ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දන් පැරණි බෞද්ධ සම්ප්රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ බෞද්ධ ආගමික විශ්වාසය ලංකා සමාජ තුලට කොතෙක් කා වැදුනේ ද කීවොත් අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල මෙසේ සඳහනක් එයි.
“මේ ලක් හි නොබෝසත්තු නොරජ් වෙත්වැ”
මෙහි අර්ථය ‘බොධිසත්වයෙක් නොවන කිසිවෙකු මේ රටේ රජ නොවිය යුතුය එසේත් නැත්නම් පරාර්ථයටම කැපනොවූ කිසිවෙක් මේ රටේ පාලකයා නොවිය යුතුය’ යන්නය. මේ නිසා බොහෝ රජවරු සවකිය නාමය ඉදිරියට ‘සිරි සඟබෝ’ යන ගෞරව නාමය එකතුකර ගැනිමට පුරුදු වූහ. මේ පරාර්ථය වෙනුවෙන් රාජ්ය කිරීම වර්තමානයට ගෙන එන්නේ 1956 දිය.
මේ වසරේ දි සිංහල බෞද්ධ ජාතික ව්යාපාරයේ නියෝජිතයා වීමට උපතින්ම ඇංග්ලිකන් ක්රිස්තියානියෙක් වු සිංහල කියවීමට ලිවීමට නොදත් ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක [සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ] ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඔහු වීරයා හැටියට කරේ තබාගත් පංච මහා බලවේගය [සඟ, වෙද, ගුරු, ගොවි. කම්කරු] මේ ක්රිස්තියානි බණ්ඩාරනායක “බෝසත් බණ්ඩාරනායක” නමින් නම් ගන්වා වෙස් ගැන්නුවේ ය. අනතුරුව ඔහු නූතන දියසේන කුමාරයා [දුකට පත් රටවැසියන් ඉන් මුදවා ගැනීමට එන වීරයේක්] බව ප්රචාරය කළහ. කෙසේ වෙතත් බෝසත් බණ්ඩාරනායක, 1959 සැප්තැම්බර් 25 වෙනිදා වෙඩි තබා මරා දමන්නේ ඉහතකී “පංච මහා බලවේගයේ” පලමු බලවේගය වු සංඝ බලවේගයේ නායකයා හා ඔහුගේ අනුගාමිකයෙක් එකතුවිමෙන් ය.
ලංකාව බදු බෞද්ධ රටක ණයට ගැනීමෙන් හෝ ආර්ථිකයේ උත්පාතයක් පවතින විට භික්ෂුහු රහතුන් බව කියන්නට ගනිති. බැතිමත්තු සෝවාන් හො වෙනත් මාර්ග ඵල ලබා ගැනිමට පොර කති. ආර්ථික අවපාතය නාසයට උඩින් යන විට ජිවිත කාලයම බඩ වඩා ගැනීමට යොමුවූ පෘතක්ජනයෝ බෝසත්තු බවට පත්වෙති. මේ රට හා එහි හාමතට වැටුණු ජනයා බේරා ගන්න දැන්දැන් අලුත් බෝසත්තු වර්ගයක් එළියට බැස සිටිති. ඔවුහු ලිබරල් බෝසත්තුය. නම් හැටියට කීවොත් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ “ලිබරල් දහම්” දෙසන මේ බෝසත්තු අතරේ කැපී පෙනෙන්නේ පැතුම් කර්නර්, රසික ජයකොඩි, රෝහාන් සමරජිව වැන්නවුන් ය.
මෙයින් කැපී පෙනෙන ඉතිහාසයක් තිබෙන්නේ ආචාර්ය උපාධියක් ද ඇති රෝහාන් සමරජිව ය. සමරජිව 1990 දශකයේ මැද පටන් ලංකාවේ විවෘත ආර්ථිකයට මානුෂීක මුහුනුවරක් දෙන්නට බලයට පත් වූ අනුප්රාප්තික වු ආණ්ඩුවල උපදේශකයෙකු හා කළමණාකරුවෙකු හැටියට මේ විනාශයට හවුල් වූවෙකි.
පැතුම් කර්නර් බටහිර වෛද්යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි. ඔහු මේ “ලිබරල් බෝසතාණන් කෙනෙක් වන්නට පෙරුම් පුරද්දී මේ ජරා දොස්තර ප්රතිපත්තියට වචනයකින් හෝ විරුද්ධ වූ බවට වාර්තා නැත. මහජනයා හිතු මනාපේ ගසා කන පුත්ගලික වෙදකම පාලනය කිරීමට පක්ෂයව කට හොලවා නැත. නමුත් ඔහු හිටි අඩියේ ‘ගෑස්- තෙල් ජනාන්දෝලනයේ’ ගංවතුරේ පිහිනා බෝධිසත්වයෙක් වී ජනයා ගලවා ගැනීමට ලිබරල් දහම් දෙසමින් සිටින්නේ ය.
රසික ජයකොඩි පාසල් යද්දී තමාට ‘දේශපාලන හැඟිම්’ තිබුනු බව කියන්නේ ය. ඔහු පසු ගිය කාලයේ ‘පොඩි වික්ටර් අයිවන්’ කෙනෙක් වි ආන්ඩුවලට හා එහි නායකයන් ට කේවට්ට උපදෙස් දෙමින් සිටියේ ය. ජයකොඩි ද මේ ජනාන්දෝලනය ගංවතුරෙන් මතු වූවෙක් මිස රටක් හො ජනතාවක් ගලවා ගැනීමේ වෙනත් බෝධිසත්ව ඉතිහාසයක් නැත්තෙකි.
මේ තිදෙනා ප්රමුඛ ලිබරල් බෝසතුන් පිරිස පසුගිය වසර 74 පාලනයේ ‘ලිබරල් ආර්ථිකය’ නොතිබුණු බව පුලපුලා කියන්නේ ය. මේ කිසිවෙක් ලංකාව වසර 500කට ආසන්න කාලයක් යුරෝපීය යටත් විජිතයක්ව පැවති බව නොකියන්නේ ය. එයින් සිදු වු බලපෑම එක්කො නොදැන සිටින්නේ ය. නැතිනම් පැරණි යටත් විජිත හිමියන්ගේ ‘ලිබරලය’ යටත් විජිතවාදය හා එයටම බැදුනු යුද්ධ ඉතිහාසය සමඟ ගමන් කරන නිසා හිතාමතාම අමතක කරමින් සිටින්නේ ය.
බ්රිතාන්යයන් ගෙන් නිදහස ලබී වසර 5 ගෙවෙන්නට පෙර බංකොලොත් වෙමින් තිබූ රටක, හාමතට වැටුණු ජනයා 1953 අගෝස්තුවේ දි මාරාවේශයෙන් මහපාරවල්වල වාඩිලා ගත්තෝ ය. මේ අර්බුද්ධ එන්නේ දෙවන ලෝක යුද්ධයේ නිරත වු බටහිර ධනවත් රටවල් ද ආර්ථික අහෙනියෙන් පෙලෙන්නට ගැනීමත් සමඟය. 1956 වෙද්දී ලංකාවට අත්යාවශ්ය ඖෂධ ආනයනයටවත් මුදල් නොතිබුනේ ය. 1953 පටන් 1978 දක්වාම තිබුනේ සාගතය හා අහේනිය පැතිරෙමින් ය. 1978 පටන් ජාත්යාන්තර මුල්ය අරමුදලේ උපදෙස් අනුව ණය ගනීම ආරම්භ වුනේ ය. මේ වන විට බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයේ පාඩු මකා ගෙන ය. ණය දෙන්න සැදී පැහැදි සිටියේ ය. ආර්ථිකය විවෘත කෙරුණේ ය. ළූණු ගෙඩියේ පටන් හිම සපත්තු දක්වා සියල්ල ආනයනය කෙරුණේ ය. 1983 වෙද්දි ලිබරල් විවෘත ආර්ථිකය රට සිවිල් යුද්ධයක් කරා ගෙන ගියේ ය. ඉතින් එතැන් පටන් යුද්ධ කෙරුනේ ණයට ගනිමින් ය.
දැන් මේ ලිබරල් බෝසත්තු එක් වටයකින් කෙල වුණු විවෘත ලිබරල් ආර්ථිකය යලිත් මේ නොබෝ සතුන් ආර්ථික කතරෙන් එතෙර කිරිමට විකුනමින් සිටිති. මොවුන් දෙවැනි වන්නේ පසුගිය කාලයේ මාර්ග ඵල විකුණු රහතුන්ටම පමණි. මන්ද මේ නොබෝසත් දිළිදු ජනයාට තවත් වටයක් “’ලිබරල් නිවන” විකීනීමට මොවුන් සමත් වූවහොත් මේ රට තවත් වටයකින් එක තැන කැරකෙනු ඇත. සමහර විට එය අවුරුදු 74 නොව 174 විමටත් ඉඩ ඇත.