මට අද වගේ මතකයි සිසිත මල්ලි ( ටොක්කා) රුහුණු කැම්පස් එකට ආපු දවස..එතකොට අපි සුපර් සීනියර් බැජ් එකේ..මම ටොක්කත් එක්ක ටිකක් කතා කලා..
අම්මයි තාත්තයි දෙන්නම නෑ කීවා..මම ඇහුවේ නෑ ඒ දෙන්නට මොකද උනේ කියලා…පොඩි කාලේ ඉදලා හැදුනේ ආච්චි ලග..උගන්වලා තියෙන්නේ ආච්චි කුලී වැඩ කරලා..ගෙවල් මෝදර මට්ටක්කුලිය පැත්තේ..
බොහොම දුක් විදලා කැම්පස් ආපු කොල්ලෙක්..දවසක් කැන්ටිමේ රෑ කෑම පෝලිමේ ඉදලා අනිත් උන් බත් කනකොට මූ කිරි තේ එකක් අරගෙන බොනවා..මම ඇහුවා ඇයි බත් කන්නේ නැද්ද කියලා.මූ කීවා නෑ අයියෙ කියලා.පස්සේ තමයි දැන ගත්තේ මු රෑට කිරි තේ එකක් බීලා බත් කන්න තියන සල්ලි එකතු කරනවා ආච්චිට දෙන්න…ඒ කතාව හරිම අනුවේදනීයයි….පස්සෙ අපි දෙන්නම එක බත් එකක් අරගෙන බෙදාගෙන කෑවා..අපි ඔකොම එකම පංතියේ මිනිස්සු..
ටොක්කා මල්ලි හරිම කෙටි කාලෙකින් කැම්පස් එකේ ජනප්‍රියම කොල්ලෙක් උනා..නිදහස් අධ්‍යාපන අයිතිය නූපන් පරපුරක් වෙනුවෙන් සුරක්ෂිත කරන්න අවංකව සටන් කරපු සටන් සගයෙක්…
මේ කාලේදී තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිශ්පාදනයෙන් 6% ක් වෙන් කරන්න කියලා සරසවි ආචාර්යවරු අරගලයක් දියත් කලේ.ඒ අරගලයට අන්තරේ කොන්දේසි විරහිතව සහාය දුන්නා.මෙන්න මේ අරගලයේදී තමයි ටොක්කා මල්ලි සහ කැළනිය විශ්ව විද්‍යාලයේ මාතලං යන සහෝදරයින් දෙදෙනා කඩවත ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගියේ..
පොලිසිය කීවේ රිය අනතුරක් නිසා මෙහෙම උනා කියලා..අදුන ගන්න බැරි විදියට මූනු පොඩිපට්ටම් වෙලා තිබුනේ..ඒක රිය අනතුරකින් වුනාද කියන එක ඇත්තටම සොයා බැලිය යුතුයි..ඒ කාලේ උසස් අධ්‍යාපන ඇමති S.ඹ්.දිසානායක…මර්ධනයේ හස්තය දරුණු ලෙස උපරිමයෙන් දියත් කරමින් තිබුනු කාලයක්..මේ ගැන මතු බිහිවන පාලනයකින් හෝ නිසි පරීක්ෂනයක් සිදු කර ඇත්ත නැත්ත හෙලිදරව් කල යුතුයි…රුහුණ විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම කොල්ලෙක් වූ ටොක්කා මල්ලිගේ දේහය මිහිදන් කල තැන අදත් ඔහු වෙනුවෙන් මල් පූදිනවා..
නූපන් පරපුරක අයිතිය වෙනුවෙන් තම ජීවිතය කැප කරන්න හැමෝටම බෑ..එහෙම මිනිස්සු ඉන්නේ ඉතාම අතලොස්සයි..ඒ අතින් ටොක්කා මල්ලි අද්විතීය තැනක අමරණීය ලෙස ජීවත් වනවා…
හොස්ටල් එකේ ටොක්කා මල්ලීගේ කාමරයේ ඔහු විසින් මෙහෙම ලියලා තිබුනා.
“කදුළු ගෑස් වෙඩි උණ්ඩ වලට බය වූවානම් නිදහස් අධ්‍යාපනය මිය ගොස් බොහෝ කල්”
දැන් කැම්පස් වල ඉන්න නංගිලා මල්ලිලා මේ නිදහස් අධ්‍යාපනයේ නිදහස භුක්ති විදින්නේ නුබලාගේ එකී අයිතිය වෙනුවෙන් තම දිවි පූජා කල මෙවැනි පරාර්ථකාමී විරුවන් නිසා බව ඉදුරාම කිව යුතුය..
ඒ පරම්පරාවේ නූතන පරපුර වන නුඹලාගේ දෙවුර මතද එකී පරම වගකීම පැටවී ඇති බව මතක තබා ගත යුතුය…ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ඉතිහාසය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට දායක වූ ලෙයින් යකඩින් පන පෙවූ ව්‍යාපාරයක්..එකී ඓතිහාසික වගකීම පෙරටු කරගනිමින් නූතන නිදහස් අරගයේ ඉදිරිපස ගාමක බලවේගය වී ඇති අපේ පරපුරේ වර්තමාන පොඩි උන්ට මේ සටනත් විජයග්රහණයෙන් කෙලවර කරන්නට හැකි වේවා..
අවශ්‍ය සෑම මොහොතකම එකී වත්මන් පරපුරේ අතීත පරපුර වන අපිත් නුඹලා වෙනුවෙන් ඉදිරිපසින්ම හිටගන්නවා..ආදරණීය නංගීයේ මල්ලියේ නුඹලා මේ කරන්නා වූ අරගලයේ නොනිමි ප්රාතිහාර්යන් දෙස සතුටු කදුළු වගුරවමින් අප බලා සිටිනුයේ මහත් වූ සාඩම්බරයෙනි…අරගලයට ජය..