විශේෂාංග

නිමලරාජන් මයිල්වාගනම් හා දෙමළ ඊළමේ ජනමාධ්‍ය…

[නිමලරාජන් මරා දමා ගෙවෙන 22 වෙනි වසර වෙනුවෙනි]
වැදගත්ම වැදගත්ම තොරතුර ලැබුනේ 95 අප්රියෙල් මුල. යාපනය සංචාරය ගිය කණ්ඩායමට පැහැදිලිවම කොටි සංවිධානය කීව සාම කතා නතර කරන බව. ඔවුන් චන්ද්රිකා ආණ්ඩුව සාමකතා කෙරෙන අතරේ යුධ සුදානම වේගයෙන් වැඩි කරන බවට ඔවුන් චෝදනා කළා. මේ නිසා යාපන සංචාරයට ගිය කන්ඩායමේ නායක වික්ටර් [අයිවන්] ආණ්ඩුවේ සිටි ඔහුගේ සමිපතමයන් සමඟ එකඟතාවයකට පැමිණ රජයෙන් කෙරෙන යොජනාවක් හැටියට සාමකතාවලින් ඉක්මනින් ඉවත්නොවෙන ලෙස ඉල්ලමින් ලියුමක් සකස්කළා. ලියුම කොටි සංවිධානයට ගෙනියන්න පැවරුනේ මට. මගේ ගමනට සිවා [ ධර්මලිංගම් සිවරාම්] එකතු වුනා. [ මේ ගමන් ව්ස්තරය 12 වන පරිච්චේදයේ එයි]
යාපනයේ දී අපි කොටි මූලස්ථානයට යන්න බහින අතරේ බයිසිකලයකින් යමින් සිටි නිමලරාජන් අප දුටුව. ඔහුගේ මුහුණේ විමතියක් තිබුන. මීට දින ගාණනාවකට පෙර යාපනයෙන් පිට වූ අපි නැවත එහි සිටීම ගැන. ඔහු මා සමඟ කතා කරන්න ඉදිරියට ආව. එතන සිටි ප්රධානීන්ගේ අණින් කොටි සෙබළු නිමලරාජන් හා මා අතර කතාවක් සිදුවීම බලාත්කාරයෙන් නතර කලා. එහෙත් නිමල්ගේ මුණේ අපි හමුවීමේ බලවත් වුවමනාව තිබුන. අපි පැය 24 යාපනයේ ඉන්නේ කියන්නවත් ලැබුනේ නෑ. අපි දහහවල් ඥාණම් හෝටලයේ හිටිද්දී එහි පිලිකන්න පැත්තෙන් නිමල් මතු වුණා.
‘උඹ හමුවෙන්න ආවෙ බරපතල කාරණයක් කියන්න. සාමකතා බිඳදමන්න ඉඩ දෙන්න එපා. මෙහේට බරපතල අවියක් ගෙනැත් තියෙනව. ඒක විනාශකාරියි. මෙහෙන් එහේට ගැහුගමන් ආයෙත් දෙපැත්ත ඇවිලෙනව. දාස් ගානක් මැරෙනව.’ මේක ලියන්න බෑ. කට්ටියට පැහැදිලි කරන්න.’
අපි කොළඹට ඇවිත් මේ බව වාර්තා කළා. ඒ ජනමාධ්යයට නෙවෙයි. ආණ්ඩුවේ බලවතුන්ට. එවකට ආරක්ෂක ඇමති, අනුරුද්ධ රත්වත්තේ හිටියේ යුද්ධය ජය ගැනීමේ වීරයාවී ඉතිහාසයට යන්න. එයා ජනාධිපතිවරියගේ මාම. කොහොමවත් කන් දුන්නේ නෑ. අප්රියෙල් 15 වෙනිද පලවෙනි සෑම් මිසයිලය නිසා පලමු ගුවන් හමුදා යානය විනාශ වුණා. ඒක යවල තියෙද්දී දෙවැනි යානයත් යැව්ව. ඒකටත් අත් වුනේ අර ඉරණම. මම ඒ ගැන නොලිය දේශපාලකයන්ගේ මෝඩකම් ගැන යටි සිතෙන් කම්පා වුණා.
ඊළාම් යුද්ධ සමයේ යාපනයේ පත්තර කර්මාන්තය ගැන වෙනම පර්යේෂනයක් කළ යුතුයි. සිමෙන්ති කවරයේ, බ්රවුන්පේපර් බෑගයේ, කොටුරුල් කොලවල මුද්රනය කරපු පත්තර ලෝක ඉතිහාසයේ දකින්න නම් ඊළාම් ඉතිහාසයට යායුතුයි. මේ මහා යුද්ධය අතරේ ඔවුන් යාපනය තුල දිනපතා පත්තර 4ක් සති අන්ත පත්තර 6 ක් මාසික සඟරා හා වාර සඟරාත් වෙනමම මුද්රණය වෙමින් තිබුන. කොටි පාලනය වන්නිය සීමාවෙද්දීත් මේ ආකාරයටම මුද්රණ කර්මාන්තයක් ඊළමේ තිබුන.
මට ආයෙත් නිමලරාජන් හමුවෙන්නේ 1996 අග රජයේ හමුදා යාපනය අල්ලාගත් පසුවයි. ‘යාපන සටන’ ට මුල පිරෙද්දීම කොටි වන්නියට පසුබැස්ස. ඔවුන් සමඟ ලක්ෂ ගණවක් යාපන වැසියන්ද ගෙන ගියා. පුදුමයකට වගේ නිමලරාජන් නැවතුනා. එතකොට ඔහුගේ බිරිඳ මුල් දරු ප්රසුතියට සුදානම්. යාපනයේ නැවතුනු නිමල් ආයෙත් යාපනයේ සිටින එකම වාර්තාකරු වුණා.
එතකොට මම බීබීසී සංදේශයේ වැඩට ලන්ඩනයට ගිහින්. මම ඔහුට යාපනයේ වාර්තා සැපයීම බාරකළා. සමහර දවස්වලට නිමල් විස්තර කරන පුවත නැවත මම ආයෙත් සකස්කරනව. මම සිංහලෙන් කියන පුවත එයා දෙමල අකුරෙන් ලියාගෙන කියවනව, හරියටම රුකමණීදේවි සිංහල සිංදු කිව්ව වගේ.
දැන් බීබීසියේ දකුණු ආසියානු අංශයේ ප්රශ්ණයක් තියෙනව. සිංහල සේවයේ උතුරේ වාර්තා යනව. දෙමළ සේවය දුවනව එම වාර්තා නැතුව. ඇත්තටම මම ආනන්දි [සුරියප්රකාසම්] ට කීව නිමලරාජන්ගේ වාර්තා ගන්න කියල. එයා වතාවක් කීව ‘නිමල් රජයේ හමුදාවලට උදව් කරන කෙනෙක් ඒ නිසයි එයා වන්නියට පසුබැස්සේ නැත්තේ. එහෙම කෙනෙකුගේ වාර්තා දෙමළ ජනයාට අනවශ්යයි’. ආයෙත් වතාවක් කීවම ‘එයාගේ දෙමළ උච්චාරණය යාපනේ දෙමළ නෙවෙයි, කොළඹ දෙමළ’, කියල මඟහැරිය. ඒත් ආනන්දිගේ දකුණු ඉංදීය සගයො මගේ කීමට නිමලරාජන්ගේ උතුරේ වාර්තාබ් ගත්ත. මේ නිසා තමන්ගේ වෘත්තීය ඊර්ෂාව සාරිපොටෙන් වහගෙන පසු කාලෙක නිමල්ගේ වාර්තා ගන්න ආනන්දිට සිදු වුනා.
වසර 1999 වෙද්දී මුළු ලෝකෙට යාපනයෙන් එන වාර්තා දුන්නේ නිමලරාජන් මයිල්වාගනම්. ඔහු මතවාදය කුමක්දැයි නොතකා ඕනම පත්තරේක වාර්තා දුන්න. මුදල් ගැනවත් හිතන්නේ නැතුව. 2000 වසර පටන් ගනිද්දිම නිමල් මට කීව ඔහුගේ වාර්තා නිසා හතුරන් වැඩිවෙමින් තිබෙන බව. ඒ වනවිට ඔහුට ලංකාවේ භාවිතා කෙරෙන නිල ජනමාධ්ය හැඳ්නුම්පතක් තබා පත්තරේකින් දෙන ‘නිදහස් මාධ්යවේදී’ හැඳ්නුම්පතක් වත් තිබුනේ නෑ. එහෙත් ලංකාවේ පත්තර නිමල් ‘දැලි පිහියෙන් කිරි කන යාපනයේ වාර්තාකරු’ නමින් හැදින්වූවා. අපි මුලින්ම බීබීසියට යෝජනා කළා නිමල්ට හැඳ්නුම්පතක් දෙන්න. දෙමළ සේවය බෑ කිව. සිංහල අංශයට යෝජනා කළා. බලවත් ඉල්ලීමක් පුත්ගලිකව එවකට එහි සංස්කාරක ප්රියත් ලියනගේ ට ඉදිරිපත් කළා. ප්රතික්ෂේප වුණා. ඊළඟට හරුනේ ‘රාවය’ ට. වික්ටර් කෙලින්ම මගේ මුණටම බෑ කීව. පස්සේ වෙනමම රාවයේ කතෘ මණ්ඩලයේ සමාජිකයන්ට බලපෑම් කරල මේ යාපනයේ දී ‘එල්ලිමට නියමිත මිනිසාට’ හැදිනුම්පතක් දෙන්න යෝජනා කලා. එයත් ප්රතික්ෂේප වුණා. අන්තිමේ සංදේශයේ සම්පාදකයෙකු වූ චන්දන කීර්ති බන්ඩාර, එහි නිල පුවත්පත වූ ‘හරය’ කතෘ මන්ඩලය එකඟ කරවාගෙන ‘හරය’ වාර්තාකරුවෙකුගේ හැඳ්නුම්පතක් දුන්න.

නන්දන වීරරත්න

‘ඊළාම් විමුක්ති කොටි අතරේ ගෙවුණු දවස්’
නොපළ කෘතියෙ​නි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *