අපරාධඋපුටාගැනීම්විශේෂාංග

විධායක ජානාධිපතියෙක් අපට ඕනද….? “සුනිල් රත්නායක ඇත්ත කතාව” නීතීඥ අථිල අතාවුද

අපේ රටේ ඉතිහාසයේ සිටි විධායක ජනාධිපතිවරු අපේ චන්දයේ බලයෙන් ජනාධිපති වී ජනතාවිරෝධී ක්‍රියාවන් සිදුකළ අවස්ථා කිහිපයක්ම අසා ඇත්තෙමු. ලොවක් නුහුලනා අපරාධ කරුවෙක්, මිනීමරු හමුදා නිළධාරියෙක් නිදහස් කිරීමට අපගේ ඡන්ද බලය අවභාවිතයේ යෙද වූ වත්මන් ජනපති වැන්නවුන් වැනි ජනාධිපතිවරුන් අපට ඕනෑද යන පැනය හිතන්න මනසක් ඇති මිනිසුන්ගේ අවදානය පිණිස නීතීඥ අථිල අතාවුද මහතාගේ මුහුණුපොතෙන් උපුටා පලකිරීමට අප තීරණය කළෙමු. කිසිඳු සංස්කරණයකින් තොරව එම උපුටාගැනීම විධායක ජානාධිපතියෙක් අපට ඕනද….? “සුනිල් රත්නායක ඇත්ත කතාව” ලෙස පලකරන්නෙමු.

මිරුසුවිල් යනු රට ගිලගත් සිවිල් යුද්ධයේ රෞද්‍රභාවයට මුහුණ දුන් උතුරුකරයේ ගම්මානයක් විය. 2000 වසරේ මුළ භාගයේදී සටන් උග්‍ර අතට හැරුණු අතර 2000 වසරේ අප්‍රේල් මාසයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ සටන්කාමීන් විසින් ඉතාම තීරණාත්මක උපක්‍රමික වැදගත්කමකින් යුතු අලිමංකඩ හමුදා කදවුර අත්පත් කරගන්නා ලදී. මෙම පරාජයත් සමගම හමුදාවන්ට තමන්ගේ ආරක්ෂක වළලු නැවත ස්ථානගත කරගැනීමට සිදුවූ අතර ඉදිරි ආරක්ෂක වළල්ල එලුතුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටුවන ලදී. ඒ අනුව එලුතුමට්ටුවාල් සහ කොඩිකාමම් ප්‍රදේශ අත්හැර මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගත වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට තමන්ගේ ගම්මාන වලින් යම් තරමක ඈතින් තාවකාලික ජනාවාස වල ස්ථානගත වීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම ගැමියන් අවස්ථාවක් ලද විට ඉදහිට තමන් අත්හැර දැමූ නිවාස වලට යාම් ඊම් සිදුකිරීමේ පුරුද්දක් පැවැති අතර එවන් අවස්ථා වලදී තම නිවාස පිරිසිදු කිරීම මෙන්ම ඔවුන්ට ප්‍රයෝජනයට ගතහැකි යම් ඵලදාවන් නෙළීම ආදිය ඔවුන් විසින් සිදුකරන ලදී. මෙම යාම් ඊම් දහවල් කාලයේ සිදුවූ අතර රාත්‍රී අදුර වැටීමට පෙර ආපසු යාමට ඔවුහු වගබලාගත්හ.

2000 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගජබා රෙජිමේන්තුවට අයත් භට කණ්ඩායමක් ගුවන් මගින් ගෙනවිත් මිරුසුවිල් ප්‍රදේශයට පමණුවන ලදී. මෙම භට ඛණ්ඩයට පිරික්සුම් භට පිරිසක්ද ඇතුලත් විය. පසු දින එනම් 2000 දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ව සිට ඒ වනවිට වෙනත් ස්ථාන වල තාවකාලිකව ලැගුම් ගෙන සිටි අට දෙනෙකුගෙන් යුත් ගැමියන් කණ්ඩායමක් පාපැදි මගින් තම තමන්ගේ නිවාස බැලීම සදහා මිරුසුවිල් ප්‍රදේශයට යන ලදී. ඔවුන් අතර තම පියාත් සමග පැමිණි වසර පහක ප්‍රසාද් නැමති සිගිත්තෙකුද විය.

සාමාන්‍ය ගේදොර වැඩකටයුතු ඉටුකිරීමෙන් සහ තමන්ට ප්‍රයෝජනවත් විය හැකි අතට අසුවෙන යම් ඵලයක් නෙළා ගැනීමෙන්ද පසු සවස 4ට පමණ ඔවුන් නැවතත් තම පාපැදි වලින් තාවකාලික ලැගුම් ස්ථාන කරා පිටත් වීමට සූදානම් වූහ. එවිට ඒ අසළ තිබූ ඵලබර පේර ගසක් දුටු ප්‍රසාද් සිගිත්තා තමාට පේර කඩා දෙන ලෙස තම පියා වූ විල්වරාසාට ඇවිටිලි කරන්නට වූයේය. දරුවාගේ බලාපොරොත්තු කඩකිරීමට අකමැති වූ ඔවුන් එකතු කරගත් අඩුවැඩිය පටවා තිබූ බයිසිකල්ද රැගෙන පේර ගස පෙනෙන ඉසව්ව දෙසට පියමැන්නහ. කෙසේ වෙතත් පේර ගස වෙත යාමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. එයට හේතුව සෙබල පිරිසක් විසින් ඔවුන්ව නැවැත්වීමයි. මේ අවස්ථාවේදී එදින තම නිවාස බැලීම සදහා පිටත් වූ පිරිස කවුරුන්දැයි නිශ්චිතව හදුනාගැනීම වැදගත් වේ. රවිවර්මන්, තයිවකුලසිංහම්, විල්වරාසා සමග ගිය පස් හැවිරිදි ප්‍රසාද් සහ 13 හැවිරිදි ප්‍රදීපන්, ජයචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සමග ගිය ඔහුගේ 15 හැවිරිදි පුතු ශාන්තන් සහ ඥානචන්ද්‍රන්ගේ මස්සිනා වූද තමන්ට මුහුණ පෑමට සිදුවූ සිදුවීම විස්තර කිරීම සදහා ජීවතුන් අතර ඉතිරිවූ එකම තැනැත්තා වූද මහේෂ්වරන් නැමැත්තාගෙන් එම පිරිස සමන්විත විය.

මහේෂ්වරන්ගේ කතාව

2000 වසර වන විට පොන්නදුරෙයි මහේෂ්වරන්ගේ වයස අවුරුදු 21ක් විය. මහේෂ්වරන් ලබාදුන් සාක්ෂියට අනුව ඔවුන්ගේ නිවාස කාලතුවක්කු ප්‍රහාර වලට ලක්වීම හේතුවෙන් තමන්ගේ නිවාස අතහැර කරවෙඩ්ඩි ප්‍රදේශයට යාමට ඔවුන්ට සිදුවී ඇත. මහේශ්වරන් ප්‍රකාශ කරන ආකාරයට මෙම සිද්ධිය සිදුවූ දිනයේ ඔහු ඉහත සදහන් කළ කණ්ඩායම සමග පැමිණ තම තමන්ගේ නිවාස පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත වී තිබේ. මෙම පිරිස අතර යන්තමින් හො සිංහල භාෂාව කතාකළ හැකි පුද්ගලයෙකුට සිටියේ රවිවර්මන් පමණි. කෙසේ වෙතත් මෙකී රවිවර්මන් ආබාධිතයෙකු විය. ඔහු කුඩාකලදී සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක ඉන්දියානු සාමසාධක හමුදාව විසින් භාවිතයට ගත් ජීව ෂෙල් වෙඩිල්ලක් ඔහුට හමුවී ඇත. එය කුමක්දැයි නොදත් දරුවා එය පොළවේ ගසා ඇත්තේ පිපිරීමකට මග පාදමිනි. මෙම පිපිරීම හේතුවෙන් ඔහුගේ වම් අත වැළමිටට පහළින් ඔහුට අහිමි වී ඇත. මෙම අබාධයේ අදාළත්වය පසුව සදහන් කෙරේ.

ඔවුන් පෙර ගස දෙසට පියමනිද්දී ඔවුන් දෙසට ආවේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකි. එක් අයෙකු අත ගිනි අවියක් තිබූ අතර අනෙකා අත පිහියක් විය. ඔවුන් සියලුදෙනාටම දණගැසීමට අණ ලැබුණු අතර භට පිරිස් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. රවිවර්මන් තමන්ට වැටහෙන පරිදි කැඩුණු සිංහලෙන් තමන් එම ප්‍රදේශයට පැමිණි හේතුව පැහැදිලි කරන ලදී. මේ මොහොතේ එක් සොල්දාදුවෙකු එතැන රැදී සිටියදී අනෙකා එතැනින් ඉවත්ව යනු දක්නට ලැබුණි. මද වේලාවකට පසු ඔහු ආපසු පැමිණියේ තවත් හමුදා පුද්ගලයන් සිව් දෙනෙකු කැටුවය.

ඔවුන් පැමිණ මහේෂ්වරන් ඇතුළු ගැමියන් පිරිසට පහර දෙන ලදී. මහේෂ්වරන් ප්‍රකාශ කරන පරිදි ඔහුගේම සරම ගලවා ඔහුගේ ඇස් වැසෙන සේ බැද ඇත. ඇස් බදින අවස්ථාවේදීද මහේෂ්වරන් සමග පැමිණි අනෙකුත් ගැමියන් ඔහු අසළ සිට ඇත. ඒ සමගම ඔහුට නැවතත් පහරක් වැදී සිහි විසඥ තත්වයට පත්වී තිබේ. මද වේලාවකට පසු නැවතත් මහේෂ්වරන්ට සිහිය ලැබී ඇති අතර ඒ මොහොතේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුගේ අත් දෙකෙන් ඔසවාගෙන රැගෙන ගොස් වැටකට උඩින් විසිකරනු ලැබ තිබේ. ඒ සමගම ඇස් ආවරණය කර බැද තිබූ සරම කම්බි වැටේ පැටලීමෙන් ගැලවී ඇති අතර ඒ මොහොතේ තමා සමග කලින් සිටි ගැමියන් කිසිවෙකු තමා අසළ නැති බව මහේෂ්වරන් දැක තිබේ. ඉන්පසු ඔහුව වැසිකිළි වලක් ආසන්නයට ගෙනගොස් ඇත. වැසිකිලි වලේ උඩ ස්ලැබ් එක මත ඇති ලේ සලකුණුද වැසිකිලි වල තුල යම් දැගලීමක්ද මහේෂ්වරන් නිරීක්ෂණය කොට තිබේ. තමා සමග ඇති අනෙකුත් අය මරා දමා ඇතැයිද තමාටත් එම ඉරණමම අත්වනු ඇතැයිද බියවූ මහේෂ්වරන් තමාගේ ඇස් බැද තිබූ සරොම සැකසීමට ළගට පැමිණි හමුදා පුද්ගලයන් දෙදෙනා තල්ලු කර දමා කැලෑවට පැන දුවා තිබේ.

 

එසේ දිවගිය මහේෂ්වරන් මෙම සිද්ධියේදී මියගිය සින්නයියා විල්වරාසා නැමැත්තාගේ නිවසට යට ඇදුම පිටින්ම දුවගොස් විල්වරාසාගේ බිරිදගෙන් සරමක් ඉල්ලා ඇදගෙන විල්වරාසාගේ නිවසේ සිට සැතපුම් කාලක් පමණ එපිටින් වූ තම නැන්දණියකගේ නිවසේ රාත්‍රිය පහන් කර ඇත. පසුදින උදෑසන මහේෂ්වරන් තම පියා මුණගැසීම කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ තාවකාලික ලැගුම් පොල වෙත යන ලදී. මහේෂ්වරන් විසින් තමන්ට මුහුණපෑමට සිදුවූ සිදුවීම් තම පියාට විස්තර කර ඇත. එදිනම සවස මේ පිළිබදව මහේෂ්වරන්ගේ මව විමින් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී සංවිධානයේ කාර්යාලයට පැමිණිලි කොට ඇත. ඊපීඩීපී පක්ෂයේ සාමාජිකයන් එදින සවස මහේෂ්වරන් බැලීමට පැමිණ ඇති අතර ඔහුව පසුව චන්දිගාර් රෝහලට ඇතුලත් කර ඇත. දෙසැම්බර් 22 වන දින ඔහු රෝහලෙන් බැහැර වී නිවසට ගොස් තිබේ. ඊටත් පසු දින ඔහු හමුවීමට හමුදා පුද්ගලයින් පැමිණ ඇති අතර දින කිහිපයකට පෙර ඔහුටත් තවත් ගැමියන් කිහිපදෙනෙකුටත් මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබදව විමසා ඇත. ඊටත් පසු දින එනම් දෙසැම්බර් 24 වැනි දින මහේෂ්වරන් හමුවීමට නැවතත් පැමිණි යුධ හමුදා පොලිසියේ නිලධාරීන් මහේෂ්වරන්ද ඔහුගේ දෙමාපියන්ද ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන්ද ග්‍රාම නිලධාරීන්ද සමග මහේෂ්වරන් ප්‍රකාශ කරන වැසිකිළි වල තිබෙන ස්ථානයට ගොස් තිබේ. වැසිකිලි වළ තුල තිබී ඔවුන්ට හුමවී ඇත්තේ මියගිය එළුවකුගේ සහ සර්පයෙකුගේ ශරීර කොටස්ය.

මහේෂ්වරන් ඇතුළු ඉහත කී පිරිස වැසිකිළිවල ආසන්නයේ සිටින විට තවත් හමුදා පුද්ගලයන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. මෙහිදී මහේෂ්වරන් වහාම එම හමුදා පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනෙකු පේරර ගස අසළට යමින් සිටි තමන් ඇතුළු පිරිස නවත්වා දණගැස්වීම ඇස් බැද පහරදීම සිදුකිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ලෙස හදුනාගෙන තිබේ.

ඊට පෙර දිනයේ තම පුතු වූ මහේෂ්වරන් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා කන්දයියා පොන්නදුරෙයි හෙවත් මහේෂ්වරන්ගේ පියා පෙර දින මිරුසුවිල් බලා ගිය පිරිසගේ නිවෙස් වලට ගොස් තිබේ. අතරමගදී ඔහුට මහේෂ්වරන් හමුවී ඇති අතර මුහුණදීමට සිදුවූ සිද්ධිය කියා තිබේ. කෙසේ වෙතත් ඔහු ඒ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ අනෙක් පුද්ගලයන් හමුදා අත්අඩංගුවේ පසුවන බවකි. එයට හේතුව ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති ඉරණම ඒ වන විට මහේෂ්වරන් නොදැන සිටීම බව සිතිය හැක. 24 වැනිදා වැසිකිළි වල ආසන්නයට ගිය පිරිස අතරද පොන්නදුරෙයි සිට ඇත. වැසිකිළි වල ආසන්නයට පැමිණි හමුදා පුද්ගලයන් දුටු තම පුතා කෑගසමින් තමන්ට පහරදුන්නේ ඔවුන් බව කියා සිටි බව පොන්නදුරෙයි සාක්ෂි දෙමින් පවසා ඇත.

විමර්ශනය සහ චෝදනා ගොණුකිරීම

මේජර් සිඩ්නි ද සොයිසා යාපනය ප්‍රදේශයේ යුධ හමුදා පොලීසිය අධීක්ෂණය භාර නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති අතර 2000 දෙසැම්බර් 23 වැනි දින පුද්ගලයන් අට දෙනෙකු ඝාතනය කිරීමක් පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස ඔහුට බ්‍රිගේඩියර් තෝරදෙණිය වෙතින් අණ ලැබී ඇත. ඔහු මහේෂ්වරන්ගේ නිවසට ගොස් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ඇත. ඉන්පසු අදාළ සිද්ධිය වූ බවට මහේෂ්වරන් ප්‍රකාශ කරන ස්ථානය වෙත ගොස් ඇත.
මහේෂ්වරන්ගේ මග පෙන්වීම යටතේ ඔවුන් පදුරු සහිත කැළෑව මැදින් ඇවිද ගොස් පළමුව මිරුසුවිල්හි පිහිටි අත්හැර දැමූ මහේෂ්වරන්ගේ නිවස අසළට පැමිණ තිබේ. එතැනින් පෙරකී පේර ගස තිබූ ස්ථානයටද එතැනින් වැසිකිළි වල තිබූ ස්ථානයටද ගමන් කර ඇත. වැසිකිළි වල මත වූ ස්ලැබ් එක මත ලේ වැනි පැල්ලම් තිබෙනු මේජර් සොයිසා නිරීක්ෂණය කර ඇත. ස්ලැබ් එක විවෘත කර බලන විට සතෙකුගේ ශරීර කොටස් හමුවී ඇත.

හයවන ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සොල්දාදුවන් 20ක් ඒ ආසන්න ගොඩනැගිල්ලක රැදී සිටින බව මේජර් සිඩ්නි ද සොයිසා විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත. එකී සෙබල පිරිසේ නායක සාජන්ට් රණසිංහ සමග තවත් හමුදා පුද්ගලයන් කිහිප දෙනෙකු තමන් වැසිකිළි වළ අසළ රැදී සිටියදී එම ස්ථානයට පැමිණ ඇති අතර සාක්ෂිකාර මහේෂ්වරන් ඒ අවස්ථාවේ කෑගසා තිබේ. මහේෂ්වරන් කෑගසා කියා ඇත්තේ සාජන්ට් රණසිංහ සමග පැමිණි හමුදා පුද්ගලයන් අතරින් දෙදෙනෙකු තමාව අල්ලාගෙන පහර දුන් අය බවයි. ඒ අනුව අදාළ සොල්දාදුවන් දෙදෙනා ලාන්ස් කොප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ මහින්ද කුමාරසිංහ බව අනාවරණය වී ඇත. අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් මේජර් සොයිසා පවසා ඇත්තේ සාමාන්‍ය සෙබල කුමාරසිංහ සම්බන්ධයෙන් තම මතකය අපැහැදිලි බවයි.ඒ අනුව මේජර් සොයිසා විසින් ලාස්න් කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ කුමාරසිංහ ඇතුලු පස් දෙනෙකු තම අත් අඩංගුවට ගෙන තිබේ.

2000 දෙසැම්බර් 24 වැනි දින සුනිල් රත්නායක විසින් පෙන්වා දුන් පරිදි යුධහමුදා පොලීසිය විසින් අදාළ වැසිකිළි වළ අවට ප්‍රදේශය සෝදිසියට ලක් කර ඇති අතර පදුරු සහ අතු වලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ප්‍රදේශයක් ඔවුන්ට හමුවී ඇත. මේජර් සොයිසා පොලිස් අධිකාරීවරයා හරහා තමන් අත්අඩංගුවට ගන්නා ලද හමුදා පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ප්‍රදේශය සෝදිසියට ලක් කරන ලද අතර මළ සිරුරු අටක් ගොඩ ගන්නා ලදී. එම මළ සිරුරු දෙසැම්බර් 19 වැනිදා මහේෂ්වරන් සමග මිරුසුවිල් ප්‍රදේශයට ගිය පුද්ගලයන්ට අයත් බව තහවුරු විය.

ඉන්පසු හමුදා පුද්ගලයන් ගණනාවක් (13ක්) හදුනා ගැනීමේ පෙරට්ටු සදහා ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ගෙන් පස්දෙනෙකු මහේෂ්වරන් විසින් හදුනාගන්නා ලදී.

සුනිල් රත්නායක ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොණු කරන්නේ ඒ අනුවය. සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ:-

  1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති  සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද
  2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  3. තෛවකුලසිංහම් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  4. විල්වරාසා ප්‍රදීපන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  5. සින්නයියා විල්වරාසා යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  6. නඩේසු ජයචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  7. කදීරන් ඥානචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  8. ඥානචන්ද්‍රන් ශාන්තන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  9. විල්වරාසා ප්‍රසාද් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද
  10. මහේෂ්වරන් යන අයට සුළු තුවාල සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය සමග කියවියයුතු දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද
  11.  සිට 18 වැනි අධිචෝදනාව දක්වා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය යටතේ විස්තර කෙරෙන පොදු චේතනාවට යටත්ව ඉහත 2 වැනි අධි චෝදනාවේ සිට 9 වැනි අධි චෝදනාව දක්වා නම් සදහන් පුද්ගලයන්ගේ මරණ සිදුකිරීම සහ 19 වැනි අධි චෝදනාව ඉහත කී පොදු චේතනාව යටතේ ඉහත 10 වැනි අධි චෝදනාවෙන් දක්වා ඇති සුළු තුවාල කිරීමේ වරද කළ බවටද ගොණු කර ඇත්තේය.

වරදකරු වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ පැමිණිල්ලේ නඩුව සම්පූර්ණයෙන්ම පාහේ රදා පවතින ලද මහේෂ්වරන්ගේ සාක්ෂියෙහි ඇති විශ්වාසනීයත්වය වේ. මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සළකා බැලීමට පෙර මෙම නඩුවේ ඇති අනෙකුත් පරීවේශනීය සාක්ෂි සළකා බලමු. පැවැති අනෙකුත් පරිවේෂණයන් මහේෂ්වරන්ගේ සාක්ෂිය හා ගැලපෙන්නේද එය ශක්තිමත් කරන්නේද යන්න පිළිබදව තීරණය කළ හැක්කේ ඒ අනුවය.

එය මහේෂ්වරන්ගේ සාක්ෂිය පිළිගත හැකිද ප්‍රතික්ෂේප කළ යුතු යන්න තීරණය කිරීමේදී තීරණාත්මක වනවා ඇත. දෙසැම්බර් 19 වැනි දා මහේෂ්වරන් මියිගිය අනෙක් අට දෙනාද සමග මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි තමන්ගේ නිවෙස් වලට පැමිණියේය යන කරුණ අභියෝගයට ලක්කර නොමැත.
පොන්නදොරෙයි එනම් මහේෂ්වරන්ගේ පියාට අනුව ඔහුගේ පුතා දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් වෙත ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් දෙසැම්බර් 20 වැනිදා උදෑසන ඔහු මහේෂ්වරන් සොයා මිරුසුවිල් වෙත යන අතරමගදී මහේෂ්වරන් හමුවී ඇත. තමාට සහ අනෙක් පුද්ගලයන් අටදෙනාට පෙරදා සැන්දෑවේ සිදුවූයේ කුමක්ද යන්න මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එහිදීය. මෙම ස්ථාවරය මහේෂ්වරන්ගේ මව වන ලෙච්චමී විසින් තහවුරු කර තිබේ.

මහේෂ්වරන්ගේ කතාවේ ස්ථිරසාරබව තහවුරු කිරීම සදහා පැමිණිලිල විසින් පොන්නදුරෙයි සහ ලෙච්චමී යන දෙදෙනාගේම සාක්ෂි මෙහෙයවා ඇති අතර මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට අදාළ සිදුවීම මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම වූ වහාම බැවින් එම සාක්ෂි මෙහෙයවීමට සාක්ෂි ආඥා පනතේ 157 වැනි වගන්තිය යටතේ අවසරය ඇත.

වැසිකිළි වළේ එළු කුණක්?

මේජර් සිඩ්නි ද සොයිසාගේ සාක්ෂිය

200 වසර වන විට යාපනය අර්ධද්වීපයේ යුධ හමුදා පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ එවකට මේජර් වරයෙකු වූ ද සොයිසාය. මේජර් ද සොයිසාට අනුව මේජර් ජෙනරල් සුනිල් තෙන්නකෝන්ගේ අණ දීම යටතේ මිරුසුවිල් කේන්ද්‍ර කොටගත් විශාල භූමි ප්‍රදේශයක ආරක්ෂාව 55 වන සේනාංකයට පැවරී තිබුණි. තවද 2000 වසරේ අප්‍රේල් මාසයේ අලිමංකඩ යුධ හමුදා කදවුරට එල්ල වූ ප්‍රහාරයත් සමග බටපිරිස් මිරුසුවිල් ප්‍රදේශයට පසුබසින ලද අතර ඉදිරි ආරක්ෂක වළල්ල තිබී ඇත්තේ මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීම සිදුවූ හමුදා පාලන ප්‍රදේශයේ සිට මීටර් 700ක් 800ක් පමණ ඉදිරියෙනි. ඔහු තවදුරටත් සදහන් කරන පරිදි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා එම ප්‍රදේශ අතහැර ඉවත්ව ගොස් ඇත.

2000 වසරේ දෙසැම්බර් 23 වැනි දින උදෑසන 9ට පමණ මේජර් ද සොයිසාට බ්‍රිගේඩියර් තෝරදෙණිය වෙතින් දුරකථන ඇමතුමක් දෙමින් හමුදාව විසින් සිවිල් පුද්ගලයන් 9 දෙනෙකු සිර භාරයට ගෙන ඇති බවත් ඉන් 8 දෙනෙකු ඝාතනය කර ඇතැයි දැනගන්නට ඇති බවත් දිවි ගලවා ගන්නා ලද සිවිල් පුද්ගලයා සොයාගෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මේජර් ද සොයිසා ඇතුළු කණ්ඩායමක් නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඇති මහේෂ්වරන්ගේ නිවස වෙත ගොස් තිබේ.

මහේෂ්වරන්ගේ දෙමාපියන් විසින් නිවසේ ඇතුළු කාමරයක බිම ඉදගෙන සිටි මහේෂ්වරන් වෙත මේජර්වරයාව කැටුව ගොස් ඇති අතර මහේෂ්වරන්ගේ ශරීරයේ ඇති වෙළුම්පටි මේජර්වරයා විසින් නිරීක්ෂණය කර ඇත. ප්‍රශ්න කිරීමේදී මහේෂ්වරන් අධිකරණයේ සාක්ෂි දෙමින් පවසන ලද කතාව එලෙසින්ම ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අනෙක් ගැමියන්ගේ සිරුරු ඇතැයි තමා සිතන වැසිකිලි වල පෙන්වා දීමට හැකියාව ඇති බවය. කෙසේ වෙතත් ඊපීඩීපී සංවිධානයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීවරයා ඔවුන් සමග නොපැමිණෙන්නේ නම් හමුදා නිලධාරීන් පමණක් සමග අදාළ ස්ථානයට යාම මහේෂ්වරන් ප්‍රතික්ශේප කර තිබේ. කණ්ඩායම වාහන දෙකකින් ගමන් කොට තවත් කිලෝ මීටර් එකහමාරක දුරක් පාගමනින් ගොස් අදාළ ස්ථානයට ළගාවී ඇත. පළුමවෙන්ම ඔවුන්ට මහේෂ්වරන්ගේ නිවස පෙන්වා ඇත. එමෙන්ම දෙසැම්බර් 19 වැනිදා පේර ගස වෙත යාමට ප්‍රථම ඔවුන් තම පාපැදි ගාල් කරන ලද ස්ථානයද මහේෂ්වරන් විසින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඒ අවස්ථාව වනවිට එහි බයිසිකල් තිබී නැත. ඉන්පසු මහේෂ්වරන් ඔවුන්ව කැදවාගෙන ගොස් ඇත්තේ ඔවුන්ට මුලින්ම හමුදා පුද්ගලයන් හමුවූ පේර ගසට ආසන්න ස්ථානයටය. තමා ඇතුලු කණ්ඩායමේ පිරිසගේ දෑස් බැද තමන්ට පහර දුන් බවත් අනෙක් අය වේදනාවෙන් කෑගසන හඩ තමාට ඇසුණු බවත් මහේෂ්වරන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු මහේෂ්වරන් මේජර්වරයා ඇතුළු පිරිස කැටුව ගොස් ඇත්තේ අනෙක් ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි ඔහු සැකකරන වැසිකිළි වල වෙතය. එම වැසිකිළි වල ආවරණය කොට ඇති කොන්ක්‍රීට් ලෑල්ල අසළට ඔවුන් පැමිණි විට මහේෂ්වරන් දැඩි සේ බියපත් බවක් පළකර තිබේ.
සිදුවීම ගැන මහේෂ්වරන්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානයේදී ඔහුගේ ඇස් බැදුම ගැලවුණ බවත් එහිදී ලේ වැනි පැල්ලම් තමන්ට දක්නට ලැබුණු බවත්ය. ඔහුව මරා දමනු ඇතැයි ඇතිවූ බිය හේතුවෙන් ඔහු පැන දුවා ඇත. මේජර් සොයිසාගේ මෙහෙයවීම යටතේ වැසිකිළි වල ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල් ඉවත් කළ විට ඒ තුලින් මියගිය සතෙකුගේ (එළුවෙකුගේ) ශරීර කොටස් හමුවී ඇත. මෙහිදී අනෙක් ගම්වැසියන් අටදෙනාගේද සිරුරු එම වැසිකිළි වල තුල ඇති බවට මහේෂ්වරන් සැක කරන ලද බව මේජර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සුනිල් රත්නායකගේ මග පෙන්වීම මත මළ සිරුරු සොයාගැනීම.

අදාළ ස්ථානයට මීටර් 50ක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලක් පරික්ෂා කළ මේජර් සොයිසා 6 වැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට අයටත් හමුදා නිලධාරීන් 20ක් පමණ අදාළ ගොඩනැගිල්ලේ රැදී සිටින බව අනාවරණය කරගෙන ඇත. මේජර්වරයා ප්‍රකාශ කරන ආකරයට ඔහු අදාළ භට පිරිස භාරව සිටි සාජන්ට් රණසිංහ නිලධාරීයා කැදවා ඉහත කී ලේ පැල්ලම් කෙළවර තොණ්ඩුවක් සහිත වයරය සහ මියගිය එළුවෙකුගේ යැයි සැකකළ හැකි ශරීර කොටස් පිළිබදව ප්‍රශ්න කර ඇත. ඒ අනුව අදාළ එළුවා මරාදැමූ නිලධාරීන් කැදවීමට සාජන්ට් රණසිංහට උපදෙස් ලැබී ඇති අතර ඒ අනුව සොල්දාදුවන් දෙදෙනෙකු පෙරට පැමිණ තිබේ.

ඔවුන් වැසිකිළි වලට ආසන්න වත්ම හදිසියේම සාක්ෂිකරුට (මේජර්වරයාට) විලාපයක් අසන්නට ලැබී ඇත. එම විලාපය ඇසුණු දෙස හැරී බැලූ මේජර්වරයාට දැකගන්නට ලැබී ඇත්තේ තම පියා බදාගෙන කෑගසමින් සිටින මහේෂ්වරන්ය. ඉහත සදහන් කළ (එළුවා මරාදැමූ බව කියමින්) පෙරට පැමිණි හමුදා පුද්ගලයන් දෙදෙනාද ඒ අනුව නොසන්සුන්ව බියපත් වන ආකාරය මේජර්වරයා නිරීක්ෂණය කර තිබේ. භාෂා පරිවර්තක සමග මහේෂ්වරන් වෙන ගමන් කළ මේජර් වරයා ඔහු කෑගැසුවේ මන්දැයි විමසා ඇත. මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එතැනට පැමිණ සිටි සොල්දාදුවන් දෙදෙනා දෙසැම්බර් 19 වැනිදා තමන් රදවාගෙන පහරදීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා බවය. ඒ අනුව මේජර් ද සොයිසා විසින් අදාළ සොල්දාදුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම මේජර් ප්‍රේමලාල් වෙත පවරා ඇති අතර එහිදී එම සොල්දාදුවන් දෙදෙනා කෙතරම් භීතියට පත්වී නොසන්සුව ඇත්තේද යත් බියවීමට කරුණක් නැති බව ඔවුන්ට පැවසීමට පවා මේජර් ප්‍රේමලාල්ට සිදුවී ඇත. මේජර් ද සොයිසා අදාළ සොල්දාදුවන් දෙදෙනාව කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබල මහින්ද කුමාරසිංහ වශයෙන් හදුන්වා ඇති අතර විවෘත අධීකරණයේදී සුනිල් රත්නායකව හදුනාගෙන ඇත. මේ අවස්ථාවේදී සොල්දාදුවන් පස්දෙනෙකු කෝප්‍රල් සුනිල් රත්නායක සහ සාමාන්‍ය සෙබල කුමාරසිංහ ඇතුළු සොල්දාදුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේජර් ද සොයිසා සාක්ෂිදෙමින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සොල්දාදුවන් පස්දෙනා යුධ හමුදා පොලීසියට භාරදීමෙන් පසු නැවතත් දෙසැම්බර් 24 වැනිදා ඔහු මෙම විමර්ශනයට සම්බන්ධ වූ බවයි. සුනිල් රත්නායක විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත පදනම්ව තවත් යුධ හමුදා පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග මේජර් ද සොයිසා අදාළ සිදුවීම වූ ප්‍රදේශයට ගොස් ඇත. සුනිල් රත්නායක විසින් පෙන්වා දෙන ලද මාර්ගය ඔස්සේ ඔහු විසින් පෙන්වා දෙන ලද යම් ස්ථානයක් වෙත පදුරු සහිත කැලයක් මැදින් යුධ හමුදා පොලිස් කණ්ඩායම ගමන් කර ඇත.
එහිදී කුඩා කොළ අතු වලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ස්ථානයක් මේජර්වරයාට දක්නට ලැබී ඇත. මෙජර්වරයා අදෘල ස්ථානය යුධහමුදා පොලීසියේ ආරක්ෂාව යටතට පත්කර පොලීසියට දන්වා තිබේ. ඒ අනුව කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක්ද සමග පැමිණි මහේස්ත්‍රාත්වරයා සුනිල් රත්නායක විසින් පෙන්වා දුන් ස්ථානය හෑරීමට පොලීසියට නියෝග කර ඇත. අදාළ වල තුලින් පුද්ගලයන් අටදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර ඒවා මෙම නඩුවේ අධි චෝදනා වල ඝාතනය කරනුලැබූ බවට නම් සදහන් පුද්ගලයන්ගේ බවට ඥාතීන් විසින් හදුනාගනු ලැබ තිබේ.

බෙල්ලේ ධමනි වෙන්වී යන පරිදි බෙල්ලේ ඉදිරිපසින් ගැඹුරු කැපුම් තුවාල, කිසිදු වෙඩිතැබීමක් සිදුවී නෑ

චාවාකච්චේරි දිසා විනිසුරු ප්‍රේමශංකර් මහතා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පොළව හාරා මළ සිරුරු අනාවරණය කරගත් ස්ථානය චූදිත-අභියාචක (සුනිල් රත්නායක) සහ මේජර් සොයිසා විසින් පෙන්වා දෙන ලද බවය. මෙහිදී 2000 දෙසැම්බර් 20 වැනි දින පේදුරු තුඩුව රෝහලේදී මහේෂ්වරන්ව පරික්ෂා කරන ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සින්නදුරෙයි කදිරවේලුගේ සාක්ෂිය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට රෝගියා විසින් පරික්ෂා කරන අවස්ථාවේදී ලබාදුන් කෙටි ඉතිහාසයේ සදහන් වන්නේ 2000 දෙසැම්බර් 20 වැනි දින සවස 4ට පමණ මහේෂ්වරන් හමුදා පුද්ගලයන්ගේ පහරදීමට ලක්වූ බවය.

වෛද්‍ය කදිරවේලුට අනුව ඔහු මහේෂ්වරන්ගේ ඇස් අසළ පපුවේ පිටුපස සහ දෙපාවල තැලීම් තුවාල ගණනාවක් නිරීක්ෂණය කර ඇත. වෛද්‍යවරයාගේ මතය අනුව මහේෂ්වරන්ගේ සිරුරේ ඇති සියළුම තුවාල මොට ආයුධයකින් කළ පහරදීමකට ගැලපෙන අතර ඔහුට එම තුවාල සිදුවී ඇත්තේ වෛද්‍යවරයා විසින් පරික්ෂා කරනු ලැබීමට දවසකට හෝ දෙකකට පෙරය. මහේෂවරන්ගේ සාක්ෂිය වෛද්‍ය ඉතිහාසය තුවාල වල කාලය හා ස්වභාවය සමග සළකා බැලීමේදී ඒ සියල්ල ඔහුගේ සාක්ෂිය සමග ගැලපෙන බව පෙනී යයි. මහේෂ්වරන් දැඩි භීතියකින් සහ නොසන්සුන්තාවයකින් සිටි බව වෛද්‍යවරයා වැඩිදුරටත් නිරීක්ෂණය කර තිබේ. වෛද්‍ය කදිරවේලුට අනුව ඔහු එම ප්‍රදේශයේ එකම වෛද්‍ය වරයා වේ.

එපමණක් නොව පොළව හාරා මළසිරුරු ගොඩගන්නා අවස්ථාවේ වෛද්‍ය කදිරවේලුද එම ස්ථානයේ සිට ඇත. එම මළ සිරුරු මළසිරුරු බහාලන බෑග වල බහා රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇත. වෛද්‍ය කදිරවේලු විසින් එම මළසිරුරු වලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ 2000 දෙසැම්බර් 26 දින පවත්වා ඇත. තමා වයස 69ක පුද්ගලයෙකු බවත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැති දිනයේදී දැඩි වෙහෙසට පත්වූ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත. වෛද්‍යවරයා මළ සිරුරු වල බෙල්ලේ ඉදිරිපස අගල් දෙකක් පමණ ගැඹුරට වූ තනි කැපුම් තුවාලයක් නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව එකී තුවාලය හේතුවෙන් ඇතිවූ කම්පනය සහ අධික රුධිර වහනය මරණයට හේතුව වශයෙන් සදහන් කර ඇත. වෛද්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉහත කී කැපුම් තුවාලය හේතුවෙන් ගෙල දෙපස ප්‍රධාන ධමදි දෙකම විසන්ධි කර ඇති බැවින් ඒවා අනිවාර්යයෙන්ම මරණය ගෙනදෙන ස්වභාවයේ තුවාල බවය.

නඩුව විමසීමේ අවස්ථාවේදී උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා තර්ක කර සිටියේ එම මරණ වලට වගකිවයුතු පුද්ගයලයා හෝ පුද්ගලයන් අදාළ අවස්ථාවේ වටාපිටාවේ අවධානය යොමුවන ආකාරයෙන් ගිනි අවි භාවිත නොකර හඩක් නොනැගෙන පරිදි ඝාතනයන් සිදුකිරීමට ඉතාම ප්‍රවේශම්කාරී සහ උපක්‍රමශීලී වී ඇති බවය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවදුරටත් සදහන් කර ඇත්තේ පැවැති යුධමය වාතාවරණය පිළිබදව දනිමින්ම ශබ්දයක් නොනැගෙන පරිදි ඝාතනයන් සිදුකිරීමට ඝාතකයින් ප්‍රවේශම් වී ඇති බවයි.

මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වස්‍යතාවය

චූදිත අභියාචක (සුනිල් රත්නායක) වෙනුවෙනු පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම් අනුව මහේෂ්වරන් යනු විශ්වාාසය තැබිය හැකි සාක්ෂිකරුවෙකු වන්නේද යන්න සළකා බැලිය යුතු කරුණකි. මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද විනිසුරුතුමන්ලා කිසිවෙකු මහේෂ්වරන් සාක්ෂි දෙන ලද අවස්ථාවේදී එම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු නොකළ හෙයින් එම විනිසුරුතුමන්ලාට මහේශ්වරන් සාක්ෂි ලබාදුන් විලාසය සහ ලීලාව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සත්‍යයකි. කෙසේ වෙතත් එම විනිසුරුතුමන්ලා සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ විලාසය සහ ලීලාව මත පදනම් වී නොමැති අතර අනෙක් අතට චූදිත අභියාචක (සුනිල් රත්නායක) ගේ පාර්ශවයෙන් මහේෂ්වරන් නැවත සාක්ෂියට කැදවන ලෙස ඉල්ලීමක් සිදුවී නොමැත. විත්තියට එය සිදු දිරීමට අයිතිවාසිකම සහ හැකියාව තිබුණි.

මහාධිකරණය විසින් සාක්ෂිකරුවෙකු ලෙස මහේෂ්වරන්ගේ විශ්වස්‍යතාවය පිළිබදව දීර්ඝ ලෙස සළකා බලා ඇති අතර (සාක්ෂි සටහන් වල පිටු අංක 381 සිට 415 දක්වා සහ තීන්දුවේ 19 වැනි පිටුවේ සිට 52 වැනි පිටුව දක්වා) 1වී 1 සිට 1වී 12 දක්වා ලකුණු කරන ලද පරස්පරතාවයන්ද 1 සිට 12 දක්වා අධිකරණයේ අවධානයට යොමු කරන ලද ඌණතාවයන්ද ඔහුගේ සාක්ෂිය ඇගයීමේදී සළකා බලමින් මහේෂ්වරන්ගේ සාක්ෂිය මත ක්‍රියා කිරීම ආරක්ෂා සහිත බවට තීරණය කොට ඇත.

ශ්‍රේෂ්ඨාධීකරණයද ඉහත සදහන් කළ පරස්පරතාවයන් සහ ඌණතාවයන් ප්‍රවේශමෙන් සළකා බැලීමෙන් පසු අදාළ සිදුවීමේ ස්වභාවය එම අවස්ථාවේ මහේෂ්වරන්ගේ මානසික තත්වය යනාදී කරුණු අනුව එකී පරස්පරතාවයන් සහ ඌණතාවයන් නොවැදගත් ලෙස තීරණය කර ඇත. මෙහිදී සිහි තබා ගතයුතු කරුණ වන්නේ මහේෂ්වරන් කතා කළ භාෂාව සිංහල නොව දෙමළ බවයි. ඔහු දෙමළ භාෂාවෙන් කියන ලද දෙය එලෙසම සිංහලයට පරිවර්තනය කර ලිවීමේදී කොටස් අඩුවී ඇති බවක් පෙනේ. ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී ඔහුගේ කලබලයට පත් මානසික තත්වය වටහා ගැනීම අසීරු නැත. ඔහු ඊපීඩීපී හෝ රතුකුරුස සාමාජිකයන් නොමැතිව හමුදාව සමග අපරාධ ස්ථානයට යාම පවා ප්‍රතික්ශේප කර ඇත. සිද්ධිය වූ අවස්ථා වේදී මහේෂ්වරන් පත්වී සිටි භීතියේ තරම එයින් පෙනී යයි.

සාක්ෂි විශ්ලේෂණය

මෙය අධිකරණය විසින් ප්‍රධාන වශයෙන් පරිවේශණීය සාක්ෂි මත තීරණය කළ යුතු නඩුවකි. ඒ අනුව සියළුම සාක්ෂි එක පිඩක් කොට ගත්කල ඇතිවන බලපෑම දැන් සළකා බැලිය යුතුය.දෙසැම්බර් 19 වැනි දින මහේෂ්වරන් මරණයට පත්වූ පුද්ගලයන්ද සමග මිරුසුවිල් ප්‍රදේශයට ගියේය යන කරුණ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඔහු එදින ආපසු නිවසට නොපැමිණි බව පහර දීම සිදුවූයේ යැයි කියන ස්වභාවයට ගැලපෙන ආකාරයේ තැලීම් තුවාල ඔහුට සිදුවී තිබූ බව අදාළ සිදුවීමට පසුදින එනම් දෙසැම්බර් 20 වැනි දින මහේෂ්වරන් එකී තුවාල වලට ප්‍රතිකාර ලබාගත් බව හමුදා පුද්ගලයෙකුගේ පහරදීමෙන් ඔහුට තුවාල සිදුවූ බව ඔහු වෛද්‍ය වරයාට ප්‍රකාශ කර ඇති බව ඔහු තමා මුහුණදුන් සිදුවීම වසර ගණනාවකට පසු අධිකරණයේ ප්‍රකාශ කළ ආකාරයෙන්ම තමාගේ පියාට සහ මවට නොපමාව ප්‍රකාශ කරන ලද බව යන කරුණු මහේෂ්වරන්ගේ සාක්ෂියේ සත්‍යවාදීභාවය සහ විශ්වස්‍යතාවය පරික්ෂා කිරීමේදී ස්වාධීන සාක්ෂි වලින් තහවුරු වන කරුණු වේ. අනෙක් පැත්තෙන් මහේෂ්වරන්ට චූදිත අභියාචක (සුනිල් රත්නායක) හෝ අනෙක් විත්තිකරු ව්‍යාජ ලෙස චෝදනාවකට හසු කිරීමට අවශ්‍යතාවයක් පැවැති බවට සිතිය හැකි සුළු කරුණක් හෝ ඉදිරිපත් වී නොමැත.

මෙහිදී ඉතාමත් කැපී පෙනෙන කරුණ වන්නේ දෙසැම්බර් 24 වැනිදා අදාළ සිදුවීමට අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි හමුදා පුද්ගලයන් ගණනාවක් අතරින් තමන්ට දෙසැම්බර් 19 වැනිදා පහරදුන් පුද්ගලයන් දෙදෙනා ලෙස ඒ වන විට චෝදනාවට ලක්වී නොසිටි චූදිත අභියාචක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබල කුමාරසිංහ යන දෙදෙනා පෙන්වමින් මහහඩින් කෑගැසීමේදී මහේෂ්වරන් පෙන්වන ලද නිරුත්සාහක වූද ස්වභාවික වූද හැසිරීමය. මෙම සාක්ෂිය චූදිත අභියාචක (සුනිල් රත්නායක) අදාළ ස්ථානයේ සිටි බවට තහවුරු කැරෙන සාක්ෂියක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හදුනාගෙන ඇත. මෙම අවස්ථාවේදී මහේෂ්වරන් විසින් සුනිල් රත්නායක හදුනා ගැනීම පිළිබදව කිසිදු සැකයක් නොමැත්තේය යන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය අවධානයට යොමු කරයි. එමෙන්ම මේ අවස්ථාවේදී සුනිල් රත්නායක විසින් විත්ති කූඩුවේ සිට සිදුකරන ලද ප්‍රකාශය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ. එකී ප්‍රකාශය මගින් දෙසැම්බර් 18 වැනිදා සිට එලුතුමට්ටුවාල් ප්‍රදේශයේ තමා සිටි බවද ඔවුන්ට ලැගුම් ස්ථානයක් නොවූයෙන් බටපිරිස කුඩා කණ්ඩායම් වලට වෙන්වී ප්‍රදේශයේ අත්හැරදමන ලද නිවාස වල රැදී සිටි බවද ඔහු පිළිගනී. ඔහු තවදුරටක් පිළිගන්නේ දෙසැම්බර් 19 වැනිදා ඔවුන්ට රාජකාරියක් පැවරී නොතිබුණු අතර ඔවුන් ලැගුම්ගත් ස්ථානය අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සදහා එදින ගතකරන ලද බවය. චූදිත අභියාචක සුනිල් රත්නායක විසින්ම පිළිගන්නා පරිදි මෙම සිද්ධියට අදාළ ප්‍රදේශයේ ඔහුගේ රැදී සිටීමද ඔවුන්ට එදින නිශ්චිත රාජකාරිය පැවරී නොතිබුණේය යන කරුණද සනාථ වන අතර එකී කරුණු අදාළ සිදුවීමට සම්බන්ධ වීමට ඔවුන්ට අවස්ථාවක් පැවැතියේය යනාදී වශයෙන් සාක්ෂි ආඥා පනතේ 7 වැනි වගන්තිය යටතේ අනුකූල වේ.

මහාධිකරණ විනිසුරුතුමන්ලා සුනිල් රත්නායක විත්ති කූඩුවේ සිට සිදුකරන ලද ප්‍රකාශය (නඩු තීන්දුවේ 229 සිට 232 පිටුව දක්වා) ප්‍රවේශමෙන් විශ්ලේෂණය කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන ලද පොදුවේ ප්‍රතික්ෂේප කිරීමේ විත්තිවාචකය ප්‍රතික්ෂේප කර ඇත. මෙම තත්වයද ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලා ඇති අතර විත්ති කූඩුවේ සිදුකරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරුන් ගන්නා ලද තීරණයේ වරදක් නොමැති බවට තීරණය කර ඇත.

සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින ලද උගත් ජනාධිපති නීතිඥතුමන් මහේෂ්වරන්ගේ සාක්ෂියේ යම් යම් කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් ඔහුගේ සාක්ෂියා පවත්නා දුබලතා හේතුවෙන් මහාධිකරණය මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වාස නොකළ යුතුව තිබූ බවට කරුණු දක්වා ඇත.
මහේෂ්වරන් ඔහුව අල්ලාගන්නා ලද පුද්ගලයන්ගෙන් මිදී පලා යාමේදී ඔහුට හමුවූ පළමු පුද්ගලයා මෙම සිදුවීමේදීම මියගිය ප්‍රදීපන් විල්වරාසා යන අගේ බිරිද වූ සෙල්වරාණී නම් තැනැත්තියයි. මහේෂ්වරන් ඇයගෙන් සරමක් ඉල්ලාගත් නමුත් පිරිස මුහුණ දුන් සිදුවීම ඇයට ප්‍රකාශ කොට නැත. පැවති තත්වයන් යටතේ මහේෂ්වරන්ගේ ප්‍රමුඛතාවය අනතුරින් බේරීම වන හෙයිනද් අනෙක් අතින් ගත්කල සෙල්වරාණී මෙම සිදුවම සම්බන්ධයෙන් කලබල කරවීමට අවශ්‍ය නොවූ නිසාද ඇයට සිද්ධිය නොපැවසුවා විය හැකිය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ මහේෂ්වරන්ගේ සාක්ෂියේ දුබලතාවයක් ලෙස සැළකිය නොහැකි බව තීරණය කර ඇත.

විත්තියේ උගත් ජනාධිපති නීතිඥතුමන් දක්වන ලද තවත් කරුණක් වන්නේ මහේෂ්වරන්ගේ පියා වන පොන්නදුරෙයිට අනුව ඔහුගේ පුතා ඔහුට පවසා ඇත්තේ සමහර අය හමුදාවෙන් කැපුවා යනුවෙනි. මහේෂ්වරන් ඔහුගේ සාක්ෂියේදී කිසිවෙකු හමුදාවෙන් කපනු දුටු බවක් ප්‍රකාශ කර නොමැති හෙයින් පරස්පරතාවයක් ලෙස පෙන්වා දෙන ලදී. පොන්නදුරෙයි සාක්ෂි ලබාදී ඇත්තේ සිදුවීමෙන් වසර ගණනාවකට පසුව වන අතර ඔහු සාක්ෂි දෙන අවස්ථාව වන විට මියගිය සියළුම දෙනා කැපුම් තුවාල වලින් මියගිය බව ඔහු දැන සිටීම ඔහුට යම් බලපෑමක් එල්ල කරන්නට ඇත. එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය එම විෂමතාවය නොවැදගත් ලෙස තීරණය කර ඇත.

මහේෂ්වරන්ගේ සාක්ෂි වල පවත්නා දුර්වලතා ගණනාවක් අවධානයට යොමුකළ ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියේ සුනිල් රත්නායකට එරෙහි කිසිදු ඍජු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති වීමද මහේෂ්වරන් චූදිතට එරෙහිව අතිශයෝක්තියෙන් යුතුව නිර්මාණය කරන ලද සාක්ෂි ලබාදුන්නා වීමට හැකියාවක් තිබීමද යන කරුණු මත මහේෂ්වරන් පේරගස අසළදී මුලින් අත්අඩංගුවට පත්වී අන් අය ප්‍රශ්න කිරීම සදහා රදවාගෙන සිටියදී පැන දිව්වා වීමට ඉඩ ඇති බවටය. එසේ සිදුවූයේනම් මහේෂ්වරන්ට ඉතා පහසුවෙන් සුනිල් රත්නායක මරණයට පත්වූ අයට පහරදෙනු තමා දුටු බව පැවසීම මගින් ඔවුන් ඍජුවම වගකීමට හසුකිරීමේ හැකියාව තිබුණි. ඔහු එසේ සිදුකර නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇති දුර්වලතා සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු මහාධිකරණය විසින් මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වාසනීය ලෙසට භාරගෙන ඒ මත ක්‍රියා කිරීමට ගන්නා ලද තීරණයේ වරදක් නොමැති බවට තීරණය කර ඇත.

ඉහත දක්වන ලද සියළුම කරුණු මත මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වසනීය බවත් ඒ මත පිහිටා කටයුතු කිරීම ආරක්ෂා සහිත බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ සිදුකරගත් අනාවරණ

 

දැනගැනීම පිණිස –

යම් සැකකරුවෙකු විසින් විමර්ශන නිලධාරියෙකුට ලබාදෙන ලද ප්‍රකාශයක් එකී සැකකරුට විරුද්ධව අධීකරණයේදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැක. එනම් මෙහිදී අපරාධකරු එක්ස් නම් ඔහු විසින් පොලීසියට ලබාදෙන කටඋත්තරය ඔහුට විරුද්ධව සාක්ෂි ලෙස ගෙන ආ නොහැක. නමුත් X විසින් ලබාදෙන ප්‍රකාශයේ සදහන් යම් කොටසක් මගින් විමර්ශනයේදී යම් කරුණක් අනාවරණය කරගන්නා ලද්දේ නම් එසේ අනාවරණය කරගන්නා ලද කරුණට අදාළ චූදිතගේ ප්‍රකාශයේ කොටස සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ සාක්ෂියක් ලෙස අධිකරණයට ගෙන ආ හැකිය.
උදාහරණයක් ලෙස X විසින් තමා “Yව මරා මිනිය පාලම අසළ කොස්ගස යට දැමූ” බව ප්‍රකාශ කරයි නම් ඒ ප්‍රකාශයේ සදහන් පරිදි පාළම අසළ කොස්ගස යටින් මිනිය සොයාගත්තේ නම් එක්ස් ගේ ප්‍රකාශයේ ඇතුලත් “මිනිය පාලම අසළ කොස්ගස යට” යන කොටස සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ අනුකූල කරගත හැකිය.

—————————————————–
චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් වූ තවත් තර්කයක දැක්වුණේ ආරියදාස සහ තවත් අය එදිරිව නීතිපති 2004 2 ශ්‍රීලනීවා 360 හි සදහන් පරිදි අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු වෙතින් ලබාගන්නා තොරතුරු මත කරුණක් අනාවරණය වන අවස්ථාවකදී එය සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ මෙම නඩුව සම්බන්ධයෙන් අදාළ කරගත නොහැකි බවය. කවුරුත් දන්නා නීතිය නම් 27 වැනි වගන්තිය යටතේ අනාවරණය වන කරුණකින් ගම්‍ය වන්නේ චූදිතට සොයාගනු ලබන කරුණ හෝ දෙය සම්බන්ධයෙන් දැනුමක් තිබුණේය යන්නයි.
මෙහිදී චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඊටින් සිංඥෝ එදිරිව රැජින 69 නනීවා 353, හීන්බණ්ඩා එදිරිව රැජින 75 නනීවා 54, රණසිංහ එ නීතිපති 2007 (1) එස්එල්ආර් 223 සහ 2008 නොවැම්බර් 11 දිනැතිව තීන්දු කරන ලද විමලරත්න සිල්වා සහ තවත් අයෙක් එදිරිව නීතිපති සීඒ 483/2001 යන නඩු තීන්දු වල ස්ථාවරයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය එකග වී ඇත.

නඩු විභාගයේදී චූදිත විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත අනාවරණය කරගන්නා ලදුව සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ ලකුණු කරන ලද සොයාගැනීම් දෙකක් මත පැමිණිල්ල විශ්වාසය තබා කටයුතු කර ඇත. චූදිතගේ ප්‍රකාශය මත අනාවරණය කරගත් මළසිරුරු වලදමා ඇති ස්ථානය හා මරණයට පත්වූ පුද්ගලයන් පදවාගෙන පැමිණි බව කියන බයිසිකල් වලදමා ඇති ස්ථානය එම සොයාගැනීම් දෙකය.

උගත් ජනාධිපති නීතිඥතුමන් තර්ක කරන ලද්දේ ආරියසිංහ සහ තවත් අය එදිරිව නීතිපති නඩුවේ පරිදි සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ ලබාදෙන ප්‍රකාශයක සාක්ෂිමය වටිනාකමට ලබා දී ඇති පුළුල් කිරීම මෙම නඩුවට අදාළ නොවන බවය. මෙහිදී සළකා බැලෙන වැදගත් කරුණ වන්නේ සුනිල් රත්නායක විසින් අදාළ මළසිරුරු වළලා ඇති ස්ථානය මේජර් සොයිසාටද පෙන්වා ඇති අතර ඒ අනුව එය සාක්ෂි ආඥා පනතේ 8 වැනි වගන්තිය යටතේ ඔහුටම විරුද්ධව පසු හැසිරීම ලෙස අනුකූල වන බවත් ඒ අනුව නඩුවේ ටී 47 ලෙස ලකුණු කර ඇති සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ වන අනාවරණයට එය අමතර විශ්වාසයක් සම්පාදනය කරන බවත්ය.

මහාධිකරණ නඩු විභාගයේදී චූදිත සුනිල් රත්නායකට එරෙහිව මෙහයවා ඇති සාක්ෂික වල ප්‍රබලතාවය අනුව ගත් කල සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තියට යටතේ අනාවරණය කරගන්නා ල ද කරුණු වල සාක්ෂිමය වටිනාකම සම්බන්ධයෙන් මහාධිකරණය නොමග ගියේ යැයි උපකල්පනය කලද එය චූදිතගේ අයිතිවාසිකම් වලට සැළකියයුතු බලපෑම් එල්ල නොකරන බැවින් ඒ මත මහාධිකරණ නඩු තීන්දුව ආපසු හැරවීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.

සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නීති තර්ක

චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් කරන ලද තවත් තර්කයක් වූයේ මහාධිකරණ නඩු තීන්දුව යම් එකගතාවයක ස්වරූපයේ නඩු තීන්දුවක් බවයි. එනම් 2 වැනි චූදිතගේ සිට 5 වැනි චූදිත දක්වා අයවලුන් නිදොස් කොට නිදහස් කරමින් 1වැනි චූදිත වූ සුනිල් රත්නායක පමණක් වරදකරු කිරීම සියල්ලන් සතුටු කිරීම සදහා සිදුකරන ලද්දක් බවත් 2වැනි චූදිතගේ සිට 5 වැනි චූදිත දක්වා අයවලුන් නිදොස් කරනු ලබන්නේ මහේෂ්වරන්ගේ සාක්ෂියේ පවත්නා අඩුපාඩු හේතුවෙන් නම් මෙම චූදිත අභියාචක වන සුනිල් රත්නායකටද එහි වාසිය ලැබිය යුතු බවටත් තර්ක කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කරුණු ප්‍රවේශමෙන් සළකා බැලීමෙන් පසු තීරණය කර ඇත්තේ 2 සිට 5 දක්වා වන චූදිතයින් නිදොස් වීම සදහා බලපා ඇත්තේ මහේෂවරන්ගේ සාක්ෂියේ ඇති අවිශ්වාසකටයුතු බව නිසා නොව එම 2 සිට 5 දක්වා වන චූදිතයන් හදුනාගැනීමට අදාළ සාක්ෂි ප්‍රමාණවත් ලෙස ගෙනහැරපෑමට පැමිණිල්ල අසමත් වීමෙන් බවය. පැමිණිල්ල විසින් 2 සිට 5 චූදිතයින් හදුනා ගැනීම සම්බන්ධයෙන් හදුනාගැනීමේ පෙරට්ටුව පිළිබදව විශ්වාසය තබා තිබුණු අතර මහාධිකරණය විසින් ප්‍රවේශමෙන් කරුණු සළකා බලා හදුනාගෙැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂි පිළිබදව විශ්වාසය නොතැබීමට නිවැරදි තීරණයක් ගෙන ඇති අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස 2 සිට 5 දක්වා චූදිතයින් නිදොස් වී ඇත. චූදිත අභියාචක වන සුනිල් රත්නායක සම්බන්ධයෙන් ගත් කල මහේෂ්වරන් විසින් ඔහුව සිද්ධිය සිදුවූ ස්ථානයේදී නිරුත්සාහකවම හදුනාගත්තේය යන කරුණ ස්ථාවරව පවතින්නේය.

සුනිල් රත්නායක වෙනුවෙන් ඉස්මතු කරන ලද අනෙක් ප්‍රධාන කරුණ වන්නේ අධි චෝදනා පත්‍රයේ 2 වැන්නේ සිට 9 වැන්න දක්වා වන අධි චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් වන්නේද යන්නයි. විත්තියේ උගත් ජනාධිපති නීතිඥතුමන් තර්ක කරන ලද්දේ සෘජු සාක්ෂි කිසිවක් නොමැති වීම පවත්නා සාක්ෂි තීරණාත්මක නොවන නොවැදගත් ඒවා වීම සහ පැමිණිල්ලේ සාක්ෂි මගින් රවිවර්මන් නැමැත්තාට පහරදීමේ පොදු අරමුණ ඇතිව විත්තිකරුව්න්ට පැවැති බව සාක්ෂි මගින් ස්ථාපිත කර නොමැති හෙයින්ද මිනීමැරුම් චෝදනායක් පවත්වාගෙන යා හැකි නොවන්නේය යනුවෙනි.

පැමිණිල්ල විසින් අධිචෝදනා වල සදහන් කාරණා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇත්තේද යන්න අධිකරණයක් විසින් සළකා බැලිය යුතු වේ. පෙර සදහන් කරන ලද පරිදි පළමු චෝදනාව වන්නේ රවිවරර්මන් යන් අයට පහරදීමේ පොදු අරමුණක් සහිතව නීති විරෝධී රැස්වීම (දණ්ඩ නීති සංග්‍රහයේ 139 වන වගන්තිය දක්වන පරිදි) වේ.

එමෙන්ම පැමිණිල්ල විසින් කාරණා දෙකක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු වෙයි. එනම්
(අ) පුද්ගලයන් පස්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් රැස්වූ බව
(ආ) එසේ රැස්වීමේ අරමුණ රවිවරමන්ට පහරදීම වූ බව
සාක්ෂි විමසා බැලීමේදී පැහැදිලි වන කාරණාවක් වන්නේ මුල් අවස්ථාවේදී සිට ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් වන බවයි. ඉන් එක් අයෙකු සුනිල් රත්නායක වූ අතර පසුව තවත් පස්දෙනෙකු ඔවුන් හා එක්වී ඇත්තේ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 6ක් දක්වි ඉහළ යවමිනි. ඒ යටතේ පැමිණිල්ල විසින් පුද්ගලයන් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් රැස්වූයේය යන කරුණ ස්ථාපිත කර තිබේ. අධිකරණය සළකා බැලිය යුතු ඊළග කරුණ වන්නේ එකී පිරිස රැස්වූයේ රවිවර්මන්ට පහරදීමේ අරමුණින්ද යන්නයි. මහාධිකරණය විසින් මෙම කරුණ සවිස්තරාත්මකව සළකා බලා නොමැති බවද රවිවර්මන්ට සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් නඩු තීන්දුවේ කිසිවක් අඩංගු නොවීමද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදී අවධානයට ලක්වී ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 342 වගන්තිය අඩන්තේට්ටම් කිරීම යන වරද විස්තර කර ඇත. ඒ අනුව මෙහිදී ඉහත කී නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන් කිසිවෙකු රවිවර්මන් යන අයට අඩන්තේට්ටම් කිරීමක් සිදුකරන ලදබවට පැමිණිල්ලේ සාක්ෂි මගින් ස්ථාපිත කර ඇත්තේදැයි මෙහිදී සළකා බැලිය යුතුය. මේ සම්න්ධයෙන් මහේෂ්වරන්ගේ සාක්ෂි පහත පරිදි වේ (2003 පෙබරවාරි 13 දිනැති සාක්ෂි සටහන අනුව). එතැන සිටි දෙදෙනාට තවත් හතර දෙනෙකු එකතු වීමෙන් පසු ඔවුන් මහේෂ්වරන් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කර ඇත. යම් සිංහල දැනුමක් තිබූ මහේෂ්වරන්ගේ මාමාගෙන් ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ ඔවුන් එල්ටීටීඊ සාමාජිකයන් යැයි චෝදනා කරන ලද බවක්ය.

ඒ අවස්ථාවේදී රවිවර්මන්ව කණ්ඩායමෙන් වෙන් කොට එතැනින් මීටර් 25ක් පමණ ඈත ස්ථානයක් වෙත ගෙනගොස් ඇති අතර විනාඩි 25කට පමණ පසුව ඔහුව නැවතත් එතැනට ගෙනවැත් තිබේ. පෙර සදහන් කරන ලද පරිදි රවිවර්මන් ඔහුගේ වම් අත උරහිසට පහලින් අහිමි වූ ආබාධිත පුද්ගලයෙකි. මෙම තුවාලය බොහෝවිට රවිවර්මන්ට එම තුවාලය යුද්ධයේදී ඇතිවූවක් බවට හමුදා පුද්ගලයන් තුල සැකයක් ඇතිකරවන්නට ඇත. රවිවර්මන් කණ්ඩායමේ අනෙකුත් අයවලුන්ගෙන් වෙන්කොට ප්‍රශ්න කිරීමට හේතුවද මෙය වන්නට ඇත.

රවිවර්මන් ආපසු ගෙන ආ අවස්ථාව වනවිට ඔවුන් සියලු දෙනාටම හමුදා පුද්ගලයන් විසින් අත් වලින් සහ පොළු වලින් පහරදී තිබුණි. මහේෂ්වරන්ගේ සාක්ෂිය අනුව සළකා බලන කල රවිවර්මන් මීටර් 25ක් පමණ ඈතට එනම් පියවි ඇසට පෙනෙන දුරකට උදාහරණයක් ලෙස ක්‍රිකට් තණතීරුවක දිගට වඩා මදක් වැඩි දුරකට ගෙනගොස් ඇත. අවාසනාවට රවිවර්මන් සහ ඔහුව රැගෙන ගිය හමුදා පුද්ගලයන් දෙදෙනා අතර කුමක් සිදුවූයේදැයි මහේෂ්වරන් දුටුවේද යන ප්‍රශ්නය පැමිණිල්ල විසින් අසා නැත. තමාට සිදුවූයේ කුමක්ද යන්න පැවසීමට රවිවර්මන්ද ජීවතුන් අතර නැත.

රවිවර්මන්ට බලහත්කාරය පෑමට සූදානම් බවට ඉගි ඔහුව රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා වෙතින් පලවීද යන්න පිළිබදව සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වීම පැමිණිල්ලේ නඩුවේ අඩුපාඩුවකි. මෙම කරුණ සම්බන්ධයෙන් ඇති සාක්ෂිවල හිගකම හේතුවෙන් රවිවර්මන්ව ඉවතට ගෙනයන ලද්දේ ඔවුන් එම ප්‍රදේශයේ රැදී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටද නැතහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 342 වගන්තියේ දැක්වෙන පරදි අඩන්තේට්ටම් සිදුකිඑීමටද යනුවෙන් සැකයක් ඉතිරි වීම නොවැලැක්විය හැකිය. මෙම තත්වය හේතුවෙන් රවිවර්මන්ට අඩන්තේට්ටම් කිරීමේ අරමුණින් චූදිතයින් නීති විරෝධීව රැස්වූයේය යන කරුණ ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. ඒ අනුව 1 සිට 10 දක්වා අධි චෝදනා ඔප්පු කර නැත. එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය 1 සිට 10 දක්වා අධිචෝදනා සම්බන්ධයෙන් සුනිල් රත්නායක වරදකරු කිරීමේ මහාධිකරණ තීරණය ඉවත් කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

ඒ අනුව සළකා බැලීමට ඉතිරි වන්නේ පොදු චේතනාව යටතේ ප්‍රතිසම වගකීම පැවරෙන්නාවූ 11 සිට 19 දක්වා වන අධි චෝදනාවන් වේ. රවිවර්මන් ආපසු රැගෙන ඒමෙන් පසු සිදුවූ දෙය පිළිබදව මහේෂ්වරන්ගේ සාක්ෂිය සුවිශේෂී වැදගත්කමකින් යුතුය. ඔහුගේ සාක්ෂිට අනුව රවිවර්මන් ආපසු ගෙන ඒමත් සමගම හමුදා පුද්ගලයන් මහේෂ්වරන් සහ අනෙකුත් ගැමියන්ට අත් වලින් සහ පොළු වලින් පහරදීමට පටන්ගෙන ඇත. ඉන්පසු මහේෂ්වරන්ගේම සරමෙන් ඔහුගේ ඇස් බැද ඇති අතර පහරදීම දිගින් දිගටම සිදුවී ඇත. ඉන්පසු මහේෂ්වරන් ක්ලාන්තයට පත්වූ බව ඔහු ප්‍රකාශ කරයි. ඔහුගේ අනෙකුත් සාක්ෂි පිළිබදව මීට ඉහත සාකච්ඡා කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව සාක්ෂි සමග චූදිත අභියාචක සුනිල් රත්නායකගේ දායකත්වය එක්ව ගත් කල ඔහු තමා විසින් කරන ලද කාර්යයන් සම්බන්ධයෙන් පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තියේ සදහන් පොදු චේතනාව යටතේ සුනිල් රත්නායක සමග සිටි අනෙක් පුද්ගලයන් සිදුකරන ලද කාර්යයන්ටද වගකිවයුතු බව පැහැදිලි වේ.

මෙම නඩුවේ දක්නට ඇති ලක්ෂණ අනුව සහභාගි වූ පුද්ගලයන් සියලු දෙනාම පොදු චේතනාවෙන් යුතුව කටයුතු කර ඇති බව සිතීමට සිදුවේ. ඉහත සදහන් කළ පරිදි රවිවර්මන් ආපසු ගෙන ආ වහාම සුනිල් රත්නායකද ඇතුළුව එහි සිටි හමුදා පුද්ගලයන් ගැමියන් කණ්ඩායමට පහරදීමට පටන්ගෙන ඇත. මෙම පහරදීම සියලුදෙනාම එක්වරම ආරම්භ කිරීම තුලින් ඊට සම්බන්ධ වූ හමුදා පුද්ගලයන්ගේ පොදු චේතනාව හෙළිදරව් වේ. වෛද්‍ය සාක්ෂියට අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයන් සියලු දෙනාටම සිදුවී තිබූ මරණීය තුවාලය එක හා සමාන වේ. එනම් පිටුපස සිට බෙල්ල කපා දැමීමකි. සියළුම මළසිරුරු වළදමා තිබුණේද මහේෂ්වරන් ඇතුළු පිරිසට හමුදා පුද්ගලයන් මුණගැසුනු ස්ථානයට ආසන්නයේ පිහිටි එකම ස්ථානයකය. එපමණක් නොව මෙකී ගැමියන් දෙසැම්බර් 19 දින මිරුසුවිල් ප්‍රදේශයට පැදගෙන ආ බයිසිකල් වින් හතරක් මළසිරුරු තිබූ ස්ථානයට ආසන්න ස්ථානයක තිබී හමුවී ඇත. මෙම සියලුම දෑ එක් පුද්ගලයෙකු විසින් සිදුකලා වීමට ඇති ඉඩ ඉතා අල්ප වේ. ඒ අනුව මෙම සියලුම ක්‍රියාවන් පුද්ගලයන් එක් අයෙකුට වඩැ වැඩි ගණනක් විසින් සිදුකර ඇති බව සිතීම යුක්තිසහගත වේ. තවද මරණයන් සිදුවූ වේලාවද මහේෂ්වරන්ගේ සාක්ෂිය සමග සමපාත වේ.

මරණයට පත්වූවන් අවසාන වරට දකින විට ඔවුන් සුනිල් රත්නායක සහ ඔහු සමග සිටි අනෙකුත් හමුදා පුද්ගයන් විසින් රදවාගනු ලැබ තිබුණි. පුද්ගලයන් දෙදෙනෙකු විසින් මහේෂ්වරන් කැදවාගෙන ගොස් ඔහු වැටට උඩින් විසිකරන ලද අවස්ථාවේද එකී පුද්ගලයන් කිසිවෙකු දක්නට නොසිටි අතර එහිදීද මහේෂ්වරන්ට පහරදෙනු ලැබ ඔහුව වැසිකිළි වල අසළට රැගෙන ගොස් ඇත. ඒ අවස්ථාවේදී මහේෂ්වරන් ඒ අසළ කිණිස්සක් අතැතිව සිටින පුද්ගලයෙකු දැක ඇත. එමෙන්ම වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තැවරුණු ලේද (මෙය රජයේ රසපරීක්ෂකවරයාගේ සාක්ෂය මගින්ද තහවුරු කර ඇත) දැක ඇති අතර වැසිකිළි වල තුල සිට යමෙකු දගලනවා වැනි චලනයන් දැනී ඇත. ඒ අවස්ථාවේදී යම් අයෙකු විසින් වැටෙහි පැටලුණු මහේෂ්වරන්ගේ සරම නැවතත් ගෙනැවිත් ඔහුගේ ඇස් බැදීමට උත්සාහ දර ඇත. එවිට මහේෂ්වරන් එම පුද්ගලයාව තල්ලු කර දමා පැන දුවා ඇත.
ඉහත දැක්වෙන නොසළකා හැරිය නොහැකි කාරණා සළකා බලන විට මෙම ගැමියන් කණ්ඩායමට මරණීය තුවාල සිදුකරන ලද්දේ චූදිත අභියාචක සුනිල් රත්නායක සහ කණ්ඩායම විසින් බව තහවුරු වේ. එමෙන්ම එකී තුවාල වල ස්වභාවය අනුව එම තුවාල මරණය සිදුකිරීමේ අරමුණින්ම සිදුකරන ලද ඒවා බවට නිගමනය කළ හැකිය. එැබැවින් එසේ හෙයින් පැමිණිල්ල විසින් 11 සිට 18 දක්වා ඇති අධි චෝදනාවන්ගේ ඇතුලත් මිනීමැරීමේ චෝදනාවද 19 වැනි අධිචෝදනාවේ ඇතුලත් මහේෂ්වරන්ට තුවාල සිදුකිරීමේ චෝදනාවද සාර්ථක ලෙස ඔප්පු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.
මීට පෙරද සදහන් කරන ලද පරිදි මෙම නඩුවේදී චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින ලද උගත් ජනාධිපති නීතිඥතුමන් මහේෂ්වරන්ගේ සාක්ෂිය දුර්වල සාක්ෂියක් බවත් එසේ හෙයින් ඒ මත පිහිටා කටයුතු කිරීම ආරක්ෂා කාරී නොවන බවටත් තර්ක කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරන ලද වාචික සැළකිරීම් සහ ලිඛිත සැළකිරීම් වලදී මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇති පරස්පරතාවයන් සහ ඌණතාවයන් ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරවා ඇත. මෙම තත්වය ප්‍රවේශමෙන් සළකා බලන ලද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිදුවීමේ ස්වභාවය සිද්ධියට අදාළ භූගෝලීය ප්‍රදේශයේ පැවති ආරක්ෂක තත්වය සහ එහි ජීවත් වූ මිනිසුන්ගේ සිත් තුල ඇති බිය යනාදී කාරණා සළකා බැලීමේදී මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇතියි කියනු ලබන දුර්වලතා එහි ඇති විශ්වාසනීයත්වයට හානි නොකරන බවට තීරණය කරන ලදී.
බෝගිනිබායි හිර්ජිබායි එදිරිව ගුජරාටි රාජ්‍යය ඒඅයිආර් 983 එස්සී 753 නඩුවේ තක්කාර් විනිසුරුතුමන් දක්වන කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණය උපුටා දක්වා ඇත.

අභියාචකගේ අධිනීතිඥවරයා විශේෂයෙන් අවධානයට යොමු කරවන ලද සුළු පරිමාණ අඩුපාඩු හේතුවෙන් සාක්ෂි නැවත ඇගයීම සදහා තීරණය කළයුතු යැයි අප නොසළකමු. සුළු අඩුපාඩු සදහා පමණට වැඩි වටිනාකමක් ලබාදිය නොහැක. පහත කාරණා අනුව එම සුළු අඩුපාඩු වලට හේතු මෙනවාදැයි පැහැදිලිය.

  1. ඡායාරූපගත මතකයක් මෙන් විශිෂ්ඨ මතයකින් යුතුව සිදුවීමට අදාළ කාරණා ස්මරණය කිරීමට සාක්ෂිකරුවකුට හැකියාව ඇතැයි නොසිතිය යුතුය. මතකය යනුසිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක් මනස තුල ධාවනය කරවනවා වැනි දෙයක් නොවේ.
  2. සාමාන්‍යයෙන් මුහුණපෑමට සිදුවන සිදුවීම් මගින් සාක්ෂිකරුවා කලබලයට පත්විය හැකිය. අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන යමකදී එය පූර්වයෙන් අපේක්ෂා කිරීමට සාක්ෂිකරුවකුට නොහැකිය. සිදුවීමක සිදුවන සියල්ල ඒ ආකාරයෙන්ම මතකයේ රැදෙනු ඇතැයි ඒ අනුව අපේක්ෂා කළ නොහැක.
  3. යමක් නිරීක්ෂණය කිරීමේ ශක්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එක් පුද්ගලයෙකුගේ අවධානයට ලක්වන දෙයක් තවත් පුද්ගලයෙකුගේ අවධානයට ලක් නොවිය හැකිය. යම් ද්‍රව්‍යයක් හෝ චලනයක් එක් පුද්ගලයෙකුගේ මතකයේ රැදීමටද අනෙක් පුද්ගලයාගේ අවධානයට එය ලක් නොවී තිබීමටද ඒ අනුව ඉඩ තිබේ.
  4. පෙර සිදුවූ සංවාදයක් එහිදී පාවිච්චි කළ වචන වලින්ම ඔවුන්ට ඇසුණු වචන වලින්ම මතකයේ රදවා ගැනීමට හා නැවත ප්‍රකාශනය කිරීමට පුද්ගලයෙකුට නොහැක. ඔවුන්ට අදාළ සංවාදයේ ප්‍රධාන හරය සිහිපත් කළ හැකිය. සාක්ෂිකරුවෙකු පණ ඇති පටිගතකිරීමේ යන්ත්‍රයක් ලෙස සැළකීම යථාර්ථවාදී නොවේ.
  5. අදාළ සිදුවීම සිදුවූ නිෂ්චිත වේලාව හෝ කාල පරාසය සම්බන්ධයෙන් ගත්කල ප්‍රශ්න කිරීමට ලක්වන අවස්ථාවේ ඇතිකරගන්නා අනුමානයන් මත පිළිතුරු දීම සිදුවේ. එවැනි කාරණා සම්බන්ධයෙන් ඉතා නිෂ්චිත අනුමානයන් පුද්ගලයන් විසින් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. තවද එය වේලාව සහ කාලය සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයාට දැනෙන ආකාරය අනුව වෙනස් විය හැකිය.
  6. සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ළග ළග සිදුවන සිදුවීම් දාමයකදී එහි එක් එක් සිදුවීම් ඉතා නිවැදිව අනුපිළිවෙලින් ස්මරණය කිරීමක් සාක්ෂිකරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක. පසුව ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකරුවකු කලබලයට පත්වීමට මෙන්ම සිදුවීම් පටලවා ගැනීමටද හැකියාව ඇත.

එබැවින් මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වසනීය සාක්ෂියක් ලෙස සළකා ඒ මත පිහිටා කටයුතු කරමින් අධිචෝදනා පත්‍රයේ 11 සිට 19 දක්වා එම චෝදනා දෙකත් ඇතුලත්ව වන අධි චෝදනාවන් සම්බන්ධයෙන් චූදිත අභියාචක සුනිල් රත්නායක වරදකරු බවට මහාධිකරණය ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරන ලදී. එසේ හෙයින් එකී චෝදනාවන් සම්බන්ධයෙන් සුනිල් රත්නායක වරදකරු කිරීමද ඒ සදහා පණවා ඇති දඩුවම් තහවුරු කිරීමටද කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනයට අර්ධ වශයෙන් ඉඩ ලබාදෙමින් තීන්දු ප්‍රකාශය අවසන් කර ඇත.

මෙම තීන්දු ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු බුවනෙක අළුවිහාරේ මැතිතුමන් විසින් සටහන් කරන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන ගරු නලීන් ජේ පෙරේරා ගරු සිසිර ද ආබෲ ගරු ප්‍රියන්ත ජයවර්ධන ගරු මර්දු එන් බී ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයට පත්කොට ඇත.

සමාප්තයි

……………………………………………………………………………………………………………………………

පසුවදන

සුනිල් රත්නායක නඩු තීන්දුව 2019 අප්‍රේල් මස එය නිකුත් වී මසක පමණ කාලයක් ඇතුලත මගේ අතට ලැබුණි. එය කියැවීමෙන් පසු එය අනිවාර්යයෙන්ම සිංහල භාෂාවෙන් කියවන පාඨකයාට කියැවිය හැකි පරිදි සිංහලයට පරිවර්තනය කළ යුතු බවට මම තීරණය කළෙමි. ඒ අනුව එම කටයුත්ත ආරම්භ කර අඩක් නිමවා තිබියදී කාර්යබහුලත්වය හේතුවෙන් එම කටයුත්ත අතරමග නතර විය. ඉන්පසු නැවතත් එම කටුයුත්ත ආරම්භ කරන ලද්දේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතිය පණවනු ලැබ නිවසට වී සිටින අවස්ථාවක සුනිල් රත්නායකට සමාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කිරීමත් සමගය.

අදාළ පුවත සැළවූ වහාම ඒ වන විට මා පරිවර්තනය කර තිබූ කොටස ෆේස්බුක්හි පළකොට නඩු තීන්දුවේ අනෙක් කොටස පරිවර්තනය කරමින් කොටස් වශයෙන් ෆේස්බුක්හි පළ කළෙමි. එය අවසානය දක්වා සිදුකරගැනීමට හැකියාව ලැබීම පිළිබදව මම අවංකවම සතුටට පත්වෙමි. සුනිල් රත්නායක නඩුව කියැවීමේදී ඒ පිළිබදව නොදත් බොහෝ දෙනා සිදුකරන ඇතැම් සාවද්‍ය ප්‍රකාශ මම දැක ඇත. එය හමුදාවේ දිගුදුර විහිදුම් බලකාය මගින් සිදුකරන ලද මෙහෙයුමක් බව ඇතැමුන් කියති. බාලවයස්කාරයන් වුවද ආයුධ සන්නද්ධව සිටි ත්‍රස්තවාදීන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සිදුවූ මරණ බව කියන අයද වෙති. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක් බවත් 2015න් පසු බලයට පත්වූ දේශපාලන අධිකාරියේ වුවමනාවට සිදුවූවක් බවත් කියන අයද වෙති.

මේ සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කිව යුතුය. මෙම ඝාතනයන් සිදුවන්නේ හමුදා පාලන ප්‍රදේශයක් තුලදීය. සාමාන්‍යයෙන් දිගුදුර මෙහෙයුම් සිදුකරන්නේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලය. එය කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවූ දෙසැම්බර් 19 වැනිදා තමන්ට කිසිදු මෙහෙයුමක් පැවරී නොතිබූ බව සුනිල් රත්නායක අධිකරණයේදී විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයෙන්ම තහවුරු වේ. ඒ අනුව දිගුදුර මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මරණ සිදුවූයේය යන ස්ථාවරය එයින් බිද වැටේ.

යුධමය කාර්යය අතරතුර වෙඩි හුවමාරුවකදී මෙම මරණ සිදුවීයැයි කිය ස්ථාවරයද ඒ සමගම බිද වැටේ. මෙම මළ සිරුරු වල වෙඩි උණ්ඩ වලින් සිදුවූ කිසිදු තුවාලයක් හමුවී නැත. ඒ වෙනුවට මරණයට පත්වූවන්ගේ පිටුපස සිට ශීර්ෂ පෝෂී ධමනි දෙකම කැපී වෙන්වී යන පරිදි ගෙල ඉදිරිපසින් සිදුකරන ලද එක හා සමාන කැපුම් තුවාල අටක් හේතුවෙන් මෙම අටදෙනා මියගොස් තිබේ. පිහි මගින් කරනු ලබන සටනකදී වුවද එවන් එක හා සමාන තුවාල අටක් සිදුකිරීමට කිසිදු හැකියාවක් නොමැත. එනම් මෙම මරණයන් සිදුවී ඇත්තේ මරණයට පත්වූ තැනැත්තන් ඝාතකයන්ගේ බලහත්කාරය යටතේ සිටින අවස්ථාවකදීමය. එබැවින් යුද්ධය අතරතුර සිදුවූ මරණ නොව ඒවා මිනීමැරුම් බවට කිසිදු සැකයක් නොමැත. තවද මෙම මළ සිරුරු වළලා තිබූ ස්ථානය සොයාගනු ලබන්නේ සුනිල් රත්නායකගේ මග පෙන්වීම යටතේය. ඒ අනුව මෙම සිදුවීමට සුනිල් රත්නායකගේ තිබූ සබදතාවයද මනාව පැහැදිලි වේ.

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හෝ 2015න් පසු බලයට පත්වූ දේශපාලන අධිකාරියේ වුවමනාව මත සුනිල් රත්නායක වරදකරු කරන ලද්දේය යන ස්ථාවරය සම්පූර්ණයෙන්ම සිනා උපදවනසුළු එකකි. මන්ද සුනිල් රත්නායක අත්අඩංගුවට පත්වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගය. විමර්ශන මෙහෙයවන ලද්දේ යුධහමුදා පොලීසිය විසින්ය. ඉන්පසු අධිකරණ කටයුතු වලින් වැඩි හරියක් සිදුවූ කාලසීමාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂය. නඩු විභාගය සිදුවූයේ ශ්‍රී ලංකාවේ විනිසුරු වරුන් ඉදිරිපිටදීය. එය කුමක් වුවද සාක්ෂි සළකා බැලීමේදී නඩු තීන්දුවේ මේ යැයි පෙන්වා දියහැකි අඩුපාඩුවක්ද නැත.

එසේ හෙයින් අධිකරණය විසින් සුනිල් රත්නායක වරදකරු කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ තැන්වල කියූ විවිධ කතා හුදු සුරංගනා කතා පමණි. වසර 15ක් තිස්සේ නඩුව විභාග වෙද්දී අධිකරණයට ගොස් ඔය සුරංගනා කතා කීමට කිසිවෙකු ඉදිරිපත් වූයේද නැත. එබැවින් මාගේ පුද්ගලික මතය වන්නේ සුනිල් රත්නායක මෙම නඩුවේ ප්‍රශ්නගත අපරාධය සිදුකළ අපරාධකරුවෙකු බවත් ඔහු සහ පිරිස කිසිසේත්ම එම අපරාධය යුද්ධයේ කොටසක් ලෙස සිදුකරන ලද්දක් නොවන බවත්ය. ඒ අනුව ඔහුට ලැබී තිබූ දඩුවම ඉතා සාධාරණ වූ අතර එයට සමාව නොදිය යුතුව තිබුණි. නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඔහුට ඇති බලතල ප්‍රකාරව සමාව ලබාදී ඇති අතර එය නීතිමය වශයෙන් අභියෝගයට ලක්කල හැකි ක්‍රමයක් නැත.

මේ පිළිබදව විවිධ පුද්ගලයන් විවිධ මත දරණ බව පෙනේ. ඔබ සුනිල් රත්නායකට සමාව දීමට විරුද්ධ අයෙකු විය හැකිය. ඊට පක්ෂ අයෙකු විය හැකිය. කවුරුන් වුවද එයට විරුද්ධ වීම හෝ පක්ෂ වීම අන්ධයෙකු ගොළුවෙකු බිහිරෙකු මෙන් නොදැනුවත්ව සිදු නොකර තමා විරුද්ධ වන්නේ හෝ පක්ෂ වන්නේ කුමකටද යන්න ඇති සැටියෙන් දැනගෙන එම ස්ථාවරය දැරීම අතිශය වැදගත් වේ. මේ සදහා කාලය මිඩංගු කොට මෙම පරිවර්තන කාර්යය මා විසින් සිදුකරන ලද්දේ තමා පක්ෂ වන්නේ හෝ විරුද්ධ වන්නේ කුමකටදැයි දැනගෙන අදාළ ස්ථාවරය දැරීමට කැමති සිංහල භාෂාවෙන් කතා කරන සිහිබුද්ධිය ඇති මිනිසුන් වෙනුවෙනි.

එම කාර්යය සමහරෙක්ගේ පැසසුමටද සමහරෙකුගේ විවේචනයටද ලක්විය. සමහරු මා දුරකථනයෙන් පවා අමතා එම කාර්යය නවතා දමන ලෙස ඉල්ලා සිටින ලදී. ෆේස්බුක් මැසෙන්ජර් හරහාද එවැනි ඉල්ලීම් බොහෝ ගණනක් සිදුවිය. තවත් පිරිසක් එම පරිවර්තනයන් ෆේස්බුක්හි පළකරන ලද විට එයට විවිධාකාර කෝපාන්විත සහ උපහාසාත්මක ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට පිළිතුරු දීම සදහා මා පොළඹවා ගැනීමට උත්සාහ කළ අවස්ථාද විය. මා ලියන ලද්දේ මාගේ කතාන්තරයක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පරිවර්තනය බව මේ දක්වාම නොදන්නා අයද වෙති. නමුත් මේ පරිවර්තන කාර්යය අවසාන වනතුරු මම ෆේස්බුක් ප්‍රතිචාර වලට පිළිතුරු ලබාදීමෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැලකී සිටියෙමි.
ඒ සියල්ල අතර සිංහල බස කතා කරන ජනතාව මෙම නඩුවේ කාරණා විස්තරාත්මකව දැන ගැනීම අනවශ්‍ය බවද එසේ දැනගැනීම ගැටලු සහගත බවද කෙළින්ම කියූ කිහිප දෙනෙකුද විය. යමක් පිළිබදව තොරතුරු ඇති සැටියෙන් දැනගැනීමෙන් සිදුවන හානිය කුමක්දැයි මම එවැනි අයගෙන් විමසා සිටියෙමි. නමුත් එයට ලැබුණු පිළිතුරක් නම් නැත.

මේ සියල්ල එසේ තිබියදී සුනිල් රත්නායක යනු එක් අතෙකින් ශ්‍රී ලංකා ආණ්ඩුව 2000 වසරේ සිට 2020 වසර දක්වා වසර 20ක් තිස්සේ අනුකම්පා විරහිතව පාවිච්චි කරන ලද සර්කස් අශ්වයෙකි. එනම් යුද්ධයේදී මානව හිමිකම් කඩවීම් සිදුවන්නේ යැයි චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකදීම එය එසේ නොවන බව කියමින් එසේ කළ අයට හමුදාව ඇතුලතින්ම ගනු ලබන ක්‍රියාමාර්ග වලට උදාහරණයක් ලෙස සුනිල් රත්නායක පෙන්වා සිටින ලදී. කොරෝනා වෛරසයෙන් ලෝකය ඇලළී ලෝක දිශානතිය ඒ අනුව වෙනස් වෙමින් යන මේ මොහොතේ වසර 11 කට පෙර අවසන් වූ යුද්ධයක් ගැන නැවත ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට නැවත ඉස්පාසුවක් නොලැබෙනවා ඇත. එබැවින් ලෝකයට පෙන්වීමට සුනිල් රත්නායක නම් සර්කස් අශ්වයා කූඩුකර තබාගෙන සිටීම දැන් අවශ්‍ය නොවේ. ඒ අනුව ගත් කළ සුනිල් රත්නායකට සමාව ලබාදීමේ හරි වැරැද්ද කෙසේ වෙතත් එසේ කිරීමට ජනාධිපතිවරයා තෝරාගත් අවස්ථාව දේශපාලනිකව ඉතාම නිවැරදිය.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික හිත මිතුරෙකුද වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ අවශ්‍යතාවයද දැඩිව දැනෙන්නට ඇත. ඒ සදහා මග හෙළිපෙහෙළි කිරීම සදහා මූලික පියවරක් වශයෙන්ද සුනිල් රත්නායක නිදහස් කිරීම යොදාගත් බවක් පෙනේ. ඉතින් මම සුනිල් රත්නායකට සමාව දුන් දිනයේ පටන් මේ මොහොත දක්වාම ඔහු පිළිබදව බොහෝදෑ ලිව්වෙමි. ඒ සියල්ල කෙසේ වුවද ඔහුට දැන් සමාව ලැබී අවසන්ය. ඔහු පියෙකු ලෙස ඔහුගේ දරුවා තුරුලට ගෙන අවසන්ය. එබැවින් නැවත නැවතත් ඔහුව කොණහමින් කෙලෙසක හෝ ඔහුට ලැබුණු නිදහස විහිළුවක් බවට පත්කිරීමට මනුශ්‍යයෙකු ලෙස මම කල්පනා නොකරමි. එසේ හෙයින් මෙම සටහනත් සමග සුනිල් රත්නායක ගැන ලිවීම මම සම්පූර්ණයෙන්ම නතර කරමි. මෙයින් පසු සුනිල් රත්නායක ගැන විවිධ සාකච්ඡා සමාජයේ සහ සමාජ ජාල වල ඇතිවනු ඇත. මම ඒ කිසිවකට ප්‍රතිචාර දක්වන්නට හෝ අපේක්ෂා නොකරමි. මන්ද මම ඒ පිළිබදව ඇති තරම් අධ්‍යයනය කර ඇති තරම් ලියා ඇත.

ඉතින් සුනිල් රත්නායක. ඔබට ලැබුණු නිදහස අර්ථාන්විතව භාවිත කරනු ඇතැයි මම සිතමි.

ඔබට ජය!
සහය දුන් ධෛර්යය දුන් සැමට තුති!

අයිතිය:  නීතීඥ අථිල අතාවුද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *