මේ කොරෝනා වසංගතයෙන් ගැලවෙන්නට රටම අගුළුදමා ගෙවෙන තුන්වෙනි සතියයි. මුදල් නැති දිළින්දාට පමනක් නොව අත ඉතිරිය ඇති මැද පංතියට ද වේල පිරිමසා ගැනීමට සුදුසු අහාර නැත. මෙසේ ජාතියේ කුස්සිය ආලපාළුවී යද්දී ගොවියෝ හා අනෙකුත් නිෂ්පාදකයෝ යන එන මං නැතුව සිටිති. මගේ මිත්‍ර ව්‍යාපාරිකයෙක් සතියක් තිස්සේ ප්‍රවාහන බලපත්‍ර ඉල්ලමින් පොලිසිගානේ ඇවිද අවසානයේ ජනාධිපතිගේ කාර්‍යාලය දක්වා ගොස් මානසික ඔත්පලව සිටී. දඹුලු තොග එළවළු වෙලඳ පොලේ කතාවත් මීට සමානය. නගරවල බඩගින්න පැතිරෙද්දී ගොවියා නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව ලතවෙයි.
දස ලක්ෂ 1.4 පමනවෙන ලංකාවේ රජයේ සේවකයෝ ඉහල සිට පහලට ජාං බේරගෙන රස්සාව කරනු විනා මහජන සේවයක නොයෙදෙති. මේ වග හොඳින්ම පැහැදිලි වන්නේ මෙබඳු ජාතික ආපදාවකදීය. අපි මෙබඳු ජාතික ආපදාවකට මුහුන දෙන්නේ 1945 පසුවය. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. වසර 85 පමන කාලයක් රටේ පාලක පංතිය ද නිලධාරී තන්ත්‍රයද මෙබඳු දුෂ්කර තත්වයකට මුහුණ දීමට පුරුද්දක් හෝ සුදානම් තිබූ පිරිසක් නොවේ. මේ නිසා සියවසක ට ආසන්න කාලයකට පසු මහ ගව පට්ටිය හිමියා ද එඬේරුද ගව පට්ටිය නඩත්තු කිරීමේ ක්‍රමය නොදැන ඉවත බලා ගෙන සිටිති. මෙයට හොඳම උදාහරනය ජාතියේ ගැලවුම්කාරයන් සේ පෙනී සිටි කවට කථිකයන් රෑනය. ජාතිය බේරා ගැනීමට වේදීකා හා මහ හරක් මඬුව දෙදරවූ ඔවුහු දැන් සිටින තැන් සොයන්නට අංජනම් එළි යැවිය යුතුය.
යටත් විජිතවාදීහු පලමු ලෝක යුද්ධයේ පටන්ම කොලනි වැසියන්ට ආපදා කාල වල නොකඩවා ආහාර සැපයීම සැපයීමට වග බලා ගත්හ. මේ වෙනුවෙන් ඔවුහු උතුරු එංගලන්තයේ රොච්ඩේල් පලාතේ කම්කරුවන් හඳුන්වා දුන් සමූපකාර ක්‍රමය යටත් විජිතවලට ද හඳුන් වා දුන්හ. දෙවන ලෝක යුද්ධ සමයේ අපි බෙංගාලයේ මෙන් මහා සාගතයකට මුහුණ නොදුන්නේ සමුපකාර ක්‍රමයට හා ඒ හරහා ක්‍රියාත්මක වූ සලාක ක්‍රමයේ පිහිටටය. යටත් විජිතවාදීන් මේ ක්‍රියාමාර්ග හඳුන්වා දුන්නේ අහාර හිඟය හරහා මතුවෙන මහජන නැඟීටීම් වලක්වා ගැනීමටය.
අවාසනාවකට යටත් විජිත වාදීන්ට විජිත වැසියන්ගේ බඩගින්න නිවීම ට තිබූ වුවමනාවත් සමානව සලාකය බෙදීමට තිබූ කැමැත්තවත් දේශීය පාලකයන්ට නැති බව මේ වින්නැහියෙන් අවබෝධ වෙයි. ගවේ රැලේ හිමිකරු හා එඬේරුන් ගේ තරම දැනගන්නට ගව රැලට තවත් කාලයක් වුවමනා ද?