යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව අද(27) ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. එමෙන්ම මෙම මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කළ බවද වාර්තාවේ.
2015 වසරේ මැයි මස 13 වනදා යාපනය – කයිට්ස් – පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.
වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වූයේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ය.
විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි. ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද පෙරවරුවේ ආරම්භ කළේය.
LT