උපුටාගැනීම්විශේෂාංග

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ සිදු ව ඇත්තේ කුමක්ද ?

– නිරීක්ෂණමය වදනක් !

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන මේ වනවිට ඇති බහුතර අදහස වන්නේ එය රැඩිකල් අති-වාමාංශික කණ්ඩායමක් වන බවයි. එනම් වාමාංශික ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සිටින මුත් රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන හැරවුම් වලදී එතරම් තීරණාත්මක නොවන හා ඊට දායකත්වය නොදෙන සුළු ව්‍යාපාරයක් වන බවයි.

එහෙත් එවැනි ආකල්පයක් දරන බොහෝ අය දැන හෝ නොදැන අමතක කරන කරුණක් වන්නේ 2011 ජවිපෙ ඛණ්ඩනයෙන් පසු නිර්මාණය වූ ‘ජන අරගල ව්‍යාපාරය’ යනු එවක වාමාංශික-ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ අපේක්ෂා සහගත පුළුල්ම බහුජන ව්‍යාපාරය වූ බවයි. වසර ගණනාකක් පුරා ජාතිවාදය,මැතිවරණ-සන්ධානවාදය හා ප්‍රයෝජ්‍යතාවාදයට යට වීම නිසා ජවිපෙ සිටියේ පක්ෂයක් ලෙස සිය සුජාතභාවය හා ස්වීය දේශපාලන අධිෂ්ඨානය බරපතල ලෙස දුර්වල කරගෙනය. එහි සිටි වඩා උද්‍යෝගිමත් විමතික ක්‍රියාධර පාර්ශවයක් බිදී ගොස් එදා ‘ජන අරගල ව්‍යාපාරය’ නම් වූ පුළුල් බහුජන ආමන්ත්‍රණය සිදු කෙරුණේ එවක ජවිපෙ නායකත්ව මුහුණුවර එසේ පාරාජික වී තිබූ පසුබිමකය.

අද ජාතික ජන බලවේගයට පක්ෂපාතීව සිටින වාමගාමී බුද්ධිමතුන්,කලාකරුවන්,සංස්කෘතික හා සමාජ ක්‍රියාකාරිකයන් ගේ බොහෝදෙනා එවක අපේක්ෂා සහගත දේශපාලන සහෘදත්වය පළකර සිටියේ එම ජන අරගල ව්‍යාපාරයටයි. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කිරීම නිසා කලින් ජන අරගල ව්‍යාපාරයේ පැවැති විවෘත ආමන්ත්‍රණය මදක් හැකිලී ගිය බවක් පෙනුනා වුවද ඉන් පසු වසර කිහිපයක් පුරාත් එම වාමගාමී සිවිල් සමාජය පෙසප සමග තිබූ සම්බන්දය බරපතල ලෙස ඛාදනය වූයේ නැත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත තිබූ බහුජන ආමන්ත්‍රණය ප්‍රශ්නකාරී වන අවස්ථාවක් වූයේ 2015 ජනාධිපතිවරණයයි. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සන්ධිස්ථානමය අවස්ථාවක් එළඹ තිබියදී එම විපක්ෂ සන්ධානයට එක් නොවීමෙන් ‘ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් යටින් සිදුකරනවාදෝ’ යන සැකය එවක පෙසප වෙත එල්ල විය. එහෙත් රාජපක්ෂ පාලනය පෙරළා දැමීම වෙනුවෙන් වුවද ඊළගට බලයට ඒමට නියමිත විපක්ෂ සන්ධානයේ කුප්‍රකට දේශපාලන පංතිය සමග එකට හිටගැනීමක් පෙසප වැනි හරවත් වාම පක්ෂයකට කළ නොහැකි බව පැහැදිළිය.එදා ජවිපෙ පවා එම විපක්ෂ සන්ධානය විවෘතව නියෝජනය කළේ නැත. අනෙක් අතට එවක පෙසප පැවතියේ ‘වාමාංශික විප්ලවවාදී පක්ෂයක’ ආකෘතියක් ගොඩනගන ක්‍රියාවලියකට මැදිවය.

එහෙත් 2015 ජනාධිපතිවරණයේදී පෙසප පිහිටුමට සාධාරණ හේතු තිබුණු මුත් ඉන් එම පක්ෂය ප්‍රධාන ධාරාවේ දේශපාලන හැරවුම් සම්බන්දයෙන් මහජන හඩට දක්වන ප්‍රතිචාරයන් ගැන එතෙක් පෙසපට යම් ආකර්ශනයක් පවත්වා ගත් ප්‍රගතිශීලී බුද්ධිමය-සංස්කෘතික අවකාශය තුළ විචිකිච්චාවක් නිර්මාණය වෙමින් තිබිණි. පෙසප බොහෝවිට ‘පැරණි සමාජවාදී රාජ්‍ය පක්ෂ ක්‍රමයේ’ වර්ණයන්ට සමීප අදහස් හා උපායමාර්ගයක් ප්‍රදර්ශනය කරන විට රාජ්‍යය වෙනස් කිරීම සදහා ‘ලිබරල්-වාම ප්‍රජාතන්ත්‍රවාදී’ අදහස් වැඩබිමක කටයුතු කරන ඉහත කී පාර්ශවය ඇතුළු ජන කොටස් ක්‍රමිකව පෙසපෙන් දුරස්ථ වන බවක් පෙනුණි.

එහෙත් ඉන් පසුව වුවද පෙසප බහුජනතා හඩට ඇහුම්කන් දෙමින් දේශපාලන ක්‍රියාමාර්ග තෝරන විට රටේ දේශපාලන ගමන් මග තුළ තමන් ද ‘වෙනසක කතෘකයකු’ බව පෙන්නුම් කිරීමට පෙසප සමත් විය. ‘සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරයට’ මූලික නායකත්වය දෙමින් ලබා ගත් ජයග්‍රහණය එවැනි අවස්ථාවකි. ඉක්මනින් නවතා දැමූ මුත් කොවිඩ් සමයේ පටන් ගත් ‘අසිරි හදවත’ නම් වූ සහන ව්‍යාපෘතිය එවැනි පුළුල් බහුජන ව්‍යාපාරයක් කරා යොමු වූ අභිනයක් විය. ඒ අතර මෑත මතු වූ ‘ජන අරගලය’ විසින් පෙසප ප්‍රතිරූපය වඩා ඉහළට ඔසවා තැබිණි. ඊට හේතු වූයේ පොදු මහජන අපේක්ෂාව සමග සම්බන්ද වෙමින් එහි ආසන්න ඉල්ලීම ජයග්‍රහණය කර දීමට පෙසප සටන්කාමී නායකත්ව භූමිකාවක් ලබා දීමයි. දේශපාලන සමාජය ඇතුළු ලංකාවේ බහුතරය පෙසප රටේ තීරණාත්මක පක්ෂයක් බව හදුනාගනු ලැබුවේ එම බහුජන හඩට කන්දී ඊට දේශපාලන ශක්තියක් ලබා දුන් නිසාය.

එ’නිසා කිවයුත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු හුදු රැඩිකල් අති-වාම කණ්ඩායමක් නොවන බවයි. ජනතාවාදී අපේක්ෂා සමග බහුජන මුහුණුවරකින් දේශපාලන ක්‍රියාමාර්ග තේරීමේ හැකියාවක් හා පුරුද්දක් පෙසපට ඇත.එහෙත් පෙසප අභ්‍යන්තරය පදනම් වූ ‘පැරණි සමාජවාදී රාජ්‍ය පක්ෂ ක්‍රමයේ’ අඩංගුවත්,මාක්ස්-ලෙනින්වාදී මතවාදී වර්ණයත්, ‘ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය’ පිළිබද දරන මතවාදී අගතීන් ආදිය විසින් පෙසප වැනි පක්ෂයක ඇති බහුජන අපේක්ෂා සමග බැදුණු දේශපාලන නැඹුරුව අවශ්‍යම අවස්ථා වලදී යටපත් කරණු ලබයි.

මෙම මානයක් දෙක අවශ්‍ය තැනදී බැලන්ස් කරගෙන ඉදිරියට යාමට පක්ෂයක් ලෙස වැලකෙන තවත් හේතුවක් වන්නේ පෙසප දේශපාලන පයුරුපාසානය පවත්වන ‘කම්කරු පංති ඌනිත-දෘඩ වාම ස්ථාවරයක් දරන කවයන්’ වල දේශපාලන වර්ණයන්ගේ බලපෑමයි. අත්‍යවශ්‍යම වන කම්කරු අයිතිවාසිකම් අරගලයන් පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනය තුළ ස්ථානගත කිරීමේ උපායමාර්ගය වනාහී ජනතාව අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයන් සමග එම කම්කරු අයිතිවාසිකම් සන්ධිකිරීමේ උපායමාර්ගයයි.

ඒ වෙනුවට ඉහත කී දෘඩ වාම කවයන් සිය අත්‍යන්ත අනන්‍යතාවය කරගෙන සිටින්නේ මාක්ස්වාදය දේවධර්මයක් ලෙස තහවුරු කිරීම, පාර්ලිමේන්තුව ඇතුළු ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදය ‘පාර්ලිමේන්තුවාදය’ නම් පිළිකුල් කෙවිටෙන් බැහැර කිරීම,නිර්ධන පංතියේ විප්ලවවාදී කාරකත්වය පිළිබදව විය යුතු නැවුම් සාකච්චාව කම්කරු-වෘත්තිය සමිතිවාදයකට ඌනනය කිරීම ආදියයි. ඒ නිසා එකී කවයන් විසින් ‘නව සියවසේ සමාජවාදය’ පිළිබද නව පරිකල්පනයක් ජනගත කිරීමට අපොහොසත් වී තිබෙයි. (‘මාක්ස්වාදය කියවීම’, ‘වෘත්තිය සමිති කටයුතු’ ආදිය එම කවයන් විසින් සිදුකරන වැදගත් කාර්‍යයන් ය යන්නට විවාදයක් තිබිය නොහැක. මෙතන ප්‍රශ්නය වන්නේ වාමාංශික දේශපාලන උපායමාර්ගය ඉහත කාරණාවන්ට අනන්‍යතාමය ලෙස ඌනනය කර තිබීමයි).

ඒ අනුව පෙසප හා මෙම කවයන් අතර වන පයුරුපාසානය බොහෝවිට ගමන් කරන්නේ පෙසප ධාරාවේ බහුජන දේශපාලන නැඹුරුව දියාරු කර (පෙසප කාඩරමය මනෝභාවය ද වන) මාක්ස්-ලෙනින්වාදී වාම පවිත්‍රතාවයේ වර්ණය ආරක්ෂා කරගැනීමේ නැඹුරුව බලවත් වීමයි. එහෙත් තීරණාත්මක බහුජන තලයේ දේශපාලන අභිලාෂයන් වලදී පෙසප කළ යුත්තේ එම සීමිත වාම කවයන්ද විකසිත වන ආකාරයේ වාමාංශික ක්‍රියාමාර්ග තේරීමයි.

(මේ කතාව මෙසේ වුවද ලිබරල්-ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනතුරක් වී පෙසප පවා කරහැරි මෑත අවස්ථාවක ඉහත කී දෘඩ වාම කවයන් නියෝජනය කරන සහෝදරවරුන් ප්‍රමාණයක් ඊට එරෙහිව අපද මුල්වී සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයන්ට සක්‍රීයව දායක වූ බව ද මෙහිදී අමතක කළ යුතු නැත.)

ජවිපෙ ඉතිහාසයෙන්ම හුරු වූ බහුජන දේශපාලනය සමග අභිමුඛ වී උපාය-උපක්‍රම තේරීමේ හැකියාවක් හා උරුමයක් පෙසපට ඇත. පෙසපක් නොමැති කාලයේත් ජවිපෙ නොවන මාක්ස්-ලෙනින්වාදී හා විශේෂයෙන්ම ට්‍රොට්ස්කිවාදී වාමාංශික තීරුවක් ඉහත දැක්වූ විවිධ කවයන්ගේ ස්වරූපයෙන් තිබුණි. එහෙත් එවායේ දේශපාලන ක්‍රියාකාරකම් පෙසප තරම් බහුජන දේශපාලන මානසිකත්වය තුළ බලපෑම් සහගත වූයේ නැත. ඔවුනගෙන් ඉටු කෙරුණේ වාමාංශික පවිත්‍රත්වයේ හෘද සාක්ෂියයි. නොබෝදා මිය ගිය වික්‍රමබාහු සහෝදරයා එම ජවිපෙට එරෙහි වාමාංශික පවිත්‍රත්ව තීරුවේ ප්‍රමුඛ සංකේතයක් විය. (ඔහු පසුව සිය වාමාංශික ප්‍රවිත්‍රත්වය විනාශ කරගැනීම වෙනමම කතාවකි.). එහෙත් පෙසප යනු ජවිපෙ නොවන තවත් වාම පවිත්‍රත්ව කවයක් නිර්මාණය වීමේ කතාවක් නොවෙයි.

මේ ජනාධිපතිවරණය තුළ නැවත සිදුවී ඇත්තේ පෙසප දරා සිටින අර කී බහුජන අපේක්ෂාවන්ට විවෘත වන දේශපාලන නැඹුරුව දියාරු වී, වාම පවිත්‍රත්වයේ සංවෘත නැඹුරුව තෝරාගැනීමයි. ජවිපෙ සමග ඇති ඓතිහාසික දේශපාලන ගැටුම අද පෙසප තෝරාගැනීමට බලපෑ තීරණාත්මකම සාධකය හෝ සාධකයක් බව අපැහැදිළි නැත. කලින් කී දෘඩ වාම කවයන්ගේ අනන්‍යතා ලක්ෂණ වලින්ද පෙසප අද ගත් වාම පවිත්‍රතා පිහිටුම සාධාරණීකරණය කෙරෙන නිසා පෙසප අද පෙන්නුම් කෙරෙමින් තිබෙන්නේ රැඩිකල් අති-වාම කණ්ඩායමක් ලෙසය.

පෙසප විටින් විට මෙසේ ‘එළියට හා ඇතුළට හැරීම’ ලංකාවේ දේශපාලන චලනයන්ට සාපේක්ෂව පෙනෙන්නේ උපායමාර්ගික වශයෙන් නිශ්චිත හා පැහැදිළි වැඩපිළිවෙලක් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඉන් පෙසප සම්බන්දයෙන් ක්‍රමානුකූලව මහජන අවකාශය හා සිවිල් සමාජ අවකාශය තුළ ගොඩනැගෙන ආකල්පය යහපත් නැත. සැබවින්ම මේ වනවිට එය අයහපත්‍ ය.

පෙසප යනු එවැනි පහසු චෝදනාවන්ට ඉලක්ක විය යුතු ව්‍යාපාරයක් නොවෙය.

විදර්ශන කන්නන්ගර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *