වව්නියාව අල්අමියා මුස්ලිම් විදුහලේ සේවය කරමින් සිටි විද්‍යා ගුරුවරයෙකු වූ කාතිගේශන් නිරූබන් මහතා 2013.09.19 දින සිට අතුරුදහන් වී ඇති අතර මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුර විස්තර පහතින් පලවේ.
යාපනය කෝපායි ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන මෙම ගුරුවරයා තාවකාලිකව නතර වී ඇත්තේ වව්නියාව ප්රදේශයේය. වව්නියාව බස්නැවතුම්පොළ අසල නගර සභාවට අයත් රථගාලක 2013.09.19 දින තම යතුරුපැදිය තබා ගිය ඔහු මේ දක්වා ආපසු පැමිණ නැත. එසේම ඔහු අතුරුදහන් වී මාස තුනක පමණ කාලයක් ගතවී ඇතත් ඔහු පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් දැනගන්නටද නැත.
මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් CIB1 141s446 අංකයෙන් වව්නියාව පොලීසියට 2013.09.28 දින පැමිණිලි කොට ඇත. එහෙත් මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීමට පොලීසිය අපොහොසත් වී ඇත. එසේම ඔහුගේ මව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලයට 2013.09.30 දින පැමිණිලි කොට ඇත.
කාතිගේශන් නිරූබන් මහතාගේ අතුරුදහන්වීම පිළිබඳව විශේෂ අවධානය යොමු කොට මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
යුද්ධය අවසන් වී වසර 4 කට වැඩි කාලයක් ගෙවී ගොස් ඇති අතර උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්වයට පත්වී ඇතැයි කියන තත්වයක් තුළ මෙසේ තවමත් පුද්ගලයින් අතුරුදහන්වීම බරපතල ගැටළුකාරී මෙන්ම කනගාටුදායක තත්වයකි.