උපුටාගැනීම්විශේෂාංග

සමලිංගික භීතිකාව ඇත්තේ නයනා කුමාරිට පමණක් නොවේ

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක වන නයනා කුමාරි සම ලිංගිකත්වය “එක්තරා මානසික ලෙඩක්” බව පසුගිය දා පුවත්පත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණි. සම ලිංගිකත්වය එක්තරා මානසික ලෙඩක් නම ඒ කුමන මානසික ලෙඩේද යන්න ඇගෙන් අසා දැන ගැනීමට බකමූණෝ කණ්ඩායම උනන්දුවක් දක්වන අතර, මේ ලිපිය මගින් ඇයට පහර ගැසීම අරමුණු නොකරයි.

කෙසේ වුවත් ඇගේ ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් ලෙස ඉවත දැමිය නොහැකිය. මන්ද සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවන 1990 වසරේ සිට ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර තිබුණද, ලිංගිකත්වය පිළිබද කතා කිරීමට අප තුළ ඇති චකිතය නිවැරදි තොරතරු ලබා ගැනීමෙන් අපව වළකාලයි. සම ලිංගිකත්වය සුව කළ හැකි යැයි දක්වන පුවත් පත් දැන්වීම් දිනපතාම පාහේ අප දකින්නේ ඒ නිසාය.

අපේ රටේ පවතින නීතිය නිසාද සම ලිංගිකත්වය මානසික ලෙඩක් යැයි ඇතැමුන් සිතති. ඒ දණ්ඩ නීති සංග්‍රමයේ 365 සහ 365 ඒ වගන්ති නිසාය. කෙසේ වුවත් මේ වගන්ති දෙක යටතේ මේ දක්වා කිසිම පුද්ගලයෙකු සම ලිංගික යැයි චෝදනා කොට දඩුවම් ලබා දී නැත.

සම ලිංගිකත්වය පිළිබද විවෘතව කතා කළ හැකි පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගී නොමැති වීම තවත් හේතුවකි. නයනා කුමාරි වැනි ජනප්‍රිය නිලියකට සම ලිංගිකත්වය පිළිබද සුභවාදීව කතා කිරීමෙන් සිය ජනප්‍රියත්වය බාල කර ගැනීමට කිසිම වුවමනාවක් නැත. සම ලිංගිකත්වය පිළිබද සුභවාදී අදහසක් දැරුවද ඒ ගැන විවෘතව කතා කිරීම ශ්‍රී ලංකාව තුළ ඉල්ලාගෙන කෑමකි. කෙසේ වුවත් මානව ලිංගිකත්වය රෝගයක් කියා බැහැර කිරීම තව දුරටත් කළ යුතු නොවේ. ඒ පිළිබද නිවැරදි තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බව අපගේ අදහසයි. සම ලිංගික හෝ වේවා, විෂම ලිංගික හෝ වේවා, ද්වී ලිංගික හෝ වේවා ඔවුන් සියළු දෙනාම මනුෂ්‍යයෝය. ඔවුන්ට මනුෂ්‍යයන් ලෙස ගෞරව කිරීම අප උගත යුතු පළමු පාඩමයි.

1990 දී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව ප්‍රකාශ කිරීම සිහිපත් කිරීම සදහා මැයි 17 වන දින සම ලිංගික සහ සංක්‍රාන්ති සමාජභාවී භීතියට එරෙහි ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ. ලෝක සෞඛ්‍යය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය 1973 ඒ බව ප්‍රකාශ කිරීමෙන් වසර 17කට පසුවය.

අවාසනාවකට මෙන් අපි ඉන් අවුරුදු 26කට පසුව තවමත් විද්‍යාත්මක කරුණු පසෙකලා සම ලිංගිකත්වය පිළිබද පවතින වැරදි විශ්වාස සමග සටන් කරමින් සිටින්නෙමු.

පබා දේශප්‍රිය

උපුටාගැනීම: www.බකමූණෝ.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *