ අපේ තාත්ත නිසා. ඊට පස්සෙ මං ජවිපෙ තුළ තිබ්බ සංස්කෘතික ක‍්‍රියාකාරකම්වලට ආකර්ෂණය වෙනවා. ‘විමුක්ති ගී’, අලංකාර මැයි දින වේදිකා, යෝධ පෙළපාළි, රෝහණ වීජේවීර සහෝදරයගෙ සටන්කාමී කතා. අපේ තාත්තව මුණගැහෙන්න ආපු සමහර සහෝදරයන්ගෙ සුහදශීලී ගති සොබා. මං මේ කිව්වෙ මං ගැන විතරක් වුණාට මං වගේම දේශපාලන අවබෝධයක් නොතිබුණු බොහෝ තරුණයො ජවිපෙ වෙතට ආකර්ෂණය වුණේ මං වගේම මේ වගේ හෝ මීට සමාන මොනවා හෝ හේතුසාධක නිසා. පස්සෙ ජවිපෙ ඇතුළෙ ඉන්න, දේශපාලනය දන්නව කියල අපි විශ්වාස කරපු අය අපිට දේශපාලනය ඉගැන්නුවා. ඒ අය ඒ සඳහා ගුරුකොට ගත්තෙ සෝවියට් දේශයෙන් ආපු රතු පොත්. එදා ඒ රතු න්‍යායික පොත්වලින් අපි ඉගෙන ගත්තු සමාජවාදය ෆැන්ටසියක්ව අපේ මනසෙ මැව්වේ සෝවියට් සාහිත්‍ය කෘතිවලින්. ‘අම්මා’ පොතේ පාවෙල්ගෙ ඉඳන් ‘පෙරළුෑ නැවුම් පසේ’ දවීදව් දක්වා සමාජවාදයේ වීරයො තමයි ඊට පස්සෙ අපේ ඔළු ඇතුළෙ රජ කළේ. මේ විදිහට දෙවැනි වතාවටත් මං ගිනිකණ වැටෙනවා. ඔය අල්ල පනල්ලෙ තමයි සෝවියට් දේශය සහ මුළු මහත් නැගෙනහිර යුරෝපය පුරාම තිබුණ සෝවියට් පන්නයේ සමාජවාදී කියල අපි හිතපු රාජ්‍ය පද්ධතියම කෙළින් අතට හිටවපු කාඞ් කුට්ටමක කොළ වගේ එක පෙළට කඩාගෙන වැටෙන්නෙ.

එහෙම වුණේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි

ඒව එහෙම වෙද්දිත් ඒ මොකද කියලා විචාරාත්මකව ආපසු හැරිල බලන්න තරම් අපි විචක්ෂණශීලී වුණේ නෑ. ජවිපෙ පොවල තිබුණ ඉනා බෙහෙතුත් අපි ගිනිකණ වැටිල තිබුණ රතු ඇඳිරියත් ඒකෙ සැබෑ හේතු සාධක හොයන එකෙන් අපිව වැළැක්කුවා. ඒ නිසා අපි කළේ අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් වෙච්චි පේන්න ඉන්න ඇමෙරිකන් හතුරට ඇඟිල්ල දික් කරල කැතයි හොදේ කියල, ඇමෙරිකාව පල්ලෙ නොවැටී තියෙන කියුබාව කියන පිදුරු ගහේ එල්ලිලා හිත හදාගත්ත එක. ඒ අතර නායකයො කළේ ඇමෙරිකාවෙයි අධිරාජ්‍යවාදීන්ගෙයි පළු ඇරල වැඩි වැඩියෙන් දේශපේ‍්‍රමී වෙමින් හෙලූවෙන්ම ජාතිකවාදයට කඩේ ගිය එක.

කෝච්චිය යන්නෙ අප්සට් පීල්ලක

ඒ කාලෙ ජවිපෙට තිබුණා අපිත් කියවපු ‘විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්’. ඒකෙ ඉහළින්ම සඳහන් වෙලා තිබුණෙ ‘සකල දේශවාසී නිර්ධනයනි එක්වව්’ කියන කොමියුනිස්ට් ප‍්‍රකාශනය වෙනුවෙන් මාක්ස් ලියපු සටන් පාඨය. ඒත් ජාතිකවාදී රෙදි බැනියම් ඇඳගෙන ජවිපෙ නායකයෝ දියවන්නාවෙ ගිලෙද්දි (පාර්ලිමේන්තුවේ) අපිත් දන්නෙම නැතුව අර විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හමස් පෙට්ටියට ගියා.

ඊට පස්සෙ ක‍්‍රමානුකූලව එළිබැස්සෙ පසුකාලීන නායකකාරකාදීන්ගෙ මූණත්තහඩු ගහපු මැතිවරණ ප‍්‍රකාශන හා පසුකාලීනව නිරුවතින්ම ජාතිකවාදයට කඬේ යාම වෙනුවෙන් ලියවුණු විවිධ ප‍්‍රකාශන. ඊට පස්සෙ ධනපති ක‍්‍රමය පෙරළන්න 1971 දී දිවි පුදල සටන් කරපු සහෝදරයන්ව කැලැන්ඩර් සමරුවකට සීමා කරල ධනපති ක‍්‍රමය පරද්දන්න හදපු ව්‍යාපාරය ‘කොටි’ පරද්දන්න ධනපතියො එක්ක සන්ධාන ගැහැව්වා. 71-89 තමන්ගෙම සහෝදරයන්ව මරල දැම්ම ධනපති හමුදාවෙ කුලී සොල්දාදුවො රණවිරුවො කරල මානෙල් මල් පැලැන්දුවා. තමන්ගෙම රටේ දෙමළ පීඩිතයන්ගෙ ඔළු ගෙඩි මතට බැරල් බෝම්බ අත්හරින්න ජාත්‍යන්තර බලපෑම් නිසා හරි ධනපති ආණ්ඩු පස්ස ගහද්දි අපේ නායකයො කියාගත්තු උදවිය බලපෑම්වලට බය නොවී බෝම්බ දාපන්ය කියල ආණ්ඩුවට බලපෑම් කළා. ස්වයං තීරණ අයිතිය ඉල්ලල සටන් වැදුණ උන් ත‍්‍රස්තවාදීන් කරල උන්ට මරණය දීපන් කිව්වා. මේ සියල්ලෙම පව් සමාකරන මාත‍්‍රාව දේශපේ‍්‍රමය වුණා. මේ විදිහට ජවිපෙ මේ සියල්ල කළේ යුද්දෙන් කරල පැහෙනකොට ඒක තමන්ට කපා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් ගොන්නුන්ට අයිති විය ගහේ බර විතරයි කියල ගොන්නු නොදැන හිටියට ගොන්නු ලව්වා කුඹුර හාගන්න ගොවියො දන්නවා. ඒත් ජවිපෙ තමන්ගෙ උපාය උපක‍්‍රම තෝරද්දි අඩුම තරමෙ මේ සරල සත්‍යයවත් අවබෝධ කරගෙන හිටියෙ නෑ. ඒ නිසා තමන්ගෙ වෙහෙස නොබලා වැඩ කරන, මහන්සි විය හැකි ක‍්‍රමයක් වෙනස් කරන්න ආව සාමූහික මිනිස් බලයක් වැරැදි දේශපාලන ගණන් බැලීම් හේතුවෙන් එක් හෝ තවත් ධනපති දේශපාලන කල්ලියක් බලයට ගේන්න දිගින් දිගටම පරදුවට තිබ්බ.

ධනවාදය පැරදවීම වෙනුවට ධනපති පක්ෂයක් හෝ ධනපති පාලකයෙක් පැරැද්දවීම දක්වා සිය විප්ලවවාදීත්වය පිරිහෙළා ගත්ත. ක‍්‍රීඩාවෙ සම්මත තුරුම්පු වෙනුවට වල් වාසිවලින් කෙටිකාලීන ජයග‍්‍රහණ හඹා යන්න වුණා. මේකෙ ප‍්‍රතිඵලයක් විදිහට සිංහල බෞද්ධ ලිබරල් මධ්‍යම පාන්තිකයො අතරෙ පක්ෂයේ බඹරය හොඳින් කැරකැවිය හැකි වැල්ලක් නිර්මාණය වුණා. මැතිවරණවල දී ජවිපෙට වෙනදා නොලැබුණු ඡන්ද රැල්ලක් හැදුණා. මේ නිසා මේක තමයි වැඬේ කියපු පක්ෂය ඒකට ගිනිකණ වැටුණා. ඊට පස්සෙ කළේ ධනපති ක‍්‍රමය පරද්දන්න සැලසුම් හදන එක වෙනුවට ඒක කොන්ට්‍රෝල් කරන්න මිනිස්සුන්ගෙන් රිමෝට් එක ඉල්ලන එක. රිමෝට් එකට චැනල් මාරු කරන්න පුළුවන් වුණාට ප්‍රෝග‍්‍රෑම් මාරු කරන්න බෑ කියන ව්‍යවහාරික ඥානය ජවිපෙට තිබුණෙ නෑ. මේ විදිහට ජවිපෙ රිමෝට් එකෙන් තමන්ට පුංචි පුංචි බාධා එල්ල වෙද්දි ධනපති පාලකයො ඊළඟට ජවිපෙට ගිල්ලවූ ගුළිය වුණේ විවේචනය කරන්නෙ නැතුව පුළුවන් නම් අපිත් එක්ක ඇතුළට ඇවිල්ල කරල පෙන්නන්න කියන එක. ජවිපෙ ඒ ගුළියත් ඇස් පියාගෙන ගිල්ල. මේ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ විප්ලවවාදී පක්ෂයක් ධනවාදය පිරිපහදු කරනා හා එයට හරි පාර පෙන්නන්න ටෝච් අල්ලන්නන් බවට පත්වීම. මේ ටෝච් ඇල්ලීමේ ක‍්‍රියාවට ද යම් සමාජ අවධානයක් හා යම් සමාජ බලයක් ලැබෙද්දි පක්ෂය තව තවත් සංශෝධනවාදයේ පතුලේ ගිලෙනවා. මේ විදිහට එක් අතකින් පක්ෂය බල දේශපාලනය තුළ සංශෝධනවාදයට වැටුණ වගේම අනෙක් අතින් රාජ්‍ය බලය ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට කියන උපන්ගෙයි උපායමාර්ගික වැරැද්ද මත පිහිටල තෝරපු උපක‍්‍රම නිසා ජවිපෙ තමන්ටමත් නොදැනීම ජාතිවාදී වළ පතුලෙ ගිලෙනවා. (විශේෂයෙන් මෙය ජාතික විමුක්ති අරගල සන්දර්භයක් නොපවතින විට විගඩමක් හා විකාරයකි.)

මේ සියල්ලේම තාර්කික ප‍්‍රතිඵලය වුණේ පක්ෂය දෙයාකාරයේ පැල්මකට ලක් වීමයි. පළමු පැල්මේ දී වීරවංශ ඇතුළු වඩාත් වැඩියෙන් ජාතිකවාදයේ හා සංශෝධනවාදයේ ගිලී ගිය කොටස පක්ෂය හැර ගියා. ඔවුන්ගේ අදහස වුණේ පක්ෂය ආණ්ඩු තුළ සිටිය යුතුය යන්නයි. මේ වෙලාවේ පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැස්සොත් ආණ්ඩුවට ජවිපෙ මැදිහත් වී අරන් දුන් යුද ජයග‍්‍රහණයේ වාසිය පක්ෂයට අහිමි වෙනව කියන එක තමයි ඔවුන්ගෙ තර්කය වුණේ. කොහොම වුණත් ඒ මොහොතෙ වීරවංශ කණ්ඩායමේ මතය පරාද කරන්න පක්ෂයට පුළුවන් වෙනවා. මේක පක්ෂය යළි නිවැරැදි පීල්ලට ගේන්න මහඟු අවස්ථාවක් වුණත් පක්ෂය එයින් නිසි ප‍්‍රයෝජන ගත්තෙ නෑ. වීරවංශලා එළවා දැම්ම පක්ෂය සිය පැරැණි වැඩපිළිවෙළවත් පැරැණි උපාය මාර්ගයවත් උපක‍්‍රමවත් වෙනස් කළේ නෑ. ඒ වෙනුවට පක්ෂය කළේ මහින්ද තමන්ට නොදී තනියම අයිති කරගත් යුද ජයග‍්‍රහණය එම යුද්ධය මෙහෙයවූ සෙන්පතියා වෙච්ච සරත් ෆොන්සේකා ලව්වා තමන්ට නතුකර ගැනීමට පිඹුරුපත් සකස් කළ එකයි. මේ සියල්ලේම ප‍්‍රතිඵලය ලෙසයි පක්ෂයේ දෙවැනි බිඳීම සිදු වෙන්නෙ. මේ දෙවැනි බිඳ වැටීම ඇතුළෙ තමයි නොට්ටිගෙ පුතාලගෙ උපත සිදු වෙන්නෙ.

මේ විදිහට එළියට ආව නොට්ටිගෙ පුතාලගෙන් (ජවිපෙට අනුව පක්ෂෙන් පැන්නූ) ඉතාම සුළු පිරිසක් තමයි මේක මේ පක්ෂය කියන තාත්තගෙ ජානමය වැරැද්දක් කියල දකින්න නීර්භීත වුණේ. බොහෝ දෙනකුට එය ජවිපෙ නායකත්වයේ තිබූ අත්තනෝමතික නිලධාරීවාදයට එරෙහි කැරැල්ලක් විතරක් වුණා. මේ වගේ වැරැදි පීල්ලකට පක්ෂය වැටුණේ ඒකෙ තිබුණ උපායමාර්ගයේත් උපක‍්‍රමවලත් වැරැදි හින්දා කියලා ඔවුන් හීනෙන්වත් හිතුවෙ නෑ. මේ නිසාම ඔවුන් ජවිපෙට එරෙහිව යළිත් පෙරටුගාමී සමාජවාදි පක්ෂය නමින් පුංචි ජවිපයක් හදාගන්නවා. ඒ පුංචි ජවිපෙ දැන් පැරැණි වැඩම වෙනත් වචනවලින් වෙනත් විදිවලින් කරමින් ඉන්නවා.

මේ ඔක්කොම මෙහෙම තියෙද්දි අපි ටිකකට 1971ට ආපහු යමු. ඔව් ඒ සටන් කරපු සහෝදරයන්ට තිබුණෙ හැඟීමක්. ඒ මේ අසාධාරණ සමාජය ඇතුළෙ ජීවත් වෙන්න බෑ කියන හැඟීම. ඒ නිසයි මේ අසාධාරණ සමාජය වෙනස් කරන්න ඕනැයි කියල ඔවුන් හිතුවෙ. ඔවුන්ට අපි අද කතා කරන මහ ලොකු න්‍යායවල් තේරුන් නෑ. ඒත් ඔවුන්ට තේරුණා හෙලූබැල්ලෙන් සමානයන් විදිහට උපදින මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අසමානව කියලා. මේ අසමානකම නැති කරන්න නම් ඒ අසමාන ජීවිතේ තමන්ට උරුම කරල දුන්න උන්ව පරද්දන්න ඕන කියලා එයාලට විශ්වාසයක් දීලා තිබුණා. ඒ විශ්වාසෙන් තමයි ඔවුන් ටින්කිරි ටින් බෝම්බයක් අරන් පොලීසියට ගහන්න ගියේ. ඒ යද්දීම ඔවුන්ගෙන් ගොඩදෙනෙක් දැනගෙන හිටියා තමන් ආපහු එන්නෙ නෑ කියලා. හැබැයි ඒගොල්ලො හිතුව තමන්ට නැතත් තමන්ගෙන් පස්සෙ එන දරු මුනුපුරන්ට හරි මේ අසාධාරණය නැති කෙරුවොත් මීට වඩා හොඳ ලෝකෙක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඒ අය කොන්දේසි විරහිතව සටන් කළා. මැරෙද්දි විප්ලවයට ජයවේවා කියලා මැරුණා. ඒ අය බලාපොරොත්තු වුණේ සැමරීමක් නෙමෙයි. මේ ක‍්‍රමය වෙනස් කරන එක. තමන් ප‍්‍රාර්ථනා කරපු ඒ ලෝකය හදන එක තමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් ලොකුම සැමරීම. ආගමික සිහි කිරීමක් වෙනුවට ඒ අයට ඕන තමන් සටන් වැදුණු අරමුණ ජයග‍්‍රහණය කරන දිසාවට යන ව්‍යවහාරික අරගලයක්. අතරමැද සමාදානයකින් තොරව ධනපති ක‍්‍රමය පරදවන අරගලයක්. හැබැයි ඒ අරගලය අද වෙද්දි ලෝකෙ පුරාම පැරදිච්චි අරගලයක් වෙලා. අපි දිනුවයි කියල හිතපු රටවලූත් පැරදිච්චි අරගලයක් වෙලා. මේක මෙහෙම වුණේ ඇයි? අපි උත්තර හොයන්න ඕන ඒ අමාරු හා සංකීර්ණ ප‍්‍රශ්නයට. බඩගින්න කියන එක සටන් පාඨය කරගෙන ඒ ප‍්‍රශ්නයට උත්තර හොයන්න යද්දි අපි ෆේල්. නිවාස ප‍්‍රශ්නය අරගෙන හරි අධ්‍යාපන ප‍්‍රශ්නය අරගෙන, පරිසර ප‍්‍රශ්නය තනිව අරගෙන හරි ඒ ප‍්‍රශ්නයට උත්තර හොයන්න යද්දි අපි ෆේල්. මොකද ඊයේ තිබුණු ධනවාදය තරම් අද තිබෙන ධනවාදය මිනිස්සුන්ව බඩගින්නෙ තියන්නෙ නෑ. ඊයේ තිබුණ ධනවාදය තරම් අද තියෙන ධනවාදය මිනිස්සුන්ට අධ්‍යාපනය අහිමි කරන්නෙ නෑ. ඊයේ තිබුණු ධනවාදය තරම් අද තියෙන ධනවාදය පෙනුමෙන් රෞද්‍ර නෑ. ඒක පෙනුමෙන් මටසිලිටියි. එදා වැල් ඇඳක පැදුරු කඩමාල්ලක නිදාගත්ත ඔබව ස්ප‍්‍රීන් ඇඳක නිදිකරවන්න අද තියෙන ධනවාදයට පුළුවන්. ඊයේ පයින් ගිය ඔබට කාර් එකක් දෙන්න මේ තියෙන ධනවාදයට පුළුවන්. දැන් ඔබ අහන්න පුළුවන් මෙච්චර දේවල් ඒක දෙනව නම් ඇයි අපි ඒක පරද්දන්නෙ කියලා. ඒ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ජවිපෙ විතරක් නෙමෙයි මුළුමහත් වමමත් අද අසමත්. අර පැරණි රතු පොත් ඇතුළෙ ඒ ප‍්‍රශ්නෙට උත්තර නෑ. සංශෝධනවාදය ඇතුළු පුංචි පුංචි ප‍්‍රතිසංස්කරණ ඇතුළෙ ඒ ප‍්‍රශ්නෙට උත්තර නෑ. ඒ ප‍්‍රශ්නයට උත්තර හොයන්න පුළුවන් මේ සියල්ල දෙන ධනවාදය මිනිස්සුන්ගෙන් ජීවිතය උදුර ගන්න විදිය පැහැදිලි කරන්න පුළුවන් වමේ ව්‍යාපාරයකට විතරයි. ඉතින් ඔබට පුළුවන් නම් දේවල් වෙනුවට ජීවිතය ඉල්ලන මිනිසුන් හදන්න. මාක්ස්ට සකල ලෝකයේම ඉන්න නිර්ධනයන් එකතු කිරීමට අවශ්‍ය වූයේ ඒ වෙනුවෙන්. මොකද මාක්ස් දැනගෙන හිටියා ධනවාදයට මිනිස්සුන්ට දේවල් දෙන්න පුළුවන් වුණත් ජීවිතය දෙන්න බෑ කියලා. ඒ නිසා තමයි මාක්ස්ට සිද්ධ වෙන්නෙ තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාම ප‍්‍රාග්ධනය එක්ක ඔට්ටු වෙන්න. ප‍්‍රාග්ධනය කොච්චර සංකීර්ණද කියනව නම් ඕන්නම් ඒකට ඔබට චීන පන්නයේ සමාජවාදයක් වුණත් දෙන්න පුළුවන්. හැබැයි ඒකට ඔබට ජීවිතය දෙන්න බෑ. ඉතින් ඔබට දේවල් දිනා දෙන්න කතා කරන සෑම සියලූ මහත්වරුන්ටම අපිට කියන්න තියෙන්නෙ මහත්වරුනි ඕගොල්ලො ධනවාදීන්ම තමයි. 71 සහෝදරවරු ඉල්ලූවෙ ජීවිතයක්. ඔව් යහපත් ජීවිතයක්. ඒ ජීවිතය දේවල් ඇතුළෙ නෑ. ඒ නිසා දේවල් ඉල්ලල කෑමොර දෙනවා වෙනුවට ජීවිතය ඉල්ලලා සටන් වදින්න. ඒ වෙනුවෙන් හදාරන්න. එහෙම නැතොත් අපිට කියන්න වෙන්නෙ සහෝදරවරුනි විප්ලවය සිදු වූයේ නෑ, විප්ලවය සිදු වෙන්නෙත් නෑ කියල විතරයි.

– ප්‍රියන්ත ලියනගේ

පසුගිය වසරේ අප්‍රේල් 06 සත්හඬින් උපුටාගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *