සාමාන්‍යයෙන් දේශපාලනය වැනි ඉතා සංකීර්ණ හා ගැඹුරු වූ විෂය පථයක් පිළිබඳව තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ දාර්ශනික මනසකින් යුත් විදග්ධ පුරවැසියන් විසිනි. එහෙත් පොදුවේ ගත්කල්හි මිනිසෙකු සතුවිය යුතු සමාන අයිතීන් තුළ, කිසිදු මූලික අයිතියක් බෙදා වර්ග කිරීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න නොවන බවට වූ පොදු පිළිගැනීම හා එකඟත්වය තුළ, රටක හෝ සමාජයක; පාලනයට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතු කර ඇත. එකී පරමාධිපත්‍ය බලයට පාලන බලතල ද මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ද ඇතුළත් ය.
ඒ අනුව තව දින තුනකින් මේ රටේ ජනතාව අභ්‍යාස කරනු ඇත්තේ තමන් සතු පරමාධිපත්‍ය බලයයි. එතරම් බරසාර සුවිශේෂි වගකීමකින් යුත් බලය රටක ජනතාව තවත් එක් මැතිවරණයක් හරහා අභ්‍යාස කරන්නේ හුදු මහජන නියෝජිතයින් පිරිසක් තෝරාගැනීම සඳහා පමණක්ම නොවේ. තම පළාත් පාලන ආයතනයට අදාළ පාලනය තීන්දු කිරීම පමණක් ද නොවේ. තම රටේ හා ප්‍රදේශයේ අනාගත ස්වභාවය ද ඒ තුළ තීන්දු කරනු ඇත. ඡන්දය යනු මහජනයා සතු අවියක් මෙන්ම අපායට ද සුරලොවට ද දොරටු විවර කළහැකි යතුරක් ලෙස සැලකිය යුත්තේ ඒ නිසාය.
සාමාන්‍යයෙන් ලංකාවට අදාළව සලකා බැලීමේදී ඡන්ද බලය හරහා පුරවැසියන්ට සුරලොවක් විවෘත කරගැනීමට නොහැකි වී ඇතත් අප, අප විසින්ම අපායවල් නිර්මාණය කරගත් අවස්ථා බොහෝ තිබේ. වර්ගවාදී හා දේශපාලන ගැටුම්, කැරලි හා විවිධාකාර සමාජ අසහනයන් තුළ රට අභ්‍යන්තරික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පිරිහීමට තුඩු දුන් කාලවකවානු අතීතයේදී නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය. සමාජයේ පුරවැසියන් ලෙස තම ඡන්දය භාවිතා කිරීමේදී හෘද සාක්ෂියට මෙන්ම සදාචාරාත්මක මිනුම් දඬු මත පිහිටා කටයුතු කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. එහිදී හඳුනාගත යුතු ප්‍රථම සත්‍යය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සලකා බැලිය යුතු සදාචාරාත්මක පදනම කුමක් ද යන්නයි. ඊට ලබාදිය හැකි හොඳම පිළිතුර හොඳ හා නරක යන්න පිළිබඳව තම තමන් තුළ පවත්නා විනිශ්චය යි.
හොඳ හා නරක විමසා බැලීමේදී දේශපාලනයට අදාළව ද එය තේරුම්ගත යුත්තේ සාපේක්ෂව ය. එය හුදු කැමැත්ත, ආකර්ෂණය, ලැදියාව යන හැඟීම් තුළට පමණක් කොටුවී තීන්දු කළහැකි සමාජ පුර්ෂාර්ථයන් නොවේ. සාපේක්ෂව තක්සේරු කළයුතු වටිනාකමකි. ඒ අනුව අප රටේ සමස්ත දේශපාලන ඉතිහාසය තුළ සිදුකර ඇති සෑම දේශපාලන පරිවර්තනයකදීම එය සිදුවී ඇත්තේ පෙර සඳහන් කළ හොඳ හා නරක සාපේක්ෂව මැන බැලීම තුළ ය. අද වනවිට වහල් මනසකින් යුත් පාක්ෂිකයන් වෙනුවට දැනුවත් පාක්ෂික ජනතාවක් රට තුළ නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය. එය යහපත් ප්රවනතාවයකි. එවැනි දැනුවත් හා යහපත් කිසිදු පාක්ෂිකයෙක් පටු හැඟීම් මත තම පාක්ෂිකත්වය පාවාදෙන්නේ නැත.
අද වනවිට අප පුරවැසියන් ලෙස ගෙවන සාපේක්ෂ නිදහස; රටක් ලෙස ලෝකය හමුවේ දිනාගෙන ඇති පිළිගැනීම හා ගෞරවය, ඒ තුළ අනාගත පරපුරට ඉතිරි කර තබා යා හැකි ප්රතිලාභ යන මූලික කරුණු කාරණා සලකා බලමින් ශ්‍රී ලාංකිකයන් මෙවර ඡන්දය පාවිච්චි කරනු ඇතැයි සිතිය හැක්කේ ඒ නිසාය. එහිදි පුරවැසියන් ලෙස අප ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු එක් කරුණක් තිබේ. එනම් රටක් ලෙස අප ඉදිරියට මිස ආපස්සට නොයා යුතුය යන්නයි. එහිදී රටේ මෙන්ම මහජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කර ඇති අවස්ථාවන් මෙන්ම පරාජය වී ඇති අවස්ථාවන් ද සැලකිල්ලට ගනිමින් මෙවර ඡන්දය තීරණය කිරීමට හැකි නම් රටක් ලෙස හෙට දවස කිසිසේත්ම අභියෝගාත්මක නොවනු ඇත.
එහිදී මෑත කාලීන පාලනය තුළ රටක් ලෙස අප ලද ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද ඇති බව තේරුම්ගත හැකිය. උදාහරණයක් ලෙස වර්තමාන රජයේ පාලන සමය තුළ ද ඊට පෙර පාලන සමයන්හි සිදුවී ඇති ආකාරයේ වංචා සිදුව තිබීමයි. බැඳුම්කර මගඩිය ඒ සඳහා දැක්විය හැකි නිදසුනකි. එහෙත් බැඳුම්කර වංචාව පිළිබඳව රට දැනුවත් කරමින් ඒ පිළිබඳව විමර්ෂනයක් සිදුකිරීම තුළ ඊට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව උපරිම අන්දමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම වැනි ප්රවනතාවයන්; මහජන අපේක්ෂාවන් පිළිබඳව සැලකීමේදී සුවිශේෂි ජයග්රහණයන් ය. අද වනවිට මේ රටේ පාලනයට අදාළව මොනතරම් අඩුපාඩු තිබිය හැකි වුවත් මහජනතාවට විවර කර ඇති නිදහස, යුක්තිය ඉටුකරගැනීමට අදාළව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, පවුල්වාදී දේශපාලන අධිකාරීත්වයක් නොමැතිවීම, වාර්ගික වශයෙන් හෝ ආගමික වශයෙන් ගැටුම් ඇතිවීමට පැවති විභවයන් අහුරා දැමීම, කොන්ත්රාත්කාර හා පගාකාර මෙන්ම පාහර දේශපාලන සංස්කෘතිය පිටු දැකීම වැනි සාධනීය කරුණු කාරණා සලකා බැලීමේදී යහපත් ප්‍රතිඵල බොහෝ දැකගත හැකිය. එහි අගය අදට වඩා බුක්ති විඳිනු ඇත්තේ අප රටේ අනාගත පරපුරයි.
රාජපක්ෂ පාලනය වැනි පාලනයකට යළි කිසිදු අවස්ථාවක් නොදිය යුත්තේ ඒ නිසාය. වැරදීමකින් හෝ යළි එවැනි අවස්ථාවක් නිර්මාණය නොකළ යුතුය. එවැනි එක් වැරැද්දකින් සිදුවනු ඇත්තේ මේ වනවිට පුරවැසියන් ලෙස අප දිනාගෙන ඇති අයිතීන් හා රටක් ලෙස තහවුරු කරගෙන ඇති ප්රජාතන්ත්රවාදී අවකාශයන් ආපසු හැරවීමකි. ඉඟුරු දී මිරිස් ගෙන අතීතයේ බොහෝ පාඩම් උගෙන ඇති ජාතියක් ලෙස අප කිසිවිටෙක ඉගුරු දී නියඟලා අල ගැනීමට සූදානම් නොවිය යුත්තේ ඒ නිසාය.
සුනිල් ජයසේකර
උපුටාගත්තේ SLG