හිටපං සයිඩෙකෙන් වාඩිවෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ. එහෙම කාමරවල වාඩිවෙලා ඉඳලා මස්කට් පැණි බූන්දි නැතිවුණත් කිතුල් හකුරු කෑල්ලක් කාලා නැත්තං සීනි අහුරක් කටට දාන් සූප්පුකරලා ඉස් මුදුනට මල වද්දගෙන අපි පුටාර් එක පැද්දේ ඔහු එනවා කියපු නිසා.
රෝස මලකුයි නෙළුම් මලකුයි තමයි ඉස්සෙල්ලම අපිට වීසි කළේ. අපි ඉතිං ඒවා ඇහින්දා ලතාවට දෙඅත් උඩ හුරතල්වෙන නැළවෙන මයික් එක දිහා බලාගෙන. වයර් එක පැටලෙයි කියලා අවධානය පොඩ්ඩක් ඒකට දීලා වයර් එක උඩින් අඩියක් තියලා ආයෙත් මයික් එක පද්දලා නළවලා ගන්නකොට ඉතිං මල් හතයි.
මල්වලට ගල් කවලන් වෙලා ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකෙක පැද්දි පැද්දී ඩාන්ස් ඩාන්ස් මය ලතාවක හැමනිලා අපි රෝස මලකුයි නෙළුම් මලකුයි කනේ ගහගෙන සොමියට රෙඩි වුණා. ගුණේ අයියා එන බව දන්න නිසා. ගුණේ අයියා වේදිකාවෙන් බැසයන්නේ තාන් දීන් තිලක නදින් කොහොඹ කලේ උකුලේ තියන් වේදිකාවට එන කාවඩියට ඉඩදීලා. ඒක තමයි අපි පණු කෑල්ලට නටපු සිංදුව.
රත්නපුරේ අහසයි පොඩි එකාගේ පස්සයි විස්වාස නෑ වගේ මේ සංගීත රාත්රීන් ගොඩක් වෙලාවට මල්වරුසා වැහැලා තව තවත් ලස්සන උනා. මඩ පාට රාත්රීන් එතකොට ඒවා. අපි ඉතිං එහෙම රාත්රීන්වල සීසෑවේ පැළ ඉන්දුවේ මේ කාවඩි සිංදුවේ රහට. ලල් එකට. සිංදුව නතර කරලා සෑහෙන්න වෙලාවක් පිස්සුවෙන් ඩ්රම් එකට තලනකොට අපි ඉතිං අපේ සොමිය එක එකාට අනන්ය ලතාවට සොබාවට ගත්තා. ඒක පිස්සු මොහොතක්..
නිහාල් නෙල්සන් ට අපි කොච්චර බැඳුනද කියනවා නම් මම මගේ ජීවිතේ මුලින්ම ගත්ත කැසට් පටි තුන අතරේ නිහාල්ගේ කැසට් එකක් තියෙනවා. ඊටත් වැඩිය නියම කතාව තමයි රත්නපුරේ අපේ මිත්රයෙක් හිටියා ඌ නිහාල් වගේම ඇක්ෂන් එක දාලා නිහාල්ගේ ඌරුවටම සිංදු කියන්න මාර ට්රයි එකක් දුන්න එකෙක්. අපි ඌටත් නිහාල්ට වගේම ආදරේ කළා. ඌ කොයි හන්දියේ සංගීතෙටද එන්නේ අපි එතනට ගියා. ඒකාලේ රත්නපුරේ සංගීත කණ්ඩායම් හැටහුටහමාරක් තිබුණා. ඇත්තටම රත්නපුරේ මේ සංගීත කතාව වෙනම ලියන්න ඕනී එකක්. අපි නිහාල්ට ලව් කළේ අන්නෙහෙමයි.
අද නිහාල් ගියා කියලා ආරංචි වුණාම මේ මුලු අතීතයම සිනමාවක් වෙලා ඇස් ඉස්සරහට කඩාගෙන වැටුණා. අද උදේ කැටයගෙ ගෙදර ගිහිං එනගමන් ඩන්හිල් එකක් ගහගෙන ත්රීවීලර් එක අස්සට වැදිලා කල්පනා කරකර ආවා. අපේ ජීවිත ලස්සන කරපු මිනිස්සු යන්න පටන් අරගෙන. නුවන් ගුණවර්ධනත් ඒවගේ කෙනෙක්. ලියන්න හිතුවත් බාගයක් ලීවත් ලියා අවසන් කරන්න බැරිවුණා. සුනිල් අයියා කලින්ම ගියා. ආවොත් යන්න ඕනී ඒකේ කතා දෙකක් නෑ. ඒත් අපිව පත්තුකරපු මිනිස්සු යනකොට හද සන්තානයම ගිනිගන්නවා. සුබගමන්.. මස්කට් පැණි බූන්දි වලින් අපිව රස කළාට පිං..!!