සාමාන්‍ය

කුඩෙත් අරන් අවුරුදු 42ක් බස්එකේ ගිය මහාචාර්යතුමා

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

අපි කඩවත බණ්ඩාරවත්තෙන් හැරී බණ්ඩාරවත්ත පාර දිගේ “ගුරු නිවසට” යනවිටත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිටියේ පොත්පත් ගොන්නක් සහ ශාස්ත්‍රීය නිබන්ධන පිරිවරාගෙනය. ඔහුගේ නිවසේ සාලයේත් කාමරවලත් පොත්පත්ය. එපමණක් නොවේ. නිවසට යාබදව පොතපත සඳහා “පොත් ගෙයක්ද” ඔහු ඉදි කළේ බොහෝ කලකට පෙරය. මහාචාර්යවරයා තම මතකය අවදි කළේ මෙසේය. “ඉතාම ප්‍රීතිමත් කුඩා කාලයක් මට තිබුණා. අපිට එච්චර වත්පොහොසත්කම් තිබුණේ නැතත් අපි ජීවත් වුණේ සතුටින්. අපේ පවුලේ දරුවෝ තුන්දෙනයි. මල්ලි පසුකලෙක රියඅනතුරකින් මිය ගියා. තාත්තාට පුංචි කඩයක් තිබුණා. ඒ කඩෙන් තමයි අපි ජීවත් වුණේ. ගෙදර කවුරුත් කඩේ වැඩවලට හවුල් වෙනවා. මම තිරික්කලයක මාතර ටවුමට ගිහින් කඩේට එළවළු එහෙම ගේනවා. ඒ කාලේ මාතර ටවුමට ජලනළ පහසුකම් තිබුණේ නැහැ. මම උදේට කඩේ ඇරලා අතුගාලා සූදානම් කරලා තියනවා. මෙහෙම කඩේ වැඩ කරනවාට සුමානයකට රුපියලක් තාත්තාගෙන් ලැබුණා” මහාචාර්යවරයා තම බාල වියේ මතකය අවදි කළේය. ඔහුගේ ගම මාතරයි. මාතර නගරට යාබද කොටුවේගොඩට නුදුරු පල්ලිමුල්ලයි. මහාචාර්යවරයා එකල තමාට ලැබුණු රුපියලෙන් ශත පනහක් වැය කළේ චිත්‍රපටයක් නැරඹීමටය. ඉතිරි ශත පනහ ඉංග්‍රීසි නවකතා පොතක් ගැනීමට වැය කළේය.

සුමාෙන පඩිය රුපියලයි

“අපේ තාත්තත් චිත්‍රපටි ලෝලියෙක්. ඒ හින්දා පුංචි අපි චිත්‍රපටි නැරඹුවාට තාත්තාගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. අම්ම නම් එච්චර කැමති වුණේ නැහැ.

පාසලෙන් සරසවි ගිය මුල්ම සිසුවා

මාතර රෝහණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චන්ද්‍රසිරි එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට සමත් වූ පළමු ශිෂ්‍යයා ලෙස වාර්තාවක් ද තැබුවේය. “මුලින්ම මේ පාසල තිබුණේ පල්ලිමුල්ලෙමයි. ඒක පසුකලෙක වැල්ලමඩමට අරගෙන ගියා. අපි ඉගෙන ගත් කාලේ හිටපු ප්‍රින්සිපල් කෙනෙක් තමයි මහාචාර්ය ඇම්.බී. ආරියපාල.

චිත්‍රපටි පිස්සෙක්

චන්ද්‍රසිරි ශිෂ්‍ය අවදියේ පැවති චිත්‍රපට පිස්සුව තවමත් හොඳවී නැත. ඔහු සරසවියට ගියේ ද සිනමාවට දැඩි සේ කැමැත්ත දක්වමිනි. ඔහු හින්දි චිත්‍රපටවලට කොතරම් කැමැත්ත දැක්වූයේ ද යත් පසුව උපාධිය සඳහා හින්දි ඉගෙන ගැනීමට ද යොමු විය.

හින්දිවලින් අලුත් අැසක්

“කැලණිය විශ්වවිද්‍යාලෙට ඇවිත් (ඒ කාලේ විද්‍යාලංකාර) මම ඉගෙන ගත්තේ හින්දි, පාලි හා සිංහලයි. විද්‍යාලංකාරෙටම එන්න හේතු වුණේ හින්දි ඉගැන්නුවේ කැලණියේ විතරක් හින්දයි. ඒ කාලේ විශ්වවිද්‍යාලෙ තිබුණේ දැන් තිබෙන තැන නෙවෙයි. දැන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන තිබෙන තැනයි. අපි ආවේ 1961 දී. විශ්වවිද්‍යාලෙ පටන් අරන් තුන්වැනි කණ්ඩායම අපි.

එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කීර්තිමත් බහුශ්‍රැත පඬිවරුන්ගේ ක්ෂේමභූමියක් විය. ඉතිහාසය ඉගැන්නුවේ මහාචාර්ය හේමචන්ද්‍ර රායිය. සංස්කෘත මහාචාර්යවරයා වුණේ ශාන්ත විෂ්ණු ශාස්ත්‍රීය. දර්ශනය මහාචාර්ය මහා පණ්ඬිත් රාහුල්, හින්දි මහාචාර්ය භදන්ත ආනන්ද කෞශල්‍යායනයි. ඉන්දියානු ශාස්ත්‍රීය සම්ප්‍රසාය අනුව මේ ගුරුවරු ඉගැන්වූහ.

කෝච්චි යනවිට දේශන නවත්වයි

දේශනශාලා තිබුණේ කෝච්චි පාරට සමාන්තරවයි. පැයකට කෝච්චි 7 – 8ක් යනවා. ඒ හැමවෙලාවෙම දේශනය විනාඩි 5කට නවත්වනවා. වැඩිපුර හිටියේ ශිෂ්‍ය හාමුදුරුවරු. ඒ වගේම අධ්‍යයන නිවාඩු ලබලා ආපු ගුරුවරුත් ඉගෙන ගත්තා. ගෑනු ළමයි හිටියේ නැහැ. විද්‍යාලංකාරෙන් ඒ කාලෙ සඟරා ගොඩාක් පිටවුණා. ආර්ථිකවිද්‍යාව, ඉතිහාසය, භූගෝලය වගේ විෂයන්වලට. අපි ඒවාට නිතර ලිපි ලිව්වා. ගුරුවරු සමඟ ශිෂ්‍යයන් සම්බන්ධයි. ඒ කාලේ ඉගෙන ගත් ගුරු ශිෂ්‍යයන්ට පඩි ලැබුණුදාට අපිට වාසියි මහාචාර්යවරයා අතීතය ස්මරණය කළේය. මහාචාර්යවරයා අතීතය ස්මරණය කළේය.

ඒ කාලේ එක් ගුරු ශිෂ්‍යයෙක් සිටියේ කොණ්ඩය බැඳ ජාතික ඇඳුමෙන් සැරසිලාය. ඔහුට රැග්කිරීමට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ පොර කෑහ. ප්‍රධාන ඉල්ලීම වුණේ මේ ශිෂ්‍යයාගේ කොණ්ඩය කැපීමයි. “අනේ උඹලා මගේ කොණ්ඩෙ කැපුවොත් මම කෝච්චියට පැනලා මැරෙනවා. ඔහු කෑ ගැසුවේය. පසුව විමසා බලනවිට ඔහු දේවාලයක බස්නායක නිලමේවරයෙකි. කොණ්ඩය නැතිවීම ඔහුගේ බස්නායක නිලමේ තනතුරට ද තට්ටු වන වැඩකි.

චන්ද්‍රසිරි පල්ලියගුරු විශ්වවිද්‍යාල සමයේ පෙම්හිත තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේය. ඒ නිසා ඔහු විද්‍යාලංකාරය අවට ගෑනු පරාණ දෙස විමසිල්ලෙන් බැලුවේ නැත. “අපේ ගෙවල් ළඟ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. එයා පේරාදෙණියට තේරුණා. මම විද්‍යාලංකාරෙට ආවා. ඒක දුරදිග ගොස් විවාහ වුණා.”

රැග් කරපු අයට තාත්තාගෙන් තේ

මහාචාර්යවරයාට අවශ්‍යව තිබුණේ හින්දි විෂය ගෞරව උපාධියක් සේ හැදෑරීමටයි. නමුත් එකල විශ්වවිද්‍යාලයේ ඒ සඳහා විෂය නිර්දේශ සකසා තිබුණේ නැත. අනෙක් සිසුන්ගේද ගුරුවරුන්ගේ ද උපදෙස් මත ඔහු සිංහල ගෞරව උපාධියට ලියාපදිංචි වී හින්දි අනුවිෂය වශයෙන් තෝරා ගත්තේය. අද විශ්වවිද්‍යාල නවකවදය ගැන නිතර අසන්නට ලැබේ. එදා නවකවදය කෙසේදැයි මහාචාර්යවරයා කීවේ මෙලෙසය. මම විශ්වවිද්‍යාලයට මුල්ම දිනයේ ආවේ තාත්තත් එක්ක. අපි කැන්ටින් එකේ හිටියේ. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයො ඇවිත් විස්තර ඇහුවා. මට සින්දුවක් කියන්න කිව්වා. පැත්තක තාත්තත් ඉන්නවා. ඊට පස්සේ තාත්තාගෙන්ම තේ බීලා ඒ ශිෂ්‍යයො යාළුවෝ බවට පත්වුණා.

පල්ලියගුරු පරම්පරාවේ වැඩිදෙනෙක් ගුරුවරුය. මේ නිසා ඔහුට අවශ්‍ය වූයේත් ගුරුවරයෙක් වීමටය. නමුත් ඉහළම ලකුණු ලබාගෙන විභාග සමත් වීම නිසා ඔහු සරසවියේ ආචාර්ය මණ්ඩලයට බඳවා ගත්තේය.

ඉගෙන ගත්තේ බිම ඉඳගෙන

“මම හින්දි ඉගෙන ගැනීම ඇත්තටම තවත් ඇසක් ලැබුණා වගේ වුණා. අලුත් ලෝකයක් විවෘත වුණා. අපට උගන්වපු ආනන්ද කෞශල්‍යායන පන්ජාබ් ජාතිකයෙක්. හින්දි භාෂාව ගැන විශිෂ්ට පඬිවරයෙක්. මට ඉගෙන ගන්න වුණේ පැදුරක් එලාගෙන බිම වාඩිවෙලා. මම බැලුවා විශ්වවිද්‍යාලෙ ඇවිත් බිම වාඩිවෙලා ඉගෙන ගත්තේ ඇයි කියලා. ගුරුතුමාත් පැදුරක් එලාගෙන බිම වාඩි වුණා”

තරුණ චන්ද්‍රසිරි පල්ලියගුරු කථිකාචාර්යවරයා ශිෂ්‍යයන් අතර ජනප්‍රිය චරිතයක් වූයේය. ඔහු විෂය කරුණු පමණක් නොව බාහිර ලෝකය, චිත්‍රපට රසවින්දනය වැනි දේවල් ද ශිෂ්‍යයන්ට කියා දුන්නේය. ඔහුගේ සරල පැවැත්ම සමහර ශිෂ්‍යයෝ ආදර්ශයට ගත්හ. මේ අතර 1970 දශකයේ ඔහු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක තනතුරට පත් කෙරිණි.

“මේ කාලේ තිබුණේ සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව. නවක ශිෂ්‍ය පිරිසට ජ්‍යෙෂ්ඨ ළමයි රැග් කරලා ප්‍රශ්නයක් වුණා. මේ ප්‍රශ්නය හොයන්න කොමිසමකුත් පත් කළා. කොමිසමේදී මණ්ඩාපාධිපති මහාචාර්ය එම්.පී. පෙරේරා, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය කරුණාරත්න හා මටත් දඬුවම් කළා. අපි ශිෂ්‍ය උපදේශක තනතුරින් ඉවත් කළා. පුවත්පත්වල, ගුවන්විදුලියේ මේ ප්‍රවෘත්තිය ලොකුවට ගියා. අපේ තාත්තා මම ලොකු අමාරුවක වැටිලා කියලා හිතලා ගමේ ඉදන් දුවගෙන ආවා. “අනේ මේ කරගෙන තියෙන විනාසෙ මොකක්ද පුතේ කියලා ඇහුවා. මම තාත්තාට ඇත්ත සිද්ධිය පහදලා දුන්නා.

ඇත්තටම අපට දඬුවමක් ලැබුණේ ශිෂ්‍ය උපදේශනය ගැන නොදන්නා නිසා වියයුතුයිනේ. ඉතින් ඊට පස්සේ මම ශිෂ්‍ය උපදේශනය ගැන හදාරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට ගියා. ශිෂ්‍ය උපදේශනය කියන්නේ ඔවුන්ගේ ජීවිත හැඩගස්වන බරපතළ කාර්යයක්. ඒ කාලේ ශිෂ්‍යයො ගුරුවරුන්ට සැලකුවා. දැන් නම් එහෙම නැහැ. දැන් ගුරුශිෂ්‍ය සම්බන්ධයක් නැහැ. අභ්‍යාස පන්ති ක්‍රමය බිඳවැටීම ශිෂ්‍ය ගුරු සම්බන්ධය බිඳවැටීමට ප්‍රධාන හේතුවයි. අභ්‍යාස පන්තිවලදී ශිෂ්‍යයා ගුරුවරයාට සමීප වෙනවා. දැන් ඒ ක්‍රමය නැහැනේ.

ශිෂ්‍ය ගුරු සම්බන්ධතා බිඳවැටීම ඔබ දකින්නේ කෙසේද? මම ඇසුවෙමි.

“71 කැරැල්ලෙන් පස්සේ ශිෂ්‍යයෝ ගුරුවරු දිහා බැලුවේ අමුතු ඇසකින්. ගුරුවරු වෙනත් පන්තියක අය කියලයි ඔවුන් හිතුවේ. නමුත් අපි සහකාර කථිකාචාර්යවරු කාලේ වැඩිපුරම කාලය ගත කළේ ශිෂ්‍යයෝ එක්ක. මම, ගාමිණි හත්තොටුවේගම, ලක්ෂමන් ප්‍රනාන්දු වගේ අය ශිෂ්‍යයො එක්ක කතාබහ කරමින් ශිෂ්‍ය කැන්ටිමේ හිටියා.”

ඔබ මහාචාර්ය කෙනෙක් වුණත් කවදාවත් දැකලා නැහැ වාහනයක් පදවාගෙන එනවා. කා සමඟත් හිනාවෙමින් කළු කුඩේත් වනමින් දළුගම කන්ද නගින අන්දම ඒ කාලේ සුපුරුදු දර්ශනයක්.

“වැඩේ තියෙන්නේ මම කවදාවත් වාහන එලවන්න කැමැති නැහැ. බස්එකේ යනකොට මනෝපාරක් ගහගෙන වාඩිවෙලා යන්න පුළුවන්. මම ඒ කාලේ වොක්ස්වැගන් කාර් එකක් ගත්තා. නමුත් ඒකේ ගියේ කඩේට බඩු ගන්න, ගුරුවරියක වූ බිරිය පාසැලට ඇරලවීමට වගේ දේවල්වලට විතරයි. මම විශ්වවිද්‍යාලයේ අවුරුදු 42ක සේවයක් කළා. ඒ කාලේ ඇතුළතම ගියේ බස් එකේ. පීඨාධිපති කාලේ කාර්යාලයීය වාහනයක් ලැබුණා. ඒ අවුරුදු 6 පමණයි. රියදුරෙක් එලවන කාර් එකේ ගියේ. මට ලැබුණු ඩියුටි ෆ්‍රී පර්මිට්වලට වාහන දෙකක් ගත්තා. ඒ දෙකම පුතාට දුන්නා. මම ඒවා එකක්වත් එලවලා නෑ.”

මහාචාර්ය පල්ලියගුරු පසන් නිවසක උරුමය විඳින්නෙකි. පුතෙක් සහ දියණියකුගේ පියෙකි. ඔහු තම බිරියට බොහෝ ෙළන්ගතුය. පසුගිය කාලයේ ඇයගේ කකුලක ආබාධයක් ඇතිවූ විට සාත්තු සප්පායම් කළේ ද මහාචාර්ය පල්ලියගුරුමය. “අපේ විවාහයට මගේ මවුපියන් වගේම බිරියගේ මවුපියන් ද කැමති වුණේ නෑ. ඉතින් හොරෙන් බැන්දා. සාක්කියට අත්සන් කළේ ධර්මසේන පතිරාජ සහ දයා තෙන්නකොන් කියන මිත්‍රයන්.”

ඔහු බාල වියේ සිටම චිත්‍රපටවලට දැක්වූයේ නොනිත් ආසාවකි. මේ චිත්‍රපට පිස්සුව ශාස්ත්‍රීය තලයකට ගෙනයාමට මහාචාර්යවරයාට අවශ්‍ය විය.

“ඒ කාලේ තිබුණා ශ්‍රී ලංකා චිත්‍රපට ලේඛක සහ විචාරක සංගමය කියලා සංවිධානයක්. ගාමිණී හත්තොටුවේගම, බෙනඩික්ට් දොඩම්පේගම, රෑලෙක්ස් රණසිංහ, ලෙස්ලි බොතේජු වගේ අය එහි සිටියා. මමත් එයට සම්බන්ධ වුණා. චිත්‍රපටි පෙන්නලා ශාස්ත්‍රීය සාකච්ඡා පැවැත්වූවා. චිත්‍රපටි උත්සව පැවැත්වූවා. ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයට ගිය අවස්ථාවේ එහි චිත්‍රපට සංගමයේ සාමාජිකත්වයත් මට හිමි වුණා.”

පියන්ලාත් මහාචාර්ය වරප්‍රසාද ඉල්ලුවා

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපති ලෙස පත්වීමත් සමඟ පරිපාලන වගකීම් ද ඔහු මත වැටවුණි. ශිෂ්‍ය සටන්, අනධ්‍යයන සේවක ගැටලු විසඳීමට ඔහු කටයුතු කළ යුතු විය.

“සමහර අනධ්‍යන සේවකයෝ දන්නේ නැහැ ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. හැබැයි ඔවුන් අහිංසකයි. ඔවුන් හිතනවා ආචාර්යවරුන්ට තියන වරප්‍රසාද ඔවුන්ටත් ලැබිය යුතුයි කියලා. එක් කාර්යාල කාර්ය සහායක කෙනෙක් රැකියා තනතුරු ප්‍රශ්නයක් ඇති වූ විට මා හමුවීමට පැමිණියා. ඇවිත් කිව්වේ මෙහෙමයි. “මට මතකයි සර් ඉගෙන ගන්න කාලේ. දැන් සර් පිඨාධිපතිතුමා.” නමුත් මම තවම පියන්. මට ඔබතුමාලට තියෙන පහසුකම් මොනවත් නෑ. එහෙම බෑ සර්” මම ඔහුට මෙහෙම උත්තර දුන්නා.

“මම හොඳ නිදර්ශනයක් කියන්නම්. මගේ නෝන මහත්තයත් එක්ක තමයි මම හැමදාම නිදාගත්තේ. නමුත් මම මහාචාර්ය වුණාට එයා මහාචාර්ය නොවෙයිනේ. ඒ වගේම තමයි ඔයාලටත්. ඔයාල උපාධි, පශ්චාත් උපාධි අරගෙන නෑනේ.”

“අපට වාර්ෂිකව පොත් ගැනීමට දීමනාවක් දෙනවා. ඔන්න අනධ්‍යයන සේවකයොත් ඒ කාලේ පොත් දීමනාවක් ඉල්ලන්න පටන් ගත්තා. ඒකත් හරි ගියේ නෑ.”

පොත් ගෙදරක් හැදුවා

පොත් ගැනීමට ඔබ ගෙදරට යාබදව වෙනම ගොඩනැගිල්ලක් හැදුවා නේද?

“ඔව්… පොත් 4000 – 5000ක් පිළිවෙලට තැන්පත් කිරීමට පුස්තකාලයක් වගේ ගොඩනැගිල්ලක් හැදුවා. ඒක දැකපු අහල පහළ අය කිව්වේ අපරාදෙනෙ පොත් තියන්න ගෙවල් හදන්නේ. ආදායමක් ගන්න ඇනෙක්ස් එකක් හදන්න කියලා. ඉස්සර පොත්වලට ලෝබකමක් තිබුණා. දැන් නම් එහෙම එකක් නෑ.”

අද වර්තමාන විශ්වවිද්‍යාල ආචාර්යවරු අතරින් වැඩිදෙනෙක් පොතපත භාවිතයෙන් ඈත්ව සිටිති. ඔවුහු අන්තර්ජාලය පරිහරණය කරමින් ලෙහෙසි ක්‍රම ඔස්සේ දැනුම සොයති. එහෙත් ඒ දැනුම නිවැරදි දැයි නොදනිති. මහාචාර්ය පල්ලියගුරු තවමත් පොතපත පරිශීලනය කරමින් ශාස්ත්‍රීය ලේඛනයේ නිරත වේ. රෑපවාහිනීය ආගමනයත් සමඟ එහි දේශීය සංස්කෘතික වැඩසටහන් කිහිපයකටම මහාචාර්ය පල්ලියගුරු දායකත්වය දුන්නේය.

“ඒ කාලේ මම ජාතික රූපවාහිනියේ රසකලස කියලා වැඩසටහනක් කළා. නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍ය වගේ අංශ ගැන ඉන් තොරතුරු ලබාදුන්නා. ඊට පසු උරුමය වැඩසටහන කළා. ඉන් වැනසී යන දේශීය සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අංග ගැන ඉදිරිපත් කළා. වාර්තා චිත්‍රපට කිහිපයක්ම කළා. ඒවා ඒ කාලේ ජනප්‍රිය වුණා.”

මහාචාර්ය පල්ලියගුරු ශාස්ත්‍රීය පර්ෙය්ෂකයකු මතු නොව ගීත රචකයෙකු වන්නේය. ඒ සඳහා ඔහු පෙළඹවන්නේ කල්‍යාණ චිත්‍ර ධර්මසේන පතිරාජය. “පතීගෙ අහස්ගව්ව කළේ ඔහු කැලණියේ උගන්වන කාලේ. ඒකට එන්න මගේ පිය මිතුරෝ ගීතය ලිව්වා. ඒක ගොඩාක් ජනප්‍රිය වුණා. ඊට පසු දොළොස්මහේ පහන චිත්‍රපටයටත් ගීතයක් ලිව්වා.”

මහාචාර්ය පල්ලියගුරු වර්ෂයකට ආසන්න කාලයක් චීනයේ බේජිං විශ්වවිද්‍යාලයේ සේවය කළේය.

“ලෝකයේ හොඳම උපහාස කතා තියෙන්නේ චීනයේ බව මගේ හැඟීමයි. චීන සාහිත්‍යය ගැන අපේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. චීන සාහිත්‍යය හරිම පළල්. ඒ වගේම චීන ජනකතා සාහිත්‍යයන් හරිම පොහොසත්. චීනයේ වර්තමාන ලේඛකයෝ බොහෝම සංවේදී විදිහට සමකාලීන ප්‍රශ්න ගැන කතා කරනවා.” චීනයේ හිටපු කාලෙ අත්දැකීම් විස්තර කර මහා ප්‍රාකාරයෙන් එහා පොත ලිව්වා.

වරද ඇතත් නම් කෙටි නවකතාව මහාචාර්යවරයා ලිව්වේ විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරදීය. නමුත් ඔහු ඉන් විශ්‍රාම ලැබූ පසු නවකතා රාශියක් ලිව්වේය. ඒ අතර ස්වතන්ත්‍ර නවකතා අටකි. සමාරෝපණය, එපුර රුජයූ ඇය, මහාකාල, රෝහණ රාජනී ඒ අතර වේ. “විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ දේශනවලට සූදානම් වීමට, ශාස්ත්‍රීය පර්ෙය්ෂණවලට කාලය අවශ්‍ය වුණා. ඒ නිසා විශ්‍රාම ගත් පසු නිර්මාණ සාහිත්‍යයට යොමු වුණා.”

චිත්‍රපට සම්මාන විනිශ්චය මණ්ඩලවල අනිවාර්ය සාමාජිකයෙක් වශයෙන් ද මහාචාර්ය පල්ලියගුරු දීර්ඝ කාලයක් කටයුතු කළේය. ඔහු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ද කටයුතු කළ අයෙකි. “යහපාලන ආණ්ඩුව ආවට පස්සේ රැඟුම් පාලක මණ්ඩලයේ හිටි සාමාජිකයන් සියලු දෙනාම ඉවත් කළානේ. එහි ඉන්න කාලෙ ලෝකයේ විවිධ රටවල චිත්‍රපට නරඹන්න ලැබුණා. අපේ විචාරකයෝ දකුණු ඉන්දියානු සිනමාව ගැන අවධානය යොමු කරන්නෙ නෑ. නමුත් ඒක වෙනම සංස්කෘතියත්. එහේ නළුනිළියන්ට ජනතාවට විශාල බලපෑමක් කළ හැකියි.”

“අපි Bandid Queen, Kama Sutra වගේ චිත්‍රපට පෙන්වන්න අනුමත කළේ බොහෝම ලිබරල් අන්දමින්. ඉන්දියාවේ කාම සූත්‍ර චිත්‍රපටයෙන් ඡේදන 20ක් පමණ කැපුවා. නමුත් අපි තත්පර 20ක වගේ කොටසක් පමණයි ඉවත් කළේ. Bandid Queen චිත්‍රපටයක් ඉන්දියාවේ කැපූ තරම් අපි කපලා දැම්මේ නෑ. ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලයෙන් ඇගැයීමකුත් අපට ලැබුණා.

► කුසුම්සිරි විජයවර්ධන

photo credit: Sumudu Hewapathirana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *