එළඹෙන දෙසැම්බර් 9 වැනිදා දහවල් 12.00 වනවිට ඊනියා යහපාලන ආණ්ඩුවේ සලුපිළි අවසන් වරටත් ලිහී යනු ඇත. එදාට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනමන්ඩල සභික ප්‍රේම්කුමාර් ගුණරත්නම්ට හිමි වසරක සිරදඩුවම් කාලය නිල වශයෙන්අවසන් වනු ඇත. ඉන්පසු සිදුවනු ඇත්තේ කුමක්ද? ‘ඔහු නිදහස්වනු ඇත‘ යැයි සරලව පිලිගන්නට නොහැකිය. එක්කෝ ඔහු පිටුවහල් කිරීමට ආණ්ඩුව තීරණය කරනු ඇත. නැත්නම්… නැත්නම් සිදුවන්නේ කුමක්ද?
පෙළගැසෙමින් තිබෙන කරුනු අනුව නම්, ජනවාරි 8 ගැන ආණ්ඩුවටත් ආණ්ඩුව ආරක්ෂා කරන්නට තැත්කළ විවිධ අයත් කී යහපාලන පුරසාරම් අවසන්වරට හාස්‍යයට ලක්වනු ඇත්තේ එදාටය. නීතියේ ආධිපත්‍ය ගැන විනිවිදභාවය ගැන දූෂණයෙන් තොර පාලනය ගැන දෙවසරක අත්දැකීම් අතරට දෙසැම්බර් 9 නමැති ජුගුප්සාජනක සිදුවීම එක්වනු ඇත. ජනවාරි 8ක් ගැන හෝ දෙසැම්බර් 9 ගැන හෝ නොව,වෙනත් දිනයක් ගැන කටක් ඇරලා කියන්නට ඔවුන්ට සදාචාරයක් ඉතිරි නොවනු ඇත. යහපාලන බලවේගවට හිමි යැයි කියනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී, සීතාම්බර පටසලුව පවා ගැලවී යනු ඇත. ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂගේ උම්මත්තක පවුල් පාලනයට එරෙහිව සටන් වැදුනු විවිධ ජනතා බලවේගවලින් සවිමත්ව වර්තමාන ‘යහපාලන ආන්ඩුව‘ බලය හිමිකරගත්තේ 2015 ජනවාරි 8 පැවැති මහමැතිවරණයෙනි. සන්නද්ධ බලය, විධායක බලය හිමිව සිටි මහින්ද රාජපක්ෂ වෙතින් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත එම බල හුවමාරුව සිදුවූයේ තීරනාත්මක ආකාරයෙනි. නිශ්චිත සාධක තහවුරුකරන්නට තවමත් අසමත් වුවද සන්නද්ධ බලයෙන් මැතිවරණ ප්‍රතිඵල ආපස්සට කරකැවීමේ උත්සාහයක් ගැන බොහෝ දෙනා අදහස් පළ කළ අතර රාජපක්ෂවරු එවැනි ඉඩප්‍රස්තා ගැන සිතමින් සිටි බවට සැකයක් නැත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනම කිහිප වරක් කීවේ ජනවාරි 8 මැතිවරණ ජය නොමැති වී නම් තමන් මේ වනවිටත් අඩි හයක් යට බවයි. එය ඔහුට පමනක් නොව, තවත් බොහෝ දෙනාට හිමි ඉරණම වන්නට ඉඩ තිබිණි. මින් පෙර 2010 ජනවාරි 26 පැවැති ජනාධිපතිවරනය අවසනදී ශේෂ පත්‍රය ලෙස මර්දනය උත්සන්නවීම සලකා බලන විට 2015 ජනාධිපතිවරණය අවසනදී මහින්දලාට උමතුවෙන් හැසිරෙන්නට තිබුනු බාධා කිහිපයකි. ඉන් එකක් නම් නිසැකවම මෙරට ජනතා බලවේග සටන්කාමී ලෙස පවුල් පාලනය පිටුදකින්නට ඉදිරියට පැමිණිමය. ලසන්ත, නිමලරාජන්, රොෂේන් චානක, ඇන්ටනි, සිසිත, ජානක, ලලිත්, කුහන්, එක්නැලිගොඩ ආදි වශයෙන් නම් වැලක් රාජපක්ෂලාගේ ඇටකටු අතර තිබිණි. සටන් බිමේදී ජනතාවගේ අරමුණු වෙනුවෙන් දිවිකැප කළේ අතලොස්සක් වුවද එහි පන්නරය නිසාම ජනතාව රාජපක්ෂලාටඅභියෝග කිරීමේ ඉම වෙත පැමිණ සිටියහ. එහිදී ඔවුන් පෙළගැස්වූයේ රනිල්, මෛත්‍රී හවුල යැයි බොහෝ දෙනා කීවද ඇත්ත එය නොවේ.
ඊට බොහෝ කලකට පෙර සිටම මෙරට ඇත්ත කතා කළ මිනිස්සු විශේෂයෙන් මාධ්‍යවේදීන් සිවිල් සංවිධාන නියෝජිතයන් රාජපක්ෂ පාලනය හෙළිදරව් කරමින් සිටියහ. රනිල්-මෛත්‍රී හවුලට පාව එන්නට ආරාධනා කෙරුනේ ඒ නැග එන රාජපක්ෂ විරෝධී රළවේගයේ බලය විසිනි. එම රලවේගය ගොඩනැගීමට මෙරට විවිධ තලයේ විවිධ අරමුනු සහිත ක්‍රියාකාරිකයෝ පෙල ගැසුනු බව නිසැකය. එහෙත් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ගෙන යමින් සිටින බැවින් ඊට එරෙහිව වහා පෙළගැසිය යුතු බව කීවේ මෙරට වාම දේශපාලනයයි. රාජපක්ෂගේ අතපල්ලේ ලෙවකමින් සිටි රෝස පක්ෂවල නාමමාත්‍රිකයන් නොව, වමේ ජනතා බලයක් වෙනුවෙන් සිටි සියලුම බලවේග රාජපක්ෂ පළවා හැර වාම විකල්පයක් ඉදිරියට ගතයුතු බවට කියමින් සිටියහ.
එහෙත් ඔවුන්ට ඒකාබද්ධ අරගලයකට යාමට තරම් නායකත්වයක් හමුවී නොතිබිනි. මේ අතර ඊනියා විපක්ෂයටද එවැනි විකල්පයක් නොවිණි. දක්ෂිණාංශයේ විකල්පය ලෙස රනිල් හිටියේ අවම ජනප්‍රිය මට්ටමකය. තානාපති කාර්යාල හරහා ගොඩනැගුනු දේශපාලන ක්‍රියාදාමයක් තිබිනි. දක්ෂිණාංශය බලවත් වන්නට නම් ජනාදිපති අපේක්ෂකයකු තෝරාගත යුතු විය. සිවිල් සංවිධානවලින් විවිධ නම් යෝජනා විය. රනිල් ගෙන එන්නට කිසිවකු කැමැති වී සිටියේ නැත. මාදුලුවාවේ සෝභිත, නිර්මාල් රංජිත්වැනි නම් කියැවිණි. එහෙත් මෛත්‍රීට පාර කැපෙන්නේ ඔය අතරය. අවසානයේදක්ෂිනාංශයට බලතුළනයේ වාසිය හිමි විය.
රාජපක්ෂ විරෝධී ලිබරල්වාදී ව්‍යාපෘතියක් නිශ්චිතව ඒකරාශි කිරීමේ නියුතු වූවෝ එමකාර්ය සඵල කරගත්හ. සිවිල් සංවිධාන හා ඊනියා විපක්ෂ බලවේග මේ ව්‍යාපෘතිය හැර අන් මගක් නොදත් නිසා කලක සිට ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව ජීවනඅරගලය හා ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන ආ වැඩ කරන ජනතාවගේ අරගලය යටපත් විය. රාජපක්ෂ විරෝධය ලෙස පැවැති ජනතා විරෝධයක් එලෙසින්ම ලිබරල්වාදී සටන්පාඨ යටතේ ඉදිරියට ගෙන එනු ලැබිනි. පවුල් පාලනය වෙනුවට යහපාලනය ආදේශ කරන්නට පොරොන්දු දෙන ලදී. ආර්ථික අර්බුදය මැද ජනතාවගේ පීඩාවට පිලිතුරු දෙන්නට සමත් වැඩපිලිවළක් නොවු තැන යහපාලනය, නීතියේ ආධිපත්‍ය හා වෙනත් ව්‍යාජ සටන්පාට යටතේ ඡන්ද එකතුකිරීමේ ව්‍යාපාරයක් ගොඩ නැගුනි.
දැන් රාජපක්සගේ පොලු පාරවල් වෙනුවට ජනයාගේ හිස්ගෙඩි මතට රනිල්-මෛත්‍රිගේ හවුල් පොල්පාරවල් හිමි වෙමින් තිබේ. ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ජනතාව මත බදු පටවනවා මිස ‘සරදියෙල්’ කතා නැත. ‘ලිච්ඡවී පාලනයක්’ වෙනුවට දේශපාලනවිරුද්ධවාදින්ට අයිතිවාසිකම් නොදෙන, මාධ්‍ය ආයතනවලට ගේම දෙන තැනට රනිල්-මෛත්‍රි හවුල පත්ව ඇත.
ඒ නිසාම දෙසැම්බර් 9වැනිදා ගැන ෙවනස් තත්වයක් ඇතිවන්ෙන් කෙසේද? කුමාර් ගුණරත්නම් කෙනෙක් ගැන වෙනස් හැසිරීමක් ආන්ඩුවෙන් අපෙක්ෂා කරන්නටද නොහැකිය. තවමත් සමහරු කියන්නේ කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියානුවෙක් නිසා ඔහුට පුරවැසි අයිතියක් නැති බවය. තවත් සමහරුන්ගෙන් කියැවෙන අදහසක් නම්, කුමාර් ගුනරත්නම්ගේ පුරවැසිභාවය පිළිගැනීම ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජයක්‘ වන නිසා එවැන්නකට ආන්ඩුව හෝ ආන්ඩුව සමග පයිරුපාසානයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩක් නොතබනු ඇති බවය. එහි තර්කය නම් කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය පිලිගැනීම ආණ්ඩුවට පරාජයක් යන්නය. නමුත් සරල ඇත්ත නම්, ඒහි අෙනක් පැත්තයි. කුමාර්ට ඒිමි පුරවැසි අයිතිය පිලිගතෙහාත් සිදුවන්ෙන් කුමක්ද? උද්ඝෝෂණවලට පහරදෙමින් විරුද්ධ මත දරණවුන් සිරගත කරමින් හා බදු ගසමින් දෙවසරකට ආසන්න කාලයක් ආණ්ඩුව විසින් බිද දමාගත් නම යාන්තමින් හෝ පිළිසකර කිරීමක් එයින් සිදුවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කී වත්මන් ආණ්ඩුවේ නායකයන් කුමාර්ට හිමි අයිතියක් පිලිගැනීම ආණ්ඩුවට එතරම්ම සරල දෙයකි. එහෙත් ඒ සමගම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ආන්ඩුවට ගෙන එන විවේචන බොහොමයක බලය එහිදී බිදවැටෙනු ඇත. මේ සියල්ල තිබියදී වුවද කුමාර් අදාළ නැති සාධකයක් ලෙස වත්මන් දක්ෂිණාංශයේ බලය හා සමාජ ආධිපත්‍ය සහිත පාලක පක්ෂය ලෙස තීරණය කරන්නට රනිල් – මෛත්‍රී හවුලට ඇති හැකියාව වැඩිය.
එහෙත් ඇත්ත තත්වය නම් කුමාර් ඕස්ට්‍රේලියාවට පන්නා දමා සනීපදායක අනාගතයක් ගැන හිතන්නට ආන්ඩුවට නොහැකි බවය. එය එසේ වන්නේ තවදුරටත් ආණ්ඩුව මුහුන දෙමින් සිටින්නේ කප්පාදු කරන කම්කරු අයිතිවාසිකම්, වැඩි කළ බදු සහ ඉහළ යන ජිවන බර සහිත වටපිටාවක නිසාය. වසර දෙකක් තුළ අන්තිමට සලු උනා දමන්නට හැකි තරම් ‘නිර්භිතභාවයක්’ දක්ෂිනාංශික ආණ්ඩුවකට තිබිය හැති බව ඇත්තය. මන්ද යත්, අයවැය තුළින් ගෙන එන යෝජනා හරහා ආණ්ඩුව සියලුම සුජාතභාවයන් අත්හැර දමා ඇති බැවිනි.
උපුටාගත්තේ LV