උපුටාගැනීම්විශේෂාංග

භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය තුළ ද ගුප්ත විශ්වාස බොහොමයක් දක්නට ලැබිණ. නූතනයේ ඒවා හුදෙක් මිථ්‍යා විශ්වාස ලෙස බැහැර කළ ද අතීතයේ අප ජන සංස්කෘතිය හා බද්ධ වූ ගුප්ත විශ්වාස තුළ පැවැති මානව විද්‍යාත්මක අගය සුළුපටු නැත. එය මැනවින් වටහා ගත් අප රට පාලනය කළ ඉංග්‍රීසිහු ඒවා අධ්‍යයනය කිරීමටත් ඒකරාශී කිරීමටත් සංරක්ෂණය කිරීමටත් පසුබට නොවූහ. හෙන්රි පාකර්, හියු නෙවිල්, එමර්සන් ටෙනන්ට් ආදීහු ඒ අතරින් ප්‍රමුඛ වූහ.

පුරා දහඅට වසරක් තිස්සේ වරින් වර ම’විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නිහත්පත්තුව පාදක කරගනිමින් සිදුකරන ලද ජනශ්‍රැති සහ ජනකතා විමර්ශනයක දී සොයාගත හැකි වූ එවන් ගුප්ත විශ්වාස මත පදනම් වන ජනකතා කිහිපයක් එක්කොට මෑතක දී වන්නිහත්පත්තුවේ“ජනකතා- යක්ෂදේව ප්‍රවාද” යන නමින් කෘතියක් එළිදැක්වීමට මට හැකි විය.

යථාර්ථවාදී පදනම කෙසේ වුවද එම යක්ෂ දේව ප්‍රවාද තුළින් උකහා ගත හැකි තත්කාලීන ජන සමාජයේ චින්තන, සංනිවේදන සහ චර්යා රටා මතු පරපුරට දායාද කර දීම මගේ එම උත්සාහයේ අරමුණ විය. එමෙන්ම එම කතා ප්‍රවෘත්තීන් තුළින් උද්වහනය වන අද්භූත රසයට පෞද්ගලික මට්ටමින් මා තුළ පැවැති කැමැත්ත ද මෙම කාර්ය කෙරෙහි මා පෙළඹ වූ අනියම් සාධකයක් වන්නට ඇත.

එහි දැක්වෙන එක් කතා ප්‍රවෘත්තියක් මෙලෙසිනි.

මුදියන්සේ යනු මීට සියවසකට, හමාරකට ඉහත වන්නි හත්පත්තුවේපුරාණ ගමක ජීවත් වූ ඉඩම් හිමි ධනවතෙකි. තම පිය උරුමයෙන් හිමි වූ ඉඩකඩම්වල සේවක කාරකාදීන් ලවා ගොවිතැන් බත් කරවමින් ඒවායේ අස්වැන්න මඟින් සැලකිය යුතු ධනයක් උපයා ගත් මුදියන්සේ පස් පව් දස අකුසල්වලින් තොර යහපත් දිවි පෙවෙතක් ගත කළ අයකු වශයෙන් ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලී ය. එහෙත් ඒ සියළු යහගුණ අභිබවමින් ඔහු කෙරෙන් මතු වූ විශේෂ දුර්ගුණයක් ද තිබිණ. එනම් ඔහු සතුව තිබූ අසීමාන්තික තෘෂ්ණාව ය.

උදේ පටන් රෑ බෝ වනතුරු තමන් වෙනුවෙන් දහඩිය හෙලන සේවක කාරකාදීන්ගේ පණ රැක ගැනීමට වඩා යමක් නොදුන් මුදියන්සේ ගෙදරට පැමිණෙන යාචකයකුට තබා ගේ දොර වටා සැරිසරන බලූ කපුටකුට යමක් දීමටවත් නිර්ලෝභී වූවෙක් නොවේ.

කෙසේ හෝ ඉතා හොඳින් තම ගෙදර දොර ජීවිතය, වගා සහ ව්‍යාපාර කටයුතු කරමින් සිටි මුදියන්සේ වයස අවුරුදු හැත්තෑවේ දී පමණ කිසියම් රෝගයක් වැළඳීමෙන් මිය ගියේ ය.

මුදියන්සේට දූවරුන් තිදෙනකු සහ පුතුන් දෙදෙනකු වශයෙන් දරුවන් පස් දෙනෙක් සිටියහ. ඔහුගේ මරණයෙන් පසු දේපළෙන් කොටසක් සමඟ මහගෙදර හිමි වූයේ පවුලේ බාල පුතු වන පොඩි රාළහාමිට ය.

මුදියන්සේගේ මරණයෙන් වසර කිහිපයක් ඉක්ම යමින් තිබිණ. ඔහු ජීවත්ව සිටි කාලයේ එම ගේ දොර ඉඩකඩම්වල දක්නට තිබූ කල එළිය කෙමෙන් නැති විය. ගෙදර දොර වුව දක්නට ලැබුණේ අඳුරු මූසල වටපිටාවකි. එමෙන්ම මුදියන්සේගේ කාලයේ ක්‍ර්‍රමවත්ව තිබූ ගෙදර දොර ආර්ථීකය නිසි කළමනාකරණයකට ලක් කිරීමට ඔහුගේ පුතු පොඩි රාළහාමිට නොහැකි විය. එනිසාම පියා විසින් කරන ලද වගා ආදී සියළු කටයුතු ද කෙමෙන් බිඳ වැටෙන්නට විය. ඒ අනුව සේවක කාරකාදීන්ට පඩි නඩි ගෙවීම පිණිස හිතවතුන් හට ණය තුරුස් වීමට ද පොඩි රාළහාමිට සිදුවිය. මේ පසුගාමී තත්ත්වය යටතේ කලින් ඔහු පිළිබඳව ගම්මුන් තුළ පැවැති ගෞරවණීය ප්‍රතිරූපය ද කෙමෙන් බිඳ වැටෙමින් තිබිණ.

මෙම සියළු බිඳ වැටීම්වලට දෘශ්‍යමාන හේතුවක් සොයා ගත නොහැකි වූ තැන ඒ පිළිබඳ බොහෝ දෙනකුගේ අදහස වූයේ කිසියම් අමනුෂ්‍ය දෝෂයක් නිසා එම ගේ දොර ඉඩකඩම් සම්බන්ධ මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බවකි. ඉන්පසුව පොඩි රාළහාමි සහ ඔහුගේ ඥති මිත්‍රාදීහු මෙම උපද්‍රව ඇතිවීමට කිසියම් ගුප්ත දෝෂයක් තිබේදැයි විවිධ ක්‍රම මඟින් සොයා බලන්නට වූහ. අවසානයේ ඒ කාහටත් මනාසේ පසක් වූයේ මෙම ගේ දොර ඉඩකඩම් කෙරෙහි බහිරව දෝෂයක් එල්ල වී ඇති බවකි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාවට සාපේක්ෂව වන්නි හත්පත්තුවේ වැසියන් තුළ බහිරව විශ්වාසය දැඩිව පවතී. භූමිය මතුපිට සහ අභ්‍යන්තරය සම්බන්ධ සියළු වස්තූන්ට අධිපති බහිරව දේවතාවා ඒවා කෙරෙහි ලොල්වීමෙන් එම වස්තුවේ හිමිකරුවන්ට ඒවා නොලැබී යන බව වන්නි හත්පත්තුවේ පවත්නා ප්‍රධාන ජන විශ්වාසයකි. එබැවින්, එම ගේ දොර ඉඩකඩම් කෙරෙහි ඇල්ම බැල්ම පළකරන බහිරව දේවතාවාගේ උපද්‍රව දුරුකරවීම පිණිස බහිරව පූජාවක් පැවැත්වීමට තීරණය කෙරිණ.

බහිරව පූජාව යනු දින කිහිපයක් තිස්සේ වෙහෙස මහන්සි වීමෙන් පසු රැයක් පහන් වනතුරු කළ යුතු පුද පිළිවෙතකි. එමෙන්ම ඒ සඳහා මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති ඇදුරකුගේ සහාය ලබාගත යුතු වෙයි. ඒ අනුව බහිරව පූජා තැබීම කෙරෙහි විශේෂ සමත්කමක් සහ ඒ සම්බන්ධ ප්‍රසිද්ධියක් දිනා ඇති හත්කෝරළයේ ඇදුරකු මෙම යාතු කර්මය සඳහා ගෙන්වා ගන්නා ලදී.

අතීතයේ මෙබඳු යාතු කර්මවලට සහභාගී වූ ඇදුරන් සහ කපුවන් ඒවාට එක්වූයේ ඉතා අවංකව අතිශයින් බැතිමත් හැඟීමකිනි. ඒ අනුව එම ඇදුරා සිය සහායකයන් කිහිපදෙනා ද සමඟ ඊට පෙර දින පැමිණ පොඩි රාළහාමිගේ නිවසේ නතර වී බහිරව පූජාව සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ සම්පාදනයෙහි යෙදිණ.

රසකැවිලි, පලතුරු, සුදු සහල්, කිරිබත්, ධාන්‍ය, විලඳ, කිරි රොටි, හත්මාළුව, කිරිපැණි, ගිතෙල්, මීපැණි‚ ආදී ආහාර වර්ග කිහිපයක් බහිරව පූජාවක් සඳහා අවශ්‍ය වෙයි. පූජාවට පෙරදා සවස ඒ සියල්ල සම්පාදනය කරන ආකාරය පිළිබඳ පොඩි රාළහාමිට උපදෙස් දුන් ඇදුරා එදින රාත්‍රී නින්දට වැටිණ.

පසුදාට පහන් විය. අලුයමින් පිබිදුණු ඇදුරා හනික පොඩි රාළහාමි වෙත ගියේ ය.

“හරිම වැඩේ තමයි පොඩි රාළහාමි, මම කලින් නොකිව්වට බහිරව පූජාවට තවත් දෙයක් නොවරදවාම එක් කරන්න වෙනවා. වෙන මොනවත් නෙවෙයි ලුණු කැඳ ටිකක්.”

ඇදුරා එසේ කියත්ම පොඩි රාළහාමි අන්දමන්ද විය.

“ඒ මොකද ගුරුන්නාන්සේ?”

ඒ අනුව ඔහු ඇදුරාගෙන් ඇසුවේ විස්මයෙනි.

“හරි වැඩේනේ වුණේ. ඊයේ මං නින්දට ගියාට මොකද එක තත්පරයක් හරියට ඇහැපියා ගන්න දුන්නේ නැහැ. බහිරව දේවතාවුන්නන්සේ ඇවිත් මගෙන් ලුණු කැඳ ඉල්ල ඉල්ලා කරදර කළා. මට නම් හිතාගන්නවත් බෑ හේතුව. මීට කලින් කිසිම දවසක එහෙම දෙයක් වෙලා නැහැ.”

ඇදුරා එසේ කීවද ඊට හේතුව පොඩි රාළහාමිට සහ ඔහුගේ පවුලේ ඥතීන්ට කිසිදු රහසක් නොවිණි. හේතුව වූයේ පොඩි රාළහාමිගේ පියා මුදියන්සේ ජීවිතයේ අවසන් කාලයේ ගිලන්ව යහන මත වැතිර සිටිය දී නිතර නිතර ලුණු කැඳ ඉල්ලමින් කෑ මොර දීම ය. ඒ බව එම පවුලේ සාමාජිකයන් සේම අසල්වැසියෝ ද දැන සිටියහ.

කිසිම පිනක් දහමක් නොකර තමන්ගේ දේපළ ගැන තණ්හාවෙන් පීඩිත වෙලා ඒවාට විතරක් ඇල්ම බැල්ම හෙලාගෙන හිටපු අයත් මැරුණට පස්සේ බහිරවයෝ හැටියට ඒ ගේ දොර ඉඩකඩම් වතුපිටිවලට අරක් අරගෙන උපදිනවා. ඒ මිනිස්සු පස් පව්, දස අකුසල් කළා නම් ප්‍රේත ආත්මයක උපදින්න පුළුවන්. නමුත් එහෙම පව් නොකරපු අය උපදින්නේ ප්‍රේතයන්ට වඩා බලවත් බහිරව දේවතාවුන් හැටියට. කොහොම හරි ඒ බහිරව පූජාවට ලුණු කැඳ තියපු පොඩි රාළහාමි ඊට පස්සේ ඉස්සර හිටපු අපේ නායක හාමුදුරු නමකගේ උපදෙස් මත ගෙදර සාංඝික දානයක් දීලා ඊට පස්සේ ඒ පළාතේ දුගී, මගී යාචකාදීන්ටත් දාන මාන දීලා, ගේ දොර ඉඩකඩම්වලට අරක් ගත්තු සියළු දෙවි දේවතාවුන් වහන්සේලාටත්, අමනුෂ්‍යයන්ටත් ඒ පින් අනුමෝදන් කළා. ඊට පස්සේ පොඩි රාළහාමිට කිරි උතුරනවා වගේ හරි ගියා. මීට වසර ගණනාවකට ඉහත බොහෝ දෙනකුගේ කුතුහලය පිබිද වූ මේ කතා ප්‍රවෘත්තිය වන්නි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ පූජ්‍ය පොතානේගම ධීරානන්ද හිමියන් විසින් සංරක්ෂණය කොට තබන ලද්දකි.

ඉහත සඳහන් කෘතිය නිකුත් වීමෙන් පසු ම’වෙත දුරකතන ඇමතුම් මඟින් විවිධ ප්‍රතිචාර ලැබිණ. ඒ බොහොමයකින් පැවසුණේ මෙවැනි අද්භූතවාදී කතා ප්‍රවෘත්ති සමාජගත කිරීමෙන් මා වත්මන් සමාජය තුළ මිථ්‍යා විශ්වාස පැතිරවීමට උත්සාහ කරන බව ය.

ඒ අතර මට පසුගිය දිනයක එක්තරා විශේෂිත දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ හක්මන ප්‍රදේශයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගෙනි. ඇමතුම දුන් ඔහු කියා සිටියේ මා ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය මඟින් සමාජයේ බොහෝ දෙනෙකු නොදත් සත්‍යයක් අනාවරණය කොට ඇති බවකි. මම ඒ කුමක්දැයි විමසුවෙමි. එවිට ඔහු කියා සිටියේ ඉහත සඳහන් කතා ප්‍රවෘත්තියෙහි එන බහිරව දේවතාවා ලුණු කැඳ ඉල්ලීම වැනි කතා යකැදුරුකම්වලට පැමිණෙන බොහෝ යකැදුරන් එම නිවැසියන් හට පවසන බවකි. එය බැලූ බැල්මටම අද්භූතජනක සිදුවීමක් බැවින් එම යකැදුරන් එසේ කියන්නේ කෙසේදැයි මම ඔහුගෙන් අසා සිටියෙමි. එවිට ඔහු හෙළි කළ කතා ප්‍රවෘත්තිය ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.

“මමත් දකුණේ හොඳ යකැදුරු පරම්පරාවක කෙනෙක්. අපේ මුත්තත් නම් දරාපු යකැදුරෙක්. මුත්තා පිට පළාත්වල යකැදුරුකම්වලට යනකොට ගෝලබාලයෝ හතර පස්දෙනෙක් එක්කගෙන ගියා. ඒ කොට්ටෝරුකම වගේ ආවතේව වැඩවලට. මුත්තා එහෙම ගියේ ඒ යකැදුරුකමට දවසකට හමාරකට කලින්. ගිහින් තමන්ගේ ගෝලබාලයොත් එකක් ඒ ගෙදර නතර වෙලා යකැදුරුකම්වලට උවමනා වැඩකටයුතු ලකලෑස්ති කළා. ඒ අතරේ හිටියා මෝඩ පෙනුමක් තියෙන ඉලන්දාරි කොලුගැටයෙක්. ඒ ගෙදර අයට නොහැෙඟන්න මුත්තා ඒ කොලුගැටයට බොහොම බරපතල රාජකාරියක් පැවරුවා. ඒ තමයි ඒ ගෙදර පවුලේ වටපිටාවේ තොරතුරු බොහොම සීරුමාරුවට හොයල කාටත් නොතේරෙන්න තමන්ට දන්වන එක. ඒ ගැටයා ඒ තොරතුරු හොයාගත්තේ ඒ ගෙවල්දොරවල්වලට සම්බන්ධ ඒ වයසෙම කොලු ගැටවුන්ගෙන්. මුත්තා එහෙම කළේ අර යකැදුරුකමේදි ඒ තොරතුරු ඒ පවුලේ අය සහ අහළ පහළ අය එක්ක කියල ඒ අයව පුදුමයට පත් කරන්න. එතකොට ඒ මිනිස්සුන්ගෙ හිත්වල ඒ යකැදුරුකම ගැන තියෙන විශ්වාසය හුඟක් වැඩිවෙනවා. ඒකෙන්ම ඒ වැඩේ සාර්ථක වෙනවා.” 

එම විශ්‍රාමික විදුහල්පතිවරයා කී අන්දමට මෙම ශාන්තිකර්මයේ යකැදුරා රාත්‍රී නින්දේ දී තමන්ට සිහිනෙන් පෙනුණු බහිරවයා ලුණු කැඳ ඉල්ලූ බව පවසා ඇත්තේ ද එවැනි උප්පරවැට්ටියක් ලෙසිනි.

“එතකොට ඔය හිටපු කොලුගැටයා අද කොහෙද ඉන්නෙ? මට බැරිද මිනිහත් එක්ක කතා කරන්න?” මම එම විශ්‍රාමික විදුහල්පතිවරයාගෙන් විමසුවෙමි. එවිට ඔහුගේ උස් සිනා හඬ දුරකතනය ඔස්සේ මගේ සවන් පුරා පැතිර යන්නට වූ අතර ඔහු ඒ සමඟින්ම කීවේ මෙවැන්නකි.

“ඒ කොලුගැටයා තමයි මේ කතා කරන්නේ.” 

ඒ කෙසේ හෝ මෙය පැරණි යකැදුරන්ගේ කූටෝපයකැයි කීමට මම කෙසේවත් ඉදිරිපත් නොවෙමි. ඔවුන් මෙම යකැදුරුකම්වලින් ඔවුන් සිදුකරනුයේ කිසියම් පුද්ගලයෙකු තුළ හෝ පවුලක් තුළ හටගෙන ඇතියක්ෂ උපද්‍රවය නමින් හැඳින්වෙන සංසිද්ධිය මුල්කොට ඇති වූ මානසික බිඳවැටීමට නොවිධිමත් ව්‍යංගාත්මක චිකිත්සාවක් (Suggestive Therapy) කිරීම පමණි. එහිදී ඔවුන් තුළ එම යකැදුරුකම කෙරෙහි බලවත් විශ්වාසයක් ගොඩනැෙඟන තරමට එම යකැදුරුකම හෙවත් නොවිධිමත් මනෝ චිකිත්සාව සාර්ථක වේ. ඒ අනුව මෙම පැරණි යකැදුරන් සිදුකොට ඇත්තේ කිසියම් මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක් නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?

තිලක් සේනාසිංහ

උපුටාගැනීම: බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *