උපුටාගැනීම්විශේෂාංග

උරුම්පිරායි සන්තාපය: ‘කපුටන් කෑ මළ සිරුරු මම ගෙවත්තේම වළ දැම්මා’

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට 29 වසරක් සම්පූර්ණ වන්නේ මේ පෙබරවාරියේදී ය. තිස් දෙහැවිරිදි වියේදී ඝාතනය වූ රිචඩ්ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ – ඔහු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශකයකු වශයෙන් කටයුතු කළ බව හැරෙන්නට – ප්‍රමාණවත් තතු ඔහුගේ මරණයෙන් දශක දෙකක් ගතවන විට ඉතිරිව නැති තරම් ය. මෙහි පළවන ලිපිය රිචඩ් විසින් ලියන් ලද්දේ 1987 නොවැම්බරයේදී ය. කොළඹ ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍රයේ නොවැම්බර් 01 වැනි දා පළ වූ මෙම ලිපිය, එක් අතකින් ඒ වනවිට උතුරු – නැගෙනහිර වාඩි ලා සිටි ඉන්දියානු හමුදාවන් විසින් දෙමළ ජනයාට එරෙහි සිදුකළ අපරාධයන්ගේ හරස්කඩක් චිත්‍රණය කරන්නට සමත් ය. අනෙක් අතින්, ප්‍රචණ්ඩ වා සුළියක් විසින් උතුරු හා දකුණු සමාජයන් ගිළගත් සමයක රිචඩ් විසින් සිදුකළ ප්‍රවෘත්ති මාධ්‍යකරණය කෙබඳු වීදැයි පෙන්වා දෙන්නට සමත් ය.

පරිවර්තනය: අතුල විතානගේ


කොටහේන, වැල්ලවත්ත, දෙහිවල ආදී කොළඹ නගරාසන්නයේ  කොහේ ගියත්,  දෙමළ ජනයා වෙසෙන නිවාස, ඉඩකඩ ඇහිරී සෙනඟින් පීරීගොස් ඇති බව ඔබට මේ දිනවල දකින්නට පුළුවන.

එක වහලක් යට පවුල් තුනක් හෝ හතරක් දිවි ගෙවීම දැන් පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. ආමර් වීදියේ කුඩා බෝඩිම් නිවාස මෙන්ම ගාලු පාරේ පටු මංවල මධ්‍යම පාංතික නිවාස, යන සියල්ල දැනටමත් නේවාසිකයන්ගෙන් පිරි ඉතිරි ගොසිනි.

එහි ගෙයින් ගෙට ගියහොත් එකම මුහුණු යළි යළිත්  මතුවනු දැකගන්නට ඔබට දැකිය හැකි ය. ඔවුන් බොහෝ දෙනා එකිනෙකා හා සම්බන්ධකම් ඇත්තෝ වෙති. මේ සියළු දෙනාටම පොදු වූ දෙයක් තිබේ. යාපනය අර්ධද්වීපයෙන් ආ සරණාගතයන් වන ඔවුන්ට තමන්ගේම වූ කථාවක් කියන්නට ඇත.

400,000ක් පමණ ජනයා, යුද්ධයෙන් බැට කෑ උතුරෙන් පලා ඒමත් සමග යුද සරණාගතයන්ගේ ගලා ඒම දැන් කොළඹ නගරය අත්දකිමින් තිබේ. අගනුවරට වඩා දෙමළ ජනයාට සුරක්ෂිත යැයි කලෙකදී පිළිගැණුනු යාපනයෙන් මෙවර නික්ම එන මහා සෙනඟ මට 1983 සිහි ගන්වයි.

ඉකුත් මැයි මාසයේ වඩමරාච්චියේදී ශ්‍රී ලංකා හමුදා විසින් ගෙනගිය ආකාරයේම හෝ ඊටත් වඩා තීව්‍ර යුද ව්‍යාපාරයක්  දැන් ඉන්දියානු හමුදාව විසින් දෙමළ ඊළම්  විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙනයමින් ඇති තත්ත්වයක් තුළ, එකල කළාක් මෙන්ම යුද පෙරමුණු ප්‍රදේශයන්ගෙන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යෑමට ප්‍රදේශයේ සිවිල් ජනයා  තීරණය කොට තිබේ. පසුගිය සති කිහිපය තුළදී ඔවුන් වේදනාකාරී ලෙස  පසක් කොටගත් පරිදි දැන් යාපනය, සිවිල් ජනයාටත් අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී තිබේ.

වේල්මුරුගන් (ඔහුගේ සත්‍ය නාමය නොවේ),  රැඳී සිටි වැල්ලවත්තේ ඔහුගේ මිතුරාගේ නිවසට අප ළඟා වන විට, ඔහු දුරකථන සංවාදයක නිරතව සිටියේය. “ නැහැ,නැහැ, ඕවා කටකතා. මට ඇත්ත කරුණු කියන්න ඉඩ දෙන්න. මේ කටකතා අන්තිම භයානකයි,” දුරකතනයේ අනෙක් අන්තයේ සිටි අයට ඔහු පැවසීය. අප පැමිණි බව දැනගත් විගස “මම පස්සේ කතා කරන්නම්”යි කියමින් ඔහු දුරකතන සංවාදය අවසන් කළේය.

ඔහු අප වෙත හැරෙයි. ඔහුගේ ඇසට පහලින් කම්මුලේ අඟලක පමණ තුවාළ ප්ලාස්ටරයකි. “මොකක් හරි ඉගිල්ලෙන වස්තුවක් – එක පාරම පුපුරලා ගියා”යි පසුව අප හා කියන ඔහු සිය කලවයේද ඇති කුඩා තුවාළ පැලස්තරය අපට පෙන්වයි.

නමුත් ඒ ඔහුගේ කතාව කීමෙන් පසුව ය.

දිනකට සිය ගණන් ෂෙල් ප්‍රහාර

උරුම්පිරායිහි මුල් ගම්කාරයකු වන ඔහු නැවත එ් ප්‍රදේශයට මාරු වී ගොස් ඇත්තේ 1983 ජුලි කැරැල්ලෙන් පසුව ය. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙක් වූ හෙතෙම, 1984- 85 කාලය අතර තුර කාලයේ දී නව නිවසක් ඉදි කරනු වස් සිය ඉතුරුම්වලින් ලක්‍ෂ හයක්  වියදම් කළේය. සුළු හානි වුවද, ස්ථාවරව තව දුරටත් නැගී සිටි නිවෙස ඉකුත් සතියේදී අත්හැර පිටව ආ ඔහු ආපසු යන විට එය ඉතුරුව තිබේදැයි නොදනියි.

උරුම්පිරායි රුදු වේදනාවන් ගැන වැල්වටාරම් නොමැතිව, ඔහු විස්තර කරයි.

ඉන්දියානු සෙබළුන් යාපනය නගරයේ

“අඩුම තරමින් දවසකට ෂෙල් වෙඩි ප්‍රහාර සීයක් වත් එල්ල වෙනවා” ඔහු කියයි.

“උඩ තට්ටුවක් තිබුණ නිසා බොහෝදෙනා මගේ ගෙදර රැකවරණ සොයාගෙන ආවා. ඒ අය හිතුවේ පහත මාලය වඩා ආරක්ෂා සහිතයි කියලා. නමුත් 14 වැනි බදාදා , ඉඩ්ලියක් විතර ප්‍රමාණයේ යකඩ කෑල්ලක් වහළේ සිදුරු කරගෙන ඇතුළට ඇවිත් තරප්පු පෙළිය දිගේ පහළට රෝල්වෙලා අපි හැමෝම හිටපු කාමරේට ආවා.”

ඊ ළඟ දිනයේ උදෑසන පුජා කාමරයට මල් නෙලාගෙන එනු පිණිස පිටතට ගිය තමන් ආපසු එනවිට තවත් ෂෙල් වෙඩිල්ලක් වහළයට වැටී මුළු නිවසම දුමාරයෙන්  පිරී තිබුණැයි ඔහු කියයි.

සතිය  ආරම්භයේදී අප හමු වූ තවත් පවුලක කතාවක් නැවත කිව යුතුව අැත්තේ මේ මොහොතේදී ය. ඉන්දියානු හමුදාවට අයත් සන්නද්ධ රථයක් මුණින් පෙරළා දමමින් උරුම්පිරායි හි බිම් බෝම්බයක් පුපුරා ගියේ 17 වැනි සෙනසුරාදා ය. කිසිවකු විසින් කිසිදු මළ සිරුරක් නොදැක්ක ද, වාහනයට සිදුව ඇති විනාශයේ පරිමාණය අනුව, ප්‍රහාරය හේතුවෙන් මරණ සිදුවන්නට ඇති බව සියල්ලෝ උපකල්පනය කළහ. මේ ගැටුමේ දීර්ඝ ඉතිහාසය සළකා බලනකොට, ලුහුකොට තැකීම සඳහා නොව, අවබෝධය සඳහා මෙම කාරණාව මතක තබාගත යුත්තේ වේල්මුරුගන් මහතා සිය කතාව කියාගෙන යන අතරේ ය.

“18 වැනි සෙනසුරාදා සවස අපි රේඩියෝවට ඇහුම්කන් දීගෙන හිටියා. ඉන්දීය හමුදා භටයන් වෙනුවෙන් විකාශනය කෙරෙන විශේෂ ඉන්දීය ගුවන් විදුලි වැඩසටහනක් හවස පහ හමාරත් – හයත් අතර ප්‍රචාරය කෙරෙනවා.  අපිට ඉතාමත්ම ළඟින් මැෂින් තුවක්කු වෙඩි සද්දයක් ඇහුනා. මම ඉක්මනින්ම නිවසේ දොර අගුළු දැම්මා.  යාන්තම් තත්පර දහයක් ඇතුළත ජනෙල් වීදුරු බිඳගෙන, ඉස්සරහ දොර පාසාරු කරගෙන වෙඩි උණ්ඩ ඇතුල් වුණා. එක්කෙනෙක්ගේ තුවාල වුණු අතට අපි බෙහෙත් දැම්මා.”

“එදා රාත්‍රියේ මගේ ගෙදර හිටිය අමුත්තෝ ප්‍රධාන පාරෙන් එපිට ඒ අයට ආරක්‍ෂිත යැයි හැඟෙන වෙනත් ස්ථානවලට පිටවෙලා ගියා. එත් මම ගෙදරම නතර වුණා. රෑ මට ඇහුනා, වයස අවුරුදු 93ක් වුණු මගේ අසල්වැසි මහළු කාන්තාව එයාගේ දුවට කතා කරන කටහඬ. පාන්දර තුනට විතර එයාගේ කෑ මොර දීම් නතර වුණා.”

අවට සිදුවුයේ කුමක් ද කියා ඔහුට දැන ගන්නට ලැබුණේ පසුදා උදයේ ය. අසල්වැසි නිවසෙ පිළිකන්නෙහි මළ සිරුරු තුනක් තිබිණ. 70 හැවිරිදි වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙක් සහ ඉන් එක් අයකුගේ 40 හැවිරිදි දියණියගේද සිරුරු එහි විය.

“මම එතැනට යනකොටත්  වෙඩි උණ්ඩවලින් සිදුරු වූ තැන්වලට කොටමින් කපුටන් මළසිරුරු කන්න පටන් අරගෙනයි තිබුණේ.”

වෙඩි තබා මරා දමා තිබූ 93 හැවිරිදි කාන්තාව ද මුළුතැන්ගේ ඇතුළත වැටී සිටියාය. ඇය ඇගේ දියණියට කතා කරමින් කාමරයේ සිට වත්ත දෙසට මහත් අමාරුවෙන් ඇදී ගිය ආකාරය විසිර තිබු ලේ පැල්ලම් මගින් පෙන්නුම් කළේය.

“පාවිච්චි කළ වෙඩි උණ්ඩ ගෙදර ඇතුලේ වැටිලා තිබුණා. ඈට වෙඩි තියලා තිබුණේ එහිදීයි – අනෙක් අයට වත්තේදීයි. බල්ලෝ ඇවිත් මළ සිරුරු කන්න පටන් ගනීවි කියලා බය වුණු නිසා මම ඒ සිරුරු වළ දැම්මා.”

මීට කලින් මෙහි ආ විටක, වෙනත් නිවෙසකදී අපට හමුවූ තරුණ ගැහැණු ළමයකු මළ සිරුරු හතරක් වළ දැමීමට ඇගේ බාප්පාට උදව් කළ ආකාරය ගැන අප හා කියා සිටියාය.

ඇය ද දැන් මෙහි සිටින අතර මරා දමා තිබු හතර දෙනා පැළඳ සිටි ස්වර්ණාභරණ ගළවා, ඒවා සුරක්ෂිතව තබන ලෙස සිය ලේලියට ලබා දුන් අයුරු මාමා විස්තර කරයි. අනතුරුව ගෙවත්තේ බන්කරයේ එක් අන්තයක් තව දුරටත් හාරා මළ සිරුරු එහි වළ දමා තිබේ. එම බන්කර අතරින් සමහර ඒවා රුපියල් දහස් ගණන් වැය කර කොන්ක්‍රීට්වලින් තනා ඇති අතර ඇතැම් ඒවා තාවකාලික ඒවා ය. ශ්‍රී ලංකා හමුදා මගින් එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර වැඩිවත්ම යාපනේ සෑම ගෙවත්තකම පාහේ මෙවැනි බන්කර ඉදිකර තිබිණ.

ඉන්දීය හමුදා සෙබළ ඛණ්ඩයකට එල්ල කළ ප්‍රහාරයකින් පසු එල්ටීටීඊ සටන්කරුවන් – 1987 නොවැම්බර්, යාපනයේ කොකුවිල්


පුරවා දැමුණු බන්කර

සාමය උදා වූ මොහොතේ දී එම බංකර සමහරක් සතුටින් යළිත් පස් දමා පුරවා දැමුණි.

19 වැනි අඟහරුවාදා පෙරවරු 11 ට පමණ යුද ටැංකි ආහ. (සාමකාමී අගෝස්තුවේදී ශ්‍රී ලංකා හමුදාවන් මගහැර ප්‍රභාකරන් හා කිට්ටු කැටුව යාමට යොදාගත්තේද රුසියාවේ නිෂ්පාදිත මෙකී බීඑම්පී යුද රථම වීම යම් ආකාරයක සරදම්කාරී සිද්ධියකි.)

“ඊසාන දිග පැත්තේ ඉඳන් යාපනය දිහාවට යමින් ඒ අය ආවේ අතුරු පාරවලින් හා ගෙවතු උඩින්, අහුවෙන හැම දෙයක්ම පොඩි පට්ටම් කරගෙනයි.”

“යුද රථ පස්සෙන් එතැන හමුදා සෙබළු 60 දෙනෙක් විතර දුවමින් ආවා” ඔහුගේ ලේලිය වැඩි දුරටත් කීවාය.

අවස්ථාවක් ලැබුණු අය හැකි ඉක්මණින් පළා ගියේ මැරුණු හා මාරාන්තික තුවාල ලැබූවන් අත්හැර දමා ය. “හමුදා සෙබළු ආපහු ඇවිත් අපිට වෙඩි තියාවි කියලා අපි බයෙනුයි හිටියේ” ඔවුහු කීහ.

වේල්මුරුගන් මහතා පවසන්නේ සැතැපුම් බාගයක් හා තුන් කාලක දුර ඇතුළත මළ සිරුරු 17 -18 ක් එදින තමන් දුටු බව ය.

මිය ගිය සියල්ලෝම වයෝවෘද්ධ මිනිසුන්, ස්ත්‍රීන් හා ගැහැණු ළමෝ වෙති. කොටින් ප්‍රදේශයෙන් පසු බැස ගොස් සිටියේනම් ඒ කොයි මොහොතේදීදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ඔහු අර්ධ සැකයකින් හා අනුකම්පාවෙන් අප දෙස බලයි.

“ඒ අය ගරිල්ලා සටන්කරුවෝනේ? ඒ අය පසු බසින්නේ නැහැ, හැංගිලා ඉඳන් ඒ විදියට පහර දීලා ආයෙමත් සැඟ වෙනවා. මේ පාර මම පුද්ගලිකවම දැක්කේ නැහැ, එත් එකෙන් කියන්නේ නැහැ ඔවුන් ඒ අවට හිටියේ නැහැ කියලා.”

තවත් අයෙක් කතාවට ඇතුල් වේ.

“නමුත් කාරණාව‍ වෙන්නේ ඔක්කොම ශක්ති සම්පන්න අය සහ තරුණයෝ යන්න ගිහින්. මේ ගෙවල්වල ඉතිරිවෙලා සිටියේ පිටව යන්න බැරි දුර්වල අය , එහෙම නැතිනම්  නොයා ඉන්න තීරණය කළ අයයි” කියමින් ඔහු රළු සිනා පායි.

‘වායික්කරිසි’ (வாய்க்கரிசி) යනුවෙන් හැඳින්වෙන අවමඟුල් චාරිත්‍රයක් හින්දු භක්තියන්ට තිබේ. ඒ අනුව ඔවුහු කහ දියරෙන් සෝදා ගත් සහල් මෘත දේහයේ නළල හා මුඛය මත තබති. “ඉන්දියානුවන් කලින් අපට හාල් ගෙනාවා. දැන් ඔවුන් අපිට ගේන්නේ වායික්කරිසි”යි කොළඹ සිය ආරක්ෂිත නිවෙස්වල සෙනගින් පිරුණු විසිත්ත කාමරවල වාඩි වී ඔවුහු නැවතත් කියති.

අවසානයේදී  23 වැනි සිකුරාදා වේල්මුරුගන් මහතා කොළඹ ඒමට පිටත් වූයේය. පූනරීන් වෙත යාම සඳහා කළපු යාත්‍රාව අපේක්ෂාවෙන් සංගුප්පිඩ්ඩි හි රැඳී සිටි ඔහු හා සෙසු මගීන්ට හෙළිකොප්ටරයක හඬ කණ වැටිනි. ඔවුහු බස් නැවතුමේ කොන්ක්‍රීට් අසුන යටට රිංගා මුවාවක් සපයාගත්හ. එතැන සිට ඉතාමත් පැහැදිලිව ඔහුට හෙළිකොප්ටරය දිස් වූ බව වේල්මුරුගන් මහතා පවසයි.

එල්ටීටීඊ සටන්කරුවන්ගේ අත් අඩංගුවට පත් ඉන්දියානු සෙබළෙක්


“ඒක ඉන්දියන් එකක්. රෝද තියෙන ලොකු එකක්,” ඔහු කියයි. ඒ සිදුවීම් එකින් එක දිගහැරෙන්නට පටන්ගත් මොහොතයි. ජැටිය දිගේ ඉදිරියට පියාසර කළ හෙලිකොප්ටරය  අත්හළ “ විශාල ගිනි බෝල” පොළවට පතිත වීමත් සමග පුපුරා ගියේය.

ගිනිබත් ලොරියකින් නැඟුණු ගිනිදළු ඔවුන් පැමිණි  වෑන් රථය කරා ද පැතිරිණි.

“වෑන් එක ඇතුලේ තිබුණු මගේ සූට්කේස් එක ගන්න මම දිව්වා. ඒක ගිනියම් වෙලා තිබුණේ, මම හිතුවා මාව ගිනි ගත්තා කියලා. මට ඕනෑ වුණේ නැහැ ආයෙත් බස් නැවතුමට යන්න. ඒ නිසා මම සුට් කේස් එක ගල් පරයක් උඩ තියලා මුහුදට බැස්සා. ඒ අසළම තවත් ගල් පරයක් උඩ මනුස්සයෙක් පණ අදිමින් හිටියා”යි වේල්මුරුගන් මහතා බියසුළු සිනහවක් පාමින් අප හා කියයි.

ඔහු පුනරින් දක්වා වූ සැතපුම් පහක දුර මදක් දුවමින් ද, වැටි වැටී ඇවිදමින් ද ගෙවා දැම්මේය. නැවතත් හොලිකොප්ටරය ඒ දෙසට පියාසර කිරීමත් සමඟ යළිත් වතාවක් ඔහු වතුරට බැස්සේය. මෙවර නොගැඹුරු මුහුදේ විශාල ගල්පරයක් තරයේ අල්ලාගෙන ඔහු දිය යට ගිලී සිටියේය. නමුත් කළපුව තරණය කිරීම සඳහා මගීන් රැස් වන තවත් ජැටියක් වන කාරෛතිව් දෙසට හෙලිකොටරයේ අවධානය එවර යොමුව තිබිණ.

පුනරින් පැමිණි වහා තුවාලවලට බෙහෙත් දමා ගත් ඔහු දන්නා හඳුනන අයෙක් සමඟ රාත්‍රිය ගෙවා දැමුවේය. පසුදා, එනම් 26 වැනි සඳුදා, උදෑසන අටට පුනරීන් නගරය වැටලූ ඉන්දියානු හමුදා බල ඇණි, දෑත් ඔසවාගෙන රෝහල් භූමියට ගමන් කරන ලෙස නගර වැසියන්ට නියෝග කළහ.

කෙසේ නමුත් එය සංකේතාත්මක රඳවා ගැනීමකි. කොටින්ට ආධාර කිරීමෙන් පුනරීන් ජනතාවට සිදුවිය හැකි නපුර පැහැදිළි කළ දේශනයකින් පසු සියළු දෙනාටම සිය නිවෙස් කරා යාමට අවසර ලැබිණි. වේල්මුරුගන් මහතා ද සිය ගමන යළි ආරම්භ කළේය.

ඉන්දියානු හමුදා පැමිණ සිටින්නේ සෑම අයෙක්ම කොටින්ගෙන් ආරක්ෂා කිරීමට බව නිලධාරියාගේ සහතික වීම විස්තර කරන විට ඔහුගේ මුහුණින් පැහැදිලි නුරුස්නා බවක් දිස්විය.

අඟහරුවාදා, ඔහු කොළඹට ළඟා විය. ඔහුගේ කතාව හමාර වීමත් සමගම ඔහු වටා සිටි පිරිස විසිරෙයි. එක් පවුලක් පිටත්වීමට සුදානම් වේ. “ ඔයාගේ ප්ලේන් එක කවදාදැ” යි ඔහු එක් තරුණියකගෙන් විමසයි.

“හෙට”  ඇය පිළිතුරු දෙයි. ඔහු ඇයට අතට අත දෙන්නේ කම්පාවෙනි. නික්මය යාම් යළිත් ඇරඹෙමින් තිබේ. සියළු ගිමන්හල් තාවකාලික ය  – සියළු අනාගතයන් අවිනිශ්චිත ය.

සරණාගතයන්ගේ ඉතිහාසය යනු ශෝචනීය කතාන්දරයකි. එය භීතිය ද දනවන සුළු ය. වියට්නාමයේ හා ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයන් සමග සරළ සමාන්තරයන් අද ඇඳෙයි. එවැනි නොගැඹුරු ව්‍යායාමයන් නොමග යවන සුළු නමුත් ඉතිහාසය අපට නිශ්චිත පාඩම් ද කියාදෙයි.

සියවස් විස්සක් තිස්සේ ඊශ්‍රායලයේ දරුවෝ නිවසක් සොයමින් ලොව පුරා සැරි සැරූහ. අවසානයේ දී තැනක් හමු වූ විට ඔවුහු තමන් වේදනා විඳි වෛරයේ ගුබ්බෑයම් බඳුම කඳවුරු කරා පලස්තීනයේ දරුවන් ගාල් කළහ.

යුදෙව්වන්ගේ කතාවේ මෙන්ම, ‘ගුබ්බෑයම්’ යන වදන ඉමහත් වේදනාබර හැඟුම් දනවයි. වාචික අර්ථයෙන් ගත්විට තවමත් සැහැල්ලුවෙන් ගමන් කරන ශ්‍රී ලංකාවේ අප අතර අපේම වූ යෙදුම් තිබේ. එක් යොවුන් දෙමළ මිතුරකු  ඔහුගේ හැඟුම් පහත වැකියට කැටි කරයි:

“යාපන ජනයාගේ අනාගතය රඳා පවතින්නේ ඔවුන්ගේ බංකර්වල ගැඹුර මත ය.”☐

රිචඩ් ද සොයිසා

උපුටාගත්තේ: JDS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *