ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූල ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක කරන ලදී.
1984 දෙසැම්බර් 1 සිට 1984 දෙසැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ සමූලඝාතන, දේපළ විනාශ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ ස්ත්‍රී දූෂණ හරහා දෙමළ ජනතාව පදිංචිව සිටි භූමීන්ගෙන් බලහත්කාරයෙන් ඉවත්කිරීම් සිදු කරන ලදී. 1980 දශකය පුරා ම ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමටත්, ඒවායේ සිංහල ජනයා පදිංචි කිරීමටත් බොහෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලදී.
මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක, සාම්ප්‍රදායික ගොවිතැනෙහි සහ ධීවර කර්මාන්තයෙහි නිරත ජනතාවක් වාසය කළ පාරම්පරික දෙමළ ගම්මාන ගණනාවකින් සමන්විත විය. එම ප්‍රදේශ දෙමළ ජනයාට අයත් කුඩා හා විශාල ගොවිපළවලින් ද යුක්ත විය. පාරම්පරික දෙමළ ගම්මාන 50 කට ආසන්න ප්‍රමාණයක ජීවත්ව සිටි දෙමළ පවුල් 15000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත් කරමින්, දෙමළ ව්‍යවසායකයින්ගේ බදු ඉඩම් අයිතිය අවලංගු කරමින් මෙම ම්ලේච්ඡ සිංහල ජනපදකරණය සිදුකරන ලදී.
1984 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් කෙන්ට් ෆාම් සහ ඩොලර් ෆාම් හි ජීවත් වූ දෙමළ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර, විවිධ අපරාධ සඳහා නීතියෙන් වැරදිකරුවන් වූවන් සහ සිරකරුවන්, ඔවුන්ගේ පවුල් සමඟ එහි පදිංචි කර හමුදා ආරක්ෂාව ද ලබා දෙමින් ආයුධ සන්නද්ධව පවත්වාගෙන යන ලදී. එම නව ජනාවාස දෙමළ ජනයාට තවදුරටත් හිරිහැර කරමින් එම ප්‍රදේශයෙන් ඔවුන්ව ඉවත් කිරීමට යොදා ගන්නා ලදී. දෙමළ තරුණ තරුණියන් පැහැරගෙන ගොස් මෙම ප්‍රදේශවලට ගෙනැවිත් සමූහ දූෂණයට ද වධ හිංසාවන්ට ද ලක් කළ බවට සිංහල පදිංචිකරුවෝ ම සාක්ෂි දරති.
කෙන්ට් ෆාම් සහ ඩොලර් ෆාම් අත්පත් කර ගනීමෙන් පසු මුලතිව් දිස්ත්‍රික්කයේ ඔදියමලෙයි, කෝකිලායි, මනල්ආරු, කොක්කුතොඩුවායි, අලම්පිල්, නයාරු සහ කුමුලමුනෙයි යන ඒ ආසන්න ගම්මානවල දෙමළ ජනයා ද පලවාහැරි අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අමරවායල් සහ තෙන්නමරවාඩි යන ඓතිහාසික දෙමළ ගම්මානවලට ද ප්‍රහාර එල්ල කරමින් දෙමළ ජනයා පලවාහැර ඉඩම් අත්පත් කරගනිමින් සිංහල ජනපද ව්‍යාප්ත කරන ලදී.
මෙම සමූල ඝාතන ක්‍රියාත්මක සමයේ එම ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දෙන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා ය. පසුව ඔහුට මේජර් ජෙනරාල් පදවිය පිරිනැමුණු අතර, දෙමළ ගම්මානවලට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනපදයක් ජානකපුර ලෙස ද නම් කරන ලදී. උතුරු මැද මහ ඇමැති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 2008 පළාත් සභා මැතිවරණයට තරග වැදුණු ජානක පෙරේරා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියක දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන ලදී.
ඔදියමලෛ සමූල ඝාතනය – 1984.12 .1-2
ඔදියමලෛ යනු මුලතිව් දිස්ත්‍රික් මායිමේ පිහිටි, වී ගොවිතැන ප්‍රධාන කොටගත් සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් යැපුණු දෙමළ ගම්මානයකි. 1984 නොවැම්බර් 29 සිට 1984 දෙසැම්බර් 2 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ප්‍රදේශයට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබුණි.
1984 දෙසැම්බර් 1 වැනිදා පදවියේ සිට ගුවන් හමුදා කණ්ඩායම් ඔදියමලෛ කරා පැමිණ ගම්මානය වටලන ලද අතර පසු දා අලුයම 5 ට පමණ ගම්වාසීන් අවදි වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔදියමලෛ ගම්මානය වටලා ඇති අයුරු ගම්මුන්ට දිස් විය.
සොල්දාදුවන් විසින් දෙමළ භාෂාවෙන් ගම්මුන් අමතමින් කියා සිටියේ සියලුම පිරිමින් ගමේ ප්‍රජා සංවර්ධන සමිති ගොඩනැගිල්ලට රැස්වන ලෙස ය. හමුදාව විසින් නිරායුද පුද්ගලයින් 32 දෙනෙක් සංවර්ධන සමිති ගොඩනැගිල්ලට කැඳවාගෙන ගොස් ඔවුන්ව නිරුවත් කර, ඇඳ සිටි ඇඳුම්වලින් බැඳ වධ දී වෙඩි තබා ඝාතනය කරන ලදී. නාගමනි චින්නයියා (50), නාගරත්නම් කේතීස්වරන් (23), නල්ලයියා නවරත්නම් (17), කන්තයියා කනකයියා, කන්දයියා පොන්නම්බලම් (48), කන්දයියා සිවසිදම්බරම් (35), ක්‍රිෂ්ණපිල්ලේ රාසලිංගම් (29), කරුෆායි තංගරාසා (18), ගණපතිපිල්ලේ චින්නයියා (35), ගණපතිපිල්ලේ ශිවපාදම් (28), දමෝදරම්පිල්ලෙයි ගණපතිපිල්ලේ (51), දමෝදරම්පිල්ලෙයි සතාසිවම් (46), තම්බයියා කාසිපිල්ලේ (45), තම්බයියා වේළුපිල්ලේ (38), තම්බයියා සුබ්‍රමනියම් (26), දම්පිය ශිවඥානම් (23), අලගයියා ජෙගනාදන් (17), ගෝවින්දර් ගණපතිපිල්ලේ (55), පොන්නම්බලම් දේවරාසා (25), වේළුපිල්ලේ චිදම්බරපිල්ලේ (36), සුබයියා කෙන්ගාතරන් (26), චින්නයියා රාජේන්ද්‍රම් (21), සිදම්බරපිල්ලේ රාසයියා (27), සංකරපිල්ලේ සබාරත්නම් (40), සංකරපිල්ලේ ෂන්මුගසුන්දරම් (25), ෂන්මුගරාසා රවිචන්ද්‍රන් (16), වීරකත්ති තිල්ලිනදරාසා (25) යන 27 දෙනා එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඉතිරි 5 දෙනා පසුව ඝාතනය කර ඇත.
ඔදියමලෛ සංහාරයේදී තම පියා සහ මාමාවරුන් පස්දෙනා ඝාතනයට ලක් වූ සිදම්බරපිල්ලේ සගුන්තරාසා මෙසේ පවසයි. “1984 දෙසැම්බර් 2 වැනිදා අපේ ගමේදි පුද්ගලයන් 32ක් සමූල ඝාතනය කළා. මගේ තාත්තා සහ මගේ මාමලා පස් දෙනෙක් මැරුවා. උදේ 5.00ට 5.30ට විතර අපේ ගමට ගුවන් හමුදාවෙන් ආවා. එතකොට අපි පොඩි ළමයි. අපි දන්නේ මිනිස්සු අපට කියපු දේවල්. අපට ගොඩක් දේවල් මතක නෑ. මගේ තාත්තා ගුවන් විදුලියට සවන් දෙමින් සිටියදී අල්ලගත්තා. තාත්තව අල්ලගත්තම තමයි අපිට තේරුනේ උන් ශ්‍රී ලංකා හමුදාව කියලා. අපේ ගෙදර උන්නු මාමවත් හමුදාවෙන් ඇල්ලුවා. අපි ඉස්සරහම මාමගේ කමිසය ඉරලා ඔහුගේ දෑත් බැන්දා. මේ වගේ හමුදාව හැම ගෙදරකටම ගිහින් එක එක පවුල්වල ගෘහ මූලිකයාව අල්ලගත්තා. හමුදාව පාරෙ ගිය ට්‍රැක්ටරයක් උදුරගෙන අල්ලගත්තතු හැමෝම ට්‍රැක්ටරේට නැග්ගුවා. ඒ හැම කෙනෙකුගේම දෑස් සහ දෑත් බැඳලා තිබුණා. සිද්දිය බලන් උන්නු ගමේ අය අපට කීවේ අවුරුදු පනහකට වැඩි පස් දෙනෙක් ට්‍රැක්ටරේ පිටිපස්සට දාලා ට්‍රැක්ටරයේ පැති දොරවල් ගලවලා, මහලු පස්දෙනා මත ඒ දොරවල් තියලා ඒ මත හිටගෙන සොල්දාදුවන් නටමින් ගී ගයමින් ගියා කියලා.”
සමූල ඝාතනය සියැසින් දුටු කන්දසාමි සිය අත්දැකීම මෙසේ විස්තර කළේය. “එදා උදේ පාන්දරම අපේ ගමට කඩා වැදුණු සිංහල සන්නද්ධ මැර කල්ලි ගෙවල්වල උන්නු අපේ මිනිස්සුන්ට ප්‍රජා ශාලාවට එකතු වෙන්න කියලා බල කළා. සන්නද්ධ කල්ලි කලින් දා රෑ ඇවිත් මේ සංහාරය සඳහා අපේ ගම අවට නැවතිලා තිබුණා. මේක සැලසුම් කරපු සිද්දියක්. මුලතිව් ප්‍රදේශයෙන් හමුදාව කලින්ම ඉවත් වුණා. වාහන පලා යාම වළක්වන්න සහ මිනිස්සු පිටව යාම වළක්වන්න ඇඳිරි නීතිය පනවලා තිබුණා. නිලධාරීන් විසින් පරීක්ෂණයක් පැවැත්වුවට පස්සෙ අපි මියගිය සියලු දෙනා එකතු කරලා, ඔක්කොම මළ සිරුරු ගොඩ ගහලා එකටම ආදාහනය කළා.”
එදින සිදුවීමට මුහුණ දුන් තවත් පුද්ගලයෙක් මෙසේ පවසයි. “එදා උදේ ශ්‍රී ලංකා හමුදාව අපේ ගමට ඇතුළු වෙලා හතර පැත්තෙන්ම අපේ ගම වට කරලා, ගමේ පිරිමි සෑහෙන දෙනෙක් අල්ලගෙන, කමිස ගලවලා, අත් දෙක පිටිපස්සට බැඳලා ගෙනාවා. ඒ වෙලාවෙ පාරෙ ගමන් කරමින් තිබුණු සෙල්වරාසාගේ කුඹුරු හාන ට්‍රැක්ටරය නවත්තලා අරගෙන මිනිස්සු ඒකෙන් ගමේ සංවර්ධන සමිති ගොඩනැගිල්ලට අරන් ගියා. මම ඉතාම ආදරය කරපු ගණපතිපිල්ලේ, පොන්නම්බලම්, චින්නයියා, කනකයියා යන අය කැඳවාගෙන ගියේ ඔවුන් මහලු අය බව දැක දැක. ටික වේලාවකට පස්සෙ වෙඩි සද්ද සහ කෑගැසීම් ඇහුණා. හමුදාව ආ බව දැනගෙන කැලේ හැංගිලා ඉඳලා, ආපහු මම සංවර්ධන සමිති ගොඩනැඟිල්ලට ඇවිත් බලද්දි තුන් හතර දෙනකු හැර විසිහත් දෙනකු වෙඩි තබා මරා දමා තියෙනවා දැක්කා. ඊට පස්සේ අපි පයින්ම මුලතිව් පැත්තට දිව්වා. ඒ වෙලාවේ හමුදාවෙන් ඇඳිරි නීතිය දාලා තිබුණත් අදාළ නිලධාරීන් ගෙන්වලා සිද්ධිය පෙන්නන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. ඊට පස්සේ අපි මුළු ගමම එකතු වෙලා ගමේ සංවර්ධන සමිති ගොඩනැගිල්ල ඉස්සරහම මළසිරුරු ඔක්කොම එකට ආදාහනය කළා. මුලතිව්, සිලෝන් තියටර්, ඩොලර්ෆාම්, කෙනට්ෆාම් වගේ ප්‍රදේශවලින් සෙබළුන් ඔදියමලෛ පැත්තට එනවා කියලා ආරංචි වෙලා, මියගිය අය වෙනුවෙන් හඬා වැලපෙන අතරේම අපි හැමෝම ආරක්ෂාවට නැදුන්කර්ණියට ආවා.”
මෙම සිදුවීමෙන් පසු ඔදියමලෛ ගම්වාසීන්ට තම බිම අතහැර ගොස් මුලතිව් ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුවිය. ඔදියමලෛ ප්‍රජා සංවර්ධන ගොඩනැගිල්ල ඉදිරිපිට පසුව ඉදිකරන ලද මුල් ස්මාරකය යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාව විසින් විනාශ කර දැමූ අතර 2018 වසරේ දී එය නැවත ඉදි කරන ලදී.
කුමුලමුනෙයි සමූල ඝාතනය – 1984.12.02
මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි කුමුලමුනෙයි ගම්මානය ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ජීවිකාව කරගත් වැසියන්ගෙන් යුක්ත ගමකි. 1984 වර්ෂය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් කුමුලමුනෙයි ගම්මානය වටලා මිනිසුන් අත්අඩංගුවට ගෙන වධ හිංසා කිරීම ඉතා සුලබ සිදුවීමක් බවට පත්ව තිබුණි.
1984.10.01 දින ශ්‍රී ලංකා හමුදාව විසින් කුමුලමුනෙයි ගම වටලා එකම පවුලේ දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව 1984.11.29 දින තවත් ගම්වැසියන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මීට පෙර අත්අඩංගුවට ගත් දෙදෙනාගේ සොහොයුරන් සිව්දෙනා සහ කුමුලමුනේ ප්‍රදේශයේ මොහාන් නමැති තවත් අයෙකු හැර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි බොහෝ දෙනා නිදහස් කරන ලදී.
රඳවා තබාගෙන සිටි පුද්ගලයින්ගේ ඥාතීන් ඔවුන්ව නිදහස් කර ගැනීමට උත්සාහ කළ අතර, පරීක්ෂණයකින් පසු ඔවුන් නිදහස් කරන බවට හමුදාව පොරොන්දු විය. 1984.12.01 වන දින හමුදාව එම ඥාතීන්ට පැවසුවේ රඳවාගෙන සිටි හත් දෙනාම හමුදාව විසින් වෙඩි තබා මරා දැමූ බවයි. වෙඩි තබා මරා දැමූ හත් දෙනාගෙන් හය දෙනෙක් සහෝදරයන් ය. හය දෙනෙක් විවාහකයින් ය. ඝාතනයට ලක් කළ 7 දෙනා වන්නේ පොන්නම්බලම් නමසිවායම් (51), පොන්නම්බලම් ආනන්දන් (53), පොන්නම්බලම් කෙන්ගාදරන් (45), පොන්නම්බලම් පොන්රාසා (43), පොන්නම්බලම් චන්ද්‍රලිංගම් (49), පොන්නම්බලම් විවේකානන්දන් (47), මෝහනදාස් (32) යන අය යි.
තෙන්නමරවාඩි සමූලඝාතනය – 1984.12.2-4
1984 දෙසැම්බර් 2 වෙනි දින ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් සහ සිංහල මැර කණ්ඩායම් තෙන්නමරවාඩි ගම්මානය ආක්‍රමණය කළේ විවිධ ආයුධ, පිහි, පොරෝ, යකඩ උපකරණ, පොලු සහ තුවක්කු රැගෙන ය. තෙන්නමරවාඩි ගම්මානයේ ඒ වන විට දෙමළ පවුල් 200ක් පමණ ජීවත් වූහ. ආක්‍රමණයත් සමඟ ගම්වැසියන් වනාන්තරයට පලා ගියහ. මැර පිරිස ගම්මුන්ගේ පැල්පත්වලට ගිනි තබා ඔවුන් හැර දා ගිය යමක් වේ නම් ඒ සියල්ල ද විනාශ කළහ.
පසුදින එනම් දෙසැම්බර් 3 වන දා නැවතත් මැර පිරිස පැමිණ කැළය පීරා දෙමළ ගම් වැසියන් සෙවූහ. එහිදී ඔවුන් දෙමළ වැසියන් කිහිප දෙනෙකු අල්ලා ගත් අතර සෙබලුන් විසින් අල්ලාගත් ගම්වැසියන් පෙළගස්වා වෙඩි තබා ඝාතනය කරන ලදී. ස්ත්‍රීන් දූෂණය කරන ලදී. තෙන්නමරවාඩි සංහාරයෙන් නිරායුද ගම් වැසියන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සමූලඝාතනය කළ බව වාර්තා වෙයි.
තුන් වන දින, එනම් දෙසැම්බර් 4 වන දින, තෙන්නමරවාඩිහි පදිංචිකරුවන් තමන්ගේ ගම්මානය අතහැර පලා යාමේ ගමන ආරම්භ කළහ. ඔවුන් දින හතරක් වනාන්තරය මැදින් ගොස් මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි වෙත ළඟා වූහ. ඔවුන් තාවකාලික කූඩාරම් ඉදිකරගෙන එහි නැවතුනහ. ඔවුන් ඔවුන්ගේ නව ජනාවාසයට රන් නගරය යන අර්ථය ඇති පොන්නගර් ලෙස නම් කළහ.
මනල් ආරු සමූලඝාතනය – 1984.12.3
1984.12.03 දින ශ්‍රී ලංකා හමුදාව මනල්ආරු ප්‍රදේශය වටලා සිවිල් වැසියන්ට අහඹු ලෙස වෙඩි තබන ලදී. මනල්ආරු ප්‍රදේශයේ වැසියන්ව ශ්‍රී ලංකා හමුදාව විසින් පලවා හැර ඔවුන්ගේ නිවාස ගිනිබත් කරන ලදී. ජනතාවට වධහිංසා පැමිණවීම්, සොරකම් කිරීම්, පැහැරගැනීම් සහ ස්ත්‍රී දූෂණ ද හමුදාව විසින් සිදු කරන ලද අතර ඉන්පසු සෘජු ප්‍රහාර එල්ල කරන ලදී. පරම්පරා ගණනාවක් මනල්ආරුවේ ජීවත් වූ ජනතාව මෙලෙස අවතැන් වූහ. කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 100 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. පවුල් සිය ගණනක් අවතැන් විය. පසුව මෙම ගම්වල සිංහල පවුල් පදිංචි කරන ලදී. මනල් ආරු යනු සිංහල භාෂාවෙන් වැලිඔය යි
අමරවායල් සමූල ඝාතනය – 1984.12.3-4
අමරවායල් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරේ පිහිටි පුරාණ දෙමළ ගම්මානයකි. වහාම ගම්මානයෙන් ඉවත් නොවුණහොත් ප්‍රහාර එල්ල කරන බවට හමුදාවෙන් දැනුම් දෙන ලදී. ගම්වැසියන් රැගෙන යා හැකි දේ රෙදිවල ඔතාගෙන පොට්ටනි බැඳගෙන කැළයට දිව ගියහ. රාත්‍රිය පුරා ඔවුහු කැළයේ රැඳී සිටියහ. ඔවුන්ට ගම දෙසින් වෙඩි හඬ ඇසුණි. ගම දෙසින් ඉහළට නගින ගිනිදැල් ඔවුන්ට පෙනුනි. ඔවුහු මුලතිවු දෙසට ඇවිද ගොස් සරණාගත කඳවුරුවලට එක්වූරොක් වූහ. දෙසැම්බර් 3 සහ 4 දිනවල ක්‍රියාත්මක කළ මෙම ප්‍රහාරයෙන් ගම් වැසියන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළ බව වාර්තා වන අතර සිංහල වැසියනගේ ද හිරිහැරයන්ට දෙමළ ගම්වැසියන් ලක් වූහ.
කෝකිලායි සමූල ඝාතන – 1984.12.15
කොක්කිලායි සමූලඝාතන යනු මුලතිව් දිස්ත්‍රික්කයේ කොකිලායි ගම්මානයට සහ අසල්වැසි ගම් කිහිපයකට ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රහාර එල්ල කර දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කිරීමේ සංහාර මාලාවකි. 1984.12.15 දින ශ්‍රී ලංකා යුද හමුදාව කෝකිලායි කොක්කුතොඩුවායි, කරුණාඩු කර්නි, නයාරු, කුමුලමුනෙයි, කොඩ්ඩෙයි කේරි සහ අලම්පිල් ඇතුළුව කෝකිලායි ප්‍රදේශයේ ගම්මාන රැසක දෙමළ ජනයාට පැය 24 ක් ඇතුළත තමන් පදිංචිව සිටි ගම්මානවලින් ඉවත් වන ලෙස නියෝග කරන ලදී. ගම්මානවලට ඇතුළු වූ හමුදාව සිවිල් වැසියන් රැසක් ඝාතනය කළ අතර දේපළ රාශියක් විනාශ කරන ලදී. නිරායුද ගම් වැසියන් 131 දෙනෙක් ඝාතනයට ලක් කළ අතර ඒ අතර කාන්තාවන් 31 දෙනෙක් සහ ළමුන් 21 දෙනෙක් වූහ. මෙම සංහාරයෙන් පවුල් 2000 කට වැඩි සංඛ්‍යාවක් අවතැන් විය. ඔවුන්ගේ ගම්මානවල සිංහල පවුල් පවුල් පදිංචි කරවන ලදී.
චෙඩ්ඩිකුලම් සමූලඝාතනය (1984.12.2) සහ මන්නාරම් සමූලඝාතනය (1984.12.4)
සිංහල ජනපදකරණය උදෙසා මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල 1984 වසරේ සිදුකළ දෙසැම්බර් සංහාරයන්ට අමතරව 1984 දෙසැම්බර් 2 වන දින වවුනියාවේ චෙඩ්ඩිකුලම්හි දී ශ්‍රී ලංකා හමුදාව විසින් නිරායුධ සිවිල් වැසියන් 52 දෙනෙක් සමූලඝාතනය කිරීම ද, 1984 දෙසැම්බර් 4 වන දින හමුදාව විසින් මන්නාරමේ නිරායුධ සිවිල් වැසියන් 200 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම ද සිදු වූ බව මේ සමගම සිහිපත් කරමු.
චෙඩ්ඩිකුලම් යනු වවුනියා දිස්ත්‍රික් මායිමේ වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් වවුනියා – මන්නාරම් මාර්ගයේ පිහිටි ගම්මානයකි ගොවීන්, ව්‍යාපාරිකයන්, කම්කරුවන් සහ රජයේ සේවකයින් මෙම ප්‍රදේශයේ ජීවත් වූහ. 1984.12.02 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් චෙඩ්ඩිකුලම පුරා ඇඳිරි නීතිය පැනවීය. එදින උදෑසන 5.30ට හමුදාව චෙඩ්ඩිකුලම් ප්‍රදේශය වැටලූහ. ඒ වන විට ගම්මුන් බොහොමක් නින්දේ උන්හ. ගම්මානයට කඩාවැදුණු හමුදාව පරීක්ෂණ සඳහා කියමින් පිරිමින් 52 දෙනෙකු හමුදා රථවලින් රැගෙන ගියේය. හමුදාවට හසු වීමට පෙර පලාගිය ඇතැම් පිරිමින් කැළයේ සැඟවුණහ. හමුදාව විසින් ග්‍රහණයට ගත් 52 දෙනා රැගෙන ගොස් තිබුණේ යාබද නගරය වන මැදච්චියේ සිංහල ගමකට ය. එහිදී ඔවුන් තියුණු පිහිවලින් කපා කොටා දමන ලද අතර, තවද බර වාහන ඔවුන් මතින් ධාවනය කරමින් යටකොට ද මරා දමන ලද බව වාර්තා විය. මෙය සිංහල ජනපදකරණය ඉලක්කකොට මුලතිවු සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදුකළ සමූල ඝාතනයන්ට අයත් නොවූව ද 1984 වර්ෂයේ දෙසැම්බර් මස සිදු කරන ලද සංහාරයකි. මන්නාරමේ සිවිල් වැසියන් 200 කට අධික පිරිසක් සමූල ඝාතනය කිරීම ද 1984 දෙසැම්බර් මස 4 වන දින සිදු කරන ලදී. නිරායුධ දෙමළ සිවිල් ජනතාව සමූල ඝාතනය කරමින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කළ මෙම සියලු සංහාර, එකම වර්ෂයක – එකම මාසයක – මුල් සති දෙක තුළ පමණක් සිදු කරන ලද යුද අපරාධයන් ය.
Massacres of Tamils 1956 – 2008 කෘතිය ඇසුරින්