විදෙස්

සිංහල ඩයස්පෝරාව, “පංසල” හා කිංස්බරි විහාරය

[විහාරාධිපති ගලයායේ පියදස්සි අභාවය වෙනුවෙනි]

ලාංකික ඩයස්පොරාවක් බිහිවෙන්නේ ලංකාවේ වාර්ගික කෝලාහල ආරම්භවීමත් සමඟයි. පසුගිය සියවසේ ආරම්භයේ පටන්ම වාර්ගික කෝලාහල තිබුණත් [1915 සිංහල – මරක්කල ගැටුම] 1958 සිංහල – දෙමළ කොලාහලයෙන් තමයි ලාංකික ඩයස්පෝරාවේ නිල ආරම්භය. මෙතනදී ඩයස්පෝරාව හැටියට අප ගන්නේ විදේශයකට සංක්රමනය වී ලාංකික මනසකින් ජිවත්වෙන ජන කණ්ඩායම් පමණයි. 1958 සිට ලාංකික ඩයස්පෝරාවට ඇතුලත් වුණේ යාපනයේ හා කොළඹ සිටි දෙමළ ප්රභූ පංතියෙන් විදේශගත වූ උදවිය. 70 දශකයේ අවසානයේ ‘ඊළාම් යුද්ධය’ට මුල පිරීමත් සමඟ නව ලාංකික දෙමළ ඩයස්පෝරාවක් ඉතිහාසයේ හමුවෙනව.
සිංහල ඩයස්පෝරවක් එන්නේ මැදපෙරදිග හා ඉතාලි රැකියා ඇතිවීමෙන්. ජවිපේ දෙවැනි නැඟිටීමත් එක්ක දිවි ගලවාගත් කුඩා කණ්ඩායම් සිංහල ඩයස්පෝරාවක් හැටියට ලෝකයේ හැම තැනකින්ම මතු වුණා. ප්රභූ නොවන සිංහල – දෙමළ ඩයස්පෝරාවේ පළමු පරම්පරාවට මේ රටවල දී එම සංස්කෘතීන්ට අනුගතවීමට හෝ අනුවර්තනය විමට නොහැකි වුණා. ඊට ප්රධාන හේතුව ඔවුන්ගේ හදබස සිංහල හෝ දෙමළ වීම. දෙවැන්න සංස්කෘතික හුරුව හා ආගම. මෙතන දී ලාංකික ඩයස්පොරාවේ කතාව බ්රිතාන්යයට හා සිංහලයන්ට මාරුකරන්න වෙනව. හේතුව මේ කෙටි සටහනේ අරමුණ ඉටු කළ යුතු නිසා.
යුරෝපයේ මුළ්ම බෞද්ධ විහාරය අනගාරික ධර්මපාලගේ නිර්මාණයක්. ඒ තමා ලංඩන් බෞද්ධ විහාරය [ දැන් චිසික් නගරයේ තියෙන්නේ]. එහි අයිතිය හා පාලනය ලංකා මහාබෝධි සමාගමට. මහා බෝධිය සිංහල බෞද්ධ නාගරික ප්රභූන්ගේ අයිතියක් හා උරුමයක්. මෙයට සිංහල බෞද්ධ දිළින්දන් වද්දා ගත්තේ මහණුන් හැටියට පමණයි. ඔවුන්ගේ භාෂාව ‘බෞද්ධ ඉංග්රිසිය’.[අනගාරික ධර්මපාල පවා ලීවේ ඉංග්රිසියෙන්. එයා සිංහලෙන් කතා කරද්දී ගෙදර මෙහෙකරුවන්ට කතා කරපු බස යොදා ගත්ත.]ඉතින් ලන්ඩන් බෞද්ධ විහාරයේත් මේ ලක්ෂණ අඩුවැඩි වශයෙන් තිබුණ. එහි යැවුනේ ඉංග්රිසියෙන් බණ කියන්න දන්න භික්ෂුන් පමණයි. එතනට බ්රිතාන්ය බෞද්ධයෝත් එන නිසා එසේ විය යුතුයි. එහෙත් එහි වැඩවාසය කල භික්ෂූන් ලංකාවෙදී වගේම පංතිය අනුවයි දායකයන්ට සැලකුවේ. රස්සාව, පදින වාහනය, හැඩරුව අනුව පංසලේ “බුදු හිනාව” වෙනස් වුණා.
සිංහලයන්, දේශපාලන සරණාගතයන් හැටියට බ්රිතන්යයට එන්න පටන් ගන්නේ 80 දශකයේ මැද භාගයේ. මේ පිරිස අතරට මැදපෙරදිගින් එන ස්ත්රීනුත් එකතු වෙනව[ ඒක වෙනම කතාවක්] යුරෝපයේ සිටි ඇතැම් සිංහල සරණාගතයෝ දරුවන්ට ඉගැන්වීම වෙනුවෙන් බ්රිතාන්යයට මාරු වෙනව. මෙන්න මේ පිරිසට ‘සිංහල පංසලක්’ ඕන වෙනව. මේ අඩුව පිරිමහන්නේ අපේ කතා නායකය ගලයායේ පියදස්සි…! එතන දී සම්ප්රදායික සිංහල පංසල සංස්කෘතික මධ්යස්ථානයක් වෙනව. සිංහල අවුරුදු උත්සව වාර්ෂිකව පවත්වන, පුරුදු කෑම උයන පිහන වගේම රැස් කෙරෙන තැනක් මේ නොස්ටල්ජිවෙන් ඉන්න සරණාගතයන්ට ලැබෙනව. විහාරාධිපති පියදස්සි, මෙය දැනුවත්ව කළත් නොකලත් කිංස්බරි විහාරයේ අනාගත සිංහල පංසලට ඔහු නවින මොඩලයක් හැදුව අර වැඩවසම් ප්රභූවාදී බරවය කපල දාලා.
පියදස්සීට මේ උරුමය එන්නේ ඔහුගේ ගුරුවරයා වූ ආචාර්ය හම්මලව සද්ධාතිස්ස ගෙන්. ආචාර්ය හම්මලව සද්ධාතිස්ස, මහබෝධිය හරහා උතුරු ඉංදියාවට ගිය භික්ෂුවක්. මහාබෝධියට සුපුරුදු දකුණෙ සියම් නිකායෙන් නෙවෙයි වයඹ සියම් නිකායේ පැවිදි වූ කෙනෙක්. බරනැස හින්දු සරසවියෙන් හා එඩින්බරෝ විශ්ව විද්යාලයෙන් උපාධිගත් බුද්ධිමතෙක්. ඒ යුගයේ සිටි දියුණුම බෞද්ධ භික්ෂුව. ඉංදිය ‘නවයාන’ බෞද්ධයන්ගේ අධ්යාත්මික නායකයා වූ ආචාර්ය බබාසහීබ් අම්බෙට්කාර්ගේ බෞද්ධ උපදේශකය. 1956 අම්බෙට්කාර් දසලක්ෂයක් දලිත් හින්දුන් සමඟ එකවර බුදුදහම වැලඳ ගනිද්දී ඔහුගේ දකුණු පසින් ඉන්නේ [පිංතූරවල පවා] අචාර්ය හම්මලව සද්ධාතිස්ස.
කැලණිය සරසවියේ උගත් ගලයායේ පියදස්සි ලන්ඩනයට යන්නේ ගුරුවරයාගේ අඩි පාරේ. එහෙත් කෙටි කලකින් මහාබෝධිය රෝගී සද්ධාතිස්ස හා ගෝල පියදස්සී ලන්ඩන් බෞද්ධ විහාරයෙන් පන්නනව. මේ පන්නීම හරහා ලැබෙන කටුක ජිවිතෙන් වෙන්න ඕන පියදස්සී ‘ නවීන සිංහල පංසල’ ඉදිකරන්නේ. ඒක අපුරු මොඩලයක්. පංතිය අනුව දායකයො බෙදන්නේ නෑ. බඩගින්නේ එන හැම කෙනෙකුටම ලංකාවේ ක්රමයට කෑම තියෙනව. උපකාර කරනව. බටහිර බේත් විස්වාස නොකරන උදවියට දේවාලයකුත් හැදුව. අමතරෙට උත්සව. මේ නිසා සිංහල ඩයස්පෝරාවේ නිල පංසල කිස්බරි බෞද්ධ විහාරය බවට පත් වුණා. එහි මොඩලයන් යුරෝපය පුරා පැතිරුණා. මෙතනට එන බතිමතුනුත් ප්රභූ මැද පංතිකයන් නුනත් ඔවුන් විහාරයක ‘විස්කි හා ස්ත්රීන්’ භාවිතය ගැන කවදාවත්ම හෙව්වේ නෑ. අපි හිතන්නේ අනාගත සිංහල බෞද්ධයන්ගේ පැවැත්මේ මොඩලය තියෙන්නේ කිංස්බරි විහාරයේ බවයි. මේ සේවාව පිළිගෙන බ්රිතාන්ය රැජිණ විහාරාධිපති පියදස්ස්සීට ඕබීඊ නම්බුනාමයක් දුන්න. මම හිතන්නේ බ්රිතාන්යයේ දී මේ නම්බුව ලැබූ මුල්ම භික්ෂුව පියදස්සී.
[මේ අපුරු නිර්මාණයේ හිමිකරුගේ අවසන් කටයුතු ලබන 31 වෙනිදා සිදු වෙනව. කිංස්බරි විහාරයෙන් අප වැළදූ බත්වල ණය ගෙවෙන්නයි මේක ලීවේ.]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *