උපුටාගැනීම්විශේෂාංග

බරවා යුගය, බරවා පෙලපාලිය සහ බරවා විවාහය – නන්දන වීරරත්න

බරවා රෝගය ෆයිලේරියා ෆයිලරිසීස් රෝගය පසුගිය සියවසේ මුල් භාගයේ [බ්රිතාන්ය යටත් විජිත යුගයේ අගභාගයේ] වසංගත රෝගයක් බවට පත් වී තිබුණා. විශේෂයෙන්ම දකුණු පලාතේ මේ රෝගය විශාල වශයෙන් පැතිර ගියා. මේ යුගයේ රෝගය පැතිරිම වැලැක්වීමට යටත් ආණ්ඩුවට නිසි ක්රියාමාර්ගයක් නොගැනිමට විරුද්ධව ‘බරවා රෝගීන්ගේ පෙලපාලියක්’ වරක් ඉඳුරුව ප්රදේශයේ සිට අම්බලන්ගොඩ නගරයට පැමිණි බව පැරැණ්නන් අපට කීවා. අපේ ළමාවියට පිවිසෙන හැටේ දශකයේ අගභාගය වෙද්දී අපේ ගමේ බරවා රෝගීන් දුසිම් දෙකක් පමන සිටියා. මොවුන් අතරින් පය බරවා හා අත බරවා රෝගීන් වැඩි දෙනෙක්. ගමේ මේ රෝගීන් සමූහයට තරුන පිරිමි ලමයි මෙන්ම ගැහැණු ලමුන්ද ඇතුලත්.මේ රෝගී ලමයි ඉතාම ලජ්ජාවෙන් තමා පාසල් ආවේ. ඔවුන්ගෙන් සමහරෙක් මේ කොන් කිරීම නිසා ඉගෙනීම අත්හැර දැමුවා. මේ රෝගී පිරිසට බරවා කකුල්වල කුඩා ගෙඩි හැදී ඉන්නල බරවා නමින් හැඳින් වුණු ඇවිදීමට පවා අපහසු රෝගීන් ද සිටියා. එකල බරවා රෝගියෙක් සිටිනා නිවසකින් අවාහවිවාහ කර ගැනීම පවා ගැමියන් ප්රතික්ෂේප කලා.

බරවා රෝගයේ ඉතිහාසය ක්රිස්තු පුර්ව 1500 දක්වා ඈතට දිව යනවා. නයිල් ශිෂ්ඨාචාරය තුල ප්රභූ සමාජය තුලත් බරවා රෝගීන් සිටි බව වෛද්ය මානව විද්යාව සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. ලංකා ඉතිහායේ බරවා රෝගය ගැන ප්රකටම සඳහන එන්නේ දඹදෙනි යුගයෙන්. ධර්මසේන හිමියන් රචනා කල සද්ධර්මරත්නාවලියෙ. ‘පය බරවාවට පිටකර බෙහෙත් බඳිනා සේ’ කියල එකල ජනප්රවාදයේ තිබූ උපහැරණයක් අපට ධර්මසේන හිමියන් ඉතිරිකර තිබෙනවා. ‘මේක හරියට බරවයක් වගේ’ කිසිදු ප්රයෝජනයක් නැති ගෙන යාමට අපහසු නමුත් ඔසවාගෙන යාමට බල කෙරුණු දේ හැඳින් වීමට ගැමියන් පුරුදු වී සිටියා.

බරවා රෝගීන් හෝ රෝගය ගැන මද සැලකිල්ලක් හෝ ලැබුනේ 1960 ගනන් අවසාන වෙද්දී. එකල ‘සැන්ටිපොට්’ නමින් ගම්වල හැඳින් වුණු මහජන සෞඛ්ය පරීක්ෂකයන් රාත්රි කාලයේ ලේ සාම්පල් එකතුකර රෝගීන් හඳුනාගෙන ප්රතිකාර වලට යොමුකලා. නමුත් මේ ක්රියාවලිය හරියාකාරව සිදුවුනේ අවංක හා කැපවූ පරීක්ෂකයෙන් ප්රදේශයට පත්වීමක් ලැබුවොත් පමනයි. මේ නිසා අදත් බොහෝ ගම්මාන වල බරවා රෝගීන් දකින්නට ඉන්නවා. දැන් ඉතින් අපි බරවා විවාහයට යමු.

අපේ ගමේ එකල ප්රකට පත්තිනි කෝවිලක් තිබුන. ඒ අවට ඉඩම්වල නාමයන් නිසාම එම පත්තිනි කෝවිල ඉතා පැරණි එකක් බව පැහැදිලියි. කෝවිල වත්ත, කපුගෙ වත්ත හා දිවෙල් වත්ත මේ යන නමින් තෝබු වල සටහන් ව තිබීමෙන් මේ කොවිලේ ඉතිහාසය පෘතුගීසි යුගය තෙක් පැතිරෙනව. මේ කොවිල ප්රවේනියෙන් භාරව සිටි ප්රධාන කපු මහතා හපුතන්තිරි [කපු තන්තිරි] හෙන්ද්රික්. කඩවසම් හයේ හතරේ පුරුෂයෙකු වූ මේ රතු පත්තිනි මුත්තා [ගමේ පොදු නම] ගාලු වැල්ලබඩ පත්තුවේ සේම පත්තිනි දේවලකයම පාහේ පත්තිනි නැටුමට ආවේ මේ රතු පත්තිනි තැන. ස්ත්රී දෙවඟනට රඟන, නටන රතු පත්ති තැනට හිටියේ දුවෙකුත් පුතෙකුත් පමනයි. වැඩිමහල් දියණිය අවසානාවට අත බරවා රොගිනියක්. එයා හපුතන්තිරි සිසිලියාන. ඉතාම රූපත් දියණියක් සිටියත් ඇය කරකාර බැඳදෙන්න ගැලපෙන කෙනෙක් රතු පත්තිනි තැනට සොයා ගන්න බැරි වුනා. ඔහු විසඳුම නැතුව ලත වුනා. මේ ගෙදරට නිතර යන එන ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ කරුණාවන්ත ලොකු පුතා, හපුතන්තිරි සයිමන් රතු පත්තිනි තැනගේ ඇහැට වැටුන. සිය වැඩිමහල් දියණිය අවිවාහකව දිවි ගෙවන්න්ට අත්හැර දැමීම වෙනුවට රට්ටුන් පිළිකෙව් කල [ලේ ඥාති] විවාහයකට යවන්න රතු පත්තිනි තැන කල්පනා කලා. ඔහු මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්කල බවයි ගැමියන් විශ්වාස කලේ. ඒ වගේම ඔවුන්ට දරුපල නොලබන්නට ද ‘බේත්’ දී ඇති බව ගම්මුන් හොරරහසේ කතා කලා.

අවාස්නාවකට බාප්පාගේ ගෙදර බින්න බැසීමෙන් පසු සයිමන්ට ද බරවා රෝගය වැලඳුනා. නමුත් ඔහු ඉතිරි ජිවිත කාලය වයස් ගතව රෝගී වූ බප්පා බලා ගැනීමටත් ගැමියන් ‘නඟා ගෑනී’ නමින් අවමන් කල ලේ ඥාති පෙම්වතිය රක්ෂා කරන්නත් ඉතිරි ජීවිත කාලය කැප කලා. පසු කලෙක පත්තිනි කෝවිල්ත් එයට සෙවන දුන් බක් මී ගසත් දෙකම විනාශ වුණා. පත්තිනි සලඹ හා අඹ ගෙඩි සහිත රිකිල්ල [අඹ විදමනට ගන්නා] ඔවුන්ගේ ලේ උරුමක්කාරයන් අත තවමත් තියෙනවා. ඊට අල්ලපු නිවසේ සිටි මගේ පියානන්ටත් බරවා රෝගය වැලඳුනා. ඔහුත් ඉතිරි ජීවිත කාලය එයින් දුකට පත් වී සිටියා.
අපේ වසංගත රෝග ඉතිහාසයෙන් තවත් නොලියවුනු කොටසක් මේ තියෙන්නේ. ඉතිහාස වාර්තාකරනයේ අවුල දැනග්න්න ඔබට ලංකාවේ බරවා රෝග ඉතිහාසය සෙවීමෙන්ම අවබොධ කරගන්න පුළුවනි.

අයිතිය : නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *