උපුටාගැනීම්විශේෂාංග

දශක හතරක් තිස්සේ රට මංකොල්ල කන චෞර දේශපාලනය.

රුපියල් කෝටි හාරදහසක් එහා ගිය මහා බැදුම්කර මං කොල්ලය පිළිබද වෝහාරික විගණන වාර්තාවේ උණුසුම මැකී යන්නට ප්‍රථම තවත් දැවැන්ත වංචාවක සුළමුළ හෙළිවෙමින් තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් බස් 14 ක් එක්කර ගැනීමේදී වර්ෂ 2013 දී සිදුවී ඇති වංචාවකි. එකක් පිටුපස එකක් වශයෙන් එන මේ සිද්ධිදාමයන්ගේ කතාව අද ඊයේ පටන්ගත් එකක් නොවේ.

මේ ලිපිය සමග පළකරන පිංතූරයට අදාළ දීර්ඝ පුවත්පත් ලිපිය මමත්, ආනන්ද ජයසේකරත් එක්ව සකස් කළේ 1994 ජූලි 31 ‘රාවය’ පුවත්පතේ මැද පිටුව සදහා ය. ඒ මින් වසර 25 කට පෙර ය. 1977 සිට 1994 දක්වා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ ‘රාවය’ පුවත්පත විසින් රටට හෙළිදරව් කළ දැවැන්ත දූෂණ, වංචා, කොමිස් ගැහිලි පිළිබද සංක්ෂිප්ත සටහන් අප එහිදී යළි රටට සිහිපත් කර දුන්නෙමු.

එදා සිදුවූ දේ අදත් එලෙසම

2013 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුවී ඇති මහා වංචාවක් ගැන පෙරේදා හෙළිදරව් වූ විට මගේ මතකයට ආවේ එදා 1991 දී ‘රාවය’ පුවත්පත රටට හෙළිදරව් කළ ‘ගුවන් බසයෙන් අහස උසට කොමිස්’ මැයෙන් ප්‍රධාන සිරස්තලයේ ප්‍රවෘත්තියයි. මින් වසර 29 කට පෙර ‘රාවය’ හෙළිදරව් කළ වංචා දූෂණ අදත් එලෙසම සිදුවේ. වෙනස් වී ඇත්නම් ඒ වංචා කරන ලද මුදලේ ප්‍රමාණය වැඩිවීම පමණි. එදා ප්‍රංශයේ ගුවන් බස් සමාගමෙන් ගුවන් බස් මිලට ගන්නා විට රටට සිදුකළ පාඩුව රුපියල් කෝටි 450 ක් වන විට අද එය රුපියල් කෝටි 1700 ක් දක්වා වර්ධනය වී තිබේ.

1977 – 1994 එජාපයේ දූෂිත රාජ්‍ය පාලනය

මෙරට මහාපරිමාණ දූෂණ වංචා ආරම්භ වූයේ 1977 එජාප පාලන සමයේදීය. විශේෂයෙන් ඒ වනවිට පාඩු ලබන්නේ යැයි කියූ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේදී එකී දේපළ දේශීය විදේශීය සමාගම්වලට විකුණා දැමුණේ එම ආයතනවල තිබූ ස්ථීර තැන්පතු සහ අනෙකුත් භෞතික සම්පත්වල වටිනාකමටත් අඩුවෙනි. ඒ වනවිටත් විශාල ලාභයක් ලබමින් සිටි මෝදර මට්ටක්කුලියේ ලංකා සම්භාණ්ඩ
සංයුක්ත මණ්ඩලය සහ මෝදර මට්ටක්කුලියේ ඔක්සිජන් සමාගම ඊට නිදසුන් ය. මේ අයුරින් පාඩු ලැබූ ආයතනත්, පාඩු නොලැබ පවත්වා ගෙන ගිය ආයතනත් ඉවක් බවක් නොමැතිව පෞද්ගලීකරණයට බුදුන් කළේ ය. අදාළ ආයතනවලට සම්බන්ධ ඇමැතිවරුන්ට එහිදී ලොතරුයි ඇදුණේය.

මහාපරිමාණ ඉඩම් මංකොල්ලය

1977 ට පෙර සමගි පෙරමුණ රජය ගෙන ආ ඉඩම් අත්පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ අක්කර සිය ගණනින් වූ ඒක පුද්ගල ඉඩම් අක්කර 50 කට සීමාකර රජයට පවරා ගැනීම සිදුවිය. එකී ඉඩම් පැවරුණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට, පශු සම්පත් මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවටය. 1977 බලයට පත් එජාප ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් පෙරකී රාජ්‍ය ආයතන සතු ඉඩම් තමන්ට තමන්ගේ දූදරුවන්ගේ නම්වලට රිසිසේ ලියා ගත්හ. ඒ පර්චසය රුපියල් 10, 20, 30 වැනි තුට්ටුවේ මිල ගණන් යටතේ ය. ඇතැමුන් තමන් සතුව තිබූ ඉතා නිසරු මුඩු ඉඩම් රජයට සතු වටිනා සරුසාර ඉඩම්වලට හුවමාරු කර ගත්හ. ඒ අතර ඉතාම සරුසාර පොල්වතු, රබර් වතු සහ තේ වතු විය. මීට අමතරව ඔවුහූ මිලට ගත් වටිනා දේපළවල කෙළවරක් නොවූහ. පිටකොටුවේ කල්‍යාණ මහල් ගොඩනැඟිල්ල එදවස ජේ. ආර්.ජයවර්ධන සතු එකකි. කුරුණෑගල පාරේ අක්කර ගණනක කහඹිලියා වත්ත රණසිංහ ප්‍රේමදාස සතු ඉඩමකි. එදවස විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් අතර ජෝන් අමරතුංග, ගාමිණී දිසානායක, විජයපාල මෙන්ඩිස්, තිලක් කරුණාරත්න, පී. දයාරත්න, රොනීද මෙල්, ගාමිණී ලොකුගේ, ජෝශප් මයිකල් පෙරේරා, චන්දා බණ්ඩාර, ප්‍රකට විය.

දූෂිතයන් ගෝල්ෆේස් ගෙනවිත් එල්ලන බව කියූ 1994 චන්ද්‍රිකා රජය

1994 දී චන්ද්‍රිකා රජය බලයට පත්වූයේ 17 වසරක දූෂිත එජාප ආණ්ඩුවේ වංචනිකයන් ගෝල්ෆේස් ගෙනවිත් එල්ලන බව කියමිනි. රටේ මහජනතාව එදා චන්ද්‍රිකාට සියයට 65 බලයක් ලබා දුණි. ඇය බලයට පැමිණ දූෂණ වංචා සෙවීමට කොමිෂන් සභා ගණනාවක් ස්ථාපිත කළාය. සිදුවූයේ කුමක්ද..? එකම දූෂිතයකුට හෝ රාජ්‍ය බලධාරීයකුට දඩුවම් පැමිණවූ වේ නැත. ඇතැම් වංචා සෙවීමට පත්කළ කොමිසම්වල වියදම් සිදුවී ඇති වංචාවට වඩා ඉහළය. මගේ මතකයේ හැටියට දඩුවමක් ලෙස සේවයෙන් පහ කළේ රුපියල් ලක්ෂ 45 ක් ලංකා බැංකුවේ පරිගණක මිලදී ගැනීමේ වරදට හසුවූ එහි මහ කළමනාකාරිනී රෝහිණි නානායක්කාර පමණි. ඇයට ලැබුණු දඩුවම් සේවය අහිමිවීම පමණි. ඉන් දෙමාසයකට පසූ ඇයට සෙලාන් බැංකුවේ ඉහළ තනතූරක් ලැබුණි. තවත් එක් දඩුවමක් වූයේ පංශූ සම්පත් මණ්ඩලය සතු සරුසාර පොල් ඉඩමක් නිසරු මුඩු ඉඩමකට මාරු කළ විජයපාල මෙන්ඩිස්ට නැවත එම ඉඩම් භාරදී තමාගේ ඉඩම් ලබා ගැනීමට සිදුවීමයි. මේ හැරෙන්නට සිදුවූ අන් යමක් නැත. කිසිවකු ගෝල්ෆේස් ගෙනවිත් එල්ලුවේ නැත. ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැත. එහෙත් අදත් දේශපාලනයේ සිටින ඔවුන්ගේ බොහෝ දූ දරුවෝ තම පියවරු උපයා ඇති ධනය තව තවත් වර්ධනය කර ගනිමින් සිටිති.

චන්ද්‍රිකා රජයද නිකං හිටියේ නැත.

1994 දී දූෂකයන් එල්ලන්නට ආ චන්ද්‍රිකා රජයද වැඩිකල් යන්නට මත්තෙන් වැඩ ඇල්ලුවේ ය. ඉතිරිව තිබූ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වෙනුවට අලුත් නමකින් එනම් ප්‍රතිව්‍යුහගතකරණය නමින් කළ එළි බැස්සේය. සිරිමාවෝ බණ්ඩාරනායක ජනසතු කළ ෂෙල් ගෑස් සමාගම දුවණිය චන්ද්‍රිකා විසින් නැවත ෂෙල් සමාගමට දුන්නේය. අතුරුගිරිය වානේ කර්මාන්තය ශාලාවද කොරියානු සමාගමකට ලබා දුන්නේ ය. මේවායේ ස්ථීර තැන්පතු සහ අනෙකුත් වත්කම් විකුණූ මිලට වඩා අඩුය. වික්ටර් අයිවන් මහතා ලියූ ‘චෞර රැජින’ පොතේ චන්ද්‍රිකාගේ කෙරුවාවල් පැහැදිලිව ඇත. සනත් ගුණතිලක , ලක්ෂ්මන් හුළුගල්ලාගේ චැනල් නවය ගනුදෙනු ද ඒ අතර ප්‍රකටය. බත්තරමුල්ල අද වෝටර්ස්ටේජ් ඉඩම්, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට විකිණීම නිකම්ම නිකං වූ ගනුද්‍රනු නොවේ. අද සුද්දවන්තයන් වී ඇති එස්.බී. දිසානායකලා මාළිගා තැනුවේ ඇමැති වැටුපෙන් නොවේ. අන්තිමට සලකා මුදලාලිලාගේ පිහිටෙන් එස්. බී ලා ගොඩ ගියේ ය.

2005 – 2015 රාජපක්ෂාගමනය
ජේ. ආර්. ප්‍රේමදාස රනිල් 17 වසරත් චන්ද්‍රිකාගේ වසර 11 ත් පරදා පෙරට…..

මේ යුගයේදී සිදුවූ මහා පරිමාණ දූෂණ වංචා වත්මන් පරපුර ඕනෑ තරම් අසා ඇත. එතෙක් ඇමැති මැතිවරු න් ඩැහැගත් ධනය වැඩි වශයෙන් ඒකරාශී වූයේ එක් පවුලක් වටාය. මැති ඇමැතිවරුද එසේ නොකළා නොවේ. රටේ ඉතා වටිනා ඉඩම් විදේශ සමාගම් වෙත විකිණීමේ සිට යුද ගුවන් යානා මිලට ගැනීම, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපල, ක්‍රීඩාංගණ මෙකී නොකී සංවර්ධන ව්‍යපෘති, බැදුම්කර ගනුදෙනු, කොටස් වෙළෙඳ පොළ කෙළවරක් නැති දූෂීත ගනුදෙනුවලින් ග්‍රහණ විය.

අනුරකුමාර දිසානායක වරක් සියලු ලේඛන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජපක්ෂ පවුලේ වත්කම් අති විශාලය. ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සතු වත්කම් ඒ අතර විය. අත්පත් කර ගෙන ඇති ඉඩම්, දේපළ අප්‍රමාණ ය ඒවා මිලට ගැනීම සදහා ඔවුන්ට මුදල් ලෑබුණේ කෙසේද.? ගල්කිස්සේ වටිනා ඉඩම් තම මුණුපුරා වූ යෝෂිත වෙනුවෙන් මිලට ගැනීමට ඩේසි ෆොරස්ට මුදල් ලැබී ඇත්තේ නන්නාදුනන පුද්ගලයකු ගෙනවිත් දුන් මැණික් මල්ලක් තවත් නාදුනන පුද්ගලයෙකු රුගෙන දුන් මුදල්වලිනි. මේ සහාසික බොරු රටේ අධිකරණය පිලිගතේ ය. වත්මන් ජනාධිපතිවරයා සොහොන් කොත් නඩුවෙන් නිදහස් වී ඇත්තේද ජනාධිපති මුක්තිය යටතේ මිස වරද සිදු නොවීම නිසා නොවේ. රටට මහත් ධනයක් අහිමි වූ ඇවන්ගාඩ් නඩුවද , බැසිල් රාජපක්ෂ පසුව තමන්ගේ නොවන බව කී මල්වානේ සහ මාතර බ්‍රවුන්හිල්ස් ඉඩම් නවීන නිවාස දේපළ සත්‍ය වශයෙන්ම කාගේ දැයි රට නොදන්නවා නොවේ. ඉදිරියේ දී ඒ සියල්ල නිදොස් කොට නිදහස් වී යනු ඇත. මැති ඇමැතිවරුන් අතර විමල් වීරවංශ , රෝහිත අබේගූණවර්ධන, මහින්දා නන්ද අලුත්ගමගේලාගේ වත්කම් නඩුවලට කුමකින් කුමක් සිදු වේද.? මහින්ද සමයේ රාජ්‍ය ආයතන 34 ක සිදුවී ඇති බරපතල දූෂණ වංචා සෙවීමට සිරිසේන ජනාධිපති පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවටද සිදුවූ දෙයක් නැ.

මිස්ට ක්ලීන්ගේ ව්‍යාජ ධවල පිරුවටය ගැලවූ 2015 ආණ්ඩුව සහ කෙහෙල් කොළේ බත් කෑ චාම් සිරිසේනගේ කෙරුවාව

එදා 1994 දී මෙන් දූෂිත මහින්ද රෙජීමය එල්ලීමට ආ රනිල් සිරිසේන ආණ්ඩුව හරි අපූරුවට අවසන් ගමන් ගියේ ය. ඒ මිස්ට ක්ලීන් යනුවෙන් ව්‍යාජ ධවල ලෝගුවක් පොරවා තිබූ රනිල් වික්‍රමසිංහගේ එකී ධවල ලෝගුව කීතූ කීතු වලට ඉරා ගනිමිනි. 2015 දී බලයට පත්වී මාසයක් ගත වෙන විටම වාර්තා වූයේ මහ බැංකු බැඳුම්කර වංචාව යි. එම ආණ්ඩුවේ ජනාධිපති සිරිසේනගේත් , අගමැති රනිල්ගේත් රුකවරණය පෙර රජයේ දූෂිතයින්ට නොඅඩුව ලැබුණු බව රටට නොරහසකි. වංචා දූෂණ පමණක් නොව, සහාසික මිනිස් ඝාතන පැහැර ගැනීම් පිළිබදවද කිසිවක් සිදුවූයේ නැත.

මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි ඉදිකිරීම් ආරම්භ කරමින් කටයුතු ඉදිරියට ගෙන ගිය අතර , කිරිඇල්ලලාගේ කරල හොදින් මේරුවේ ය. වෙනකක් තබා දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට එළදෙනුන් ආනයනය කිරීමේදී පවා කෝටි ගණනක කොමිස් ගසා ඇත. ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස යටතේ වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කොතරම් අවභාවිත කර ඇද්දැයි තවම ගණන් බලා නැත.වෘත්තීය සමිති ප්‍රකාශ කරන අයුරින් කෝටි ගණනකි. මහින්ද රජය සමයේ මෙන් එකී කෙටි කාලය තුළදීත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර කර ඇති පාඩුව අති විශාල ය.

කාබන් පෑනෙන් අත්සන් කළ, කෙහෙල් කොළේ බත් කන බව කී සිරිසේන

ජනාධිපති සිරිසේන කට මැත දෙඩෙව්වේ තමන් මේ රටේ බිහිවූ අතිශය චාම් ජනාධිපති බවයි. අවසානයේ නතර වූයේ නිවාස තුනක් පූට්ටු කර, කෝටි ප්‍රකෝටි ගණනක් වැය කර නවිකරණය කරන ගත් කොළඹ හතේ පැජට් පාරේ නිවස තමන් සහ තම බිරිඳ මිය යන තුරු භුක්තියට සවිකර ගැනීමයි. එම වත්කමේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි අටසියයක් බව කියැවේ. මාසිකව එම සුවිසල් නිවස නඩත්තු කිරීමට රජයට වැය කිරීමට සිදුවී ඇති වැය බර අති මහත්ය. විශ්‍රාමික ජනාධිපතිවරයකුට මේසා විශාල නිවසක් අවශ්‍යද.? ඔහු යුක්ති ගරුක මිනිසෙක් නම් වත්මන් ජනාධිපතිට එම නිවස ලබා දිය යුතු නොවේද.? මීට අමතරව පිවඹිදෙන පොළොන්නරුව මැයෙන් ව්‍යපෘතියට වැය කළ මුළු මුදල කෝටි සිය ගණනකි. මේ ව්‍යාපෘතිය සදහා ප්‍රචාරක දැන්වීම්වලට වැය කර ඇති මුදල කෝටි ගණනකි. ඒ සියලු කොන්ත්‍රාත් ලබා දී ඇත්තේ දුව චතුරිකාගේ ප්‍රචාරක සමාගමට ය. දහම් සිරිසේන සහ චතුරිකා මහරගමින් සහ නාරාහේන්පිටින් මිලදී ගෙන ඇතැයි කියන සුපිරි නිවාස සදහා මුදල් උත්පාදනය කරගත් අයුරු කව්රුන්ද විසින් සොයා බලන්නේ ද..? මේ අයගේ වත්කම් මේසා විශාල ලෙස ප්‍රසාරණය වූයේ කෙස්ද..?

අහිංසක මිනිසුන්ගේ දුගී කමේ අදොනාවල කෙළවරක් නැත

ඉහත චෞර දේශපාලකයන් සහ ඔවුන්ගේ අඹු දරුවන් සියලු යස ඉසුරු මැද දිවි ගෙවද්දී අදත් අහිංසක දරුවන් යන ඇතැම් පාසල්වල තිබහට වතුර බිදක් නැත. වැසිකිළියක්, වැසිකිළියක් නැත.ඈත ගම් දනව්වල දරුවන් නිරුවත් දෙපයින් සැතපුම් ගණන් පයින් පාසල්වලට යති එති. ගමින් කඩමංඩ්යට එන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් කර ඒදඩු පාළම්වලිනි. ඔවුන් අත් විදින ගැටලු ලියන්නට පත්තර පිටු සිය ගණනක් අවශ්‍යය. රට පවත්වා ගෙන යන්නට කියමින් ලෝකයේ සහ අතේ ණය වෙන මේ චෞර පාලක නායකයෝ පාවිච්චි කරන මෝටර් රථයක වටිනාකම රුපියල් කෝටි තුන හතරකි. අගමැති රනිල් සහ අගමැති මහින්ද දෙදෙනාම ඇතැම් අවස්ථාවල කොල්ලුපිටියේ සිට කෝට්ටේ පාර්ලිමේන්තුවට යන්නේත් එන්නේත් හෙලිකොප්ටර්වලිනි. මේ මෑතකදී ශිරන්ති නෝනාගේ කාල්ටන් ළදරු පාසලේ උත්සවයකට කොළඹ සිට හෙළිකොප්ටර් තුනක් ගිය බවට වාර්තා පළවිය.

මැතිවරණයක් ළං වෙන විට තණ කොළ ගහේ එල්ලී සිටින අහිංසක මිනිසුන්ට වියළි ආහාර මල්ලක්, රෙදි කෑල්ලක් , ටකරන් තහඩුවක් දී කප්පරක් අනාගත පොරොන්දු දී ඡන්දය ඩැහැගනති. අහිංසක මිනිසුන් මේ චෞර දේශපාලකයන් ගෙන් ගලවා ගන්නේ කවදාද..? කෙළසද..?

අයිතිය: පෝද්දල ජයන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *