පක්ෂය සහ පිල ඉක්මවා සිතිය හැකි විශාල මනසක් ඇති නායකයො නම් මේ වෙලාවෙ ජාතික වගකීම මල්ලිට තනියම බාර දෙනවා වෙනුවට පළල් නියෝජනයක් සහිත ජාතික හදිසි අවස්ථා කමිටුවක් හදනවා. නිදර්ශනයකට මේ වෙලාවෙ හදන එවැනි කමිටුවක් මේ වගේ වෙන්න පුළුවන්:
බැසිල්, චම්පික, අනුර (හෝ හඳුන් හෝ ලාල්කාන්ත-වෘත්තීය සමිති ක්ෂේත්‍රය නිසා ලාල්), විමල්, පුබුදු ජයගොඩ, සුමන්දිරන්, හකීම් (හෝ ගැලපෙන මුස්ලිම් කෙනෙක්), තොණ්ඩමන්(වෙන කෙනෙක් නොපෙනෙන නිසා), (කාන්තාවක් හිතාගන්න බෑ. කෙනෙක් ඇත්තෙම නැත්තං විතරක් පවිත්‍රා),
මේ කමිටුව යටතෙ පොහොට්ටු චින්තනයෙ අය විතරක් නෙමේ, ඒ චින්තනය ඉක්මවන අයගෙන්ද සැදි අනුකමිටු හදාගන්න පුළුවන්.
තමන්ගේ චින්තනයටත්, ඉන්දියානු කොංග්‍රසයටත් විරුද්ධ ආචාර්ය අම්බෙඞ්කර්ට නිදහස් ඉන්දියාවේ පළමු කැබිනට්ටුවේ ඇමැතිකමක් දෙන කොට ගාන්ධි කිව්වෙ “නිදහස ලැබෙන්නෙ ඉන්දියාට මිසක් කොංග්‍රස් පක්ෂෙට නෙමේ” කියලා.
කොරෝනා එන්නෙත් පොහොට්ටුවට හෝ ආණ්ඩුවට විතරක් නෙමේ, රටට. රටට විතරකුත් නෙමේ ලෝකෙට. ඒනිසා මේකට මුහුණ දිය හැක්කෙ සියලු දෙනාම ඇතුළත් කරගන්නාසුලු ආකාරයෙන් සිතන්න පුළුවන් අයට.
“විජාතික කොරෝනාවෙන් ජාතිය බේරාගත් විරුවා මම වෙමි”යි ඡන්දෙ කාලෙට කියන අපේක්ෂාවට වඩා
“බහුවිධ ජාතීන්ගෙන්, ආගම්වලින්, දේශපාලන නම්නතාවලින් සැදි අපි කවුරුත් එක්ව ගෝලීය වසංගතයකට මුහුණ දුන්නෙමු” යි සාමූහිකව කියන්නට ඇත්නම් නේද හොඳ?
යම් හෙයකින්, අපි පැරදුණොත්, නැත්නම් විශාල ජාතික ජීවිත සහ ධන හානියකට ලක් වුණොත්, ඒකත් සාමූහිකව දරාගන්න එක නේද හොඳ?
ඒත් මෙවැනි පළල් චින්තනයෙන් යුත් නායකයන් බිහි කළ හැක්කේ අකුරණින් රෝගියෙක් හමු වූ නිසා “හම්බයන් කොරෝනා ගෙනාවා” යයි ඊයේ සිට ලියන අයට නෙමේ.