“ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට තමා ලිවිය යුතු දේ ලිවීම අත් හැරීමට සිදු වන දේශයක ජීවත් වන්නට මට අවශ්‍ය නැත. මේ ජඩයන්ට දිනන්නට හෝ පලා යන්නට මම ඉඩ නොතබමි. උන්ට එය කළ හැකි වනු ඇත්තේ මගේ මළමිනිය උඩින් පමණි.”
-ඩාෆ්නි ග්ලෙසියා
ඩාෆ්නි ග්ලෙසියා (Daphne Galizia) යනු යුරෝපයේ කුඩාම රාජ්‍යය වන මොල්ටාවේ මාධ්‍යවේදිනියක්. පසුගියදා ඇය දහවල් කාලයේ තම මෝටර් රථයේ නැගී නිවසේ සිට සේවා ස්ථානයට යන අතරතුර, වාහනයේ අටවා තිබූ බෝම්බයක් පිපිරී ජීවිතක්ෂයට පත්වෙනවා. තම නිවස පේන තෙක්මානයේ, ඇගේ දරුවන් දෙදෙනාගේ ඇස් ඉදිරිපිට ග්ලෙසියාගේ සිරුර කෑලි වලට කැඩී මෝටර් රථයේ කොටස් සමග පාර පුරා විසිරෙනවා.
‘විකි ලීක්ස් තනි ගැහැණිය’ නමින් ප්‍රසිද්ධව ඇති ඇයගේ බ්ලොග් අඩවිය (සබැඳිය), එරට ප්‍රධාන පෙලේ මාධ්‍යවලට වඩා ජනප්‍රිය බව පැවසෙනවා. රටේ දූෂණ සහ වංචා වලට එරෙහිව තනි අරගලයක නිරත වෙන ඇය, නොබෝදා එරට අගමැතිට එරෙහිව ප්‍රබල චෝදනාවක් ගේනවා. ඇය කියන්නේ රටේ අගමැතිවරයා සහ තවත් අයෙක් එකතුවී ව්‍යාපාරිකයන්ට මෝල්ටා රාජ්‍යයේ ගමන් බලපත්‍ර විකිණූ බවයි.
ඊටත් පෙර, ඇය විසින් සිදුකල සුවිශේෂ ගවේෂණයක් නිසා ඇය මුළු ලෝකයේම අවධානයට ලක්වෙනවා. ඒ තමයි “පැනමා පේපර්ස්” නමින් හැදින්වෙන හෙළිදරවුව. පැනමාවේ නීති සමාගමක් වන ‘Mossack Fonseca’ සමාගම විසින් කළ ගනුදෙනු වලට අදාළ ලියකියවිලි ඇය විසින් එළිදරවු කරනු ලබනවා. එම ලියකියවිලිවල අන්තර්ගතයන් ලෝක ආර්ථිකය සහ දේශපාලනය හොල්ලන්නට සමත් වෙනවා. පැනමාවේ නිදහස් බදු ක්‍රමය ප්‍රයෝජනයට ගෙන අයථා අන්දමින් මුදල් උපයන ලෝක ප්‍රසිද්ධ සමාගම්, පුද්ගලයින් හා රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුවක් ඇය එළිදරවු කරනවා. මේ ලැයිස්තුවේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සිය දෙනාගෙන් අති බහුතරය සිටිනවා. රුසියානු ජනාධිපති පුටින්,බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ පවුලේ ව්‍යාපාර පමණක් නොවේ බොහෝ මැද පෙරදිග රාජ්‍ය නායකයින් පැනමා රාජ්‍යයේ ව්‍යාජ සමාගම් පිහිටුවා අයුතු ප්‍රතිලාභ ලැබූ බව ග්ලෙසියා හෙළිදරවු කරනවා.
ලංකාවේ පවා සමාගම් සහ ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් පවා පැනමා රාජ්‍යයේ ව්‍යාජ සමාගම් වල ආයෝජනය කොට අයථා ලාභ ලබන්නටත් කළු සල්ලි හංගා තබන්නටත් ක්‍රියා කරමින් සිටින බව ‘පැනමා පේපර්ස්’ මගින් හෙළිදරවු උනත් රටේ සිදුවෙන සෑම ආර්ථික හා දේශපාලන සිදුවීමක් සේම මේ හෙළිදරවුව ද ක්ෂණික උත්කර්ෂයකට පත්ව නිහඩව නිවී යනවා.
ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ ආයතනයක් වන Oxfam ආයතනය පසුගිය වසරේ හෙළි කළ පත්‍රිකාවක සදහන් වන්නේ ලෝකයේ වත්කම් වලින් සියයට පනහකටම හිමිකම් කියන්නේ සියයට එකක් තරම් වූ පිරිසක් වන අතර මොවුන් අතරින් 20,000 තරම් වූ සුපිරි ධනවතුන් පිරිසක් (ultra-high net worth) ලෝක ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාලනය කරන බවයි. ඔවුන් තව දුරටත් කියා සිටින්නේ මානව ඉතිහාසයේ උපරිම ආර්ථික විෂමතාවය වාර්තාවෙන මේ අවදියේ, සුපිරි ධනවතුන් බිහිවීමේ යාන්ත්‍රණය පැනමා වැනි ‘නිදහස් බදු ක්ෂේම භූමි’ (tax havens) උපකාර වන බවයි. ග්ලෙසියාගේ හෙළිදරවුව ලෝකයට වැදගත් වෙන්නේ ඒ නිසයි.
ඇය සඳහන් කරන අන්දමේ නිදහස් බදු රාජ්‍යයන් පහළොවක් පමණ ලෝකයේ ලෝකයේ සෑම මහාද්විපයක්ම ආවරණය වෙන ලෙස පිහිටා තිබෙනවා. තවත් බොහෝ රාජ්‍යයන් මෙම නිදහස් බදු චක්‍රයේ වාසිය ලබාගන්නා ආකාරයෙන් තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටිනවා. මෙවැනි රාජ්‍යයන් වල විශේෂත්වය නම් ඔවුන්ට ආර්ථික අනන්‍යතාවයක්(economic identity) නැති වීම සහ ඒවා සෑම විටම ආර්ථික වශයෙන් බලවත් රාජ්‍ය වල නූතන ආර්ථික කොලනි ලෙස පැවතීමයි. පැනමාව සහ එවැනිම රටක් වූ ජර්සි රාජ්‍යය (Jersey), සම්පුර්ණ වශයෙන්මඇමරිකාවේ නූතන ආර්ථික කොලනි වන අතර බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපයේ ආර්ථික යටත්විජිත රාජ්‍යයන් ලෙස කේමන් දිවයින සහ වර්ජින් දිවයිනක්‍රියාකරනවා.
බූවල්ලෙක් ලෙසට ලෝකයේ ආර්ථික ක්‍රියාවලිය අල්ලාගෙන සිටින ලෝක සුපිරි සමාගම් පන්සියයෙන් (fortune 500 companies) අති බහුතරයක් තම ප්‍රාග්ධනය එක්රැස් කරගන්නේ මේ පැනමා වැනි ආර්ථික ක්ෂේම භුමි රටවල් හරහායි. දුප්පත් හෝ පොහොසත් රටවල භේදයක් නැතිව පොදු ජනතාවගේ අත රැඳි මුදල් ඉතා කපටි ආකාරයෙන් මේ සමාගම් වල ප්‍රාග්ධනය තුළට ගොඩ ගැහෙනවා.
ග්ලෙසියා තම පුතු සමග
වත්කම් අතින් ලෝකයේ අංක එකේ සමාගම වන ඇපල් සමාගම පමණක් නොව, සුප්‍රකට මයික්‍රෝසොෆ්ට් සමාගම, ජෙනරල් මෝටර්ස්, ෆේස්බුක්, කොකා කෝලා, මැක්ඩොනල්ඩ්ස් වැනි සමාගම් තමන්ගේ ප්‍රධාන කාර්යාල පිහිටුවා ඇත්තේ පැනමා රාජ්‍යයේයි. මේ අර්ථයෙන් ගත් විට පැනමා යනු ලෝකයේ සුපිරි ආර්ථික ශක්තියක් ඇති රටක් විය යුතුය; එහෙත් සත්‍යය ඊට ඉඳුරාම වෙනස් වේ. මේ ප්‍රධාන කාර්යාල සත්‍ය ඒවා නොව ප්‍රාග්ධනය එක්රැස් කරගැනීම පිණිස පිහිටවූ කපටි ආයතනයි. පැනමා වල එක් කුප්‍රකට ගොඩනැගිල්ලක ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් 200ක් පමණ පිහිටුවා ඇතැයි පැවසේ. එහි ඇති ඇතැම් සමාගම් වලට ඇත්තේ පුංචි කාමරයක් හෝ තැපැල් පෙට්ටියක් පමණයි!
මේ ‘ප්‍රාග්ධනය ගොඩගැසීමේ’ ක්‍රියාවලිය ගැන අවබෝධයක් ලබාගැනීම, යුගයේ අවශ්‍යතාවයක්. මේ සදහා අපි මැක්ඩොනල්ඩ්ස් සමාගමේ උදාහරණයක් ගමු. කොල්ලුපිටියේ, මැක් අවන්හලෙන් ඔබ බිග් මැක්එකක් මිලදී ගන්නවා. මැක් බර්ගර් එකකින් ලංකාවේ මැක් අවන්හල උපයන අදායම, වාර්ෂිකව සංගත බදු (cooperate tax) වශයෙන් ලංකාවේ රජයට ලැබිය යුතුයි. සිහින ආර්ථික ඔළුගෙඩි වලට අනුව,බර්ගර් සැදීමට අවශ්‍ය පිටි සහ මස් වර්ග ලංකාවේ වෙළඳපලින්ම සපයා ගන්නවා යැයි මොහොතකට හිතමු. එහෙත් මේ මිලදී ගැනීම් කරන්නේ,ලංකාවේ හෝ ඇමරිකාවේ මැක්ඩොනල්ඩ්ස් සමාගම් නොවේ. පැනමාවේපිහිටා ඇති ව්‍යාජ මැක් සමාගම විසින්. ඉන්පසු එම භාණ්ඩ වලට ඉතා ඉහළ ව්‍යාජ මිලක් (fake value) ආරෝපණය කොට ලංකාවේ මැක් සමාගමට යළිත් විකුණයි. කෘතිමව මිළ ඉහළ දමන ලද මස් සහ පිටි වර්ග මිලට ගැනීම නිසා, ලංකාවේ මැක් සමාගමේ ලාභය අඩුවෙයි. එවිට ඔවුන් ලංකා රජයට ගෙවන සංගත බදු ප්‍රමාණය ද අඩු වෙයි. එහෙත් මේ ක්‍රියාවලිය තුල අධික ලාභයක් ලබන්නේ පැනමා රාජ්‍යයේ පිහිටුවා ඇතිමැක් සමාගමයි. එහෙත් පැනමා රාජ්‍යයේ, සංගත බදු ක්‍රමයක් නැති නිසාමැක් බර්ගර් එකේ සම්පුර්ණ ලාභය තම ප්‍රාග්ධනයට එක් කර ගැනීමට මැක් සමාගමට හැකිවෙයි.
ග්ලෙසියා ඝාතනයට එරෙහිව මොල්ටාවේ ජනතා උද්ඝෝෂණ
ලංකාවේ මැක් සමාගම රටේ පවතින්නට අවශ්‍ය සාධක නිර්මාණය වෙන්නේ ලාභ ශ්‍රමය මගින්. පුංචි පඩි වලට දිගු වැඩ මුර වල නිරත වීමට මැක් සමාගමේ පමණක් නොවේ බොහෝ බහු ජාතික සමාගම් වල සේවකයින්ට සිදුවේ. බ්‍රිතාන්‍යයේ නම් මේ තත්වය තවත් කපටි වී ඇති අතර මැක් සේවකයින්ට ශුන්‍ය පැය සේවා කොන්ත්‍රාත් වලට යටත් වීමට සිදුවේ. (zero hour contracts) මෙහිදී සමාගමේ සේවකයින් පඩි රහිතව ගෙදරට වී සිටින අතර, සමාගමට අවශ්‍ය අවස්ථා වල පැය ගණනට සේවකයින් කැඳවිය හැකිය. ඒ සදහා අවශ්‍ය නීති රීති ඉතා දක්ෂ ලෙස රාජ්‍යය මගින් වෙනස් කොට ඇත. බ්‍රිතාන්‍යයේ පමණක් වාර්තාගත ලෙස මෙසේ ශුන්‍ය පැය සේවා කොන්ත්‍රාත් කරුවන් ලක්ෂ හයක් පමණ, බ්‍රිතාන්‍ය මැක් සමාගම හා සම්බන්ධ වී සිටිනවා. එය ලාභ ශ්‍රමය සුරා කෑමේ වාර්තාවක් බවයි පැවසෙන්නේ.
මාර්ක් සකබර්ග්ගේ ෆේස්බුක් සමාගම ක්‍රියාත්මක වෙන්නේ සමාගම් හතරක් එකතුවෙලා. (umbrella cooperation) ඇමරිකාවේ පර්යේෂණ සමාගම පිහිටුවා ඇති අතර මොල්ටාවේ, කේමන් දිවයිනේ සහඅයර්ලන්තයේ අනෙක් සමාගම් පිහිටවා තියනවා. එම සමාගමේ බදු වංචා කිරීම් මැතිව් ග්ලෙෂියා නම් ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරුවෙක් හෙළිදරවු කරනවා. ලෝක ප්‍රසිද්ධ Pulitzer සම්මානයෙන් පවා පිදුම් ලබා ඇති මේ මාධ්‍යවේදියාගේ, ෆේස්බුක් ගිණුම ෆේස්බුක් ආයතනය මගින් නවත්වනු ලබනවා.
ලෝකයේ ආර්ථිකය පාලනය කරන පුද්ගලයන් සහ සමාගම් වලින් සැදුම්ලත් ‘සුපිරි සමාජය’ට එරෙහිව නැගී සිටින පුද්ගලයින්ට එරෙහිව ‘ඇඩ්‍රස් නැති’ මරණ අත්පත් වන බව ඉතිහාසයේ අත්දැකීම් අපට පවසයි. එහෙත් ඔවුන්ගේ බෝම්බවලට අසුවී, තම සිරුර කෑලි කෑලි වලට කැඩී විසිරී යද්දී, ඩාෆ්නි ග්ලෙසියා වැන්නවුන් අපට නොකියා කියන්නේ සටන ඇත්තේ එතැන බවයි!
සරද සමරසිංහ
උපුටාගැනීම: බූන්දියෙන්
මුලාශ්‍ර- The Guardian, BBC panorama