රැඩිකල දේශපාලනයේ යෙදීම පශ්චාත් යටත් විජිත ලංකාවේ දී නොවැදීම මරණය අත්කර දීමක් වන්නේය. අපි ද ඒ ලාංකික නියමයෙන් දිවි ගලවා ගත්තේ යන්තමිනි. නමුත් දිවි රැක ගැනීම ඝාතනය වීමට වඩා බිහිසුනු බව දැනෙන්නේ මෙබඳු ලිපි කියවද්දීය. වසර 30 කට පසු එනම් අපි තරුණ විය පියමංකර පැමිණි පසු ලංකා දේශපාලනය වෙනස් වී ඇත්තේ කෙසේ ද ? මේ ලිපිය ඒ බවට අපුරු සාක්ෂියකි. මේ සියල්ලන්ම දැන ඒ යුගයේ ජීවත් නොවන්නට මේ දේශපාලන ප්‍රහසනය විඳීම පහසු නොවන්නේය. ලිපිය උපුටා ගත්තේ කාරුණික මිත්‍ර නිර්මාල් රංජිත්ගේ වෝලයෙනි.
ගෙවිඳු කුමාරතුංග සොයුර, ඔබ මා හොඳින් හඳුනයි. ඔබ පමණක් නොව, ඒ කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැරයන්ට සහ පසුව ප්‍රා සංවිධානයේ මිනීමරුවන්ට මුහුණ දුන් සියලු දෙනාම මා කවුදැයි හඳුනයි. ඔබ මා ඇතුළු අප සියලු දෙනාම, හේමන්ත චන්ද්‍රසිරි යනු කවුදැයි දනිමු. ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේ කවුද යන්නත් දනිමු. හේමන්ත චන්ද්‍රසිරිව මරාදමන විට ඔබ විසින් නායකත්වය දුන් ජාතික චින්තන කණ්ඩායමේ සාමාජිකයෙක්ය. ඔහුව තිරිසන් ලෙස මැරුවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිටි ප්‍රා මිනීමරුවා වන තඩි ප්‍රියන්ත නොහොත් සී. ඒ. චන්ද්රප්රේමයි. දැන් ඔහුව බලවත්ම තානාපති තනතුරකට පත්කිරීමට ඔබලාගේ ආණ්ඩුව තීරණය කර ඇත.
මම ඉවසිල්ලෙන් බලා සිටියෙමි. ඔබ එක වචනයක් හෝ ඔබලාගේ මියගිය සගයා වෙනුවෙන් ඒ මිනීමරුවාට විරුද්ධව කියනු ඇතැයි මම බලා සිටියෙමි. මෙවැනි තිරිසන් මිනීමරුවෙකුව පත්කිරීමට එරෙහිව විවිධ සංවිධාන කතා කරත්දී ඔබද මොනවා හෝ කියනු ඇතැයි මම බලා සිටියෙමි. ඔබ පමණක් නොව නලින් සර් ද මේ ආණ්ඩුවේ න්යායාචාර්යවරුන් සහ කෙරුම්කාරයන් නිසා ඔවුන් හෝ මේ මිනීමරුවා විසින් ඝාතනය කළ හේමන්ත චන්ද්‍රසිරිට සාධාරණයක් ඉටු කරනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් ඔබලා මෙන් දේශපාලනයේ ඇට්ටර වූවන් නොව අපි අහිංසක මෝඩයන්ය. සරසවියේදී පමණක් නොව මැගසින් බන්ධනාගාරයේදී ද එක් බත්පත බෙදාගෙන කෑ මැරුණු හේමන්ත චන්ද්‍රසිරිගෙන් දැන් ඔබලාට වැඩක් නැත. ඔබව දැනටත් ඇසුරු කරන මිතුරන් කියන්නේ ඔබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට බලාපොරොත්තු වන නිසා හේමන්ත වෙනුවෙන් හෝ චන්ද්‍රප්‍රේමට විරුද්ධව හෝ පෙනී සිට ඒ සිහිනය බොඳ කර ගැනීමට ඔබ කිසිසේත්ම සූදානම් නැති බවයි.
නලින් සර්ට තානාපතිකමක් දී ඔහුව නිහඬ කර ඇත. ඔබට මෙන්ම අද ඔබ ලඟ සිටින පැස්කුවල්ටද ඇත්තේ පාර්ලිමේන්තු සිහිනය පමණි. ඒ නිසා ඔවුන් කිසිවෙකු මැරිච්ච හේමන්ත කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඇනිමල් ෆාම් පොතේ මෙන් ඔබලා තඩි ප්‍රියන්තලා සමග සවුදිය පුරනු අපි ජනේලයෙන් බලා සිටිමු. හේමන්ත ද කොහේ සිට හෝ ඔබලාගේ සාදය දෙස බලා සිටිනවා විය හැකිය.
මට හේමන්ත ගැන විශාල වේදනාවක් දැනේ. ඔබලාගේ තියරි සහ ඇඟ කිළිපොලන කතා ඇසීමේ ප්‍රතිඵලයක් ලෙස බරපතල කැප කිරීම් නොකලද මා ද හේමන්ත මෙන්ම ඔබලා සමග එක්ව ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කලෙමි. අපි ඔබලා පසුපස ගියෙමු. හේමන්තට ජීවිතය අහිමි විය. වාසනාවකට චන්ද්‍රප්‍රේමලා අපව ඝාතනය කළේ නැත. ඔබ සහ නලින් සර් ඒ භීෂණ යුගයේ ජීවිතය බේරා ගත් ආකාරය කුමක්දැයි මම දන්නෙමි.
නලින් සර් සිය අනුගාමිකයන් අතහැර විදෙස් රටකට පැන ගත්තේය. ඔබ, ඔබගේ ඥාති පොලිස් ලොක්කෙකුගේ මාර්ගයෙන් ආණ්ඩුවේ ඉහලම ඇමතිවරයෙකු හමු වී ආරක්ෂාව සහතික කර ගත්තේය. අනෙක් අයට ඒ වාසනාව නොවීය. ඒ ගැන බොහෝ අය විවේචන කළත්, එය වරදක් ලෙස මා කිසි දිනෙක සිතුවේ නැත. චන්ද්‍රප්‍රේම වැනි ඝාතකයන් රජකරන යුගයක කාටත් මරණ බය දැනේ. එහෙත් මට අද ඔබලා ගැන ඇත්තේ පිළිකුලකි. රෝයල් කොලීජියේ ආදී ශිෂ්‍යන් වූ ඔබලාට ඒ කාලයේ රටේ රජවරුන් සමග තිබූ සම්බන්ධය, දිවුලපිටියෙන් කොළඹ විද්‍යා පීඨයට පැමිණි ගැමි හේමන්තට තිබුනේ නැත. ඔහු මරා දැමුණේ ඒ නිසාය. ගැමියන් වූ මා වැන්නවුන් ඒ ඉරණමෙන් බේරුනේ පූරුවේ පිනකට විය යුතුය. අද මට ඔබ සහ නලින් සර් ගැන වෛරයක් ඇති වන්නේ ඔබලා කුමන හෝ උපක්‍රමයකින් ජීවිතය බේරා ගැනීම ගැන නොව, ඔබලා නිසා මැරුණු අහිංසකයාගේ මිනීමරුවා සමග කිසිදු හිරිකිතයකින් තොරව එක ගෙයි කන එක නිසාය.
මීට වඩා නොලියමි. මා මොනවා කිව්වත් සසල වන්නට හෘදය සාක්ෂියක් ඔබට ඉතිරි වී ඇතැයි නොසිතමි. ඔබට ඍජුවම කතා කරන්නට මුලින් හිතුවත් පසුව ඒ අදහස අතහැර ගත්තේ ඒ නිසාය. සමහරවිට මා කවුදැයි ඔබ නිවැරදිව අනුමාන කරනවා විය හැකිය. ඊට කමක් නැත. ඔබ වන්නෙකු සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට තරම් විශේෂ හේතුවක් තවදුරටත් මා හට ඉතිරි වී නැත.
ස්තුතියි,
මීට
ඔබගේ පැරණි මිතුරෙක්
උපුටාගත්තේ: නන්දන වීරරත්නගේ මුහුණුපොතෙන්