උපුටාගැනීම්විශේෂාංග

පිලිපීනය මතක් කර දෙන ලංකාවේ රිසානලා

පසුගිය මාසයේ ශීතකරණයක තිබී මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළක් සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.

ජෝනා ඩෙමෆෙලිස් නම් විසිනව හැවිරිදි එම පිලිපීන ගෘහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී යයි වාර්තා කෙරුණ අතර මළසිරුර ඇය සේවය කළ තට්ටු නිවාසයේ ශීතකරණයක තිබී පසුගියදා හමුවුණි.

ගෘහ සේවිකාවගේ හාම්පුතා වන නාදෙර් එසාම් අසාෆ් නම් සැකකරු ලෙබනනයේ දී අත්අඩංගුවට ගත් බව පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා (පෙබරවාරි 23) වාර්තා කළේය.

ගෘහසේවිකාවගේ මරණය පිලිපීනය පුරා මහජන කැළඹීමකට හේතු වූ අතර එම තත්වය එරට ශ්‍රමිකයන් කුවේට් රාජ්‍යයට යැවීම තහනම් කරනු ලැබීමක් ප්‍රකාශයට පත්කරනු ලැබීමට පවා හේතු විය.

ලෙබනන් ජාතික සැකකරු සහ ඔහුගේ ‘මෝනා’ නමැති සිරියානු ජාතික බිරිඳ එම අපරාධයෙන් බේරීමට නීතියේ රැහැනින් මිදී කට්ටි පනිමින් සිටියදී සිරියාවේ දී අත්අඩංගුවට ගන්නා ලද බව අලුත්ම වාර්තාවකින් පැවසෙයි.

ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණි.

නාදෙර් එසාම් අසාෆ් අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පිලිපීන විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා එය ” සිය රටේ ගෘහසේවිකාව වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ලැබීමේ පළමු පියවර” ලෙස විග්‍රහ කළේය.

‘ජෝනා’ නමැති ගෘහ සේවිකවගේ මළ සිරුරේ ඇයට වධහිංසා සිදු කර ඇති බවට ළකුණු දක්නට ලබෙන බව පිලිපීන නිලධාරීහු පවසති.

එම අපරාධයෙන් අනතුරුව කුවේටයේ රැකියා කරන සිය ශ්‍රමිකයන්ට ආපසු සියරට පැමිණීමට පහසුකම් සලසන බව පිලිපීන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.
පිලිපීන ජාතික කාන්තාවන් රැසක් කුවේටයේ ගෘහ සේවිකා වෘත්තියේ නිරතව සිටිති.

මෙලෙස මෙවැනි සිදු වීම් රාශියකට මුහුණ පෑ ගෘහ සේවිකාවන් සිටියේ ශ්‍රී ලංකාවේය. සවුදි අරාබියේ ගෘහ සේවයට පිටත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිප දෙනෙකුටම මෙවැනි අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වීමට සිදු විය. ඒ අනුව ඉදිරි වසර වලදී ක්‍රමයෙන් මැද පෙරදිග සේවයට යැවෙන ගෘහ සේවිකාවන් සංඛ්‍යාව අඩු කිරීමේ ප්‍රතිපත්තියමය තීරණයක් ගත් බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් වසරේය. නමුත් රටේ විදේශ විනිමයෙන් වැඩිම ප්‍රමාණයක් ලබා දෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධව එවැනි රැඩිකල් පියවරක් එකවර ගැනීමට රටේ ආර්ථිකයට කුමනාකාරයේ බලපෑමක් එල්ල කරාවිදැයි සැක සහිතය.

දකුණු ආසියාවේ සාක්ෂරතාවය වැඩිම රටක් වන ශ්‍රී ලංකාව, අධ්‍යාපන අවස්ථා සහ අධ්‍යාපනයේ ගුණාත්මක බව නැංවීම තුළින්, වෘත්තිකයන් පිටරට සේවයට යවා වැඩි විදේශ විනිමය ඉපයීමේ උපක්‍රමික අවස්ථාව උදා කර ගත යුතු කාලය එළඹ තිබේ.

ගෙදර බුදුන් අම්මා, ශ්‍රියා කාන්තාව, මාතෘ මූලික සමාජය ගැන නිරතුරුවම කතා බහ කරන ශ්‍රී ලාංකීය සමාජය කාන්තාව බැල මෙහෙවරට යවා ලබා ගන්නා මුදලෙන් ලබන සැප සම්පත් භුක්ති විඳිමට අපට සිදු වන්නේ නම්, ආඩම්බරකාර ජාතියක් ලෙස අපවම වර නංවා ගැනීම ගැන අප ලැජ්ජා විය යුතුය.

ශ්‍රී ලංකාවේ නව විදෙස් රැකියා අමාත්‍යවරයා අද දිවුරුම් දුන්නේය. සතියකට පෙර විදෙස් මාධ්‍ය අවධානය ලැබූ, පිලිපීන කාන්තාව ගැන එම අමිහිරි පුවත මෙන්ම මින් වසර කීපයකට පෙර විදෙස් අවධානය ලැබු රිසානා නෆීක්ගේ මරණය ගැනත් සලකා බලා රටේ විදෙස් රැකියා සම්බන්ධ වඩාත් දියුණු ප්‍රතිපත්තියක් නිර්මාණය වෙතැයි අපි බලාපොරොත්තු සහගතව බලා සිටිමු.

මංජුල සමරසේකර

උපුටාගත්තේ: රැස වෙබ් අඩවියෙන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *