ළමයකුගේ ගීත ඇසීමේ වයස අවුරුදු 4ක් නම් මා මගේ පළමු සින්දු ලෙස ඇසු එක ගීතයක් නම් “ලස්සනට පිපුනු වන මල් ගල් පීරන දියවැල්” ගීතයයී. මොරටුවේ රවතාවත්තේ විසූ අපහට නිහාල් නෙල්සන්ගේ මේ ගීතය සමග ඔහු ගැන කැරැට්ටුවක්ද ඇසේ … ” අයියෝ එයා රාවතාවත්තෙ ඔය කඩවල් වල රස්තීයාදු ගහන එක්කෙනෙක්නේ “… යන්නයී
මා මේ කියන කාලය වන විට නිහාල් නෙල්සන් ගායනා දිවියට පිවිස අවුරුදු 12ට ආසන්නය. නිහාල් නෙල්සන් ට එහෙම කියන්න හේතුවු කාරණා අතර ප්රධානතම කාරණය වුයේ ඔහු හා රවතාවත්තේ සල්ගාදු හෝටලය අතර වු සම්බන්ධයයි. නිහාල් බොහෝ මිතුරන් ඇසුරු කලේ රාවතාවත්ත සල්ගාදුවේ ප්ලෙන්ටී බොමින් වීම එයට හේතුවයි. ඔබට ඒ කාලේ ඕනෑම වෙලාවක නිහාල් හමුවීමට අවශ්ය නම් ඔහු රාවතාවත්තේ අයිකොනික් බිල්ඩිම වූ සල්ගාදුවේදී හමුවිය හැකිවිය.
මොරටුව රාවතාවත්තේ පාරවල් නොහොත් පටුමගවල් අතර නිහාල් දන්න කාලයක් පදිංචිව සිටියේ 3 වන පටුමගේය. අප පළමුවන පටුමගේ වු අතර ඒ අතර දෙවන පටුමගක්ද විය. පළමු පටුමග ගාලු පාරෙන් ආරම්භවු අතර එය ඔබ්බේ දෙවන පටුමගද නිහාල්ගේ පාර ඉනුත් තවත් පාරක් ඔබ්බේ විය. පළමු හා දෙවන පටුමගවල් අර්ධ ප්රභු වු අතර 3 වන පටුමග නිර්ප්රභු විය. ඔහු මුලින් ඉගෙන ගත් මරියා පාසල නිර්ප්රභුය. පසුව ඉගෙනගත් මොරටු විද්යාලය මොරටුවේ ප්රභු පාසල් හතර අතරට වැටෙන්නේ නැත.
නිහාල් පාසල් යන සමය මොරටුවේ පාසල් වල ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වු අතර මගේ අම්ම ඔහුට වඩා වසර 3ක් වැඩිමහල්වන අතර ඉංග්රීසි බසින් අධ්යාපනය ලැබුයේ මොරටුවේ ප්රභු පාසල් හතරෙන් එකකට ගිය නිසාය. නිහාල් සිංහල මාධ්යයෙන් අධ්යාපනය ලැබුවෙකි. ධනපාල උඩවත්තට වඩා වැඩිමහලුවන අතර ධනපාලද මොරටු විද්යාලයේය. පුන්සිරි සොයිසා ප්රභු පාසලේ වන අතර නිහාල්ට වඩා බාලය. පුන්සිරි ඉගෙන ගන්න කාලයේද 56 පෙරලිය සිදුවී 196දී පාසල් පවරා ගත්තට පසු ස්වභාෂා වීමෙන් පසුවය. නිහාල් අධ්යාපනය ලබන්නේ සිංහල පාසලක හා 56 පෙරලිය වන විට ඔහුට වයස 13 කී.
නිහාල් ට ඉංග්රීසි භාෂාව හැකිදැයි මම නොදනිමි. එසේම ඔහු ඉංග්රීසියෙන් කතා කරනවා මම අසා නැත. ඔහු නිර්ප්රභු ගායකයෙකි. 1977 වන තෙක්ම මොරටුවේ අර්ධ ප්රභු බලය මත වු අගැයීම් නිසාම නිහාල්ට මොරටුවේ අර්ධ ප්රභූ සමාජයට වැද්දා ගත්තේ නැත. ඔහුගේ ගීත ලස්සන බව මොරටුවේ අය කීහ, ඒත් වොලී බැස්ටියන් හෝ නෙවිල් ප්රනාන්දු හෝ එම් එස් ප්රනාන්දු ගණයට ඔහු සමකලේ නැත, මොරටුවේ petty ප්රභූ මානසිකත්වය නිහාල්ව දමා තිබුණේ පිටකොටුවේ හා මරදානේ ජෝතිපාල හා මිල්ටන් පෙරේරා වැනි නිර්ප්රභූ ගායකයන් ගොන්නටය. සින්දු ලස්සන මුත් ඒවා වැලඳ ගත නොහැක. අපේ පවුල්වල පවා නිහාල්ට සල්ගාදුවේ රස්තියාදු ගහන නිහාල් නෙල්සන් හැටියට මිස ලස්සන සින්දු කියන නිහාල් නෙල්සන් නොවීය. නිහාල්ගේ සින්දුවල සංයමයක් වු බව මගේ මතයයි. මා සංයමයක් කීයේ හැමදේටම බයිලාවක් කියු ධනපාල උඩවත්ත හෝ ඇන්ටන් ජෝන්ස් ගණයට ඔහු නොවැටි සිටි නිසාය.
අසූ හයේ මා පළමු රස්සාව හැටියට කලේ කොටුව මල්වත්ත පාරේ කැසට් තොග කඩවල කැසට් විකිණීමය. නිහාල් ඒ වනවිට කැසට් 80 ක් පමණ නිකුත්කර තිබිණි. ඔහුගේ කැසට්වලට මහා ඉල්ලුමක් විය. එය ජෝතී හා මිල්ටන්ලා දෙදෙනාට නොදෙවෙනි වූයේ නැත.
ගුණෙ අයියගේ කාමරේ සිංදුව මා අහන්නේ මට අවුරුදු 11 දීය. එහි ඉන්නේ සල්ගාදුවේ රස්තියාදු ගැසූ නිහාල්මය, අපේ ගෙවල්වල කීවේ එසේය. එහෙත් ආසවෙන් ඒ සිංදුව සිනහවෙමින් ඇසිය, මුවින් නොබැන එය විඳි අතර යටින් එයට හිනා මුහුණු ඉමොජීයක් දාන්නට ඇත. ඒත් එලිපිට නිහාල් ගායකයකු බව පිලිගැන්නීමට කැමති නොවීය. මොරටු ඉතිහාසයක් ඇති රුක්මණීට වඩා පිලිගැනීමක් වීය. වඩා ප්රභූ මොරටුකාරයා වුයේ සී ටී ප්රනාන්දුය.
එක්දහස් නවසිය හැත්තෑඅටේදී නිහාල් සියලු බැමි පුපුරුවා හැරියේ ගුණෙ අයියගේ කාමරයෙනි. හැත්තෑ හතේ වු පෙරළිය හා දේශපාලනික නව දිශානතිය නිසා සහ සමාජ පිපිරීම නිහාල් මැනැවින් අල්ලා ගත්තා පමණක් නොව නිහාල් නව සල්ලිකාර මිනිසුන්ගේ හා නිර්ප්රභුවරුන්ගේ වීරයා විය. ඩුබයි ගොස් අරාබී සලලිවලින් කැසට් ගෙන ආ දුප්පතුන්ගේ රසවින්දනය තීරණය කරන්නාවු සාධකයක් විය. හේමසිරි හල්පිට වැන්නවුන්ගේ රචනා මත ගීත වැස්සවු නිහාල් නැතිවම බැරි මිනිසකුවු අතර ජාතිකවාදී පිලිගැනීමට ලක්වුයේ කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙනි ඈගේ සින්දුව ලාංකීය ජාතිකවාදී ව්යපාරයන්ට මුල් පදනම සැදු ගවමස් විරෝධී ව්යාපාරයක් නිර්මාණය කල අතර ඔහුගේ සිංදුව නිසා අපමණ මිනිසුන් කොටසක් හරක් මස් කැමෙන් වැලකිනි. මොරටුවේ හරක්මස් කඩ විසිපහක්, තුන දක්වා පහල වැටිනි. නිහාල්ව මැනැවින් ග්රහණයකලේ ප්රේමදාසය.
“විනී ඇවීල්ලා” සිංදුව ලුම්පන්ට් යැයි කියන සමාජය ඔහු සමග වු ඇයි හොඳැයිය මොරටු කාරයන්ට තේරුම් කර දීමක් වීය. රාවතාවත්තේ ඩබ් ජේ ඒස් බිල්ඩිමේ පඩිපෙල මත බිම වාඩි වී යාලුවන් සමග රස්තියාදු ගහන නිහාල් මා අපමණ දැක ඇත. ඒ කිසිවක් නිසා ඔහුගේ ජනප්රියතවය අඩු නොවීය. අඩු වුයේ මොරටුවේ අර්ධ ප්රභුන් පමණි. නව සමාජ පංතිය ඔහුව තදිනඅ ග්රහණය කරගත් අතර සී ටී ව ඇත් හැරීයේය. මොරටු සංගීත වින්දනය වෙනස්විය . නිහාල් මරණය තෙක්ම ජනප්රිය සංස්කෘතීයේ පතාකයකු වීය.
ඩප්පී 77 ට පෙර නොවීය, ගුණෙ අයියලාද 77 පෙර සිටියේ කොන්ට්රොල් වීලාය. මස්කට් සිරිමාගේ කාලයේ නොවීය, බුන්දී තිබුණේ ඉතා අඩුවෙනි. නලුමන්ට්ලා නිලිමන්ට්ලා බජාර් ගැසුයේ විජයේ පන්නයේ මිස ගුණේ අයියගේ කාමරයේ නොවේ, ගුණෙ අයියගේ කාමරයට නලුමන්ට්ලා පැමිණෙන්නේ ගේම් වලටය, ඒ 77 සංස්කෘතීය නිසාය.
හැත්තෑ හතට පෙර ෆොරින් කකුල් ගුණේ අයියගේ කාමරයට ආවා තියා ඩොලර් තිබුණේද නැත. සැබැව නම් නිහාල් මේ සංස්කෘතීය නියෝජනය කල එයට ආදරය කල ඒ හා ඒකාමිකවු එහෙත් විනාශ නොවු මිනිසෙකි, කිසිදු දිනයක රාවතාවත්තේ කිසිම අයකු නිහාල් ජඩයකු හෝ වලත්තයකු හෝ ගේම් කාරයකු කියනවා මා අසා නැත. අව්යාජ මිනිසකු ලෙස පමණක් මොරටුවේ හා රවතාවත්තේ මිනිසුන් ඔහුව දැන සීටීයේය.