අපරාධඋපුටාගැනීම්

ලේ පිපාසිතයෝ මරණවලින් පාඩම් ඉගෙන ගන්නේ නැත

සුළුතරයක් වූ මුස්ලිම් ජනතාව රටෙන් එලියට ඇද දැමීම දක්වා වූ සිංහල මහ ජාතියේ අනේක විධ හිරිහැරයන්ට පක් ව ඇති මේ මොහොතේ එයට විරෝධය පා ඔවුන් විසින් අද සඳුදා ඔවුනගේ කඩ සාප්පු වසා දැමීමේ හර්තාලයක් සංවිධානය කොට තිබේ. එහි වෙන්න නියමිත සාර්ථක අසාර්ථක භාවයේ දිග පළල අපි නොදනිමු. එහෙත් මෙය ලියන්නට සිදුවූයේ දඹර අමිල, බද්දේගම සමිත යන ප්‍රගතිශීලී යැයි කියන දේශපාලන හිමිවරුන් විසින් හර්තාලයට සහභාගී නොවනු පිණිස ඉල්ලා ප්‍රකාශයට පත්කර ඇති නිවේදනය නිසාවෙනි.

පසුගිය මාස කිහිපයක් තිස්සේ පීඩාවට පත්ව ඇති මේ මුස්ලිම් වරුන් ද සිංහල අප සැවොම මෙන්ම මේ පොළොවෙහි ම ඉපැදුණු ලාංකික පුරවැසියෝ වෙති. වෙනසකට ඇත්තේ ඔවුනගේ ආගමෙහි හා බොහෝ විට භාෂාවෙහිය. සංස්කෘතිමය වශයෙන් ඔවුන් අරාබි සංස්කෘතියට වඩා නෑකම් කියන්නේ ලංකාවෙහි වූ මිශ්‍ර සංස්කෘතියකටය. එය අපේම සංස්කෘතියම නොවන්නේද?  මුස්ලිම් වරුන්ගේ මෙම  මානව හිමිකම් උල්ලංඝණය ඔවුන් විසින්ම බලයට පත් කරණ ලද රජය විසින් හා එම රාජ්‍ය අනුග්‍රහයෙන් මෙහෙය වන කල්ලි විසින්ම සිදු කරණ කල්හී නිතිය මඟින් හෝ වෙනත් බලවේගයක් මඟින් සාධාරණයක් නොවන්නේ නම් එයට විරෝධය පෑමේ අයිතිය ඔවුන් සතුය. විරෝධය පෑම සාර්ථක නොවන්නේ නම් එයට එරෙහිව සටන් වැදීමේ අයිතිය ද සිංහල අපට මෙන්ම ඔවුන්ටද ඇත.  එයට සිංහල මහ ජාතිය මොනම අයුරකින් හෝ එරෙහි වන්නේ නම් එම ක්‍රියාවලිය තුළ ඇත්තේ පැහැදිලිවම ප්‍රතිගාමී බවකි.

ඔවුනගේ ම නිවේදනයට අනුව “ජාතිවාදයෙන් කුරිරු හස්තයෙන් වසර 30ක් පුරා බැටකා අවසානයේ සාමයේ සිසිල අපට දැනෙන මේ මොහොතේ අපේ උදාර මවුබිම තුල ආගම්වාදයක් අවුළුවා විනාශ කිරීම“ යන්න තුළම ඇත්තේ “අනේ අපේ ආතල් නම් දැං කඩන්න එපා“ යැයි පවසන සිංහල මහ ජාතියේ සරල ඉල්ලීමයි.

සුළු ජාතියක් වූ දෙමළ ජාතීන්ගේ අරගලය උදෙසා මොවුන් තූළ වූයේ ද එ වැනිම ආකල්පයකි. පීඩාවට එරෙහිව විරෝධය දැක්වීමට හෝ සටන් වෑදීමට සුළු ජාතීන්ට අයිතියක් නැත. ඒ අතරම මේ සුළු ජාතීන් ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් හෝ ඔවුනගේ පීඩාවන්ට එරෙහිව දකුණේ ප්‍රගිතිශිලීන් යැයි කියන කිසිම පුද්ගලයන්, මාධ්‍යවේදීන් හෝ දේශපාලන ව්‍යාපාර කතා කරන්නේ හෝ පාරට බහින්නේ ද නැත. දකුණේ සිංහලයා තමන්ගේ දඩබල්ලන් තමන් විසින්ම බැඳ දමන්නේ නැතිව මොවුන්ගේ ඉල්ලීම වන්නේ “ඕනෑ නම් දුවලා පණ බේරා ගනිං හැබැයි පස්ස හැරිල ගහන්න නං එපා. අපේ සාමෙ කැඩෙනවා“ වැන්නකි.

මෙම විරෝධතාව වහා ගිනි ඇවිලෙන සුළු බැව් අපි ද දනිමු. එහෙත් මෙවැනි විරෝධතාවයට සහභාගී නොවන්න යැයි මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලීමක් කළ හැකි අයෙක් වෙතොත් වේ නම් ඒ සහෝදරාත්මකව මුස්ලීම් වරුන්ගේ අසාධාරනයට හා පීඩාවට එරෙහිව සටන් කළ, රාජ්‍ය අනුග්‍රහය සහිත පීඩකයන්ට එරෙහිව ක්‍රියාශිලීව මැදිහත් වූ මහ සිංහල ජාතියේ පුද්ගලයෙකුට හෝ දේශපාලන ව්‍යාපාරයකට පමණි. අවාසනාවකට සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වන එවැනි පුද්ගලයෙක් හො දේශපාලන ව්‍යපාරයක් මේ මොහෙතේ දකුණේ නැත. එවන් ව්‍යාපාරයක අවශ්‍යතාව ඉතාම තදින් දැනෙන මේ මොහොතේ එවැන්නක ආරම්භක සෙවනැල්ලක් වත් තාමත අප රටෙහි නැත. ලේ පිපාෂිත ජාතිකක් ලෙස ලෝක ඉතිහාසයේ කුප්‍රකටව ඇති අප රට ඒ ලේ වලින් හෝ මරණවලින් පාඩම් ඉගෙන නොගන්නා ජාතියක් ලෙස ඉතිහාසය වෙනත් වටයකින් ලියන්නට කැස කවමින් සිටින බවනම් ඒකාන්ත සත්‍යයකි.

සටහන: සේන හේරත්

MNTB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *