2012 වර්ෂයේ වව්නියාව බන්ධනාගාරයේ ඈතිවූ ගැටුමින් පසුව අනුරාධපුර බන්ධනාගාරය වෙත ගෙනවිත් අති මිලේච්ඡ ලෙස පහර දීමෙන් දෙමළ දේශපාලන සිකරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම මානව හිමිකම් උල්ළංඝණයක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව කොළඹ රජයේ අගවිනිසුරු මොහාන් පීරිස් පවසා ඇති බව බීබීසී සන්දේශය වාර්තා කර සිටී.
ඝාතනය කරන ලද දෙමළ දේශපාලන සිරකරු ගනේෂන් නිමලරූබන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඒ අනුව ප්‍රතික්ෂේප කර තිබේ.
බීබීසී සන්දේශය වාර්තාවේ දැක්වෙන්නේ ;
” එල්ටීටීඊ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් රඳවා සිටි වව්නියාව සිරකඳවුරේ සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ දෙපාර්ශවය අතර හටගත් ගැටුමෙන් අනතුරුව වෙනත් සිර කඳවුරකට මාරු කර යැවූ සිරකරුවන් දෙදෙනෙකු මරා දැමිණ.”
ඉන් එක් සිරකරුවකු වන නිමලරූබන් හෘදයාබාධයකින් මිය ගිය බව පැවසුණද, ශරීරය මතුපිට තුවාලද මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.
ඔහුගේ මරණයට හේතු වූ කරුණු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම තුලින් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව නිමලරූබන් ගේ දෙමව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.
නිමලරූබන් ත්‍රස්තවාදියකු බව තමා පුද්ගලිකවම දන්නා බව අධිකරණය හමුවේ කියා සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, ඇමරිකාව, රුසියාව වැනි රටවල හටගත් ත්‍රස්ත ප්‍රහාර මැඩලීමේ දී ද මෙවැනි මරණ සිදු වූ බවද සඳහන් කළේය.
මෙවැනි පෙත්සම් පවත්වාගෙන යාමට ඉඩ දීම තුලින් මියගිය පුද්ගලයින් ගේ ඥාතීන් විදේශීය රටවලින් දේශපාලන රැකවරණ පැතීමට ඉඩ ඇති බවද අගවිනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
නිමලරූබන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නීතිමය සාධාරණයක් ඉටු කර ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහුගේ දෙමවුපියෝ පවසති.”
කොළඹ රජයේ අරක්ෂක අංශ පහර දීමෙන් ඝාතය වූ නිමලරූබන්ගේ මෘත ශරීරය ඔහුගේ ගම්මානය වූ වව්නියාව නෙලුකුලම ගම්මානය වෙත ගෙන යාමට ඔහුගේ දෙමාපියන්ට මුලදී කොළඹ රජය අවසර ලබානොදුන් අතර පසුව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ බලපෑම මත එයට අවසර ලබාදීමට ඔවුනට සිදුවිය.
එදා එම අවමංගල්‍ය කටයුතුවලට පවා බාධාවන පරිදි විශාල හමුදාව පොලිස් එම භූමියේ රැදී සිටියහ.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වන යාපනයේ දේශපාලන ක්‍රියාධරයෙකු පවසා සිටන්නේ;
” දේශපාලන අරමුණක් සහිත අවිගත් කණ්ඩයමක සාමාජිකයෙක්ව සිට අත්අංඩංගුවට පත්වන පුද්ගලයෙකු සාමාන්‍ය සිරකරුවකු නොවෙයි. ඔහු දේශපාලන සිකරුවෙකු බවට පත්වෙනවා. ඒ අනුව මේ වන විට සිරගතව සිටින බොහෝ දමිළ පිරිස් දේශපාලන සිරකරුවන්. නිමලරූබනුත් අයත් වන්නේ ඒ ගණයට. එපමණක් නොවෙයි දේශපාලන සිරකරුවන්ට පමණක් නොවෙයි. සෑම සිරකුවෙකුට මානව හිමිකම් අදාළ වෙනවා.”
එතකොට කොළඹ ආණ්ඩුවේ යුක්තිය පසිදන ප්‍රථම පුද්ගලයා කියනවානම් ත්රස්තවාදීන්ට මානව හිමිකම් නෑ කියලා. එයින් ඔප්පු වෙන කාරණා කීපයක් තිබෙනවා. කවුද කොතැනද නිමලරූබන් ත්‍රස්තවාදියෙකු ලෙස නම්කර තීන්දු කර තිබෙන්නේ? කුමන නඩු තීන්දුවකින්ද? අධිකරණ තීන්දුවක් නොමැතිව යම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු බවට පත්කරන්නේ කෙසේද?
අනෙක් කාරණාව තමයි මෙයින් ගම්‍ය වන යුද්ධෙය්දී මියගිය 100,000 පමණ ජනයා සම්බන්ධයෙන්ද මේ පිරිස් නොකියා කියන්නේ ඔය පිළිතුරමයි. එමනිසා අන්තර්ජාතික ස්වාධීන විමර්ෂණයක් අවශ්‍යවන්නේ ඇයි ද යන්නට අගවිනිසුරුගේ ප්‍රකාශය හොද පිළිතුරක්. “
ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙයින් දෙමළ ජනයාට තේරුම් ගැනීමට සිදුවන කාරණය තමයි කොළම අධිකරණය මගින් දෙමළ ජනයාට කිසිවිටෙක සාධාරණය ඉටුනොවන බවයි.
BBC