එදා 1977 ජුලි මාසේ 22 දා. මැතිවරණ කොට්ඨාශ 168 ට පැවති මහා මැතිවරණයෙන් ආසන 140ක් යූ.එන්.පිය දිනාගෙන. 1965 මාර්තු මහා මැතිවරණයෙන් පස්සේ වගේම ගමේ බලවත් යූ.එන්.පී කාරයෝ එක් රොක් වෙමින් හිටිය. මම ගමේ හිටපු සමසමාජයේ තරුණ නායකය. ජයග්‍රාහී යූ.එන්.පී. පෙලපාලිය ආවේ මම හොයාගෙන. ගමේ ලොකුම ධනවතා හා රැකියා 200 විතර ගමට දීපු රෙදිමෝල අයිතිකාරය, මම සමසමාජ දේශපාලනය ගමට යලි ගෙන ඒමෙන් කෝප වෙලයි හිටියේ. එයා මෙහෙයවපු නගරංකාරයෝ ආවේ මගේ ඔළුව ගෙනියන්න. මේක දකුණු පලාතේ චන්දයක් අවසානයේ සිදුවෙන සාමාන්‍ය සිදුවීමක්. පෙලපාලිය අපේ ගෙදරට එන්න කලින් මම සොයාගෙන ආපු මගේ දේශපාලන සගය වගේම ලේ ඥාති සහෝදරය සේපාල [වීරරත්න] එක්ක ප්‍රධාන පාරවල් මඟහරිමින් ගමෙන් පිටත් වුණා. හොරෙන් කෝච්චියට නැඟුන කොළඹට එන්න.
1970, සමඟි පෙරමුණ සභාගයට එකතුවීමෙන් කුජීත වූ සමසමාජය වෙනුවෙන් වැඩකිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ වෙනකොට මම අයිති අම්බලංගොඩ ආසනයේ වමක් කියල මැතිවරණයට ආවේ සමසමාජයම විතරයි. මගේ තාත්ත පවා ගමේ හිටිය බලවත් යූ.එන්.පී. කාරයෙක්. 1963 ශ්‍රීලනීප ආණ්ඩුව ගම්මුලැදෑණි ක්‍රමය අහෝසි කිරීමෙන් පස්සේ එයා කෝපයට පත් යූ.එන්.පී.කාරයෙක් වුණා, පරම්පරා ගණනාවක් උරුම වූ රැකියාව අහෝසි කිරීමෙන්. එයාට පුතා පෙනුනේ “පඩත්තල දේශපාලනයක” යෙදෙන කෙනෙක් වගේ. මම සමසමාජ චන්ද ව්‍යාපාරය කරද්දී එයා මට ගෙදරින් යන්න කීව. ඒ නිසා එයාගේ ආරක්ෂාවක් මට තිබුනේම නෑ.
1977 ජුලි මාසෙන් පස්සේ පටන් ගත්තු ජේ.ආර්. ජයවර්ධන පාලනය විරුද්ධ පාක්ෂිකයන්ට ජීවත් වෙන්න තබා හුස්ම ගන්නවත් බැරි කාලයක්. රැකියා විරහිතයට හිමි දීමනාව දුන්නේත්, රැකියා ලැබුනේත් රැකියා බැංකුවේ ලියාපදිංචි වූ උදවියට. මේ රැකියා බැංකුවට බඳවාගත්තේ චන්දයට පෙර එජාප ශාඛා සමීතිවලින්. මේ නිසා එජාප ආණ්ඩුවේ පාක්ෂිකයෙක් හෝ හිතවතෙක් හෝ නොවෙන කිසිම කෙනෙකුට ආණ්ඩුව සම්බන්ධ කිසිම දෙයක් කරගන්න බැරි වෙනව. මම මේ දේශපාලන කෝපය පිට කර ගත්තේ ජවිපේ දේශපාලනයට එකතුවීමෙන් හා එහි පූර්ණකාලීනයෙක් වීමෙන්.
1982 වෙද්දී ඊළාම් යුද්ධයේ හඬ අපට ඇහෙනව. ‘දෙමළු විතරක් නෙවෙයි යූ.එන්.පී. නොවන එවුනුත් වෙනම රාජ්‍යයක් ඉල්ලන්න ඕන, නැතිනම් මේ ගහලයගේ පාලනය යටතේ ඉන්න අමාරුයි’ අපි කියන්න පුරුදුවෙල හිටිය. “ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියට හෙවත් තමන් පාලනය කලයුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ අයිතියට ගරු කරන අතරේ ම වෙනම රාජ්‍යයක් ඉල්ලීමට විරුද්ධ වෙමු” යන ජවිපේ අප්‍රභංශ දේශපාලන මතයට මම මුළුමනින්ම පක්ෂ වුණා. එතන දී ‘ලංකාවේ උතුරු අයර්ලන්තය, ඊළම’ වේය කියන සැකය තිබුන. එහෙත් මොන විදිහේ උපකාර කළත් නවදිල්ලිය ඊළමකට ඉඩ නොදෙන බවටත් අපි දැනුවත් වුණා. ලංකාවේ උතුරු-නැගෙනහිර හැදෙන ඊළමක් ඉංදියාව දෙවැනි වතාවටත් බෙදනව. දකුණු ඉංදියාවේ දෙමළ ප්‍රාන්ත තනි ඊළමක් තැනීම නවතන්න අමාරුයි. මේ භූ දේශපාලනය ලංකාවේ පාලකයෝ දැන හිටිය ද ක්‍යන කාරණය හිතා ගන්න අමාරුයි.
1977 අගෝස්තු වෙද්දී යූ.එන්.පී පාලනයේ මුල්ම වර්ගවාදී කෝලාහල ඇවිළුනා. එහෙත් එවකට වතුකම්කරු නායක සෞම්‍යමූර්ති තොන්ඩමාන් ආණ්ඩුවේ බලවත් ඇමතිරයෙක්. මේ කෝලාහලය තියෙද්දී 1983 ජුලි කෝලාහලය ඇවිළුනා. එතකොට මම ජවිපේ, ගාල්ල උතුර දේශපාලන දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම්. ප්‍රචන්ඩයෝ ඇල්පිටියේ දිවිතුර වතුයායේ ලැයින් කාඹර ගිනිතියල. තණබද්දේගම, කහදූව හා ඇත්කදුර ගම්මානවල පහලම මට්ටමේ ජවිපේ හිතවතුන් පවා මේ ප්‍රහාරවලදී මැරයන්ට උපකාර කළ බව වාර්තා වුණා. මම ජයසිංහ [ධර්මදාස ජයසිංහ- කරන්දෙණිය] සගයත් එක්ක ජවිපේ වතු සමිතිවල සමාජිකයෝ බලන්න ගියේ කුරුදුගහ ශාන්ත මෙරී විද්‍යාලයේ අනාථ කඳවුරට. 1971 අප්‍රියෙල් කැරැල්ලට සහභාගිවීමෙන් හිරගත වූ ලෙච්චමන් [දිවිතුර වත්ත – ඇත්කදුර] හිටියේ මේ අනාථ කඳවුරේ. මට තේරුණ අපේ දේශපාලනයේ කොහේ හරි වරදක් තියෙන බව.
මේ අපුරු දේශපාලන සිදුවීම් ඇති ජූලි මාසයේ දීම මේ වර්ගවාදී කෝලාහලයේ වරද පටවමින් ආණ්ඩුව ජවිපේ ඇතුළු තවත් දේශපාලන පක්ෂ පහක් තහනම් කළා. මම අත් අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ඇදිවත පිටින් කොළඹට ආව. එනකොට කොළඹ එකම ගිනි ජාලාවක්. මරපු දෙමළු පාරවල් දිගේ දාල තිබුන. ‘වෙනම රාජ්‍යයක් නැතුව මුං එක්ක ඉන්න බැරිවෙයි’ අපි අපටම කියා ගත්ත. කොළඹ දී නැවත ජවිපේ භූගත දේශපාලනය එකතු වුණා. ඊළාම් යුද්ධය උත්සන්න වුණා.
‘ඇයි අපි සිංහලු – දෙමළු හැටියට බෙදිල මේ ආණ්ඩුවත් එක්ක ගහගන්නේ ? එකට එකතුවෙල මේ හතුරට ගහමු’ අපට උඩින් හිටපු ජවිපේ නායකයන්ට කීව. 1985 මැද වෙනකල් මේ මතය වෙනුවෙන් කතා කළා. ඉහළම නායකයෝ දෙන්නෙක් එක්ක වෙනම සාකච්චා ලැබුන. එකම උත්තරය ‘ අපි සිංහල ජනයා අතරේ පදනම් වූ පක්ෂයක්, ඊළාමයකට පක්ෂ වීම තබා ඒ වෙනුවෙන් පෙනී සිටින කිසිම පුත්ගලයෙක් හෝ සංවිධානයක් සමඟ ගනුදෙනු කිරීම තබා කතා කරන්නවත් බෑ’ මම ජවිපෙන් එලියට බැස්ස. ඒ වෙනවිට ‘ලංකා- ඊළාම් සමුහාණ්ඩුවක්” වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි ‘කම්කරු මාවත’ [එකල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දැන් සමාජවාදී සමනතා පක්ෂය] ට එකතු වුණා. ඉංදියන් හමුදාව උතුරු- නැගෙනහිරට කඩා වදින 1987 ජුලී මාසේ මම හිටියේ කිලිනොච්චියේ. ඉංදියන් හමුදාව නිසා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදි සොහොයුරන් එකිනෙකා මරා ගන්නා හැටි මම කිලිනොච්චියේ දී පරන්තන් වලදීත් දැක්ක. ‘තිලීපන්’ මාරාන්තික උපවාසය කරමින් මරණය කරා යමින් හිටියේ මේ දවස්වල. වෙනම රාජ්‍යක් ඉල්ලන දෙමළ ජනයා ගැන දකුණේ සිංහලයන්ට ලියන්න දැනෙන්න ගත්තේ මේ කාලේ. ‘නාදුනන සොහොයුරන්ට’ හදුනාගැනීමට උපකාර කරන්න.
ඒ කාලේ මගේ ජනමාධ්‍ය වීරය, ගාමිණි නවරත්න. යාපනේ ‘සැටඩේ රිවීව්’ පත්තරේ කර්තෘ. මට එයා වගේ වාර්තාකරුවෙක් වෙන්න ඕන වුණා. මේ 1989 අවුරුද්දේ අවසාන කාලේ. එම්.ඩී.ඩී.ආර් [ ජාතීන් අතර යුක්තිය හා සමදානය සඳහා වූ ව්‍යාපාරය] ‘යුක්තිය’ පත්තරේ පටන් අරන්. මම ලියන්න පටන් ගත්ත. මම මතක තියෙන විදිහට මම කරපු මුල්ම සාකච්චාව ගත්තේ ‘රෙජී මෙන්ඩිස්’. රෙජී සමසමාජ ව්‍යාපාරයේ ප්‍රකට නායකයෙක්. රෙජී, 1956 දී තනිබසාවක් [සිංහල] රජබස කිරීමේ කිරීමට විරුද්ධව සමසමාජ ප්‍රචාරක ව්‍යාපාරයේ දී කොල්වින් [ආර් ද සිල්වා] ට ගහපු ‘ඩප්පි බෝම්බේ’ අල්ලල එක අත නැති කරගත්තු වීරය. වාර්ගික වෙනස්කම් විතරක් නෙවෙයි කුල වෙනස්කම් ගැනත් මම හොයන්න ගත්ත. ඒ ගැන ලියන්න ‘යුක්තියේ’ ඉඩක් නොතිබුණු නිසා මම ‘රාවය’ ට බැදුන.
1991 වෙද්දී වව්නියාවෙන් උතුරේ තිබුනේ කොටි [එල්.ටී.ටී.ඊ.] පාලනයක්. එකම රටක් ඇතුලේ රටවල් දෙකක්. අපට විශාල කුතුහලයක් තිබුන මේ ‘අනෙක් රටේ’ රටේ වෙන්නේ මොනව ද බලන්න, වාර්තා කරන්න. රටේ ප්‍රධාන පත්තර සියල්ලේම යුද්ධය වාර්තා කෙරුණේ වව්නියාවෙන් පහල ඉඳගෙන. නැතිනම් රජයේ හමුදා කඳවුරුවල ගිහින්. වැඩියක්ම වුණේ දුරකතනයෙන් හමුදා නායකයන් සමඟ කතා කරමින්. රටේ තුනෙන් එකක වෙනම පාලනයක් තියෙද්දී ඒ ගැන වාර්තා තිබුනේ ම නෑ. මේ වෙනවිට තුන්වන ඊළාම් යුද්ධය පටන් අරගෙන. උතුරේ “ත්‍රස්තවාදීන්” මරන්නට ගුවනින් බෝම්බ හෙලීම හා එයින් සිදුවන මරණ ප්‍රමාණය කොළඹ සිට දිනපතා වාර්තා වුණා. මේ වෙන විට යුද්ධය පොලොවෙන් ගුවනට ගිහින්. පොලොවේ සිදුවෙන දේ කෙසේ හෝ වාර්තා කරන්න අපි කල්පනා කළා. අපට ඕන වුනේ ආණ්ඩුවේ අවසරයක් නැතුව නිල නොවන ගමනකින් අපක්ෂපාතීව ඊළාම් භූමියේ සිට වාර්තා කරන්නයි.
ඒ වෙනුවෙන් වව්නියාවෙන්, මඩකලපුවෙන්, ත්‍රිකුණාමලයෙන් දරපු උත්සාහයන්ගේ වාර්තා ලියවෙනව. කල්පිටියෙන් පැත්තෙන් දෙමළ ඊළමට ඇතුළු වීමට දැරූ උත්සාහය හැර. 1993 සැප්තැම්බරය අවසාන වෙද්දී අපි දෙමළ ඊළාම් භූමියට ඇතුල් වෙන්න සමත් වුණා. ඊළාම් භූමියට ඇතුළු වූ මුල්ම සිංහල වාර්තාකරුවෝ අපි. එය වෙනම අත්දැකීමක් හැටියට මෙහි ලියවෙනව. එයින් පස්සේ ඊළාම් භූමියට යාම පුරුද්දක් බවට පත් වුණා. ඊළාම් කොටින්ගේ පිපාසය – දෙමළ ඊළම. එහි සදිසි සතුරා සිංහලයා හා සිංහල ආණ්ඩුව. අදිසි සතුරා බමුණන් හා ඉංදියානු මහ ආණ්ඩුව. ඊළාම්වාදීන් හා නවදිල්ලි පාලනය අතරේ මී – බළල් පොරයක් තිබුනේ. ඒ ගැන වෙනම පොතක් ලියන්න ඕන.
1994 වෙද්දී ඉංදියානු සාගරයේ ප්‍රාදේශීය බලවතා තනතුර ඉංදියානු සමුහාණ්ඩුවට නිල වශයෙන් හිමිවෙනව. පාකිස්තානය පමනයි ඔවුන්ගේ පාලනය පිටින් තිබුනේ. මේ භූ දේශපාලන දිහා බලද්දී ‘දෙමළ ඊළමක්’ යනු සාමුහික හීනයක් මිස සැබෑවක් නොවන බව එල්.ටී.ටී ඊ. නායකයන්ට හැර අනෙක් සියළුම දේශපාලන සත්වයන්ට තේරුම් ගියා. ඊළාම් කොටින්ගේ න්‍යායාචාර්ය, අචාර්ය ඇන්ටන් බාලසිංහම් පවා මේ මතය දැරුව. ප්‍රසිද්ධියේ නොකීවට. දවසක් මම සාද කතාවක් යන අතරේ අචාර්ය බාලගෙන් මේ ගැන ඇහුව
“හරි අපි පිලිගන්නව ඊළමක් නැතුව දෙමළ ජනයාට නිදහසක් නැතිබව. අපි හිතමු දවසක ඊළම දිනා ගත්ත කියල. ඒ දවසට මේ සිතියමේ තියෙන ඊළාම් භූමියේ කිලෝ මීටර් 400 කට නොඅඩු දේශසීමාව මුර කරන්න තරම් කොටි සෙබළු ප්‍රමාණයයක් කොහොමද සොයා ගන්නේ?’ බාලා උත්තරයක් නොදී උස් හඬින් සිනාසුනා …!
‘ඊළාම් සිහිනය” අමුඅමුවේම ලේ පිටින්ම වලලා දැමුණා. මේ ‘හීනය’ සුවසේ දකින්නට නිදි පෙති දුන් ඉංදියාම සිහිනය පමනක් නොව සිහින දකින්නන්ද වනසා දැමීමට නායකත්වය දුන්න. එහෙත් අප දුටු ඒ අපුරු ඊළාම් භූමිය සිහින දේශය කෙසේ අමතක කරන්න ද ? එහි ආඩම්බරකාර වැසියන් වූ විනීතා [ සමරසිංහ ගුණසේකර – එහි පොලිස්පති, නඩේසන්ගේ බිරිඳ] දෙමළ ඊළාමයක් වෙනුවෙන් සටන් වැදී කිලිනොච්චි මහවිරු සුසානයක සැතපෙන තනි සිංහල ‘කැප්ටන් වික්‍රම’, දිවි පරදුවට තබා යුධ වාර්තා සැපයූ, නිමලරාජන් [ මයිල්වාගනම්] තරාකි[ ධර්මලිංගම් සිවරාම්] හා ඊළාම් භූමියේ දී අපට මුණ ගැසුණු, අප සිංහලයන් බව දැනදැනත් ආදරයෙන් කතාබහ කළ මිනිසුන් කෙසේ මතකයෙන් වලලා දමන්නද?
මේ යුධ වාර්තාකරණයෙන් අප ලැබූ ඉහලම සම්මානය 1995 අප්‍රියෙල් මුල දී අපට හිමි වුණා. 1994 චන්ද්රිකා ආණ්ඩුව හා කොටි සංවිධානය අතරේ ඇති වු සාමකතා 95 මාර්තු අවසාන වෙද්දී ඒක පාර්ශවීකව බිඳ දමන්නට කොටි සුදානම් වුණා. මේ වෙනුවෙන් රජයේ යෝජනා රැගත් ලිපිය යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ. නායකත්වයට බාර දීමේ වගකීම පැවරුණේ අපට. තරාකීත් මා සමඟ එහි ගියා. එහිදි ලියුම බාරගත් තමිල් චෙල්වම් සම්මානය දුන්නේ වචනයෙන්…!
‘ උඹ හැමදාම දෙමළ ඊළම ගැන වාර්තා ලියන්න වරෙන්. අපි ආදරයෙන් පිලිගන්නව. හැබැයි ආයෙත් දේශපාලකයන්ගේ ලියුම් අරගෙන එන්න එපා..! අපි උඹට ගරු කරන්නේ වාර්තාකාරයෙක් හැටියට විතරයි.”
මෙහි ඇති බොහොමයක් රචනා ‘රාවය’, ‘යුක්තිය’, ‘මව්බිම’පුවත්පත් හා සංදේශය, [ බීබීසී ලෝක සේවය] ගුවන් විදුලියට සැපයූ වාර්තාවල සටහන්වලි සොයා ගත්තේ. ජාතීන් දෙකක් යුධ වැදී සිටිය දී මේ වාර්තා පළ කිරීමට ඉදිරිපත් වූ කතුවරුන්න්ට නොවක් තුති. මගේ තනියට මේ ගමන්වලට එකතු වූ සුනිල් ජයසේකර, ප්‍රියන්ජන් සුරේශ් සිල්වා, හසක රත්නමලල, නිශාන්ත අල්විස් හා ලෙස්ටර් රූපසිංහ සගයන්ටත් ස්තුතියි. ලිවීම අත්හැර දමා සිටි මට මේ පොත් කරන්නට ඇවිටිලි කරමින් සාත්තු සප්පායම් කල කවිමල් [නිශාන්ති සූරියාඅරච්චි] හා මීට වසර 28 පෙර මෙහි මුල් පිටපත පිටපත් කල රේණු [රේනුකා ප්‍රියන්ති ගුණතිලක] ආදරයෙන් සිහිපත් කරනව.
නන්දන විරරත්න
2023 මාර්තුවේ කොළඹ දීය.