උපුටාගැනීම්විශේෂාංග

හත්ඉලව්වේ කුරුණෑගල කොහේද බං පතල්? (සංහාරයකුගේ පාපොච්චාරණය – 9)

පතී කර්නල් බලගොඩගේ කාර්යාලයෙන් එළියට පැමිණෙත්ම කර්නල් තෙන්නකෝන් එහි ඇතුළු විය. ‘හියුමන් රයිට්’ යනුවෙන් හඳුන්වන්නේ එවකට මානව අයිතිවාසිකම් පිළිබඳව දැඩි කි‍්‍රයාකරුවකු ලෙස රටට පෙන්වමින්, රටට පෙනෙන්නට මහා හඬක් නැං වූ, වර්තමාන සේනාධිනායක හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ එවකට ලූතිනන් කර්නල්වරයකු ලෙස ගජබා රෙජිමේන්තුවෙයි සේවය කළේය. බි‍්‍රග්. විජේ. හෙවත් විජය විමලරත්න මහතා ගෝඨාභය මහතාගේ ප‍්‍රධානියා විය. ගෝඨාභය මහතා හරහා ඇති වූ සබඳතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ විපක්ෂ මන්ත‍්‍රීතුමාත්, බි‍්‍රගේඩියර් විජය විමලරත්න මහතාත් අතර දැඩි මිතු දමක් සබඳතාවක් ගොඩනැගී තිබිණි. දැඩි උන්නතිකාමයෙන් පෙළුණ මන්ත‍්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා එවකට පැවති රජයට විරුද්ධව හා ජවිපෙ මර්දනයට විරුද්ධව ප‍්‍රබල හඬක් නංවන බව පෙන්වීය. ජවිපෙ මේ බව විශ්වාස කළේය. ඔවුන් සිතුවේ මහින්ද මහතා තමා වෙනුවෙන් පෙනී සිටින බවකි. ජවිපෙ භූගතව සැඟවුණ දේශපාලනයක යෙදුන එම කාලයේ දී ප‍්‍රසිද්ධියේ ඔවුනගේ නෛතික කටයුතු හා ඔවුනට එදිරිව රජයෙන් සිදු වන කුරිරුකම්වලට එරෙහිව ඔවුනට පෙනී සිටීමට නොහැකි විය. මහින්ද මහතා ඒ සම්බන්ධ ඔවුන්ගේ ‘හඬ’ බවට පත්ව තිබිණි. එහෙයින් ජවිපෙ හා එහි සන්නද්ධ අංශය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ බොහෝ රහස් කටයුතු හා පුද්ගලයන් මහින්ද මහතාට රහසක් වූයේ නැත. රජයට විරුද්ධව හඬ නගන මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සැලසුනේ බි‍්‍රගේඩියර් විජය විලරත්න අතිනි. ඒ වෙනුවට අවශ්‍ය ඔත්තු ටික තොරතුරු ටික මහින්ද මහතාගෙන් ලැබෙන බවට ඔහු ජනාධිපති පේ‍්‍රමදාස හා ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මැතිතුමාට සහතික වී තිබිණි. බි‍්‍රගේඩියර්වරයා මන්ත‍්‍රී මහින්දට තම යුතුකම ඉටු කළ අතර මන්ත‍්‍රීතුමා බි‍්‍රගේඩියර්ට තම යුතුකම ඉටුකළේය. මෙලෙස හමුදා භාෂාවෙන් ‘හියුමන් රයිට්’ හෙවත් මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීතුමා තම යුතුකම ඉටු කළ අවස්ථාවකට එවකට ලූතිනන්වරයකු වූ පතිරණ මැදිහත් වී තිබිණි.

සුලූ මුදල් නිලධාරි ළඟට ගිය පතිරණට රුපියල් එක්දහස් පන්සියයක් ලැබිණි. ආපසු තම නිවසට ගිය ලූතිනන්වරයා ෂෝටක් (කොට කලිසමක්) හා ටී ෂර්ටයක් ද ඔතා සිලිසිලි කවරයකට හෙවත් ෂොපිං බෑගයකට දමා බුරුසුව ද ඊට රුවා තුංමුල්ලට ඇවිදගෙන ගියේය. බදුල්ල බසයක නැගී ගොස් බලන්ගොඩ නගරයේ මෙහා හෝල්ට් එකෙන් බැස ගත්තේය. ‘ටාගට් වන්’ හෙවත් ජවිපෙ නායක රෝහණ විජේවීර සොයා ලූතිනන් පතිරණ කළුවරේම බස් නැවතුමේ සිට නැවත කොළඹ දෙසට පියමැන්නේය.

මද දුරක් ගිය පතිරණ කොළඹ දෙසින් පැමිණි මෝටර් රියක ආලෝකයට මුවා වීම සඳහා ගරාජයක් වැනි ස්ථානයකට පැන ගත්තේය. කලබල වූ බැල්ලියක් පළමුව පාර දෙසට පැනදුවා ඉන්පසු බුරන්නට පටන් ගත්තේය. කලබල නොවූ පතිරණ ගරාජය තුළට ස්වල්පයක් ගමන් කර කිසිවකු නොදැක එහි සදාකාලික ලෙස නවතා තිබූ ටාටා 1210 වර්ගයේ ෆුල්බොඩි ලොරියකට මුවා වී, තම හැදසිටි ඇඳුම් ගලවා අත තිබූ ෂොපින් කවරයේ වූ කොටකලිසම ද පරණ ටී ෂර්ටය ද ඇඳ ගත්තේය. නැවත බැල්ලිය එහි පැමිණ උගුරෙන් ගුර් ගුර් හඬක් පිටකර ගරාජය අස්සට රිංගාගත් අතර ඉන්පසු බලූ පැටවුන් වගයක් සතුට ප‍්‍රකාශ කරන නාදයක් පිට කළේය.

පතිරණ බලන්ගොඩ නගරය මැදින් ගමන් ගත්තේය. පොලීසිය පමණක් ජෙනරේටරයක් ආධාරයෙන් විදුලිය ලබා ගනිමින් සිටී. පතිරණ කිසිදු වග විභාගයක් නොමැතිවම පොලීසිය ඉදිරියෙන් ගමන් කොට තුඹගොඩ වනතෙක්ම ඇවිද්දේය. තුඹගොඩ ‘නන්දන හෝටලය’ පතිරණට පුරුදුය. ඔහු දියතලා යන විට බස් රථය තේ බීමට නවත්වන්නේ මෙහිය. මෙපරිදිම පතිරණ පැමිණි බස් රථය ද තේ බීමට නවතා නැවත ගමන් ඇරඹීමට සූදානමින් තිබිණි.

ලූතිනන් පතිරණ තමා බලන්ගොඩට පැමිණි බස් රථය පසුපසට වී මඳ වේලාවක් සිටියේය. දුම්වැටි දල්වා ගත් දෙදෙනෙක් පමණක් බසයේ පසුපස වුව ද ඔවුන් හට පතිරණ ගැන වග විභාගයක් නැත. දැන් මෙම බසයේම පැමිණ බලන්ගොඩින් බැසගත් හැන්ඩි කළු කොල්ලා නැත. ඒ වෙනුවට ෂොපිං බෑගයක් තම කිහිල්ල අස්සේ රුවාගත් ‘හිඟන කොල්ලකු’ සිටී. පතිරණ එහි තනිකර බසය නික්මුණේය. අවසන් මොහොතේ අයිනකට වී මුත‍්‍රා කරමින් සිටියෙක් පතිරණ පසු කර බසයේ එල්ලූණේය.

දිනක් පතිරණ ගීතාන් සුජීව නම් තම පාසල් මිතුරකුගේ ගෙදර ගියා මතකය. ඔහුගේ පියා කලවානේ පොඩි මහත්තයා නොහොත් ප‍්‍රකට මැණික් ව්‍යාපාරිකයකු විය. පතිරණ ගීතාන් සමඟ පතල් බලන්නට ගියා මතකය. ඔහු පතල්කරුවකුගේ ස්වරූපය වඩාත් හොඳින් මතක් කරගන්නට වෙර වෑයම් දැරීය.

ජලය එය දමන භාජනයේ හැඩය ගන්නාක් මෙන් ඔත්තුකරුවා ද සිටින පරිසරයේ හැඩය ගනී. මේජර් හයින් තමාට ඊශ‍්‍රායලයේ දී කියා දුන්නා මතකය. බලන්ගොඩට පැමිණි ඔත්තුකරුවා දැන් පතල්කරුවකු විය යුතුය. ශූර ඔත්තුකරු පතිරණ, බසය නික්මුණ පසු තුඹගොඩ, නන්දන හෝටලය වෙත පියමැන්නේය.

හෝටලය කාර්යබහුල ස්වරූපයක් ගෙන ඇත. මිනිසුන් ඉඳ ගෙන මෙන් හිටගෙන ද ආහාර ගනී. කතා කරයිි. දුම්පානය ද කරයි. විවිධ සිනා හඬවල් කීපයක් එකට එක් වී සමුද්‍ර ඝෝෂ වැනි නාද රටාවක් නිර්මාණය වේ. පතිරණ කල් යල් බලා කැෂියර් කූඩුවේ සිටින රැුවුලා කරා ගොස් වටපිට බැලූවේය. බිත්තර රොටී දෙකක් පි`ගානක දමාගෙන එතැනින් මේසයක් වෙතට ගිය පුද්ගලයාගේ රැවුල නැතත් මුහුණේ හැඩය අනුව කැෂියර්කරුගේ සහෝදරයෙක් විය යුතුය. පතිරණ තමාගේ කකුල යැයි නොදැන මෙන් කකුල ඉස්සුවේය. ආපසු තැබුවේය…. කැෂියර් පැත්තට ඇළ වුණේය… ඇඹරුණේය… පහේ පන්තියේ දී වරදක් කළ තමා මෙලෙසම ඥානා පෙරේරා ටීචර් ඉදිරියට ගිය අයුරු පතීට හදිසියේම මැවී පෙනේ.

”ඇයි කොල්ලා…?” කැෂියර් විමසයි.

පතීගේ පළමු උත්තරය මඳ කැස්සකි. දෙවැන්න උගුර පෑදීමකි. තෙවැන්න නැළවීමකි. සිව්වනුව පතිරණ කතා කළේය.

”අනේ මහත්තයා… මම බඩගින්නෙ…. සල්ලි නෑ…. මට පරණ බනිස් ගෙඩියක් හරි කන්ඩ මොනව හරි දෙන්න පුළුවන්ද?”

”ඇයි බං මං උඹට කන්න දෙන්නෙ?” ඔහු මුදලාලිමය ස්වරූපයේ ව්‍යාපාරික ප‍්‍රශ්නයක් අසයි.”

”අනේ මං පතලක වැඩට එක්ක ආවා… උඩහ… ගල් හම්බුන් නෑ… මට සල්ලි දෙන්නෙත් නෑ… මහත්තය මං ආවා…”

”උඹ කොහේද බං?”

”මහත්තය මං කුරුණෑගල, මාවතගම පහේ කණුවෙ. කොළඹ කඩේක වැඩ කෙරුවෙ” ”දැන් උඹ කොහෙද යන්නෙ… බං මේ කචල් කාලෙ…. රූ වෙලා” ”ම…මහත්තයො මම පතලක් හොයන්න යනවා… මට සල්ලි නෑ…. මට බනිස්….”

මහ ? පතල් හොයන්න… යකෝ අන්න අර රජවක මොහොට්ටි අයියා නං රෑට පතල් හාරනවා…” කැෂියර්වරයා හොඳින් වැඩුණු දේහයක් සහිත මිනිසකු පෙන්වා හක හක ගා සිනාසෙයි.

මොහොට්ටි අයියා පුටුවෙන් නැගිට ඉදිරියට එයි. පරිප්පු කැබලි හා හොඳි ස්වල්පයක් ඔහුගේ සුදු පාට කමිසයෙහි යම් මෝස්තරයක් මවා ඇත. මොහොට්ටි අයියා කතා කරන්නට කට ඇරිය විට පතිරණට සුපර් සොනික් ගුවන්යානාවක් මතක් විය. මන්ද ශබ්දයට වඩා වේගයෙන් අරක්කු ගඳක් පතීගේ නාසය වෙලා ගත් බැවිනි.

”මොකාද මල්ලි මේ කොල්ලා…?” මොහොට්ටි ඇසුවේ කැෂියර්ගෙනි.

”මෙන්න මේක මේ පතලක වැඩ කළාලූ… මගෙන් නිකං කන්න ඉල්ලනවා.” එවිටම උස, කෙට්ටු, හොඳ පෙනුමක් ඇති පිරිමියෙක් මොහොට්ටි, කැෂියර් හා පතිරණ යන තිදෙනාම මැදට අවතීර්ණ වුණි. ඔහුගේ අතේ බිත්තර රොටී කැබැල්ලක් තිබූ අතර ඊට අයත් විශාල කැබැල්ලක් ඔහුගේ කට තුළ පැවති බවට පතිරණ නිගමනය කළේ දෙසපට උල් වූ කම්මුල් දෙක දැකීමෙනි. හේ විජේ අයියා විය. විජේ අයියා කතා කළේය. ඉන්පසු අරක්කු දුර්ගන්ධයට අමතරව බිත්තර රොටී කැබලි ස්වල්පයක් ද මුවින් පිට විය.

”හත්ඉලව්වයි… කොහෙද මලේ උඹ වැඩ කළේ…” කාගේ පතලෙද…” ”අනේ මහත්තයා… කලවානෙ පොඩි මහත්තයා කියල මුදලාලි කෙනෙකුගෙ… හත්ඉලව්වයි…. කලවානෙ පොඩි මහත්තයා මෙහෙත් පතල් දාලද?”

”ඔව් මහත්තය… උඩහ… මට සල්ලි දුන්නෑ… කන්ඩත් නෑ… මහත්තය…” ”හරි හරි මල්ලි… මේ ළමයට බිත්තර රොටී දීපන්…” විජේ අයියා කරුණාවෙන් කැෂියර්ට සොඳුරු නියෝගයක් දේ…

”මලේ අර ආප්පත් තියෙන්නෙ අරං කාපං…” විජේ අයියා දානපාරමිතාව පුරයි.

”හත්ඉලව්වේ උඹ කොහේද මල්ලියෙ..?” විජේ අයියා අසයි.

”මහත්තය මම මාවතගම… කරුණෑගල”

”එහෙ කොහෙද යකෝ පතල්…?” මොහොට්ටි උපරිම කාරුණිකව අසයි…

තව විවිධ පුද්ගලයන් විසින් අසන ලද ප‍්‍රශ්න සඳහා පතිරණ පිළිතුරු දෙන්නේ.. බිත්තර රොටී සමඟ පරාටා ද කන ගමන්ය.

”හත්ඉලව්වේ… මොහොට්ටි මල්ලි මූ හොඳ කොල්ලෙක්… අපි මේ මල්ලිව අපේ පතලට අරංයං…”

”මල්ලි උඹ එනවද?”

”මං එන්නං මහත්තය පතිරණ පිළිවදන් දෙයි.

ඉතිරි කොටස ලබන සතියට…

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය – 8

One thought on “හත්ඉලව්වේ කුරුණෑගල කොහේද බං පතල්? (සංහාරයකුගේ පාපොච්චාරණය – 9)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *