උපුටාගැනීම්විශේෂාංග

ගරුතර හාමුදුරුවනේ… සෞදිඅරාබිය දෙස අවධානය යොමුකරනු මැනවි

රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙතිසෙ නිතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්

මේ වෑත්තෑවේ හිමි විසින් රචිත ගුත්තිල කාව්‍යයේ 122වන කවිය යි. මෙම කවියෙන් විස්තර කෙරෙන්නේ ගෞතම බුදුන් වහන්සේ බෝධිසත්ව පිරුම් පුරන යුගයක ඔහු ගුත්තිල නම් වීණා වාදකයකු ලෙස රාජ්‍යය සේවයේ යෙදී සිටිය දී එරට ප්‍රධාන නගරයේ පැවති සැණකෙළියක සිරි විසිතුරු ය. (ගුත්තිල කාව්‍යය ලියැවෙන්නේ ජාතක කතා සංග්‍රහයේ එන 292වන ජාතක කතාව වන ‘‘ගුත්තිල ජාතකය’’ ඇසුරෙනි)

මෙම කාව්‍යයට අනුව සමස්ත නගරය පුරාම මිනිසුන් සුරා බොමින් ප්‍රීතිවන අතර මත් පැන් අතින් ගෙන පානය කරමින් ම නර්තනයේ යෙදෙන කාන්තාවෝ ද සිටිති. ඒ අනුව කාන්තාවෝ මත්පැන් පානය කර ඇත්තේ අද ඊයේක නොවන බව පැහැදිලි ය. ඉක්බිතිව බෝධිසත්වයෝ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පිරුම් පුරා බුදු පදවිය ලබන කාලයේ ද මේ ආකාරයට ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මනුෂ්‍යයෝ සුරාපානය කළ බව බෞද්ධ ඉතිහාස කතාවල සඳහන් වේ. ඒ ‘‘මත්පැන්’’ යනු බහුතර මිනිසුන්ගේ අවශ්‍යතාව මත: නිෂ්පාදනය කෙරෙන, මිලදී ගන්නා සහ භාවිතා කරන පානයක් බන බැවිනි. ඒ සඳහා කිසිදු ජාති, ආගම, කුල, ගෝත්‍ර හෝ ලිංග භේදයක් නොමැත. එසේ නම් කිසිවකු මත්පැන්: නිෂ්පාදනය කිරීම, මිලදී ගැනීම, පානය කිරීම යනාදිය පූර්ණ වශයෙන් වැළැක්වීම සඳහා නීති – රීති හෝ අණ – පනත් පනවා ඵලක් නොවේ. මන්ද එය බහුතරයකගේ අවශ්‍යතාවක් වන හෙයින් එම ද්‍රව්‍ය භාවිතා කරන මිනිස් ප්‍රජාවෝ තම අවශ්‍යතාව කෙසේ හෝ සපුරා ගන්නා බැවිනි. බුදුන් වහන්සේ වුව ද මත් පැන්: නිෂ්පාදනය, මිලදී ගැනීම හෝ භාවිතය තහනම් කළ යුතු යැයි නොවදාළා එහි විපාක පෙන්වා දුන්නේ එබැවින් විය හැකි ය.

 

සුද්දාට දොස් පැවරීම

ඉදින් ‘පර සුද්දා මෙරටට මත්පැන් හුරු කළා ය’ යන්න ද මුසාවකි. අනාදිමත් කාලයක සිට මෙරට ද විවිධාකාරයේ මත්පැන් නිෂ්පාදනය කර ඇති අතර පානය කරන පිරිස් ද බහුල ය. සුද්දා මෙරටට හඳුන්වා දුන්නේ වඩාත් දියුණු තාක්ෂණයක් උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන එක් එක් මත්පැන් වර්ග හඳුන්වා දීම ය. එසේ නොමැතිව ‘මෙරටට පළමුවෙන් ම මත්පැන් හුරු කළේ සුද්දා ය’ යන්න අමු ම අමු කෙබරයකි.

මීළඟ දුර්මතය වන්නේ කාන්තාවන් සහ මත් පැන් පිළිබඳ සමාජ මතය යි. එනම් කාන්තාවෝ මත්පැන්: නිෂ්පාදනය කිරීම, මිලදී ගැනීම සහ පානය පානය කිරීම: දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය කෙලෙසීමක් ය යන්න ය. ප්‍රබල ලෙස කසිප්පු නිෂ්පාදනය කෙරෙන මීගමුව, හලාවත, දංකොටුව සහ වෙනත් බහුතර ප්‍රදේශවල මත් පැන් සමග බැඳුණු මේ සියලු කටයුතුවල කාන්තාවෝ ද නියෝජනය වන බව නොදන්නේ කවරකු ද?

සමාජ යථාර්ථය එසේ පවතිද්දී පසුගිය එකොළොස්වන දින ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධිත සුරාබදු පනතේ සඳහන් ‘‘කාන්තාවන්ට තැබෑරුම්වලින් මත්පැන් මිලදී ගතහැකිය සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවයේ නිතරවිය හැකි ය’’ යන වගන්ති ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමින් මෙරට සංඝයාවහන්සේලා ඊනියා සටනක් දියත් කර ඇත. මේ අන් කිසිවක් නොව දියුණු සමාජයක් වෙත පා නැගීම සඳහා තබන හැම පියවරක්ම වළක්වාලීම සඳහා ‘‘2500’’ පෙරට දැමීම ය.

 

කාන්තාවෝ ද මනුෂ්‍යයෝ වෙති

‘‘අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී’’ යැයි පැවසුවේ මෙරට විසූ මහා විද්වතකු වන කුමාරතුංග මුනිදාස ය. ඔහු සේ පැවසුවේ කට කසනවාට නොවන බව දැන් දැන් පැහැදිලි ය. එනම්, මෙරට වෙසන මූඪ දනෝ සිය දියුණු පැවැත්ම වළක්වාගැනීම උදෙසා තමන් විසින් ම විවිධ බාධක පනවාගන්නා බව ඔහු නිවැරැදිවම අවබෝධ කරගෙන සිටි බැවිනි.

කාන්තාවෝ යනු ද මනුෂ්‍යයෝ වෙති. ඔවුහු ද සියලු ආහාරපානාදියෙහි රස නිරස භුක්ති විඳින්නට කැමැත්තතෝ ය. එකී ආහාරපානා’දියෙහි ආදිනව දන්නෝ එවා භාවිතා කිරීමෙන් වැළකී සිටින අතර හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් මත්පැන් පානය කිරීමට කැමැත්තක් දක්වන පාර්ශ්වය සඳහා එයට අවස්ථාව සලසා දිය යුතු ය. මන්ද මත්පැන්: පානය, නිෂ්පාදනය සහ අලෙවිය පංචානන්තර්ය පාප කර්මයට හසුවන පාපයක් හෝ ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් කර ඇති ක්‍රියාවක් නොවේ.

පසුගිය දිනෙක ජනාධිපතිතුමා වෙත සන්නසක් බාර දුන් එක්තරා බොදු සංවිධානයක් පවසා ඇත්තේ 1912 සම්මත සුරාබදු පනතට අනුව කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම සහ කාන්තාවෝ මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම අදාළ පනතේ තහනම් කර ඇති බවයි. එහෙත් අපෙ සංඝයාවහන්සේ තේරුම් නොගන්නා සත්‍යය වන්නේ කුමක් ද? විවිධාකාරයේ අණ – පනත් අපේ හිස මත පටවා ගිය ඒ සුද්දා තමන්ගේ දේශයේ දී, තම ජනතාව වෙනුවෙන් එවන් අණ – පනත් පනවා නොමැති බවයි. එංගලන්තය ඇතුළු බටහිර රටවල මතු නොව යුරෝපා රටවල වුව ද මෙම වගන්ති කිසිවක් අදාළ කරගෙන නැත.

 

සෞදිය ආදර්ශයක් ලෙස

මේවන විට දක්නට ඇති නවතම ප්‍රවණතාව වන්නේ කුමක් ද? අපි දන්නා තරමින් කාන්තාවන් සඳහා ඉතාමත් දැඩි නීති – රිති පනවා ඇත්තේ ඉස්ලාම් ආගමේ ය. එම නීතිරිති ඉතා දැඩිව ම ක්‍රියාත්මක වන්නේ මැදපෙරදිග රටවල ය. ඒ අතුරෙන් සෞදි අරාබිය යනු ප්‍රබල රටකි. එහෙත් මේ වන විට එරට කිරුළට හිමිකම් කියන මොහොම්මඩ් බින් සල්මාන් කුමරු සිය රටේ කාන්තාවන් වෙනුවෙන් පනවා ඇති දැඩි නීති – රිති ලිහිල් කරමින් සිටියි.

පසුගිය දා එරට කාන්තාවන් සඳහා පාපන්දු ක්‍රීඩා නැරඹීම සඳහා පමණක් නොව වාහන මිලදී ගැනීම, වාහන පැදවීම සඳහා බලපත්‍ර ලබාගැනීම සහ චිත්‍රපට නැරඹීම ඇතුළු තවත් ඉඩ පහසුකම් සලසා ඇත. රට දියුණු කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු වහ වහා සිදුකළ යුතු බව සල්මාන් කුමරු පවසා ඇත.

අරාබිකරයේ අනාගත රාජ කුමාරයා එසේ පවසද්දී අපේ සංඝයා වහන්සේලා සුද්දා අපිට පනවා ගිය නීති – රීති රකින්නැයි පවසමින් සවිධානගතවීම කෙතෙරම් කනගාටුදායක ද? අනෙක සංඝයාවහන්සේලා අදහස් කරන්නේ උන්වහන්සේලාගේ අභිමතය පරිදි රට පාලනය කළ යුතු ය යන්නය. එහෙත් සංඝයාවහන්සේලා යනු පාලකයෝ නොව අනුශාසනා කරන්නෝ පමණක් බව උන්වහන්සේලා මෙන්ම රටේ පාලකයෝ ද අවබෝධ කරගතයුතුව ඇත. එසේ අවබෝධ කර නොගනිමින් තවදුරටත් කටයුතු කරන්නේ නම් දියුණු ශ්‍රී ලාංකීය ජාතියක් බිහිවීම කළු කපුටා සුදුවන තෙක් සහ මොල්ගස දලු ලන තෙක් බලා සිටීමක් හැර අන් යමක් නොවේ.

ජයසිරි අලවත්ත

උපුටාගත්තේ සිස්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *