වැල්ලවත්තේ සංචාරයක් ගියා. මුලින්ම ආසාව තිබුණේ නෙරූඩා ලංකාවට ආපු වෙලාවෙ නතරවෙලා හිටිය තැන හොයන් යන්න. හෙව්වා හෙව්වා කෝ ඉතිං. ඊළඟට ඉතිං කුලකතාවක් පස්සේ වැටුණා. අන්තිමට සෑහෙන්න මහංසියි. ඉර මුදුනට ඇවිත් බීර එකක රහා මතක් කළා. කිංරෝස් එකට රිංගුවා. මගේ මිත්‍රයා ක්ලබ් එකේ මෙම්බර්. ඉතිං අවුලක් වුණේ නෑ. වැල්ලවත්ත රීෆ් එක ඈතින් රේඛාවක් ගහලා රැළි සරැළි කරලා එවනවා. අපිට තියෙන්නේ පීනන්න. ඈතින් මුහුදුබත් වුණ නැවක් ඔලුව උස්සන් බලන් ඉන්නවා. කිමිදිලා බලන්නත් පුලුවන්. බීර පෙනබුබුළු අස්සේ කිමිදෙන ගමන් මුහුදෙත් කිමිදුනා. උඩින් ක්‍රිස්ටල් වතුර වුණාට යට ඉතිං පොලිතීන් එහෙම ඕසෙට. ඈතින් කෙනෙක් බිලී බානවා. ටිකක් වෙලා යනකොට ගැහෙන නළියන ගල් මාළුවෙක් එක්ක මිනිහා ක්ලබ් එක අස්සට ආවා. කිලෝ එකහමාරක විතර මාළුවා රුපියල් 500කට විකිණෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. ලංකාව වටේම හමුවෙන ගල්මාළු වර්ග කියන්නේ කටට ඉමිහිරි රසක් ගේන මාළු වර්ගයක්. වර්ගයක් කිව්වට ගල් මාළු කියපු ගමන් මාළු වර්ග ගොඩක්. බුරුල් මාළු හයිය මාළු කියලා මේක දෙකොටසකට අපි ලේසියට කැටගරි කරගෙන ඉන්නවා. හයිය මාළුවා ඉතිං රහයි! බුරුල් මාළුවට වඩා. හයිය බුරුල් කියන්නේ ඉව්වට පස්සේ ස්භාවය එක්ක හොඳේ.. අපි ඉතිං බීර එකක් බීලා දාහය නිවාගෙන ආයි ගමනට බැස්සා.
‘මචං වැල්ලවත්ත කියන්නේ ඉස්සර බයානක ගමක්. හරක් හොරු එහෙම තමයි ඉඳලා තියෙන්නේ. එක පැත්තක් වැල්ලවත්ත. ඒ කියන්නේ මුහුද පැත්ත. වේල්ල වත්ත කියන එක වැල්ලවත්ත වුණා කියලා අපේ තාත්තා කියනවා අහගෙන ඉඳලා තියෙනවා. ඒකියන්නේ මචං ඔය රීෆ් එක නිසා තමයි වේල්ල කියලා කිව්වේ. ලෑන්ඩ් සයිඩ් එකට කියලා තියෙන්නේ මැහැල්ල වත්ත කියලා. අපේ අම්මලාගේ එහෙම පරණ පොටෝ තියෙනවා ඒවෑ පසුබිමේ තියෙන්නේ ලොකු පොල්වතු එහෙම තමයි. ඔය අංකෙළිය පවා අතීතයේ තිබුණ ගමක් මේක. ලංසිකාරයෝ තමයි ගොඩාක් ඉඳලා තියෙන්නේ.. අපේ ආච්චි අම්මලා එහෙම බයෙන් ඉඳලා තියෙනවා අපේ අම්මලා ලංසි කොල්ලෙක් එක්ක පැනලා යයි කියලා. උන් සේරමලා 1980 වගේ වෙනකොට ඕස්ට්‍රේලියා වගේ රටවල්වලට ගියා.’ මගේ මිත්‍රයා ත්‍රීවිලර් එකේ යමින් ගමන් වැල්ලවත්ත මිනිහා දන්න ඉතිහාසය වමාරනවා. ඉතිං ඒම ඒම වැල්ලවත්තේ ජනවර්ග ඉතිහාසය ගැන ලොකු කතාවකට අවශ්‍ය බඩු වර්ග එකතුකරනකොට තමයි අපිට මේ හෝටලය මුණගැහෙන්නේ. ‘ යමු අපි යාපනේ විදිහට දවල්ට කමු’ මගේ මිත්‍රයා එහෙම කිව්වා. ඉතිං අපි වැල්ලවත්තේ ‘මයුරා’ හෝටලය අස්සට රිංගුවා.
වැල්ලවත්ත කියපු ගමන් ඔලුවට එන්නෙ සහෝදර යාපනේ දෙමල ජනප්‍රජාව ගැන කතා.. ඉතිං මේ හෝටලේ රස කතාව ලියන්න කලින් මට හිතෙනවා වැල්ලවත්ත පොළ ගැන ටිකක් ලියන්න. මගේ මිත්‍රයා එනකම් මම උදේ වැල්ලවත්තට ඇවිත් අමුවට ලැසී එකක් එහෙම බීලා එකළමෙකළ වුණේ මේ පොළ ඉස්සරහා. ඒක මාර පොළක්. තම්පලා වර්ග, මුරුංගා කරල් වගේම කොළ, රාජා අල (සමහරු මේ රතුපාට කොඩල අලේට දම්දින්න කියලත් කියනවා), නැතිදවසක් නැති පොළක් මේක. සාරි සල්වාර් ඇඳගත්ත ගැහැනු බඩු ගන්නවා. ගොඩාක් තැන්වල විසිරිලා තියෙන්නේ උතුරේ ලස්සන. ඉතිං අපි ආයුත් මයුරා හෝටලයට යමු. අපි හෝටලේ මැනේජර් වුණ ඩික්සන් රොසරි එක්ක කයියක් ගහන්න අමතක කළේ නෑ. සෙනග අස්සේ බීසී වුණත් ඩික්සන් යාපනේ රහා ගැන ලෝබ නැතුවම කිව්වා. රතු නාඩු බතුයි මටන් කරියකුයි එක්ක වම්බටුයි තව ගොටුකොළ සම්බෝලෙකුයි හොඳට පදමට ඇනෙනකොට කටින් බඩට විසිවෙනවා දැනෙන්නේ නෑ. දිව වෙන රහක් තමයි අල්ලගන්නේ. ඒකට අපි කියන්නේ යාපනේ රහා කියලා. ඉතිං යාපනේ රහා විඳින ගමන් ඩික්සන්ට කයියට ඉඩ හැදුවා. මේ යාපනේ රහා ගුහාවට දැන් අවුරුදු 20ක්. දැන් අපි මේ ඉන්න අලුත් තැනට නම් ඇවිත් අවුරුද්දයි…
‘දැනට අවුරුදු 20කට විතර කලින් පුණ්කුඩතිව්වල ඉඳලා කොළඹ ආපු පන්නිසෙල්වා තමයි මේ හෝටලය පටන්ගත්තේ. තාම එයාට තමයි මේක අයිති. දැන් වයස 60ක් විතර වෙනවා. මම තමයි දැන් කැෂියර් විදිහට මේ හෝටලය කරගෙන යන්නේ. අපි උදේ 11.30ට ඕපන් කරලා හවස 3ට ක්ලෝස් කරනවා. ඊළඟට ආයි හවස 6ට ඕපන් කරලා රෑ 10ට විතර වහනවා. අපිට සෑහෙන්න කස්ටර්මර්ලා ඉන්නවා. ගොඩාක් අය යාපනේ දෙමළ. සිංහල අයත් ගොඩාක් එනවා. දෑන්නම් ඌබර්, පික්මී ඊට්ස් වලින් ගොඩක් කෑම ඇනවුම් එනවා’ යාපනේ රහා හොයන්නේ යාපනේ අය විතරක්ම නෙවෙයි. ඒකට කැමති සිංහල පිරිසත් සෑහෙන්න වැඩියි. ඉතිං මේ විදිහට යාපනේ රහා බෙදන මයුරා හෝටලේ කෑම ගැනත් ටිකක් කතාකරමු කියලා හිතුවා.
කූල් බොන්න කූල් වෙන්න
‘ කූල් කියන්නේ කැඳක්. නැත්තං සුප් එකක් කියත් කියන්න පුලුවන්. තල්පිටි, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මඤ්ඤොක්කා, මෑකරල්, වම්බටු, ගල් මාළු, හඹරලි, තෝරමාළු, මඬුමාළු ඔය වගේ ගොඩාක් ජාති දාලා බ්ලෙන්ඩ් කරලා තමයි මේ කැඳ එක හදන්නේ. ඒක යාපනේට විතරක් විශේෂ බීමක්. සැරට තමයි හදන්නේ. පිච්චිලා යන්න. ගොඩාක් අය කියනවා මේක සෑහෙන්න ගුණයි කියලා. අපි ඉරිදාට විතරයි මේක හදන්නේ. උදේ 11.30 ඉඳලා 1 වෙනකම් තියෙනවා. මේක බොන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඒනිසා ගොඩාක් අය ගෙදර අරගෙන ගිහිං තමයි බොන්නේ. ඒ නිසා ඌබර් එකෙන් පික්මී එකෙන් මේක ඕඩර් කරලා ගෙදරට ගෙන්නගන්න පිරිස එන්න එන්නම වැඩිවෙනවා.’ ඩික්සන් කියන මේ කූල් කියන කැඳ එක නැත්තං සූපය මටනම් රාහා බලන්න බැරිවුණා. ඒ මම සදුදා ගිය නිසා. හැබැයි යාපනේදි කූල් බීපු මතකයක් එක්ක මේක කොහොමද හදන්නේ කියලා නිකමට මෙහෙම ලියලා දාන්නම්..
ඕඩියල් කූල් කියලා තමයි මේකට කියන්නේ. තල්පිටි අරං තමයි හදන්නේ. තල්පිටි නැහැ කියලා වඳනොවී කෝන්පිටි දාලා වැඩේ කරන්න පුලුවන් ඕනීනම්. එතකොට යාල්පානම් රාහා නම් නෑ හරිය. තල් පිටි කෝප්ප 1කක් ගත්තා කියමු. එළවළුත් මුරුංගා, මෑකරල්, කොස් ඇට, වම්බටු, දම්දින්න මේ හැම එකකින්ම ග්‍රෑම් 100 ගාණේ ගන්න ඕනී. ඊටපස්සේ ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ ඊළඟට උඩ කියපු මාළු වර්ග මේ හැම එකෙන්ම ග්‍රෑම් 100 ගණනේ ගන්න ඕනී. තම්බාගත් සහල් කෝප්ප ½ක් තිබුණම හොඳටම ඇති. ඉදුනු සියඹලා බ්ලෙන්ඩ් කරලා කෝප්ප බාගයක් විතර ඕනී. වියලි මිරිස්, සූදුරු, ගම්මිරිස්, කහ, ඊළඟට ලුණු පදමට මිශ්‍ර වුණාට පස්සේ තමයි අපි කියන මේ කැඳවර්ගය නිමි වෙන්නේ. එළවළු මාළු වෙනවෙනම තම්බලා බ්ලෙන්ඩ් කරලා එකතු කරන එක තමයි ක්‍රමය. නැතිනම් අපි සූපයන් හදන විදිහට මුට්ටියක පැසවන්නත් පුලුවන් එකටම. කොහොම වුණත් සියඹලා සාරය එකතුකරන්නේ අන්තිමට..ඉතිං මේක බිව්වහම ඇග කූල් වෙනවලු. ඒකලු මේකට කූල් කියන්නේ.
මේ කූල්වලට අමතරව සිකුරාදට ආවොත් විශේෂ වෙජි කෑම කන්න පුලුවන්. ඒ යාපනේ ඇගට දැනෙන විදිහට. ‘සිකුරාදට ගොඩක් අය කන්නේ එළවළු විතරයි. එදාට අපි මෝරු දෙනවා. දම්පලා අල (රාජා/ දම්දින්න), වම්බටුයි කඩලයි එකට දාලා කිරට හදනවා. මුරුංගා කරියක් මිරිසට හදනවා. තව සව් දෙනවා. ඔය වගේ නියම වෙජි කෑම වේලක් කන්න පුලුවන් සිකුරාද ආවොත්’
ඇත්තටම මයුරා හෝටලය කා අතරත් ජනප්‍රිය ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ රහා හින්දා. ඒවා සේරම යාපනේ රහට මිරිසට තමයි උයන්නේ. ප්‍රධාන කෝකියත් යාපනේ. ඊළඟට ගොඩාක් අය එනවා එළුමස් කන්න මෙතනට. ‘ අපි එළුමස් ගේන්නේ යාපනෙන්. හදන්නෙත් යාපනේ ක්‍රමයට මිරිසට. අපි වියලි මිරිස් ඊළඟට සූදුරු ඔයවගේ අඩුම කුඩුම සේරම වෙන වෙනම අරගෙන අපිම කුඩු කරගෙන තමයි යාපනේ රසය දෙන්නේ.’ කෑම කියලා කියන්නේ බඩ ගින්න නිවා ගන්න දෙයක් විතරක්ම නෙවෙයි. කෑම කියන්නේ දිග කතාවක්. ඒක අස්සේ ඉතිහාසය තියෙනවා. සංස්කෘතිය මේ හැමදෙයක්ම කෑම රස අස්සේ තියෙනවා. යාල්පානම් එළවළු සංස්කෘතිය අස්සේ වැඩියෙන්ම කන එළවළුව තමයි වම්බටු. ඊළඟට මුරුංගා. මුරුංගා කරල් වගේම කොළත් කන්න රුසියෝ තමයි යාපනේ වැසියෝ. මුරුංගා කොළේ තමයි විශාලම විටමීන ඛනිජ නිධිය තියෙන්නේ කියලා දැන් සොයාගෙන. යාපනේ අපේ සහෝලා ඒක කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා. මුරුංගා ගහක් නැති ගෙමිදුලක් වැඩක් නෑ කියලා තමයි යාපනේ ජනයා කියන්නේ. ඉතිං මුරුංගා එහෙමයි ඔවුන් ඔවුන්ගේ ආහාර සංස්කෘතියට එක්කරගෙන තියෙන්නේ. අපි රාජා අල කියලා දුරාවාරේ බඩට දාගන්න මේ දම්පාට අලේ වුණත් හැමනිතරම යාපනේ ආහාර වට්ටෝරුවේ තියෙනවා. අර්තාපල් එන්න කලින් අපි අල විදිහට කෑවේ මේවා තමයි.
රෑට කෑම
මයුරා එකේ රෑ කෑම මෙනූ එකත් මරු. මම 2004 ඉස්සරම යාපනේට ගිය ගමනේ දැල්ලෝ කොත්තු කාලා ඒ රහා තාම දිවේ පැටලිලා තියෙන්නේ. පුදුම රහක්!!. ඕසෙට දැල්ලෝ අහුවෙන එකේ දැල්ලෝ දාලා කොත්තු ගහනවා ඇති කියලා, මම එදා හිතුවේ. ඒත් ඇත්ත ඒක නෙවෙයි. යාපනේ ආහාර සංස්කෘතිය අස්සේ ඉස්සට දැල්ලට තියෙන තැන තමයි ඒක. ඒ තැන එක්ක කොත්තුව ඉස්සරහට ගිහිං. ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ ඉහළම රසට හදන්නේ මේ මිනිස්සුනේ කියලා හිතෙනවා, මෙතනට ඇවිත් ඒ රහා විදිනකොට. ඉර වැල්ලවත්ත ක්ෂිතිජයෙන් මුහුදේ එබෙනකොට වැල්ලවත්තේ මයුරා එකට ආවොත් කන්න තියෙන කෑම පොකුර මරු. ඉදිආප්ප, පිට්ටු කියන වර්ග දෙක ප්‍රධානයි. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, එළුවෝ හොද්ද එක්ක ඒ රස බඩට දාගන්න පුලුවන්. ඊළඟට ඉදිආප්ප කොත්තු වෙලා පිට්ටු කොත්තු වෙලා තියෙනවා. ඒවා ඉස්සෝ, දැල්ලෝ කාරම එක්ක කාරලා කන්න පුලුවන්. කාලා දිව උඩ පනිනකොට සැරට රස්නෙට කහට එකක් පේලෙන්ටී එකක් බිව්වනම් ආයි ඉතිං කියන්න දෙයක් ඇත්තෙම නෑ. ඉතිං පිට්ටු කොත්තු ඒක මොනවගේද කියලා මටත් බලන්න හිතුනා. ඒත් ඉතිං ඒකට රෑවෙනකම් ඉන්න එපැයි. ඊළඟට ඉස්සෝ දැල්ලෝ එක්ක වගේම වෙන වෙනමත් වදින කොත්තු, ඒකත් මාර රහා ඇති නේ මචං, මම මගේ මිත්‍රයාට කියනවා. මගේ මිත්‍රයා මෙතනට නිතරම ගොඩවෙන මයුරා රහාබවතෙක්. ‘රහයි බන් එමුකෝ වෙලාවක’ මිනිහා කියනවා. වැල්ලවත්තේ දෙමළාගමනය එක්ක එතකන් තිබුණ සිංහල ලංසි මිශ්‍ර සංස්කෘතිය වෙනස් වෙනවා. ඒකත් එක්ක වැල්ලවත්තට වෙන කලර් එකක් එනවා. ඒ කලර් එකට මේ යාපනේ ආහර රටාව නිසා උපන් හැඩයත් ලොකු දෙයක් එකතු කරනවා කිව්වොත් නිවැරදියි. දැන් වැල්ලවත්ත කියන්නේ යාපනේ දෙමළ කියන ජනවර්ගය ලොකු පදාසයක් විදිහට පෙනෙන විචිත්‍ර නගරයකට. ඉතිං ඒ නගරයේ ඔබත් ඇවිද යනවනම් අලුතින් ඉදිවෙන දකුණු ඉන්දියානු රහා හෝටල අතරින් මෙතනත් හොයා ගන්න…