මීට කළින් එහෙම එකක් ගැන අහල තිබුණද? නෑනේ. නිකමටවත් හිතිල තිබුණද? නෑනේ. ඇත්තටම එහෙම එකක් නෑ.
හැබැයි මං කියන්නෙ එහෙම එකක් නැත්තෙත් නැති බව. තියෙනව. ඔව් මං ඒකෙ ඉන්නව. මම, අපේ සිංහල පන්තියෙ නියමිත වසර දෙකකුත්, ඉඳහිට ගොඩවුණු තව වසරකුත් ඇවෑමෙන් ස්වේඡ්චාවෙන් සන්නද්ධ අංශයට හිතෙන් බැඳුනා. ඒකෙ නායකයා සන්නස්ගල. වසර දෙකක සිලබස් එක උඩින් එක්කං යමින් පුහුණු කඳවුරක් යටින් දියත් කළා. දහස් ගණනක් මේකෙන් ඉගෙන ගත්තා. විෂිශ්ට ලෙස පුහුණු කඳවුර නිමා කළ වගට අධ්යාපන අමාත්යංශයෙන් සහතික කළා. A. B. C. D. ලෙස කැටගරි කරලම.
වසර තිහක් පුරා වසරාවසානයෙ කඳවුරේ හිටපු උන් විසිර ගියා. හැම තැනටම. උසස් අධ්යයනය සඳහා විදෙස් රටවලටත්, දේශීය විශ්වවිද්යාල වලටත්, විවිධ වෘත්තීය කේෂ්ත්ර වෙතත්.
මේ විසිර ගිය අය හැමෝම සන්නද්ධ අංශයට එකතු වුණේ නැහැ. විවිධ විවේචන තිබුණා. නමුත් උන් බහුතරය ජීවිතය වෙනුවෙන් හිටගත්තා.
සන්නද්ධ අංශය හැදුනෙ සන්නස්ගලව රකින්න නෙමෙයි. එයා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක හැදුනෙ තමන් වැඩ කරන ඉසව්ව ආරක්ෂා කරන්න. එතැන හරියට හිටගන්න. ස්වයංව ඉදිරිපත් වෙලා කැරැල්ල ගහන්න. තව එකෙක්ව මෝටිවේට් කරන්න. ගැම්ම දෙන්න. වාරුවෙන්න උරතලය දෙන්න. ‘ආදරෙයි මචං’ කියල ලිංග භේදයක් නැතුව, වර්ණ, වර්ග, වයස් භේද නැතුව කියන්න.
කලකට කළින් මම සන්නස්ලගගෙ කැම්පේන් එකකට කොපියක් ලිව්ව. – A කැරැල්ලේ අරගලය – කියල. ඒකට ඉංගිරිසියෙන් A අක්ෂරය භාවිත කළේ විභාග ප්රතිපලය හැඟුම් කරණය කරන්නට වුණත් එහි දෙවැනි අර්ථයක් තිබුණ ඒ කැරැල්ලක් ගැන. ඒ තමයි ජීවිත කැරැල්ල. ආදර කැරැල්ල.
සන්නස්ගල නොනවත්වාම ඒ කැරලිකරුවන් සන්නද්ධ කරණව. භාෂාවෙන්, දැණුමෙන් හරි කුණුරුපෙකිං හරි මොකක් හරි දෙයකින්. ඒ එයාගෙ පිපාසය. ඒක ඉවරවෙන එකක් නෙවෙයි.
ඒ උල්පත එහි තිබුණාවේ. මේ දිය වැල් මෙහි ගැලුවාවේ.
Upul Sannasgala සර්, කාලෙකිං ඔයාව දැක්කෙත් නැති නිසා මේක ලියන්න හිතුනෙ.
අපේ සිංහල පන්තිය
සන්නද්ධ අංශය – කොළඹ ශාඛාව.
06/12/2022