සෙනෙහසට සම පද සොයන්නෙකුට කටපුරා කිව හැකි පිළිතුර අම්මාය. එකල ජනතා විමුක්ති පෙරමුණේ අපටත් එවැනි ආදරනීය කරුණාබර මව්වරුන් බොහෝ දෙනෙකු සිටියහ. ඔවුහු එඩිතරය…. නිර්භීතය. ඒ බොහෝ මව්වරුන් අතරින් රත්මාලන තෙලවල පාරේ විසූ මාලනී ජයසේකර මාතාව ඊයේ ඔක්තෝබර් 11වෙනි උදෑසන සිය දිවිසැරිය නිම කලාය. මේ කෙටි අතීතාවර්ජනය තබන්නේ ඇයට කරනා උපහාරයක් ලෙසිනි.
1989 අවසාන වෙද්දි අප ගෙවා දමමින් සිටියේ කාලය හා අවකාශය වෙනස් වු යුගයකි. සමහර වේලාවක ගෙවෙන විනාඩියකට තත්පර 60 වෙනුවට දසදහසක පමණ අවකාශයක් තිබෙනු අපට දැනුනි. ඇතැම් දිනක ගෙවීයන පැය 24 වෙනුවට පැය 240 පමන අවකාශයක් තිබුනි. එය ස්භාවික ලෝකයේ කාලය හා අවකාශයේ නිරණායකයන්ට සමපාත වුයේ මරණ බිය පහව ගිය මොහොතක , රැකවරණයක් හෝ ආරක්ෂාවක් ඇත යන හැඟීම ඇති විටෙකය. මහමඟ දුටුදුටු තැන මාරයන්ට හසුවූ සගයන්ගේ ටයර් මත දැවී යන සිරුරුවල පුළුටු ගඳ දැනෙද්දී එන අවසිහිය ශූන්යතාව පිරි ලෝකයකි. කාලය හා අවකාශය සිතන්නට බැරි තරමට වෙනස් වූ කාලයක එය යථාවට ලංකර දුන් මනුශ්යන්ගේ තවමත් දැනෙන ගුණ සුවඳ අපමණය. නමින් මාලනී ජයසේකර නම් ඇය අපට හමුවන්නේ එවන් භීම සමයකදීය.
ජවිපෙ ඉතිහාසයේ අතිශය දුෂ්කර සමයක ඇය අපට ආදරය දුන්නාය. කුසගිනි නිව්වාය. කුළුණු ගුණ පුරවා ගත් හදවතින් අප රැක්කාය. ඒ භීම සමයේ අපේ සගයින් දිනෙන් දින අහිමි වූයේ ජීවත් වූ අපට මරණයේ වේදනාවන් උරුම කරමිනි. සිහින සඵල වෙද්දී ජයඝෝෂා නැඟීමට පමණක් සමීප වූවන් අතර, පරාජයේ වේදනාවේදී මේ අම්මා අපව තනි නොකළාය. 1989 වසර අවසන් වෙමින් 90 දශකයේ මුල් කාලය පැවතියේ සීතල මර්ධනයකි. ඒ දිවි රැකුණු උන් සොයමින් තිබිරිගස් යාය “යටෝරා කැෆ්ටේරියා” වධක කදවුරේ මාරයන් කොළඹ මංමාවත් වල සැරි සැරූ කාලයකි. මෙකල අප වෙනුවෙන් රත්මලාන තෙලවල පාරේ ආරි අයියා හා මාලනී අක්කාගේ නිවසෙහි පැය විසි හතර පුරාම දොර පියන් විවරව පැවතියේය.
ඔවුන් ව්යාපාරික පවුලකි. වෙළෙඳ සැලක් හා මුද්රණාලයක් තිබුණි. මේ බදු පවුල් පසුබිමක් හා සමාජ පසුබිමක් ඇති ස්ත්රියක් තබා පුරුෂයෙක්වත් ඒ යුගයේ, ප්රේමදාස – රන්ජන් විජෙරත්න මිනීමරු පාලනය පෙරලා දමන්නට පොරබදන දේශපාලනයේ සහායට උපකාරයට එන්නේ නැත. විටෙක අක්කා වු විටෙක අම්මා වූ මාලනී ට මේ “සමුල ඝාතනයේ”බිය දැනුනේ නැත. විශේෂයෙන් ම අත් අඩංගුවට පත්වෙන තරුණ දුවරුනට මේ මිනීමරු ආරක්ෂකයන්ගෙන් අත්වෙන ඉරණම නොදැන සිටින්නියක සේ ඇය අපේ දේශපාලනයේ උපකාරයට හා රැකවරණයට ආවාය. රැකවරන ලැබුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ දියණිවරුන් ගේ ඇස් මැෂින් තුවක්කු මෙන් කැරකුනේය.
ඇය මෙන්ම නිර්භීත ඇගේ දියණිවරු රෝගී වූවන්ට බෙහෙත් සොයන්නට මැදියම් රැයේ පිටත් වුහ. මේ තෙලවල ‘නිශ්ෂබ්ද දේශපාලන පවුලේ’ සහාය ප්රේමදාසගේ මිනීමරු පාලනය පෙරලා දැමිමේ අද්දරටම ගෙන යාමට උපකාර කළා පමණක් නොව පරාජය වෙද්දී අපගේ ජිවිත ආරක්ෂා කිරීම දක්වා පැතිරුනේය.
ඇයට දරුවන් පස්දෙනෙකි. ඒ අතරින් එක් පුතෙකු හා දියනියන් සිව්දෙනෙකි. ආරියසේන ජයසේකර ඇයගේ ආදරනීය සැමියාය. ඇය වැදූ දරුවන් ගණන පහක් වුව ද හැදූ දරුවන් ගණන ඉලක්කමකට ලඝු කළ නොහැක. ඔවුන් සතු නිර්භීත ගුණය ලියන්නට කෙටි සටහනකට නොහැක. කඳුලක් මෙන්ම පන්නරයක් ලැබූ ඒ නිවස අපට සැබෑම ජීවිත අභය දානය දායාද කළ වස්තුවකි. මරණය අප හඹා එද්දී ආරි අයියා සහ මාලනී අක්කා මෙන්ම දරුවන් අප එන තෙක් බලා උන් කාලයක් තිබුණි. එකල ජීවිතය රැකුණු තැන , ජීවිතය තිබුනු තැන එතැනය. කොහේද ගියේ ? මොකක් ද ප්රශ්නය ? කියා කිසිදු දිනෙක ඔවුන් කිසිවක් විමසුවේ නැත. ඔවුන්, මරණයේ අවි වලින් අප වසා ගත් මහා ප්රාකාරයක් බදු විය.
මාලනී නම් ඒ අපූර්ව ස්ත්රිය ගෙන් ලද ආදරය, කරුණාව, මෘදු ගුණය ගැන කොතෙක් නම් ලියන්නද….. වඩාත් ම සුවිශේෂී කරුණ වන්නේ දුෂ්කරම සමයේ ඈ අප අත් අතනොහැර සිටීමය. ස්වකීය ජීවිත ගමනේ 70 වියත් ඉක්මවූ ඇය පසුගියදිනෙක ගෝල්ෆේස් අරගල භූමියටත් ගියාය. අරගලය ආරම්භ වනවිටත් ඇය සිටියේ රෝගාතුරවය. නමුත් රූපවාහිනියෙන් අරගලයේ රූ දසුන් දකිද්දී ඇයට අතීත අරගල සිහිපත් වෙන්නට ඇත. මෙය එකම අරගලයක දිගුවක් බව ඇය විශ්වාස කළාය. ගතින් දුබල වුවද සිතින් සවිමත් මේ ගැහැණිය පවුලේ සාමාජිකයින් ද කැටුව අරගල භූමියට පැමිණියේ අරගලයේ තරුණයින්ට කෑම බීම ද පොදිබැදගෙනය. ඒ ඇයගේ හැටිය. කායික දුබලතා, අරගල භූමියට පා තැබීමේ වරම් ඇයට අහිමි කර තිබුණේය. නමුත් සිය මෝටර් රථය තුළ සිට ඈ එක හඬින් අරගල කරුවන්ට සුබ පැතුවා ය.
අරගලයට ජය වේවා!!!!
අතීත මතක දිගේ මේ වයෝවෘද්ධ මාතාව එදා ගෝල්ෆේස් අරගල භූමියේදී මහ හඬින් තෙපලුවාය. පවතින ජරා ජීර්ණ සමාජ දේශපාලනය වෙනස් නොකොට කිසිදා යහපත් සමාජයක් ඇතිකළ නොහැකි බව ඇය තරයේ විශ්වාස කළාය. ඇති නැති පරතරය වෙනුවට නැති බැරි මිනිස්සු වෙනුවට ඇති හැකි සමාජ ක්රමයක් වෙනුවෙන් ඈ අවසන් මොහොත දක්වාම පෙනී උන්නාය.
ලංකාවේ දේශපාලන ස්ත්රිය ගැන ඇති තරම් වාර්තා හෝ සාහිත්යයක් නැත. මේ යුගයේත් ඉන් පෙරත් මාලනී ජයසේකරලා දහස් ගණනක් සිටින්නට ඇත. ඒ අතුරින් අප දැන සිටි තෙලවල මාලනි ජයසේකර සුවිශේෂී ගුණයන් ගෙන් යුතු ස්ත්රියක් බව ලියා තැබිය යුතුය. ඉතින් ඇය සදහටම අපෙන් සමුගෙන සිටින මේ මොහොතේ ඇගේ මතකය අපි ඔබ සමඟ බෙදාගත යුතු නොවේ ද? ඉතින් අම්මේ/ සොහොයුරියේ ඔබ ඔබේ මානව වගකීම හරියාකාරම ඉටුකළ බව යලි යලිත් ලිවිය යුතු ද?
අප හදවත් තුළ ඔබ සදානුස්මරණීය වනු ඇත.!!
ඔබ වෙනුවෙන් පිදෙන අපේ උපහාරයයි මේ !!