උපුටාගැනීම්විශේෂාංග

ගණනාථ ඔබේසේකර: ජාත්‍යන්තර බුද්ධිමතෙකුගේ සෙවනැල්ලේ දශක දෙකක්.

‘ක්රිස්තියානි ප්රඥප්තියට පිළිතුරක්’ සෙවීම
මගේ සංස්කෘතික ජීවිතය තිබුනේ කොළඹ. පවුල් ජීවිතය තිබුණේ තොටගමු විහාරය පිළිකන්නේ තිබූ එහි ගොදුරු ගමක් වූ මැටිවෙල[අපේ ගමේ එවුන් කියන්නේ මැටිවල කියල] මම ගණනාථ ට දුන්නේ මැටිවෙල ලිපිනය. ඒ කාලේ මම බිබිලේ පැත්තෙන් ආවොත් මොණරාගල හම්බන්තොට, මාතර, ගාල්ල, හික්කඩුව හරහා මැටිවෙලට යනව. බදුල්ලෙන් ආවොත් පස්සර, බදුල්ල හරහා කොළඹ ට ඇවිත් ගමේ යනව. වැඩිපුරම ගමන් කළේ රෑට. උදේ බස්වලින් බහින කොට මම “චන්ඩාශෝක”[අසෝක් ලේලන්ඩ්] ට කුණුහරුපෙන් බනිනව. නිදිමතේ බස්වල හතර අතේවිසිවෙවෙල “ චන්ඩාශෝක” ගේ යකඩ කූරු වැදිල, ‘රත්ගම චන්ඩියෙකුගේ’ වගේ හැමතැනම කැපුම් පාරවල්.
කොහොමත් සති දෙකකට සැරයක් මේ ගමන කෙරෙනව. මගේ මාසේ පඩිය රුපියල් 1750 යි. දරු පවුලට කන්න දුන්නේ තාත්ත. මම ගෝල්ඩ් ලීෆ් එක බිව්වේ තුනට කපල එකම ෆිල්ටරේට බස්සල. සිරිමලා [විජේසිංහ] තමයි ඒක ඉගැන්නුවේ. මෙහෙම දවසක ගෙදර එනකොට ප්රින්ස්ටන් විශ්ව විද්යාලයේ නිල ලියුම් කවරයකින් ලියුමක් තියෙනව. හතරවරිගේ එකෙකුට වෙච්චි දෙයක් නෙවෙයි. මම ගැහිගැහි ලියුම කඩල බැලුව. ඩොලර් 1000ක චෙක් පතක් එක්ක එහි මානව විද්යා දෙපාර්තමේන්තුවේ ලිපි හිසක ඉංග්රිසියෙන් ලියපු කෙටි ලිපියක්.
“දයාබර නන්දන, මේ මුදල් මා පවරණ පර්යේෂන කටයුතු සඳහා දිමනාවක්. බ්රිතාන්ය කවුන්සලයට බැදී ඔබේ ඉංග්රිසි අධ්යාපනය දියුණු කර ගන්න. මීට ගණනාථ ඔබේසේකර.”
මට ඩොලර් දාහක් රුපියල්වලින් කීය කියල හිතා ගන්න බෑ. මම තත්තගේ පරණ රැලේ බයිසිකල් කටුව පැදගෙන හීක්කඩු ගියා. කොරල් ගාඩ්න් එක පැත්තට යනකොට පැටී[ ගුණවර්ධන] ඉන්නව. මම කතා කරන්න කලින් ඌ කතා කරා.
‘කොහේද මේ උඹ හතිදාගෙන දුවන්නේ? දැන් බිබිලේ නේ ද ඉන්නේ ? දේශපාලන ව්යාපාරයේ නෑ නේ ද?
මාත් එක්කම වේරගොඩ විජබාවට ගිය ඌ දැන් යුරෝපීය භාෂා හතක් විතර කතා කරන විත්තිය නිතර කියනව. සුද්දො උගේ ගෙදරටත් එනව. මොනව කතා කරනව ද කියල දෙයියෝ තමා දන්නෙ. හැබැයි කොහොමහරි සතියකට දෙකකට සැරයක් සුද්දෙක් ගැට ගහගෙන වටේ ඇවිදින එකෙක් පැටී.
‘ඩොලර් එකක් කීය බං’
‘ඇයි උඹත් ගුරුකම අතැරල ගයිඩ් කෙනෙක් වෙන්න ද? අද ගාන කියන්න ද? රුපියල් 43 යි’
මම කොල්ලුපිටියේ බ්රිතාන්ය කවුන්සලයට මුදල් බැන්ද. ඒ කාලේ එක වාරෙකට රුපියල් 3000ක් විතර. ඉංගිරිසි ඉගනීම මුල ඉඳල පටන් ගත්ත. හරියට අවුරුදු 18 ක එකෙක් හෝඩියට ගියා වගේ වැඩක්. පංතියේ හිටියේ මැණික් මුදලාලිගේ, ලොකු නිලධාරීන්ගේ නව යොවුන් වියේ දරුවො. උන්ට මම පෙනුනේ වේලිච්ච පොල් අත්තක් වගේ. මමත් ඇරියේ නෑ. පංතිය හිනස්සන වඩ කළා. දවසක් ඉංග්රිසි ජාතික ගුරුවරිය පංතියෙන් ඇහුව වෙල්ස් හී කුමාරය [ප්රින්ස් ඔෆ් වෙල්ස්] කවුද කියල. ඔක්කොටම කලින් මම කිව්ව.
“ආතර් ස්කාගිල් “
ගුරුවරී ඉනෙන් නැවිල විනාඩි පහක් විතර හිනා වුණා. ආතර් ස්කාගිල් ගැන මම දඑනගන්නේ කම්කරු මාවතේ දී [විපලවවාදී කොමියුනිස්ට් සංගමය] ඒ කාලේ තැචර් [මාග්රට්] යටතේ බ්රිතාන්යයේ පතල් කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් තිබුණ. විකොස [ දැන් සසප] අයිති හතරවෙනි ජාත්යාන්තරය මේ මහා වර්ජනයට සහාය දුන්න. සතිපතා එංගලන්තයේ මුද්රණය වූ ‘නිව්ස් ලයින්’ ටැබ්ලොයිඩ් පත්තරේ ලංකාවට ආවා. අපි ‘කම්කරු මාවත’ට, ලියල, අච්චු ගහල, නවල, කපල, ගෙන්ගෙට විකුණුවේ. ‘කම්කරු මාවත’ හා ‘තොලිලාල් පාතෙයි’ පත්තර විකුනන්න ගෙන්ගෙට යන කොට ‘නිව්ස් ලයින්’ එකෙනුත් ටිකක විකුනනව. ගැටගහගෙන නිව්ස්ලයි එක කියවන්න උත්සාහ කරනව. ඒ නිසා ‘ආතර් ස්කාගිල්’ වෙල්ස් ජාතිකයෙක් බවත් බ්රිතානය පාලන අධිකාරීයේ එවකට සිටි බලවත්ම සතුරා බවත් දැන සිටිය. ඒ නිසයි මම ඒක කීවේ. මගේ ඉංග්රිසි ගුරුවරිය පස්සෙන් ද බ්රිතාන්ය කවුන්සලය ඉදිරියේ දී මාව දැකල නවත්තල කිව්ව.
‘වීරරත්න, මම ඊයේ ගෙදර ගිහින් මහත්තයට කිව්ව ඔයාගේ ප්රින්ස් ඔෆ් වේල්ස් ගැන. අපි ඔක්කොම හොඳටම හිනාවුණා.
මම ඇයට කිසිත් නොකිය හිනාවෙල කරබාගත්ත මෝඩයෙක් වගේ.
සල්ලි එව්වා මිස ගණනාථ මට වැඩක් පවරුවේවත් ලියුම් එව්වේත් නැත. ඒ වන විට මම ‘යුක්තියෙන්’ ‘රාවය’ ට මාරු වෙල. . මගේ ‘සිංහල කුල ක්රමය ගැන රචනා’ වික්ටර් [අයිවන්] ට හොදින්ම අල්ලල ගියා. එයා ඇති තරම් මට නිදහස දුන්න ලියන්න. සල්ලි දුන්න රටේ ඕනම තැනක ඇවිදල ලියන්න. මම දෑවුරුද්දක් වූ ගුරු රස්සාවෙන් අස්වෙන්න තීරණය කළා. ඒ වග ගුණසේකර ලෝක්කට කිව්ව.
‘උඹට පිස්සු ද ? මාසෙකට දවස් පහක් ඇවිල්ල උගන්නපං. මම පැමිණීමේ ලේඛනය බලා ගන්නම්’.
‘අනේ බෑ සර්, මේ අහිංසකයන්ට උගන්වනව කියල ආණ්ඩුවෙන් පඩියක් ගන්නවට වැඩිය හොඳයි උන්ගේ කක්කුස්සියක් කඩා ගෙන කන එක.’
1992 අවුරුද්දේ මැද දි ගණනාථ ‘ෆුල්බ්රයිට්’ ශිෂ්යත්වයක් අරන් පර්යේෂණයක් වෙනුවෙන් ලංකාවට ආව. ඒ ගමන එයා මහගෙදර නතර වුනේ නෑ. බම්බලපිටියේ දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් පාරේ ගෙයක් කුලියට අරන් නිදහසේ වැඩ කරන්න පටන් ගත්ත. මම එතන ගිහින් කතා කරන්න පුරුදු වුණා. මම එයාට කුල ගැන කතා කලා. ඒවා ගැන උනන්දුවක් ගත්තේ නෑ. සමහරවිට එයාගේ පැරණි ගුරුවරයා ‘බ්රයිස් රයන්’ ලියපු දේ ආයෙත් කූරු ගාන වුවමනාවක් නැති නිසා. එයා දුලබ හා පැරණි පොත් ගැන කතා කරා. එහෙම ව්යාපෘතියක් කරන්න ඕන කිව්ව. ඔය අතරවාරේ තමයි සමාජ විද්යාඥයන් සංගමයේ ‘ප්රවාද’ සඟරාවකට සෝමරත්න [මහාචාර්ය සෝමරත්න ඉතිහාස දෙපාර්තමේන්තුව, කොළඹ සරසවිය] ලියපු ලිපියක “ක්රිස්තියානි ප්රඥප්තියට පිළිතුරු” පොත ගැන සඳන් වුනේ. මම හිතන්නේ බොරැල්ලේ එලියට් පෙදෙසේ ‘විභවි’යේ දී සුනිල් [ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන] එක්ක අපි ඒ ගැන කතා කරා.
පස්සේ ගණනාථ එක්ක මේ ගැන කතා කරන කොට මට කීව මේ පොත හොයමු කියල. එයා නීලන් ගේ තැන [ආචර්ය නීලන් තිරුචෙල්වම්- ICES – Colombo] හරහා ගමන් ගාස්තු දුන්න පොත හොයන්න කිව්ව. “ක්රිස්තියානි ප්රඥප්තියට පිළිතුරු” රචනාවේ 1840 විතර බෙන්තර අත්ථදස්සි [ පණ්ඩිතරත්න පරිවේණාධිපති, වනවාස විහාරය, බෙන්තර] ලියපු එකක්. සෝමරත්න මේ පුස්කොල පොතෙන් උපුටාගෙන ලියපු දේ තිබුනේ. ක්රිස්තියානි යටත් විජිතවාදය සිංහල ජන සමාජය වෙනස් කිරීම ගැන අත්ථදස්සීගේ විවෙචනය කෙටියෙන් සටහන් වුණා. මම කොළඹ කටුගේ පුස්තකාලයයි, රාජ්ය ලේඛනාගාරයි දෙකටම ගිහින් බැලුව, පොත් මුද්රණය කල බවක් පේන්න නෑ. ඊට පස්සේ සෝමදාස ගේ [කේ. ඩී. සෝමදාස, හිටපු නියෝජ්ය පුස්තකාලයාධිපති, පේරාදෙනිය සරසවිය] ලංකාවේ විහාරවල ඇති පුස්කොල පොත් නාමාවලිය බැලුව. ඒ එකතුව හදනකොට මේ පොතේ පුස්කොල පිටපත් 24 තිබිල තියෙනව.
‘ෆෝඩ් පදනමේ’ ආධාරයෙන් ලංකාවේ විහාරවල පුස්කොල ඉලෙටෝනිකව පිටපත් කිරීමේ ව්යාපෘතියක් තිබු නිසා ආයෙත් රාජ්ය ලේඛ්නාගරයට ගිහින් ඒ එකතුව බැලුව. ඒක අවුල් ජාලයක්. එක බාරව හිටපු මනම්පේරී කෙනෙක් අස්වෙල ගිහිල්ල. පිටපත් කරපුව අවුල් ජාලයක්. මේ බව ගණ්නාථ කීව.
‘කොහොම හරි පොත හොයන්න ඕන. වැය වෙන කාලය ගැන හිතන්න එපා. වියදම් කෙරෙන මුදල ගැන හිතන්න එපා. කොහොමහරි පොත හොයමු.’
සමහර දවස්වලට එයාගේ කාර් එකෙන්ම අපි පංසල්වලට යනව. ඒ ගමන්වලට ලෙස්ටර්[ රූපසිංහ] එකතු වුනා. රංජනීත් [ඔබේසේකර] එකතු වුණා. ඒ පොත හොයපු එක ගැන වෙනම පොතක් ලියන්න ඕන. අපි නමාලියේ සඳහන් පංසල්වලට විතරක් නෙවෙයි, අත්ථදස්සීගේ ගෝල පරම්පරාව හිටි පංසල්වලටත් ගියා.
ගණනාථ විස්වාස කළා මේ පොත ලංකාවේ බෞද්ධ බුද්ධි සම්ප්රදායේ ඉහලම හා අවසාන තැන කියල. එයා පානදුරාවාදයේ විවාද දැක්කේ බෞද්ධ බුද්ධි සම්ප්රදායේ උරුමයකට වඩා ගාලගෝටියක් හැටියටයි.
මතු සම්බන්ධයි

නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *