අඹයාළුවෝ, දූදරුවෝ, රතුරෝස, සෙනෙහෙවන්තයෝ, දඬුබස්නාමානය වගේ ලංකාවේ අපි හැමෝම බලපු ටෙලිවලින් පස්සේ ගොන්දෙපැයට අහුවුණු අපේ ටෙලි නාට්යකළාව මෙගා ආවට පස්සේ නන්නත්තාර වුනා කියන එකයි මගේ කියවීම. ඇත්තටම කිව්වොත් මම මුලින් කිව්ව නාට්‍යවලින් පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය බැලීම නවත්තපු සුවහසක් මිනිසුන් ගැහැනුන් අතර මම ද එකෙක් කියලයි මට හිතෙන්නේ. හැබැයි මගේ ඒ කලකිරුණු මනස ආයේ වතාවක් ලංකාවේ ටෙලි බලන්න පෙළබුවේ ලකා, තුමිඳු ඇතුළු සෙට් එක කරපු කූඹියෝ කිව්වොත් නිවැරදියි.
කැලණි සරසවියේ ගුරු සිසු පෙමක් ජයටැඹ කරා ගෙනයන්නට අවසන් මොහොතේ ඉතාම අහඹු ලෙසින් එහි ප්‍රධාන භූමිකාවක් රඟන්නට ලැබීම නිසාම ජීවිතේ පළමු වතාවට ප්‍රැක්ටික් සර් සහ තුමිඳු ඇතුළු කැලණි සරසවියේ නාට්‍ය අංශයේ සගයින් කිහිපදෙනකුම හඳුනාගන්න ලැබීම අහම්බයක්. ඉතින් ඒ හඳුනාගැනීම් එක්කම තුමිඳුගේ රංගන හැකියාවන් බලන්නට තැන් තැන් වල තිබුණු වේදිකා නාට්‍ය කිහිපයක්ම බලන්නට ගිය හන්දම තුමිඳු වැඩ්ඩෙක් කියල මම දැනගෙන හිටියා.
අද රයිගම් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය උඹට ලැබීම අපි කාගේත් සතුටට හේතුවක්. ආයේ කවදාවත් ලංකාවේ ටෙලි බලන්නේ නැහැයි කියලා හිතාගෙන හිටි සුවහසක් මිනිසුන් ආලින්දයේ රූපවාහිණිය ඉස්සරහට ගෙනාපු ඔබට තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කරන්නට හැකිවේවායි සක්නද නිවුස් අපි ප්‍රාර්තනා කරමු.
අද රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී “කූඹියෝ” නාට්‍ය ජනප්‍රියම නාට්‍ය ලෙස සම්මාන හිමි කර ගත් අතර ජනප්‍රියම නළුවා ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ “කූඹියෝ” නාටයේ ජෙහාන්ගේ චරිතයට පන දුන් තුමිදු දොඩන්තැන්න සාමාන්‍යයෙන් නළුවෙක් ගෙන් අහන්න බැරි කතාවක් කියල්යි වෙදිකාවෙන් බැහැල ගියේ.
“මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ ”
සටහන: ඩෙස්කා කුඩාවිල