අපරාධඋපුටාගැනීම්විශේෂාංග

මේ වළේ නිදන්නේ අපේ වුන්ය

නිශ්ශබ්ද වෙනු!

මේ උසාවියෙන් ඇසෙන නියෝගයකි. සියල්ල මීයට පිම්බා වැනි වුවත් හදවත් මහා සද්දයට ගැහෙති. ඒ අහිමිවීමේ ශෝකය කාලයක් පුරාවට හදවතේ දරාගෙන සිටිමුත් එය එකවර තට්ටුවක් දමා අවදි කළ බැවිනි.

 එබැවින් තවදුරටත් ‘‘නිශ්ශබ්ද වන්නැ’යි කීමෙන් පළක් වේද? ඔවුහු හඬති. තැවෙති. හූල්ලති. දුක්වෙති. ඒ හදවත් සනසනුයේ කවුද?’’ සංවර්ධනයට කැපූ බැකෝ කටක පස් මතින් ඉපිල ආවේ ඇට කැබලිය. කාටවත් නොකියා පොළොවට වහන් කළ මිනිසුන් එළියට ආවේ ඇට කැබලි ලෙස වුවත් එය ලෝකයාටම හඬ නගා කීවේ යුක්තියක් අවැසි බවය. දේශපාලන වාද පිටිවල කේවල් වී හපවී චුතවන සංවාදවල මහා ඉහළින් ඉන්නට මේ ඇටසැකිලිවලට හැකිවූයේ වරද කාගෙද යන අච්චුව සෙවීම සඳහාය. එහෙත් ඒ සියල්ල පස්ය. සැඟව සිට යුක්තියක් නොවූ ඔවුන්ට එළියට පැන්නද නිවනක් නොවුණි. මන්ද ඒවාට කෑ ගසා පැවසිය නොහැකි බැවිනි. එහෙත් මළවුන්ගේ සාක්ෂි ගතහැකි ක‍්‍රම ඕනෑතරම්ය. ඒ සියල්ලට අනුව මේ නම් සමූහ ඝාතනයක්ය. සමූහ බලපෑමක්ය. එහෙත් ඒ කවුද? ඉතිරි වූ ප‍්‍රශ්නය එයය.

ජෙසුස්ටත් ඇණ ගැසුව තැනක ඇසෙන සොයන තීන්දුව එයය. අපිට බැරි නම් අපේ වුන්ටත් බැරිනම් පිටරැුටියන් හෝ පැමිණ මේ දුක අසව් කියන්නේ එවන් කලෙකය.

මේ මාතලේ මිනීවළේ ඇටසැකිලි ගැන නැගෙන නඩුවය.

නඩු අංක B181012012ය.

නඩුවට අදාළ ඇට සැකිලි 154කි. පෙර කල තිබූ හා හූව උසාවියට ගාල්වීමත් සමග නිශ්ශබ්ද විය. මේ ගෙවෙනුයේ එකී නිශ්ශබ්දතාවයේ හෝරාවය.

නඩුව ඇසෙනුයේ මාතලේ අධිකරණයේය. නඩුවට පොලිස් ආරක්ෂාව, හමුදා ආරක්ෂාව උපරිමයය. උසාවියට එන සියල්ල වෙනදාටත් වඩා සෝදිසියය. ක‍්‍රියාවිරහිත කළ ජංගම දුරකතනය වුව රැුගෙන නොයා යුතුය. මේ එසේ මෙසේ නඩුවක් නොවේය. මෙතෙක් මෙරට ඉතිහාසයෙන් දැනට හමුවූ මහා පරිමාණ මිනීවළය. නඩුව ඒ ගැනය. මේ ඇටසැකිලි මත තමන්ගේ එකකු ඇතැ‘යි අනුමානයට, ස්ථිරයට ආ පිරිස පන්සියයකට අධිකය. උසාවි භූමිය අතුරු සිදුරු නැතිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහය අවැසි බව අධිකරණයෙන් ඉල්ලා සිටියහ. උසාවියේ සහය ලැබුණි.

සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි යන භාෂා තෙබසින්ම මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස උසාවියේ උපදෙස් විය.

දිවුරුම් ප‍්‍රකාශ 22කි. එය භාරගත් අධිකරණය එය පිළිගන්නවාද නැද්ද යන්න සලකනුයේ මීළඟ නඩු වාරයේදීය.

එනම් ජුනි 28 වැනි දිනය.

මෙතෙක් ලද සියලූ සාක්ෂි කියාපෑවේ මේ නම් 1988/89 කාලවකවානුවේ පොළොවට පස්වූ ශරීර බවය. එය එසේමැයි එකල අතුරුදන්වූ පිරිස්වල මාපියෝ, සහෝදර, සහෝදරියෝ උසාවියට රැුස්වූහ. මෙතෙක් රහසේ හඬමින් නිශ්ශබ්දව දිවි ගෙවූ ඔවුහු දැන් එළිපිට හඬති. දුක බෙදා ගනිති. කෑ ගසා කියති. කාටද? එදා සූරිය කන්දෙන් මතුවූ ඇට කැබලි රට වටා ගෙනගිය එකී දුකට සාධාරණය ඉල්ලා සිටි ගැලවුම්කාරයා අද රටේ නායකයාය. එසේ නම් මේ දුක නොකියා කියනුයේ කාටද? කාට වුව කම් නැත. ඔවුන් මේ කියනුයේ අසන, ඇසෙන වුන්ටය. නෑසූකන්ව ඉන්නට නොව ඇස්, කන් හරින්නටය. එහෙත්…

ජයලත් මැණිකේගේ කතාව

මගේ මල්ලී ටී.ඇම්. ආනන්ද කුමාර. අපිට එදවස තාමත් මතකයි. ඒ 89/12/22. අපි නිදාගෙන හිටියේ. වේලාව 12ට විතර ඇති. ගෙදර දොර කඩාගෙන හමුදාව ගෙට ආවේ. දැන් මතක් වෙනකොටත් ගැහෙනවා. නිදාගෙන හිටපු මල්ලිව අරගෙන ගියේ කටඋත්තරයක් ගන්න කියලා. එතකොටත් මල්ලි බැඳලා දරුවෙකුත් ඉන්නවා. ඒ දරුවටත් දැන් අවුරුදු 23ක්. මල්ලිව පැහැරගෙන යනකොට මල්ලිට 22යි.

අපි පහුවදාම අංකුඹුර හමුදා කඳවුරට ගියා. නිලධාරීන් අපිට බැණලා පන්න ගත්තා. ඊළඟට අපි නොගිය තැනක් නැහැ. පන්සලක්, දේවාලයක් පවා නැහැ. මේ මිනීවල ගැන ඇහුණහම මගේ මල්ලිත් ඒ ගොඬේ ඇතැ’යි කියලා හිතෙනවා. ඒ හින්දයි උසාවියට ආවේ. ඒ ටී.ඇම්. ජයලත්ගේ සහෝදරිය ටී.ඇම්. ජයලත් මැණිකේ මහත්මියය. ජයලත්ගේ මවට හඬනු හැර වචන නොවීය.

විජේරත්න මහතාගේ කතාව

මට සහෝදරයෝ තුන්දෙනෙක් හිටියා. තුන්දෙනාම අවස්ථා තුනකදී භීෂණය ඩැහැ ගත්තා. ලොකු අයියා කේ.ඇම්. අබේරත්න. එතකොට එයාට අවුරුදු 33ක්. බැඳලා. වැඩ කළේ හිඟුරක්ගොඩ බැංකුවේ ලිපිකරුවෙක් විදිහට.

අයියා නිදාගෙන ඉන්න කොට මහ දෙගොඩහරිජාමේ හමුදාව ඇවිත් අරගෙන ගියා. උකුවෙල තවලංකෝය හමුදා කඳවුරේ මාස දෙකක් රඳවගෙන හිටියලූ. ඊළඟට විශ්වවිද්‍යාල හමුදා කඳවුරේ හිටියා කියලා නිදහස්වෙලා ආපු අය අපිට කිව්වා.

දෙවැනියා කේ.ඇම්. ජයතිලක. එතකොට එයාට වයස අවුරුදු 30කි. දවසක් ? අටට විතර හමුදාවේ කට්ටියක් ගෙදරට ඇවිත් අරගෙන ගියේ. ඊළඟට මල්ලිව අපිට හම්බ වුණේ ගමේ ඉස්කෝලෙ ළඟදි. මරලා දාලා තිබුණේ. පොලීසිය මළ සිරුරත් අරගෙන ගියා.

බාල මල්ලි කේ.ඇම්. සෙනෙවිරත්න අරගෙන යනකොට අවුරුදු 22යි. එළවළු කොටුවේ පැළ ඉන්දන ගමන් දහවලේ හමුදාව ඇවිත් අරගෙන ගියේ. එයත් මාතලේ විශ්වවිද්‍යාල කඳවුරේ හිටියා කියලා නිදහස් වෙලා ආපු අය කිව්වා.

මේවා හෙණ ගහන අපරාධ.

මාතලේ කිවුල ප‍්‍රදේශයේ පදිංචි කේ.ඇම්. විජේරත්න මහතාගේ උසාවි පැමිණීමේ නිමිත්ත එබඳුය.

ගුණරත්නගේ කතාව

89/11/13 වැනිදා දහවල් එකට, දෙකට මාතලේ නගරයේදී සිවිල් ඇඳුමින් හිටපු පිරිසක් තමයි මගේ සහෝදරයා කේ.ඞී. ඉලංගරත්නව අරගෙන ගිහින් තිබුණේ. විශ්වවිද්‍යාල හමුදා කඳවුරේ හිටියා කියලා දැකපු අය ඕනතරම් හිටියා.

කේ.ඞී. ගුණරත්නට උසාවි එන්නට ඇති නිමිත්ත එයය.

පොඩි නෝනාගේ කතාව

ඞී.ජේ. පොඩිනෝනාට ඇත්තේද එවන්ම කතාවකි. මගේ මහත්තයා ගෙදර ඉන්නකොට සිවිල් ඇඳගත්ත කට්ටියක් වාහනයක ඇවිත් දමාගෙන ගියා. එයාගෙ නම බෙනට් ගමගේ. හොයාගෙන යනකොට දැනගත්තා පලාපත්වල යුද හමුදා කඳවුරේ ඉන්නවා කියලා. ඊළඟට ආරංචි වුණේ විජය විද්‍යාල කඳවුරේ ඉන්නවා කියලා. ඊළඟට රත්තොට ගොවිජන මධ්‍යස්ථාන කඳවුරේ හිටියා කියලා මේ කඳවුරුවල ඉඳලා නිදහස් වෙලා ආපු අය කිව්වා. ඊළඟට ආයේ ආරංචි වුණේ මේ මිනීවළ. මට හිතෙනවා මේකේ ඇති කියලා.

මෙවන් අනුමානයකට පැමිණි පිරිස විශාලය. ඔවුන්ගේ සහෝදරයා, හිතවතා, සැමියා මේ වළේ නිදන් කොට ඇතැ’යි ඔවුහු සිතති. විශ්වාස කරති. එවන් විශ්වාසයක ගිලෙන්නට ඔවුන් සතු එකම අදහස අතුරුදන්වූ කිසිවෙක් නැවත නොආ බැවිනි. එලෙස නොආවේ මේ වළෙහි සඟවා තැබූ නිසායැ’යි ඔවුහු මේ මොහොතේ අදහන දෑය.

ඇටසැකිලි හමුවූ මුත් මේ ඇට මිදුලූ වසා මස් වැඞී තිබුණේ තමන්ගේ සැමියාගේ, සහෝදරයාගේ, සහෝදරියගේ හිතවතියගේදැ’යි ටක්කෙටම මොවුන්ට කිව නොහැකිමුත් ඒ මත තම සැමියා, සහෝදරයා, පෙම්වතා, හිතවතා සිටිතැ’යි ඔවුහු අදහති. අතුරුදන් වූ සියල්ල මේ වළෙහි නැතත් අතුරුදන්වූ සියල්ලට වූයේ මෙලෙස වැළළෙන්නට බව මේ සැවොම හොඳාකාරවම දනිති. එබැවින් ඔවුහු සියලූදෙනා එකී අඩුව පුරවන්නට උසාවියට පැමිණ සිටිති. එහෙව් අයගේ හදවතට වදිනුයේ

‘නිශ්ශබ්ද වනු’ යන කුළුගෙඩි පහරය.

සැබැවින්ම මොවුහු බොහෝ කල් නිශ්ශබ්දව සිටිවුන්ය. නිහඬව දුක්විඳි වුන්ය.

උසාවිය කල් දැමිණි.

මේ සා දුක් ගොඩක් එලෙස කල්දැමිය හැකි නම්…

මෙතෙක් කල් හඬනු ඇත්ද? බලා සිටිනු ඇත්ද? ඇටසැකිල්ලක් වෙනුවෙන් උසාවි එනු ඇත්ද?

මේ ඇටසැකිලි නොව පණ මෙන් රැකි ජීවිතය. මොවුන් හඬ නඟනුයේ, ඉල්ලා සිටිනුයේ එකී ජීවිතයට ලද අයිතියය. යුක්තිය ඉටුකිරීමය. එය එසේ නොවන්නේ නම්

‘‘කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරන්’’

RAVAYA | නිමල් බණ්ඩාර හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *