විශේෂාංග

මම මේ සටහන ලියන්නේ කඳුළු පිරි දෙනෙතිනි….

රනිල් වික්රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන මගේ ජීවිතයේ පෙර නොවූ විරූ ආදරයක් ඊයේ ඇතිවිය. එතුමාට එරෙහිව මා ලියූ බොහෝ ලිපි පිළිබඳව මට මා ගැනම ලැජ්ජාවක් ඇතිකළේය……
ඊයේ එතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම මට අමතකව ගොස් තිබූ අපේ අත්තම්මා සිහිපත් කළේය. අප කුඩා කල ගුරුවරුන් වූ අම්මා සහ තාත්තා වැඩට ගියේ අප අත්තමාගේ භාරයේ තබාය. අප ඉතාම කුඩා නිසා ඒ මතකයන් මගේ සිතින් මැකී ගොස් තිබිණි. නමුත් ඊයේ ජනාධිපතිතුමාගේ කථාවත් සමඟම මට හෝ ගා ඒ මතකය ආවර්ජනය වන්නට වීය.
අපට බත්කැවීමට නොහැකි වූ විට, අප පාරට දුවනවා නවත්තාගන්නට නොහැකිවූ විට හැමදාම ඇය කියන්නේ අප නොදන්නා යකෙකු, හමුදාකාරයකු, පොලිස්කාරයෙකු ඇවිත් අප අල්ලාගෙන යනු ඇති බවය. එකල හමුදා නිලධාරීන් දැන් මේ මහපාරේ හැමතැනකම ඉන්නවා මෙන් දකින්නට නැත. හමුදාව ගැන අප අසා තිබුණේ කාපිරීන් ගැන මෙන් බයහිතෙන කථාය. ඉතිං අපි භීතියෙන් ගල්ගැසී බත්කමු, පාරට නොයමු….. අත්තම්මා ඒ ට්රික් එක පාවිච්චියට ගත්තේ අපේම යහපත වෙනුවෙනි. රටේ තරුණයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා හමුදාව පොලීසිය පෙන්වා ” බුහු හු හු හු හ හා” කියා අපව බයකරන්නට ගත් අහිංසක උත්සාහය නිසා මට අත්තම්මාගේ ආදරය දෝංකාරයක් මෙන් ඇසෙන්නට වීය. මේ ලියන මොහොතේත් එය මතක්වී මගෙ කඳුළු වැටී ස්ක්රීන් ටච් එක වැඩකරන්නේ නැතුව ගියේය ……
ඊළඟට ඈ පුවක්කෑල්ලක් විශාල නළදතක් මෙන් කටේ ගසාගෙන “කාලි යකින්නියට” අඳියි… ඒ අත්තම්මාම කියා දන්නවා උණත් අපි බයවෙයි. ජනාධිපතිතුමා හිට්ලර්ට ඇඳගත් හැටිත් මට ආයෙම මතක් කළේ අපේ අත්තම්මාය….. ඇගේ පුවක් කෑලි කටේ ගසාගත්, අපේ හොඳ වෙනුවෙන් අපව බයකළ යක්ෂ රඟපෑමය….. ඒ ආදරයම නොවෙයිද …..
ඊළඟට අපේ අත්තම්මා කිසිම දේකට අපි වැරදි කරුවන් කියා යකාට කියන්නේ නැත. ඇය ඒකට අල්ලාගන්නේ අල්ලපු ගෙදර ඩිංගිරීය. ඇත්තටම අපේ අල්ලපු ගෙවල් වල හිටියේ චමිලා, චම්පා, අනෝජා වැනි කෙල්ලන් වුවත් අත්තම්මා හැමවෙලාවෙම අල්ලාදෙන්නේ එහා ගෙදර ඩිංගිරියෙකි.
“යකෝ යකෝ….. අපේ ළමයිනං බත්කෑව…. එහා ගෙදර ඩිංගිරි තමයි බත් කෑවේ නැත්තේ…” කියා අත්තම්මා ඩිංගිරිව අල්ලා දෙයි.
“මයෙ පුතාලා පාරට යන්ඩ එපා…. ඩිංගිරි ඔහොම පාරට ගිහිං හමුදාවෙන් ජිප් එව්වා එකක දාගෙන ගිහිල්ලා පෙරේදා…” ඇය කියයි… ඔක්කොම නරක ඩිංගිරිගේය…… මට ජනාධිපතිතුමා කුමාර් ගුණරත්නම් ගැන මේ ඔක්කොම කුමාර්ගේ වැරදි කිව්වේ අත්තම්මා ඩිංගිරි ගැන කිව්ව විදියටමය. ඉතිං මට මා නොදැක්ක අප වෙනුවෙන් වැරදි කළ අපේ අල්ලපු ගෙදර හිටියා කියන ඩිංගිරි මතක්වීය. ඩිංගිරි මෙන්ම කුමාරුත් මම දැක නැත……
ජනාධිපතිතුමා කළේ තර්ජනයක් කියා සිතන්නේ අත්තම්මෙක් සීයෙක් එක්ක නොහැදුණු නිරාලා සහ ජෙප්පෝ පෙරෙට්ටෝය….. ඒ ආදරය බව දන්නේ මේ සිංහල බෞද්ධ ගැමි පරිසරයේ හැදුණු අපම පමණි……
අපේ නායකයන් වයසට යනවිය රාජ්යතාත්රිකයන් බවට පත්නොවී ගෙදරට වී ළමයින් බලාගන්න කතන්දර කියනා සීයලා ආච්චිලා බවට පත්වීම මටනං දනවන්නේ ආදරයක්ම පමණි…….. ආදරෙයි ජනාධිපතිතුමෝ පැලෙන්න…..

ලකා ධර්මරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *