පෙරේදා (21) චිත්රපටි සංස්ථාවේ තිබුණු ‘ධර්මසිරි’ උපහාර උත්සවයේ දී කරපු අදහස් දැක්වීමෙදි ජයදේව උයන්ගොඩ සහෝදරයා කියනව ‘හංස විලක්’ වැනි චිත්රපටියක් ගැන ලංකාවෙ අලුත් කියවීම් ඔහු දැකල නැහැ කියල. ‘හංස විලක්’ ආපු කාලෙ ඒ සම්බන්දයෙන් සිනමා විචාරයේ බහුතර ස්ථාවරය වුනේ ඒ චිත්රපටිය අසාර්ථක වෑයමක් විදියට නිශේධනාත්මකව බැහැර කිරීම.’ධනවාදයට ආවඩන’-‘ආකෘති හරඹයක්’ වගේ පොදු නිශේධනීය හදුනාගැනීම් තමයි ඒ යුගයේ බලවත් විචාරක මතය වුනේ.
ඒ කාලෙ ‘පාර්ට් ටයිම් විචාරකයෙකු’ විදියට තමනුත් ඒ බහුතර විචාරක අදහස නියෝජනය කිරීම ගැන උයන්ගොඩ අද ලැජ්ජාවට පත් වෙන බවත් පෙරේදා කතාවෙදි කිව්ව.’හංස විලක්’ දිහා අමුතුවෙන් බලන්න උයන්ගොඩට අමුතුවෙන් හිතිල තියෙන්නෙ ‘ධර්මසිරි’ උපහාර වැඩසටහන වෙනුවෙන් දශක ගණනාවකට පස්සෙ ආයෙත් චිත්රපටිය බලන්න ලැබුණු නිසාලු.
උයන්ගොඩගෙ අවුල තියෙන්නෙ සිය අතීත විචාරක පරපුර හා එහි තමන්ගේ සීමිත බව ගැන ස්වයං විවේචනයක් කිරීම තුළ නෙවෙයි. ‘හංස විලක්’ වැනි චිත්රපටි ගැන අලුත් කියවීම් ඔහු දැකල නැහැ කියන ප්රකාශයෙයි. එපමණක් නොවෙයි-හදගම,ප්රසන්න හා විමුක්ති වැනි සිනමාවන්ටත් (එවැනි විචාර සිදු වී නැති බවක් ගම්ය වන පරිදි) ‘අලුත්’ විචාර කියවීම් කළ යුතුයි කියල ඔහු යෝජනා කරනවා. මේ අදහස උයන්ගොඩ ගේ කුහක කමක් විදියට හදුනා ගන්න මම සූදානම් නැහැ.එහෙත් දේශපාලන විද්යාව හා නිර්ප්රභූ සමාජ-දේශපාලන ප්රකාශනයන් සම්බන්දයෙන් ලංකාවෙ ඉන්න ප්රමුඛතම බුද්ධිමතෙකු විදියට ඔහුගේ සමීක්ෂණ-පර්යේෂණ ඥානයේ යම් සීමාවක් මින් සලකුණු වෙන බව නම් කිව යුතුයි. ඔහුගේ වයස හෝ ඉන් තීරණය වන මතක ධාරිතාවය වගේ සාධක වලට උයන්ගොඩගේ මේ අනවධානය ඌනනය කරන්නත් බැරි ඔහු මෑත ප්රජාතන්ත්රවාදී දේශපාලන පරිකල්පනය පුළුල් කිරීම වෙනුවෙන් ලියන රචනා වල සමකාලීන සියුම් දේශපාලන බෙදුම් රේඛා සලකුණු කිරීම හා යම් යම් අන්තර්දෘෂ්ටීන් පළ කිරීම සම්බන්දයෙන් උසස් පරිචයක් දක්වන බවක් මට වැටහෙන නිසයි.
හදගම,ප්රසන්න හා විමුක්ති වර්ගයේ මෑත අතීත සිනමා වියමන් පමණක් නොවෙයි හංස විලක්,තුන්වෙනි යාමය,නිධානය වැනි අසහාය මුද්රා තැබූ සැලකිය යුතු චිත්රපටි ප්රමාණයක් ගැන ලංකාවේ නව න්යායික කියවීම් මෑත කාලය තුළ සිදුවෙලා තියෙනව.අපේ පරපුරේ සිනමා විචාරක මැදිහත්වීම් එදාට සාපේක්ෂව ප්රමාණයෙන් හා මාධ්ය බලයෙන් සීමාසහිත වුනත් නව විවේචක-විචාර සම්ප්රදායන් හරහා එදාට වඩා ගුණාත්මක රැඩිකල් පිම්මක් සලකුණු කර ඇති බව කිව යුතුයි. ඊට ඊනියා ශාස්ත්රාලීය අනුමැතිය නොමැති වුනත්, මෙවැනි දේවල් අපටම කියන්නට වීම පුද්ගලිකව අපුලක් වුනත් අපගේ වැඩිහිටි ප්රාමාණිකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අවශ්යම තැනදි වත් ඒවා සලකුණු නොකිරීම ගැන හැමවිටම අමතක කර ඉන්නත් බැහැ. මගේ මේ විවේචනය මම එදා මූලික සැමරුම් උත්සවය අවසන් වීමෙන් පසු හා ‘තුන්වෙනි යාමය’ සිනමා ප්රදර්ශනයෙන් පසු ඔහු මුණගැසුණු අවස්ථාවලදි මතු කළා. ඔහු සිය සීමාව ගැන සංවේදී අවධානයක් දෙමින් මගෙන් විමසා සිටියේ එවැනි නව සිනමා කියවීම් මතු වූයේ කොයිබින්ද ? කෙලෙසින්ද ? යන්නයි.මගේ පිළිතුර වූයේ මනෝ විශ්ලේෂණය,විසංයෝජනය,පසු මාක්ස්වාදී න්යායන් ,කතිකා විශ්ලේෂණය හා සංඥාර්ථවේදය වැනි මෑත කාලය තුළ සිදු වූ නව න්යායික-චින්තනමය පෙරළීන්ගේ ආභාසය මතින් එකී විචාරක කියවීම් නිෂ්පාදනය වූ බවයි.තුන්වැනි යාමය වැනි චිත්රපටියක් එවැනි චින්තනමය රාමු වලින් තොරව කියවා ගත නොහැකි වන බවත් උයන්ගොඩ මට දැක්වූ ප්රතිචාරය වුනා.එම කලාපය ගැන තමන් නොදැන සිටීම ගැන ඔහු දැක්වූ විමතිය මට මුළුමනින්ම විමතියක් වුනේ නැහැ.
ලංකාවේ ඊනියා ශාස්ත්රාලීය ආයතනික බලය විසින් ශාස්ත්රාලයෙන් පිටත වන නව දැනුම් නිෂ්පාදනයන් පිටමං කිරීමේ ඓතිහාසික සම්ප්රදාය ධර්මසිරිගේ සිනමා දිනය විසින් යළි සිහිපත් කරලීම මට නම් වැදගත් සිදුවීමක්.’හංස විලක්’ චිත්රපටිය ගැන මා දුටු ඉහළම විචාරය ලියල තියෙන්නෙ දීප්ති කුමාර ගුණරත්න විසින්..ඒ පැරණි ලන්ඩන් සගරාවක..උයන්ගොඩ ඒ බවක් දැන සිටියේ නැහැ. විශේෂයෙන්ම ස්ලැවෝයි ශිශෙක් ගේ The Fright of Real Tears වියමනේ මුල් පරිච්චේද වල අභාසය හා ශිශෙක් විසින්ම ලිපි එකතුවක් ලෙස සංස්කරණය කළ Everything you always wanted to know about Lacan but were afraid to ask Hitchcock යන වියමනේ නම යළි මාතෘකාගත කරමින් (‘සම්පූර්ණ වශයෙන් හැමවිටම ඊඩිපස් ගැන ඔබට දැනගැනීමට ඇති සියල්ල ඇයි ධර්මසිරිගෙන් අහන්න බියවී සිටින්නේ’) තත්කාලීන දෘෂ්ටිවාදී දේශපාලනය පිළිබද නිර්මාණශීලී විචාරාත්මක ගොඩනැංවීමක් කරන්න දීප්ති එහිදී උත්සාහ දරා තිබුණා..ඒ හැරුණු විට විවේචක-විචාරයේ ආලෝකයෙන් මෙවැනි අතීත සිනමා වියමන්.
මතු නොව මෑත සිනමා නිර්මාණයනුත් යළි කියවීම් වලට ලක් කිරීමේ ප්රයත්නයන් බොහොමයක් අප සමහරෙකු විසින් දේශන,ලිපි හා අන්තර් ජාල වීඩියෝ ලෙස ඉදිරිපත් කර තියෙනවා. අවශ්ය පරිදි ග්රන්ථ ලෙස පළ නොකිරීම යන අපගේ සීමාවන් මැද වුනත් පරීක්ෂණයේ අවශ්යතාවයක් තිබේනම් එවැනි කියවීම් ගැන දළ වැටහීමක් ගැනීම අපහසු නැහැ.
අවසාන වශයෙන් කිවයුත්තේ උයන්ගොඩ තමන්ගේ කතාව තුළ ධර්මසිරිගේ සිනමාව ‘පශ්චාත් බූෂුවා (ධනවාදී?)සිනමාවක්’ලෙස හැදින්වීම නිකං අහසේ පා වෙලා ගිය වචන පෙළක් වුණා මිසක් ඊට අවශ්ය සංවාදශීලී විචාරයක් මතු කෙරුණේ නැහැ.ධර්මසිරිගේ සිනමාව ගැන මෑත සිදු වූ විචාරක කියවීම් ගැන උයන්ගොඩ නොදැන සිටීමත්,අවශ්ය තරමේ ප්රාමාණික පැහැදිළි කිරීමක් කරනු වෙනුවට ඉක්මනට අවසන් කිරීමට තිබූ හදිසියත් විසින් ඒ අවස්ථාව මග හැරී ගියා.ධර්මසිරි ගේ සිනමාව උයන්ගොඩ කියන ආකාරයේ ‘පශ්චාත් බූෂුවා සිනමාවක් ද ?’ නැතහොත් 70 දශකයේ අගභාගයෙන් පසු සිදු වූ නව බූෂුවා සමාජ පරිවර්තනයක ලුබ්ධිමය ආර්ථික පරාමිතීන් හදුන්වා දෙන සිනමාවක්ද ? එදා ධර්මසිරි උපහාර උළෙලේ මා දුටු ආවේණික දුර්වලතා රැසක් නිසා ධර්මසිරි වෙත සැබෑ ගෞරවයක් පළ හැකි එවැනි තීරණාත්මක සංවාදයකට ඉඩක් තිබුණේ නැත. ඒ වැඩසටහන ගැන පසුවට අදහසක් දැක්වීමට අපේක්ෂා කරමි.