උපුටාගැනීම්විශේෂාංග

පන්නා දැමිය යුතු යහපාලනේ ඉහගෙන කන ට්‍රිබල

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව ආණ්ඩුවේ සියලු සංවර්ධන කටයුතුවල දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන තිදෙනා අත්තනෝමතිකව තීන්දු තීරණ ගන්නා බවට ප්‍රබල විරෝධයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුව ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසකගේ මූලිකත්වයෙන් පැනනැඟී ඇති මෙම විරෝධය සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ද සහාය ලැබී ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ ‘මල්කි පස්කි රත්ති’ ත්‍රිත්වයේ හැසිරීම හේතුවෙන් විෂයභාර අමාත්‍යවරුන් බහුතරයක් කාර්යභාරයක් නොමැති අමාත්‍යවරුන් බවට පත්කර ඇති බවය.

එසේම ‘මල්කි පස්කි රත්ති’ ත්‍රිත්වයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරුන්ට විවිධ දූෂණ චෝදනා ද එල්ල වී ඇති අතර ඒ සම්බන්ධව කඩිනම් මැදිහත් වීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකළහොත් ඊට එරෙහිව සාමූහිකව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ද අදාළ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

යහපාලන ටොප් ටෙන් චෝදනාවෙන්:

ඒ සම්බන්ධව වැඩිදුරටත් එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දෙසැම්බර් 18 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ හයවැන්න යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත සිදු කළ පැමිණිල්ල හරහා ද ‘මල්කි පස්කි රත්ති’ තිදෙනාගේ ක්‍රියා මත අමාත්‍යවරුන් විවිධ දූෂණ චෝදනාවලට ලක් වන ආකාරය හෙළි වන බවය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සිදු කළ එම පැමිණිල්ලට අනුව 2015 බල පෙරළියෙන් පසුව අවලංගු කළ Aer Cap සමාගම සමඟ පැවැති A 350 ගුවන් බස් 3ක් මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සහ ඒ වෙනුවෙන් Aer Cap සමාගමට ගෙවන්නට වූ ඇමරිකානු ඩොලර් මිලියන 104 ක වන්දියෙන් පළමු වාරිකය ගෙවා දැමීමට පවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට උපදෙස් ලබා දී ඇත්තේ අග්‍රාමාත්‍ය උපදේශක වශයෙන් චරිත රත්වත්තේය.

අවම වශයෙන් ඒ සඳහා නීතිපතිවරයාගෙන් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නොමැත.

එසේම මෙරට ගුවන්යානා 3ක් කල්බදු ක්‍රමය යටතේ පාකිස්තාන ගුවන් සේවයට ලබා දීම සම්බන්ධව ද ඔහු මැදිහත් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මෙහි දී චරිත රත්වත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙස 2016 – 10 – 03 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිට යැවුණු E – mail පණිවිඩයක් ද එම පැමිණිල්ලේ ඇමුණුමක් ලෙස ඇත.

ඇමතිගේ අනුදැනුමකින් තොරව :

එසේම 2016 – 10 – 11 වන දින රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ (අමාත්‍ය – පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් – කබීර් හෂීම්) ලේකම්වරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයාට යොමු කළ ලිපියක් ද ඒකාබද්ධ විපක්ෂය සිදු කළ පැමිණිල්ලේ ඇමුණුම් වල ඇත.

එහි දී ලේකම්වරයා ප්‍රශ්න කර සිටින්නේ අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව සහ අදාළ අනෙකුත් පටිපාටි අනුගමනය නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙසය.

තව ද 2016 – 12 – 27 වන දා ඉහත ලිපියට කරුණු නොදැක්වීම සම්බන්ධව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිට යොමු කරන ලිපියක් ද ඉහත පැමිණිල්ලේ ඇමුණුම් අතර ඇත.

අමාත්‍යාංශ අනුදැනුමකින් තොරව ගිවිසුම්ගත වීම වැරැදි බව ද අමාත්‍යාංශ ලේකම්වරයා යොමු කළ එම ලිපියේ අවධාරණය කර ඇත.

අදාළ පැමිණිල්ලේ ඇමුණුම් අතර අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම ලිපියට 2016 – 12 – 28 දින පෙරළා යවන ලැබූ පිළිතුරු ලිපියක් සේම 2016-11- 07 කැබිනට් තීරණයක් ලෙස ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියක් ද ඇත.

මීට අමතරව කැබිනට් මණ්ඩල තීන්දුවට පිටුපා කටයුතු කිරීමත් ගිවිසුම් ක්‍රියාමාර්ගය තුළ දී ඒ සඳහා අමාත්‍යාංශය සම්බන්ධ කර නොගැනීමත් ප්‍රශ්න කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිට යැවුණු ලිපියක් ද එහි ඇතුළත්ය.

ඩොලර් මිලියන 10ක කොමිස් ගැහිලක්:

එසේම පාකිස්තාන ගුවන් සේවය සම්බන්ධ ගිවිසුම්ගත වීමේ ක්‍රියාවලිය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා ඇති බවත් ඒ ගැන ද විමර්ශනය කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂය සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මේ ආකාරයෙන් ‘මල්කි පස්කි රත්ති’ පාර්ශ්වයේ අත්තනෝමතික හැසිරීම හේතුවෙන් මේ වන විට ආණ්ඩුවේ අක්‍රමිකතා සම්බන්ධ විවිධ ලිපි ගොනු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙතින්ම අභ්‍යන්තරයෙන්ම විපක්ෂයේ පාර්ශ්ව අතට පත් වන තත්ත්වයක් මතුව ඇති බවත් එය ආණ්ඩුවේ පැවැත්මට ඉතා අහිතකර තත්ත්වයක් බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර පසුගිය දා මාධ්‍ය විසින් සිදු කළ විමසුමක දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ද ආන්දෝලනයට තුඩු දී ඇති ශ්‍රී ලන්කන් එයාර් හි මාෆියාවක් ක්‍රියාත්මක වන බව පිළිගෙන ඇති අතර මේ වන විට ශ්‍රී ලන්කන් එයාර් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ චරිත රත්වත්තේගේ සොහොයුරා වන සුරේන් රත්වත්තේ මහතාය.

උපුටාගත්තේ SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *